දරුවන්ගේ අධ්‍යාපන බාධා දුරලන වත්පිළිවෙත් | සිළුමිණ

දරුවන්ගේ අධ්‍යාපන බාධා දුරලන වත්පිළිවෙත්

ශාස්ත්‍රකරණයට බාධා කරන ප්‍රධාන කරුණු 5 ගැන දැනගන්න

දරුවා වෙනුවෙන් දින 7ක් එක දිගට බෝධි පූජා තබන්න

කේන්දරේ 5 වැන්නෙන් අධ්‍යාපනය ගැන කියයි

දරුවාගේ ජන්ම පත්‍රයේ ඒරාෂ්ටක ඇත්දැයි බලන්න

අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉදිරියේදී පැවැත්වීමට නියමිත ආසන්නතම විභාගයයි. එකී විභාගයට පෙනී සිටින දරු දැරියන්ට සේම අධ්‍යාපන දුර්වලතා බාධක ක්‍රියාත්මක වන දරු දැරියන් ඉලක්ක කර ගනිමින් මෙම ලිපිය ඉදිරිපත් කෙරේ. අධ්‍යාපනය යනු දරුවෙකුට ලබා දිය හැකි විශිෂ්ටතම දායාදයයි. නමුත් සියලුම දරුවන් එක සේ දක්ෂ නොවේ. එසේම අදක්ෂ ද නොවේ. නමුත් දරුවාගේ ජන්ම පත්‍රයේ ප්‍රබලතාව මත මෙකී තත්ත්වයන් තීරණය වෙයි.

ප්‍රබල වූ අධ්‍යාපන කාරකත්වයක් ජන්ම පත්‍රයේ සටහන් වේනම්, එම දරුවා නිරන්තරයෙන්ම අධ්‍යාපන පැතිකඩට යොමු වේ. මෙම දරුවනට අධ්‍යාපනය වෙනුවෙන් බලපෑම් කිරීම අවශ්‍ය නොවේ. ඔවුන් නිරායාසයෙන් ඒ සඳහා යොමු වේ. ධාරණ හා ආවර්ජන ශක්තිය ඉතා ඉහළ වන මොවුන් අඩු උත්සාහයකින් වැඩි ප්‍රතිඵල විභාගවලදී ලබා ගැනීමට වාසනාව උරුමකර ගත්තෝ වෙති. මෙලෙසට මෙයට විරුද්ධ වූ පැතිකඩත් එහි විපාක හා ඒ වෙනුවෙන් ඉටුකළ යුතු පිළිවෙත් පිළිබඳව ගැටලුකාරී තත්ත්වයන් නිරාකරණය කිරීම මෙම ලිපියේ තවත් මුඛ්‍ය අරමුණකි.

ජන්ම පත්‍රයක 5 වැන්න අධ්‍යාපනය ගැන ප්‍රකාශ වන ස්ථානයයි. එහි බලවත් භාවයත්, 5 අධිපතිගේ බලය, 5 වැන්න දකින ග්‍රහ බල තත්ත්ව මෙන්ම පාප කර්තරී හෝ සුබ කර්තරී පිහිටීම මෙන්ම රවි, බුධ, ගුරු ආදී ග්‍රහයන්ගේ වන බලපෑම් ආදිය පිළිබඳව මෙහිදී විශේෂයෙන් සැලකිලිමත් විය යුතුය. තවද මේ වන විට ගෝචර ග්‍රහ තත්ත්වයත්, නිමාණය වී තිබෙන යෝග පිළිබඳවත්, ඒරාෂ්ටක ආදිය තිබේදැයි විශේෂයෙන් සොයා බැලිය යුතුය. මෙපමණක්ද නොව අධ්‍යාපනයට වන බාධාවන් පිළිබඳවද විමසිලිමත් විය යුතුය. එවිට දරුවාගේ නිවැරදි වූ අධ්‍යාපන තත්ත්වය නිගමනය කළ හැකිය. නොඑසේනම් ප්‍රකාශ කරනු ලබන ප්‍රතිඵලයන්හී යම් සාවද්‍ය භාවයක් නිර්මාණය විය හැකිය. "බුධ ආදිත්‍ය යෝගය", "සරස්වතී යෝගය" ආදී ග්‍රහ යෝග දුටු සැණකින් අධ්‍යාපනය පිළිබඳව නිගමන ප්‍රකාශ කළ යුතු නොවන අතර, කුඩා කල අදක්ෂ දරුවන් ඉතා ඉහළ අධ්‍යාපනයක් වෙත යොමු වීමත්, කුඩා කල අති දක්ෂ දරුවන් ඉහළ අධ්‍යාපනයක් උරුමකර නොගන්නා ආකාරයත්, පිළිබඳ උදාහරණයන් අපට සමාජය තුළින් ඕනෑතරම් හඳුනාගත හැකිය. මේ නිසා අධ්‍යාපනය පිළිබඳව සොයා බැලීමේදී අධ්‍යාපන බාධක පිළිබඳ සඳහන් ශ්ලෝකයේ කරුණු ගැන අවධානය යොමු කිරීම ප්‍රයෝජනවත් වේ.

"අලසෝ - මන්ද බුද්ධිශ්ව

සුබිතෝ - ව්‍යාධි පීඩිතං

නිදාලු - කාමුකෝ ශෙවති

ෂඩශෙ ශ්‍රාස්ත්‍ර වර්ජිතා"

අලස බව, මද බුද්ධිය, අධික සැප, රෝග පීඩාවන්, අධික නින්ද, කාමාශා ඇල්ම යන මෙකී කරුණු ශාස්ත්‍රකරණයේදී බාධාවන් බවයි.

ඉහත කරුණු සියල්ලම ජන්ම පත්‍රය ආශ්‍රයෙන් විමසිය හැකිය. එසේනම් කුමන ලෙස 5 වැන්න බලවත්ව අධ්‍යාපන කාරකත්වය පෙන්නුම් කළ ද, ඉහත කරුණු නිසා භෞතික වශයෙන් අධ්‍යාපනය අඩපණ විය හැකිය. ඉගෙන ගන්න අලස නම් ධාරණය නැති වේ. මද බුද්ධිය ද එසේමය. අධික සැප හමුවේ අධ්‍යාපනයේ වටිනාකම නොතේරේ. රෝග නිරන්තර නිර්මාණය වන්නාට අධ්‍යාපනය සඳහා ප්‍රබල බාධාවකි. අධික වූ නින්ද සැම කටයුත්තකටම බාධා කරයි. අධ්‍යාපනය ලබන වයසේදී පෙම් සබඳතා හා කාමාශාවන් අධ්‍යාපනය සහමුලින්ම විනාශ කර දැමීමට මඟ පාදයි. (මෙය බහුතර තත්ත්වයයි)

මෙලෙස සෙසු සාධකයන් ද ගැන බලා ඒවාට ද නිසි විසඳුම් ලබා දෙන්නේනම් ඉන් අනගි ප්‍රතිඵල ලබාගත හැකි බව ප්‍රත්‍යක්ෂ වූ කරුණකි. මෙවන් විටෙක දෙමාපියන් මහත් වූ කම්පනයකට ලක් වනුයේ දරුවන්ගේ ප්‍රතිඵල පැමිණි විටය. මන්ද කෙටි කාලයක් තුළ සම්පූර්ණ විෂය දැනුම තෝරා බේරා අවශ්‍ය පිළිතුරු සාර්ථකව සම්පාදනය නොවුණහොත් දරුවා අපේක්ෂිත ප්‍රතිඵල වෙත ළඟා නොවනු ඇත. මේ නිසා එවන් තත්ත්වයන්ගෙන් දරුවා බේරා ගනිමින් ඉටුකළ හැකි සාර්ථක වතාවත් කිහිපයක් පහත දැක්වේ.

1) පළමුව ජ්‍යොතිර්වේදියකු හරහා හෝ තම දැනුමැතිනම් හෝ වෙන යම් ක්‍රමවේදයකින් අපල තත්ත්ව සඳහා පිළිවෙත් ඉටුකර ගත යුතුය.

2) අධ්‍යාපන බාධා වෙනුවෙන්

i) දින 7ක් එක දිගට බෝධි පූජා තබන්න. මෙහිදී ගිලන්පස වර්ග කිහිපයක් පූජා කරන්න. "අභිසම්භිධාන" පිරිත දරුවාගේ නම ඇතුළත් කර අවම තුන් වතාවක්වත් කියන්න.

ii) 8 වන දින සරස්වතී මෑණියන්ට බාර වෙන්න. (මෙහිදී දියේ පිපෙන මල් පූජා කර බාර විය යුතු අතර අධ්‍යාපන බාධා දුරු වන ලෙස අධිෂ්ඨාන කළ යුතුය)

iii) දරුවාගේ මතකය - ආවර්ජනය පිළිබඳ ගැටලුකාරී තත්ත්වයන් හෝ අධ්‍යාපන පීඩා ක්‍රියාත්මක වේනම් "ගණපති" යන්ත්‍රය හෝ "සරස්වතී" තෙල් දරුවාගේ ගෙල පලඳවන්න.

විශිෂ්ට වූ ප්‍රතිපල ඔබේ දරුවාට ලබා දීමට මෙම පිළිවෙත නිසියාකාරයෙන් ඉටු කරන්න.

 

 

ජ්‍යොතිර් විද්‍යා විශාරද

ස්වාපන මනෝ චිකිත්සක

ආචාර්ය සම්පත් වීරසිංහ

Comments