මතකය පුබුදන පැරණි මිත්‍රකම් | Page 5 | සිළුමිණ

මතකය පුබුදන පැරණි මිත්‍රකම්

 "මිතුදම් අලුත් කරගැනීම හුදෙකලාව හා තනිකම නැසීම සඳහා මහඟු ඔසුවක් සේම ශාරීරිකව හා මානසිකව ඇතිවන බොහෝ රෝගාබාධ අවම කරන්නට ද හේතුවක්"

“අවුරුදු දහ පහළොවකට පස්සේ නේද අපි මේ එකට මුණ ගැහුණේ. "

" රිටයර් වුණාට පස්සෙ ඉඳලා හිටලා එක්කෙනෙක් දෙන්නෙක් මුණ ගැහුණා වුණත් අපි ඔක්කොමලා වාගෙ එකට එකතු වුණේ අද තමයි."

" නැතුව, කොහොමටත් පරණ යාළුවෙක් මුණ ගැහිලා ඒ කාලෙ ගැන විනාඩි පහක් කතා කළත් බේතක් බිව්වා වාගෙ තමයි."

පැරණි මිතුරන් හා එක් වීම සැබවින්ම ආස්වාදජනක අත්දැකීමකි. වසර ගණනාවකට පෙර මතකය පිබිදෙන, පුබුදන මේ හමුවීම් සිතට ගතට ගෙන එන්නේ මහත් සතුටකි; උද්‍යෝගයකි. මේ කාරණය හා සම්බන්ධ නවතම පර්යේෂණයකින් හෙළිදරව් කර තිබෙන්නේ පැරණි මිතුරන් මුණ ගැසීමත් යට ගිය දවස් පිළිබඳ ආගිය කතාවල යෙදීමත් මන සුව නංවන්නටත්, මන සුව පවත්වාගෙන යන්නටත් යහ බලපෑමක් ඇති කරන බවය.

මේ පිළිබඳ අදාළ පර්යේෂණ පත්‍රිකාව ඉදිරිපත් කළ අමෙරිකානු මනෝවිද්‍යා සංගමය පවසා ඇත්තේ අනපේක්ෂිත මොහොතක සිදුවන පැරණි මිතුරකුගේ හමුවක් පමණක් නොව හිටි හැටියේ එබන්දෙකුගෙන් ලැබෙන දුරකතන ඇමතුමකින්, කෙටි පණිවුඩයකින් උපදවන සතුටේ ඇති වැදගත්කම බොහෝ දෙනෙකු වටහා ගෙන නොමැති බවය.

Reach out යන දෙපද ක්‍රියාව ගැන මෙහිදී අපේ අවධානය යොමු විය යුතුය. පැතිරීම, ළඟා වීම යනාදී තේරුම් හා බැඳුණු මෙය අද දවසේ සමාජ ජාලා හා බැඳුණු යෙදුමකි. රීච් ගන්නට ඕනෑම දෙයක් කරන්නට සූදානම් පේජ්කාරයන් ගැන ඔබ අසා ඇතුවාට සැක නැත. සැබෑව නම් මිනිසා ස්වභාවයෙන්ම මේ බැඳීම හා අවධානය බලාපොරොත්තු වන සත්ත්වයකු වීමය. එබැවින් අප නිතරම බලාපොරොත්තු වන්නේ අප අන් අයගේ විමසුමට සොයා බැලිල්ලට ලක් විය යුතු බවය. එය නොලැබුණු තැන හට ගන්නේ බලවත් චිත්ත පීඩාවකි. එය සමනය කරනු පිණිස යොදා ගත හැකි එක් උපක්‍රමයක් ලෙස මේ පර්යේෂක කණ්ඩායම කල්පනා කරන්නේ පැරණි මිතුරන් හමු වීමයි.

" මං හිතන්නෙ මිනිස්සු ස්වභාවයෙන්ම කැමතියි අනෙක් අය තමන් ගැන හොයා බලනවාට, උනන්දුවක් දක්වනවාට. ඒක අපූරු ධනාත්මක හැඟීමක්, තිගැස්මක්. මෙන්න මේ කාරණාව තමන්ගේ වටිනාකම , විශ්වාසය ගොඩනඟා ගන්න අපට උදවුවක් වෙනවා. " මේ පර්යේෂණ නඩයේ ප්‍රධානියා වන පිට්ස්බර්ග් සරසවියේ මහාචාර්ය පෙගි ලියු පවසන්නීය.

මහාචාර්ය පෙගි ලියු ඇතුළු කණ්ඩායම මේ අධ්‍යයනය සඳහා හයදහසකට ආසන්න පිරිසක් සම්බන්ධ කර ගත් බව පැවසේ. ඒ හරහා යම් පැරණි මිතුරකු හෝ මිතුරු කණ්ඩායමක හමුවීම, ඇමතුමක් හෝ පණිවුඩයක් හෝ ලැබීම ඔවුන්ගේ මන සුව පිණිස කොයි ආකාරයකින් බලපෑවේ දැයි සොයා ගන්නා ලදී.

පැරණි මිත්‍රත්ව පවත්වාගෙන යෑම හිතන තරම් පහසු නොවේ. කාරණා බොහෝ ගණනක් හේතුවෙන් ඔවුනතර දුරස්ථ භාවයක් ඇති වන්නට පුළුවන. ආර්ථික, සමාජයීය මෙන්ම භූගෝලීය කාරණා ද ඊට බලපාන සාධකය. ඊට අමතරව කාර්යබහුල බව නිසා ද මේ අකාරයේ දුරස්කම් ඇති වන්නට ඉඩ තිබේ. " මිනිස්සු බොහෝ කාරණා හේතුවෙන් එකිනෙකාගෙන් දුරස් වෙලා යාළු මිත්‍රකම් නොපවත්වා ඉන්නවා. ඒකට එක හේතුවක් වෙන්නෙ මේ කාරණේ තියෙන වටිනාකම තේරුම් නොගෙන සිටීමයි." මහාචාර්ය ලියු පවසන්නීය.

කොරෝනා වසංගත සමය බොහෝ දෙනකුගේ මානසික සෞඛ්‍යය පහතට ඇද දැමූ කාල වකවානුවක් විය. ලෝක සෞඛ්‍ය සංවිධානය තහවුරු කළ මූලාශ්‍රවලට අනුව කොරෝනාවේ පළමු අවුරුද්දේදී ලෝකය පුරා පුද්ගලයන්ගේ කාංසාව හා ආතතිය තත්ත්ව 25% ක ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබුණු බව සඳහන් වේ.

මීට අමතරව හාවඩ් සරසවිය නිකුත් කළ වාර්තාවකට අනුව මෙසේ සාමාජයීය වශයෙන් හුදෙකලාවට මුහුණ දෙන අවුරුදු පනහ ඉක්මවූ වැඩිහිටියන්ගේ ඩිමෙන්ෂියා, හෘද රෝග, ආඝාතය මෙන්ම අකල් මරණ ඇතිවීමේ ඉඩ කඩද ඉහළ යා හැකි බව සඳහන් විණි. එහෙත් මෙහිදී යමකු අසන්නට ඉඩ තිබෙන්නේ සමාජ මාධ්‍ය ජාලා මෙන්ම වෙනත් ඉලෙක්ට්‍රොනික උපාංග හරහා සිදු වන සන්නිවේදනයෙන් මීට විකල්පයක් සපයාගත හැකි නොවේද යන්නයි. The Journal of Social and Personal Relationships ඉදිරිපත් කළ වාර්තාවකින් කියැවුණේ සමාජ මාධ්‍ය ජාලා හෝ වෙනත් ඉලෙක්ට්‍රොනික ක්‍රමවේද හෝ හරහා සිදු වන ඇසුර, හුදෙකලාව හෝ ආතතිය යනාදී තත්ත්වයන්ට ඒ හැටි දැනෙන බලපෑමක් හෝ යහපතක් හෝ ඇති නොකරන බවය.

එබැවින් මෙයාකාරයෙන් සම්බන්ධතාවක් පවත්වා ගැනීම, මිත්‍ර සම්පත්තිය යළිත් අලුත් කරගැනීම හුදෙකලාව හා තනිකම නැසීම සඳහා මහඟු ඔසුවක් වන්නා සේම ශාරීරිකව හා මානසිකව ඇතිවන බොහෝ රෝගාබාධ අවම කරන්නට ද හේතු වන බව අප වටහා ගත යුතුය. අනෙක් අතට එතුළින් ඉතා ඉහළ මට්ටමක සතුටක්, අභ්‍යන්තර සන්සුන් බවක් හා මානසික සෞඛ්‍ය තත්ත්වයේ වඩා වර්ධනයක් අත් විඳිය හැකි බව මේ පර්යේෂකයන්ගේ අදහසයි.

මේ අධ්‍යයනය හරහා පැරණි මිත්‍රයන්, කලක් එකට රාජකාරියේ යෙදුණු සගයන් ආදී වශයෙන් අප යාළු මිත්‍රකම් අලුත් කර ගත යුතු වුවද අතීතයේ වඩාත් සුබවාදීව පවත්වාගෙන ගිය මිතුරුකම් පමණක් යළි අලුත් කර ගැනීමට අප වග බලා ගත යුතු යැයි අවධාරණය කෙරෙයි. එසේ නොවුවහොත් සිදු වන්නේ මන සුව කෙසේ වෙතත් තවත් පැටලිලි - ගැටලු කන්දරාවක් හදා ගන්නටය. එබැවින් ඊට පළමු යම් ආකාරයක ප්‍රශ්න කීපයක් අපෙන්ම අසා ගන්නට මහාචාර්ය ලියු යෝජනා කරන්නීය.

හිත මිතුරුකම් අලුත් වෙන්නේ කුමන පසුබිමක් යටතේද? එය තිබෙන කරදර තවත් වැඩි කරන්නක්ද? නැතහොත් සිත සැහැල්ලුව ගෙන එන්නක්ද? එයින් ලැබිය හැකි හොඳ හෝ නරක ප්‍රතිඵල මොනවාද? එහි අරමුණ මොනවාද ? මට දැන් ඔවුන් සමඟ එකට එක් වී කටයුතු කරන්නට පුළුවන්ද? මා ඔවුන් අතින් ප්‍රතික්ෂේප වේද? මට අවංකව මේ මිතුරුකම් පවත්වාගෙන යන්නට හැකිද? ඊට අවැසි ශාරීරික , මානසික හා ආර්ථික ශක්තියක් මට තිබේද? ආදී වශයෙන් ප්‍රශ්න මාලාවක් ඔවුන් ලයිස්තුගත කර තිබේ.

මිත්‍රත්වය යළි ඇති කර ගැනීමේ තවත් වැදගත්කමක් වන්නේ යම් අතීතයක අත්විඳි සතුටක් හා සැහැල්ලුවක් යළි ස්මරණය කිරීමට ඉඩක් ලැබීමයි. එය එක් අතකින් අපේ මන සුව ඉහළ නංවන්නට හේතු වෙයි. පැරණි ස්මරණ යළි අවදි වීම ගුණාත්මකව අපේ මොළයට ද බලපෑමක් ඇති කරයි. සතුට සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන මොළයේ කොටසේ (nucleus accumbens) ක්‍රියාකාරීත්වය ඉහළ නංවන්නට මෙන්ම වයෝවෘද්ධ කාලයේදී අප වෙත ළඟා වන ඇල්ෂයිමර් වැනි රෝගාබාධ වළක්වා ගන්නට ද එය කදිම පියවරක් වෙයි.

පැරණි මිතුරු දම් යළි අලුත් කරගැනීම දීර්ඝායුෂ පිණිස ද හේතු වන්නකැයි සඳහන් වෙයි. ඊට හේතුවන ප්‍රධානතම අඩිතාලම වන්නේ මෙකී මිතුරුදම් හරහා සිත උපදින සංතෘෂ්ටියයි. එක්තරා අධ්‍යයනයකින් ( Birmingham Young University and the University of North Carolina ) පෙන්වා දී ඇත්තේ මිත්‍ර සම්පත්තියෙන් සහ සමාජ ආශ්‍රයෙන් යුතු පුද්ගලයන්ගේ ආයුෂයට වඩා එසේ නොවන්නන්ගේ ආයු කාලය අඩු වන්නට 50% ක සම්භාවිතාවක් තිබෙන බවයි. අනෙක් අතට තෘප්තිමත් මානසික තත්ත්වයක් යටතේ ජීවිතයට සාර්ථකව මුහුණ දෙන්නට ද හැකි බව සාමාන්‍ය පිළිගැනීමයි.

සාමාන්‍යයෙන් පැරණි මිතුදමක් යළි අලුත් වීමේදී එතෙක් පැවති හුදෙකලා බව දුරුව සෑහෙන ප්‍රමාණයක අන්‍යෝන්‍ය අදහස් හුවමාරුවක් සිදු වේ. මේ හරහා ඇතැම් විට අප තනිව පීඩා විඳි, පිළිතුරු හොයමින් කරදර වූ සමහර ප්‍රශ්නවලට ද පිළිතුරු ලැබෙන්නට පුළුවන. වෙනත් වචනවලින් පවසතොත් ධනාත්මක සාමාජීය චිත්තවේග මේ මිත්‍ර සම්පත්තිය අපට කළමනා කරගත හැකි වෙයි.

අනෙක් අතට මේ නිරන්තර පණිවිඩ හුවමාරුව හේතුවෙන් තදබල ආතතිය හෝ කාන්සාව වැනි තත්ත්ව මගහැර ගන්නට ද අපට පිළිවන් වෙයි.

මිත්‍ර සම්පත්තිය ලබා ගැනීම මෙන්ම ලබා දීම සම්බන්ධයෙන් ද අපට වගකීමක් තිබේ. ඒ, අන්‍යයන් වෙනුවෙන් මිත්‍රත්වයේ දෑත දිගු කිරීමයි. අප වටහා නොගන්නා එක්තරා කාරණයක් වන්නේ එබඳු පැරණි මිතුරකුට හිටි අඩියේ ගන්නා ඇමතුමක් හෝ යවන පණිවිඩයක් කොපමණ වැදගත් ලෙස දැනෙන්නේ ද යන්නයි. ඒ නිසාම මිත්‍රත්වය ලබා ගැනීම මෙන්ම මිත්‍රත්වය බෙදා හැරීම ද මන සුව රකින ඔසුවක් ලෙස හැඳින්විය හැකිය.

Comments