
A5 - 31ක්
වෙනස්වන ලෝකයේ අභියෝගවලට ගැළපෙන සේ සකල නිපුණතා ධනාත්මකව වර්ධනය කරගත් මානව හිතවාදීන් බිහි කිරීමේ දැක්ම පෙරදැරි කරගත් ලංකාවේ මුල්ම මධ්‍ය විදුහල වූයේ මතුගම සී. ඩබ්ලිව්. බඩ්ලිව් කන්නන්ගර මධ්‍ය විදුහලයි. නිදහස් අධ්‍යාපනයේ නිම් වළලු පුළුල් කරමින් මධ්‍ය විදුහල් සංකල්පයට සාර්ථක ප්‍රවිෂ්ටයක් ගෙන දෙමින් 1880 ඇරඹි මේ පාසල 1932 වසරේදී ද්විභාෂා පාසලක් බවටත් අනතුරුව 1941 වසරේදී නිදහස් අධ්‍යාපන සංකල්පය යටතේ ලංකාවේ පළමු මධ්‍ය විදුහල බවටත් පරිවර්තනය වෙමින් මේ වන විට ජාතියේ දුවා දරුවන් දස දහස් ගණනකට නැණ පහන් දල්වන්නට සමත් වී තිබේ. වසර 143 ක ඒ නොනිමි මෙහෙවරේදී මතුගම සී. ඩබ්ලිව්. බඩ්ලිව් කන්නන්ගර මධ්‍ය විදුහල ෙප්‍රඪ ඉතිහාසයකට උරුම්කම් කියයි.
බටමුල්ල කන්ද නම් සුන්දර කඳු ගැටයකට බෑවුම්ව හා ශාන්ත ජෝර්ජ් වත්තට මැදිව පිහිටි මේ පාසල් බිම අක්කර 24 කට ආසන්න ප්‍රමාණයකට විහිදුනකි. ප්‍රදේශයේ අන් පාසල් අබිබවමින් ඉංග්‍රීසි, සිංහල හා දෙමළ ත්‍රිභාෂා පාසලක් වූ මතුගම සී. ඩබ්ලිව්. බඩ්ලිව් කන්නන්ගර මධ්‍ය විදුහල 1-13 ශ්‍රේණිය දක්වා වූ ඉගැන්වීම් සිදු කරන අතර, විශේෂ අධ්‍යාපන ඒකකයකට මෙන්ම 13 වසරක සහතික කරන ලද අනිවාර්ය අධ්‍යාපන ඒකකයකට ද පණ පොවමින් අංග සම්පූර්ණ අධ්‍යාපනයක් ලබා දෙන තෝතැන්නකි. වර්තමානය වන විට මෙහි උසස් පෙළ විෂයධාරා 5 ම ක්‍රියාත්මක වේ. එදා පොල් අතු මඩුවකින් බිහිවූ මේ පාසල අද නේවාසිකාගාර පහසුකම් සහිත මතුගම අධ්‍යාපන කලාපයේ ඇති එකම පාසල වීම ද මේ ගමන් මඟේ සුවිශේෂී කරුණකි.
මතුගම සී. ඩබ්ලිව්. බඩ්ලිව් කන්නන්ගර මධ්‍ය විදුහල් ඉතිහාසය වසර 143ක් දක්වා දිව යන්නකි. මධ්‍ය විදුහලක් ලෙස 82 වසරක අතීතයක් උරුම මෙහි පළමු විදුහල්පති වූයේ ජී.ඩී කුලතුංග ය. 1941 වසරේ සිට මේ දක්වා විදුහල්පතිවරු 28 දෙනකුගේ සේවය ලද මේ පාසල් භුමියේ වත්මන් නායකත්වය උසුලන්නේ විදුහල්පති එම්. ඩබ්ලිව් සුසන්ත චන්දන වීරසිංහ ය. එදා මෙදා තුර මතුගම සී. ඩබ්ලිව්. බඩ්ලිව් කන්නන්ගර මධ්‍ය විදුහල අධ්‍යාපන ඉලක්ක සාක්ෂාත් කරගනිමින් ලද ජයග්‍රහණ බොහෝය. මේ වන විට සිසුන් 4,195 ක් මෙන්ම ආචාර්ය මණ්ඩලයේ 188 දෙනකුගෙන් සමන්විත වන අතර සාපෙළ, ශිෂ්‍යත්ව හා උසස් පෙළ විභාග ප්‍රතිඵලයන්හි ඉහළම ජයග්‍රහණ වාර්තා කරන්නට සමත් වී තිබේ.
කොවිඩ් අභියෝග නොතකමින් පසුගියදා ප්‍රතිඵල නිකුත් වූ 2022(2021) සාමාන්‍ය පෙළ විභාගයේදී විභාග අපේක්ෂකයන් 325 දෙනකු විභාගයට ඉදිරිපත් වූ අතර, එයින් 319 දෙනකු උසස් පෙළ හැදෑරීම සඳහා සුදුසුකම් ලැබූහ. එහිදී 98.15%ක ජයග්‍රහණයක් වාර්තා කරන්නට හැකි වීම මේ සාර්ථකත්වයේ සුවිශේෂී සලකුණකි. මෙවර A9 සාමාර්ථ 62ක්ද, A8 සාමාර්ථ 38ක්ද, A7 සාමාර්ථ 39ක්ද, A6 සාමාර්ථ 30ක්ද, A5 සාමාර්ථ 31ක් ලබා ගන්නට ද හැකිවිය. මෙවර පමණක් නොව 2020 වසරේදී ද 97.7%ක්ද, 2019 වසරේදී 95%ක්ද, 2018 වසරේදී 98.3%ක්ද, 2017 වසරේදී 89.3%ක්ද විශිෂ්ට සාමාන්‍ය පෙළ සාමාර්ථ වාර්තා කරන්නට මතුගම සී. ඩබ්ලිව්. බඩ්ලිව් කන්නන්ගර මධ්‍ය විදුහලට හැකි විය. ඔවුන් ආ ගමන් මඟේ ඉහළ සාධනීය ප්‍රතිඵල පෙන්වීමේදී පාසලේ දරුවෝ පමණක් නොව විදුහල්පතිවරයා ප්‍රමුඛ ගුරුවරුද ගත් වෙහෙස අසීමිතය.
මතුගම සී. ඩබ්ලිව්. බඩ්ලිව් කන්නන්ගර දරුවන්ගේ 2022 (2021) සාමාන්‍ය පෙළ ප්‍රතිඵල විශ්ලේෂණයේදී බොහෝ විෂයයන් සඳහා අති විශිෂ්ට සාමාර්ථ වාර්තා කරන්නට මෙවර හැකි වීම විශේෂත්වයකි. ව්‍යාපාර හා ගිණුම්කරණය, සංගිතය, නැටුම්, ඉංග්‍රිසි සාහිත්‍ය, කෘෂි ආහාර, කලා ශිල්ප මෙන්ම සෞඛ්‍ය යන සාමාන්‍ය පෙළ විෂයන්වලට සිසුහු 100%ක ලකුණු ලබා ගත්තේ දැඩි දුෂ්කරතා හමුවේය. මෙවර සාමාන්‍ය පෙළ ඉහළ විෂය සාමාර්ථ අතර බුද්ධාගමට 98.77%ක්, සිංහලට 99.38%ක්, ඉංග්‍රීසි 96%ක්, විද්‍යාවට 97.23%ක්ද, ගණිතයට 95.69%ක්ද, ඉතිහාසයට 97.85% තොරතුරු තාක්ෂණයට 99.33%ක්ද ලබා ගන්නට ඔවුන්ට හැකි විය.
රට වෙළාගත් කොවිඩි අභියෝගයට මුහුණ දෙන්නට සිදු වීමත් සමඟ පාසල් පද්ධතිය ඊට අනුගත වූයේ නවීන තාක්ෂණය හරහාය. ලංකාවේ අධ්‍යාපනයට අලුත් අත්දැකීමක් වූ මාර්ගගත අධ්‍යාපනය රටට හඳුන්වා දීමත් සමඟ සියලු පාසල්වලට විවිධ අභියෝගය ගෙන දුන්නේ මේ හරහා ජාතික විභාගවලට සිසුන් සුදානම් කරවීම සිදු කළ යුතු වූ නිසාවෙනි. විශේෂයෙන් මාර්ගගත අධ්‍යාපන කටයුතු සිදුවීමේදී දුරකතන සංඥාවන්හි සාර්ථක අසාර්ථකත්වය මත බොහෝ පාසල්වලට දැඩි දුෂ්කරතා විඳින්නට සිදු විය. මතුගම ප්‍රදේශයේ පැවැති දුරකතන සංඥා ගැටලුව ආරම්භයේදී මතුගම සී. ඩබ්ලිව්. බඩ්ලිව් කන්නන්ගර මධ්‍ය විදුහලට ද ප්‍රබල ගැටලුවක් විය. එහෙත් ඊට ඇවැසි පිළියම් යොදමින් පාසලේ සියලු සිසුන්ට නිසි අධ්‍යාපන ඉලක්ක සාක්ෂාත් කරමින් ජාතික විභාග ජයග්‍රහණ කරවීම දක්වා සිසුන්ව ගෙන යෑමට පාසල් කළමනාකරණ මණ්ඩලය ඇතුළු ගුරු භවතුන් අසිමිත කැපකිරීම් රාශියක් කළහ. 4,000 කට අධික සිසුන්ට මාර්ගගත අධ්‍යාපනය සඳහා පැකේජයන් නිර්මාණය කරමින් උදෑසන 7.30 සිට දහවල් 1.30 දක්වා කාල සටහන්වලට අනුගතව පාසල් කාලයම සිසුන්ට මාර්ගගත අධ්‍යාපනය හරහා අදාළ විෂය කරුණු සම්පූර්ණ කෙරුණි. මාර්ගගත අධ්‍යාපනය ලබා දෙන කාලයේ ඒ ඒ විෂයයන් සඳහා මාර්ගගත පන්ති කාමර සැකසුණ අතර, ඒ හරහා මුළු පාසලම ඩිජිටල් කලාපයක් බවට පරිවර්තනය කරන්නට හැකි විය. කොවිඩ් සමයේදී සියලු විභාග මාර්ගගත ක්‍රමවේදය හරහා පවත් වන්නට ද පාසල කටයුතු කළ අතර, පාසල් සාමාන්‍යකරණය වීමත් සමඟ ප්‍රති පෝෂණ හා ප්‍රතිකාර ඉගෙනුම් ක්‍රම ක්‍රියාත්මක වූයෙන් මාර්ගගත අධ්‍යාපනය ගිලිහී ගිය සිසුන්ට මෙන්ම අඩු ලකුණු ගත් සිසුන්ට ද නිසි මාර්ගයට අවතීර්ණ කරවීමට හැකියාව ලැබුණි. විශේෂයෙන්ම අඩු ලකුණු ගත් සිසුන්ට සවස් කාලයේ අමතර ඉගෙනුම් ක්‍රියාත්මක කිරීමට ගුරුවරු විශාල වෙහෙසක් ගෙන කටයුතු කළහ.
පාසලේ සාමාන්‍ය පෙළ සමාන්තර පන්ති 8ක් පැවැති අතර, දෙමළ හා ඉංග්‍රිසි මාධ්‍ය සිසුන් සඳහා වෙනමම පන්ති කාමර විය. 13 වසරක අඛණ්ඩ අධ්‍යාපනය සඳහා පන්ති කාමරයක් වෙන් වූයේ සාමාන්‍ය පෙළින් ගිලිහෙන සිසුන් සඳහා විශේෂ අධ්‍යාපන අවස්ථා ලබා දීම සඳහාය. මෙම පාසලේ සිසුන්ට වඩා වෙනත් පාසල්වලින් පැමිණි සිසුන් 38 දෙනකු මේ වන විටත් ඒ පන්ති කාමරයේ අඛණ්ඩ අධ්‍යාපනයේ නියැෙළන අතර ඒ සඳහා පාසල විසින් ද විශේෂ කැපකිරීම් රැසක් සිදු කරයි.
සුහුරු පංති කාමර 3 කින් සැදුම්ලත් මතුගම සී. ඩබ්ලිව්. බඩ්ලිව් කන්නන්ගර මධ්‍ය විදුහල තවමත් ප්‍රෙඪ අභිමානය එලෙසින්ම රැක සිටියි. හිටපු විදුහල්පතිනිය වූ වසන්තා කුලසේකර මෙන්ම වත්මන් විදුහල්පති එම්. ඩබ්ලිව් සුසන්ත චන්දන වීරසිංහ, නියෝජ්‍ය විදුහල්පතිවරුන් වන නිපුණි ඒකනායක (අධ්‍යාපන පරිපාලන), සකුන්තලා රත්නායක (උසස් පෙළ අංශාධිපති), කේ.ටී.ඩී විමලසිරි (ප්‍රාථමික අංශ භාර), එම්.ඩී. ඉන්දික ප්‍රසන්ත සුමනරත්න ( 8-11 අංශ හා විෂය සමගාමී), සීතා සෙනෙහෙලතා (7-8 අංශභාර) සහකාර විදුහල්පති 10-11 භාර නිමල් පියරත්න, 11 අංශ ප්‍රධාන රුවන් හෙට්ටිආරච්චි, 10 අංශ ප්‍රධාන ශෂික සමරනායක ඇතුළු පාසලේ ගුරුවරුන් දිවා රාත්‍රී නොබලා දරුවන්ගේ වගකීම් කරට ගත්තේ සියලු දරුවන්ට විශිෂ්ට සාමාර්ථ කරා යෑමට අත්වැලක් සැපයීමටය.
මතුගම සී. ඩබ්ලිව්. බඩ්ලිව් කන්නන්ගර මධ්‍ය විදුහලේ අභිමානය පිටුපස සිටින තවත් පිරිසක් වන්නේ එහි ආදි සිසුන්ය. රටේ නමක් රැන්දු ආදි සිසුන් මෙන්ම මේ වන විට ජාතික විශ්වවිද්‍යාලයන්හි අධ්‍යාපනය ලබන සිසුන් ද පාසල වෙනුවෙන් අදටත් විශාල කැපකිරීම් කරති. සාමාන්‍ය පෙළට මුහුණ දීමට සූදානම් වූ සිසුන් සඳහා ඉලක්කගත විශේෂ පුහුණු වැඩ සටහන් පවත්වන්නට ඒ විද්‍යාලයෙන් සමත්ව විශ්වවිද්‍යාලවල අධ්‍යාපන ලබන ආදී කන්නන්ගර සිසූහු ඉදිරිපත් වෙති. මේ සම්පත් දායකයන් විසින් අතපසු වූ පාඩම් වැඩ කොටස් තම සහෝදර සිසුන් දිරිමත් කරමින් සම්මන්ත්‍රණ වශයෙන් පවත්වන්නට කටයුතු කළ අතර විභාගයට සූදානම් වෙමින් සිටි සාමාන්‍ය පෙළ සිසුන්ට එය විශාල ශක්තියක් විය. මේ අතර පාසලේ ආදි සිසු සංගමය විසින් මාර්ගගත අධ්‍යාපනයේදී සිසුන්ට මුහුණ දෙන්නට වූ අභියෝගයන්ට අත්වැලක් සැපයූ අතර, අවස්ථා කිහිපයකදී ස්මාර්ට් ජංගම දුරකතන ලබා දෙන්නට කටයුතු කර තිබුණි.
මතුගම සී. ඩබ්ලිව්. බඩ්ලිව් කන්නන්ගර මධ්‍ය විදුහල පසුගිය වසර කිහිපය තුළ විෂය සමගාමී කටයුතුවලින් පමණක් නොව විෂය පරිබාහිර කටයුතුවලින් ද අත්කරගත් ජයග්‍රහණ බොහෝය. පාසලට පසුගිය කාලයේ ජවන හා පිටිය පළාත් හා සමස්ත ලංකා ජයග්‍රහණ රාශියක් අත් කර ගන්නට හැකි විය. සමස්ත ලංකා චෙස් තරග ඉසවු මෙන්ම වූෂු හා කරාතේ ජාතික මට්ටමේ ජයග්‍රහණ අත්කර ගත්තේ පුහුණුවීම් සඳහා දැඩි කැපකිරීම් කිරීමෙනි. භූමි දර්ශන සම්බන්ධයෙන් සමස්ත ලංකා චිත්‍ර තරග ඉසවු, සංගීත අංශයෙන් සමස්ත ලංකා පළාත් සංගීත තරගවලින් ජයග්‍රහණ රැසක් අත්කර ගන්නට කන්නන්ගර සිසුහු සමත් වුහ. 2021/2022 ජනාධිපති බාලදක්ෂයන් 30 දෙනකු බිහි කිරීම අරමුණු කරමින් ලංකාවෙන්ම දෙවැනි ස්ථානයට පත් වීම මෙන්ම පෝතක බාලදක්ෂ තනතුරුලාභීන් 125 දෙනකු පත්වීම් මේ අතර කැපී පෙනේ. සමාජ විද්‍යා අංශයෙන් සමස්ත ලංකා ජයග්‍රහණ 4 ක් හිමිකර ගැනීමට සමත් වූ අතර, සිංහල භාෂා හා සාහිත්‍ය අංශයෙන් පළාත් හා සමස්ත ලංකා ජයග්‍රහණ අත්කර ගන්නට හැකි විය. කන්නන්ගර විද්‍යාලයේ දැනට සක්‍රියව පවතින විෂය සමගාමී ක්ෂේත්‍ර 89 ක් ඇත. ජවන හා පිටිය ක්‍රීඩා, ගෘහස්ත ක්‍රීඩා, පිහිනුම්, ශිෂ්‍යභට බාලික හා බාලිකා, බාලදක්ෂ, පරිසර නියමු මෙන්ම තූර්ය වාදක ආදී විෂය සමගාමී ක්ෂේත්‍ර ජයග්‍රහණ අතර මෙවර සාමාන්‍ය පෙළ විශිෂ්ටයෝද වූහ.
වසර 143 ක අභිමානය රකිමින් මතුගම සී. ඩබ්ලිව්. බඩ්ලිව් කන්නන්ගර විදුහල රටට වැඩදායක දූ දරුවන් රැසක් තිළිණ කරමින් යන නොනිමි ගමන් මඟේදී සාමාන්‍ය පෙළ විශිෂ්ටයෝ රැසක් බිහි කිරීම පාසල් ඉතිහාසයේ හැරවුම් ලක්ෂ්‍යයකි.
ඡායාරූප - නිශ්ශංක විජේරත්න