භාවනාව ඕනෑම ස්ථානයකදී කළ හැක්කේ කෙසේද? | සිළුමිණ

භාවනාව ඕනෑම ස්ථානයකදී කළ හැක්කේ කෙසේද?

සෑම වෙනස් වන මොහොතක් කෙරෙහිම සිත යොමු කිරීමට හැකි වන්නේ තරමක් දුරට සිත එකඟ කිරීමකින් පසුවය. මෙම චිත්ත ඒකාග්‍රතාව ලබාගත් පසු එය පාවිච්චි කර උදරය ඉහළ පහළ යෑම, පපුව උස් පහත් වීම, වෙනත් කිසියම් වේදනාවක් හෝ හැඟීමක් ඇති වීම, හුස්ම ඇතුළු වීම සහ පිට වීම, සිතිවිලි ඇති වීම හා නැති වීම වැනි ඕනෑම අත්දැකීමක් ඔබගේ භාවනා අරමුණ ලෙස පාවිච්චි කළ හැකිය

 

‘කාර්යබහුල ලෝකයක දිවි ගෙවන මනස නිරතුරුවම ව්‍යාකූලය. එම ව්‍යාකූල බවින් මිදී සිත පහසුවෙන් දියුණු කර ගැනීමට භාවනාව උපකාරී වුව ද ආචාර්ය ඇසුරකින් තොරව භාවනාව නිසි ලෙසින් වැඩිය නොහැකිය. ලෝකයේ භාවනාවට අවධානය යොමු කරන බොහෝදෙනා ථේරවාදී නිකායන්ගේ භාවනානුයෝගීත්වය මහත් සේ අගය කරති. ඒ අතුරෙන් ගුරුවරයකු සේ භාවනාව පහසුවෙන් වැඩීමට උපයෝගී කර ගත හැකි කෘතියක් ලෙස ලොව පිළිගැනෙන්නේ ආචාර්ය හේනේපොල ගුණරතන මහ නාහිමි විසින් රචිත Mindfulness In plain English (සතිමත් බව වැඩීම) කෘතියයි. එම කෘතිය භාෂා 32කට පරිවර්තනය වී ඇති අතර, අ‍ෙමරිකාව තුළ පමණක් මුද්‍රිත පිටපත් ලක්ෂ 100ක් ඉක්මවා අලෙවි වී ඇත. උන්වහන්සේගේ සතිමත් බව වැඩීමේ ලිපි පෙළ සතිපතා කොටස් වශයෙන් සිළුමිණෙහි පළ වන අතර, මේ එහි එකළොස් වැනි කොටසයි.

පසුගිය සතියේ අප සඳහන් කළ පරිදි විපස්සනා භාවනාව පුහුණු වීමට අවශ්‍ය මට්ටමේ සමාධියක් ඔබට ලබාගත හැකිවනු ඇත. ඒ පෙර දැක්වූ පරිදි භාවනාව දියුණුවන සලකුණු දක්නට ලැබීමෙනි. එම සලකුණ හෝ සලකුණු නාස්පුඩු වටා බලවත්ව පවතියි. එය ප්‍රගුණ කර ඔබගේ පාලනයට නතු කරගත් විට, අවශ්‍ය ඕනෑම වේලාවක ඔබට පහසුවෙන් ඉලක්කය කරා යාමට පුළුවන. මේ මොහොතේ පවතින මේ සංඥාව සමඟ ඔබගේ සිත එකඟකර, එළඹෙන සෑම මොහොතක් සමඟම සිත ගලා යෑමට ඉඩ හරින්න. එයට පූර්ණ අවධානය එල්ල කරන විට, සෑම මොහොතකම එම සලකුණු වෙනස් වන බව ඔබට දකින්නට ලැබේ. ඔබගේ අවධානය වෙනස් වන මොහොත තුළම තබාගන්න.

ඔබගේ සිත එකඟ කළ හැකි වන්නේ, දැන් පවතින මේ මොහොත මත පමණක් බව සැලකිල්ලට ගන්න. දැන් පවතින මොහොත සමඟ මෙසේ එක්සත් වීම ක්ෂණික එකඟතාව ලෙස හඳුන්වනු ලබයි. සිත එක මොහොතක් තුළ රඳවා තැබීමට උත්සාහ කළහොත්, එය අල්ලා තබා ගැනීමට නොහැකි නිසා අප දැඩි කලකිරීමකට පත්විය හැකිය. එබැවින් අලුත් මොහොත තුළ සිදුවන දේට සමාන හැසිරීමක් පවත්වා ගැනීමට සිතට සිදු වේ. වර්තමාන මොහොත ඕනෑම මොහොතක, පවතින නිසා අවදිව ගත කරන සෑම මොහොතක්ම සිත එකඟ වූ මොහොතක් කළ හැකිය.

සිත දැන් පවතින මොහොත සමඟ එක් කිරීම සඳහා වර්තමානයේ සිදුවෙමින් පවතින දෙයක් සොයා ගැනීම අවශ්‍ය කරයි. සෑම වෙනස් වන මොහොතක් කෙරෙහිම සිත යොමු කිරීමට හැකි වන්නේ තරමක් දුරට සිත එකඟ කිරීමකින් පසුවය. මෙම චිත්ත ඒකාග්‍රතාව ලබාගත් පසු එය පාවිච්චි කර උදරය ඉහළ පහළ යෑම, පපුව උස් පහත් වීම, වෙනත් කිසියම් වේදනාවක් හෝ හැඟීමක් ඇති වීම, හුස්ම ඇතුළු වීම සහ පිට වීම, සිතිවිලි ඇති වීම හා නැතිවීම වැනි ඕනෑම අත්දැකීමක් ඔබගේ භාවනා අරමුණ ලෙස පාවිච්චි කළ හැකිය.

විපස්සනා භාවනාවේ යම්කිසි දියුණුවක් ලබා ගැනීමට මෙවැනි ක්ෂණික සිත එකඟකර ගැනීමක් ඔබට තිබිය යුතුය. මෙසේ එකඟ කරගත් සිත ඔබගේ කයෙහි හා මනසෙහි සිදු වන වෙනස්වීම් මත යොමු කළ විට ඔබගේ හුස්ම එහි භෞතික කොටසක් බවත් හුස්ම පිළිබඳ දැනීම, ඒ දැනීම ගැන දැන සිටීම හා සලකුණ ගැන දැන සිටීම මානසික කොටසක් බවත් ඔබට දැකගැනීමට ලැබෙනු ඇත. හුස්මට අමතරව සිරුරේ විවිධ සංවේදනා පැවතිය හැක. ඒවා සියල්ලක්ම ඔබගේ සිරුර පුරාම දැක බලා ගන්න. සිරුරේ පැන නඟින සියලුම සංවේදනා ​සහ පැන නඟින සිතිවිලි ද සනිටුහන් කරගන්න. ඔබගේ සියලුම ශාරීරික හෝ මානසික සංවේදනා වන්හි අස්ථිර බව, අතෘප්තිමත් බව හා අනාත්ම බව පමණක් දැකගන්න.

ඔබ තුළ එළැඹි සිහිය දියුණුවන විට, වෙනස්වීම කෙරෙහි ඔබගේ ඇති අමනාපය, අප්‍රසන්න අත්දැකීම් කෙරෙහි ඔබගේ ඇති කැමැත්ත, ප්‍රසන්න අත්දැකීම් කෙරෙහි ඔබගේ කැමැත්ත සහ මමත්වය පිළිබඳ මතය වෙනුවට, අස්ථිර බව, අතෘප්තිමත් බව හා අනාත්ම බව පිළිබඳ ගැඹුරු දැනීමක් පහළ වෙයි. මෙම යථාර්ථය පිළිබඳ දැනුම ජීවිතය කෙරෙහි වඩාත් සන්සුන්වූත් සාමකාමීවූත් පරිණතවූත් ආකල්ප ඇතිකර ගැනීමට හේතු වේ. මෙම විනිවිද දක්නා නුවණ, ප්‍රීතිය හා සාමකාමි බව ගෙන එමින් එදිනෙදා ජීවිතයේ ගැටලු නිරාකරණය කර ගැනීමට අවශ්‍ය නුවණ ළඟා කර දෙයි.

නිරතුරුව ගලා යන හුස්ම සමඟ සිත ඒකාග්‍ර වන විට ස්වාභාවිකවම අපට දැන් පවතින මොහොත කෙරෙහි සිත යොමු කළ හැකිය. අප ආශ්වාස ප්‍රාශ්වාස කරන වාතයේ ඇති පඨවි ධාතුව (earth element) අපගේ නාස්පුඩුවල පඨවි ධාතුව (earth element) සමඟ ගැටෙන මොහොතේ එම ඇතුළුවන පිටවන වාතය ගැන සිත දැනුම්වත් වෙයි. ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවලියේදී ජනනය වන තේජෝ වායුව (fire element) නාස්පුඩුවල හෝ සිරුරේ වෙනත් තැනෙක උණුසුම් දැනීමක් ඇති කරවයි. ගලායන හුස්මෙහි පඨවි ධාතුව (earth element) නාස්පුඩු වටේ වදින විට එහි අස්ථිර බව පිළිබඳව වැටහීමක් ඇතිවෙයි. ආපෝ ධාතුව (water element) හුස්මෙහි තිබෙන නමුත් මනසට එය නොදැනෙයි.

එමෙන්ම නැවුම් වාතය ඇතුළු වීමේදී හා පිටවීමේදී, පෙණහලුවල, උදරයේ සහ යටිබඩෙහි විශාල වීම හා හැකිළීම ද අපට දැනෙයි. උදරයේ, යටි බඩේ හා පපුවේ පිම්බීම හා හැකිළීම විශ්ව රිද්මයේ කොටසක්ය. අපගේ හුස්ම හා සිරුර මෙන්, මෙම විශ්වයේ පවතින සියලුම වස්තූන් හට ඇත්තේ මෙම පිම්බීමේ - හැකිළීමේ පොදු රිද්මයය. කෙසේ වෙතත්, මූලිකව අපගේ සැලකිල්ලට භාජන වන්නේ ආශ්වාස - ප්‍රශ්වාස ක්‍රියාවලියේ සහ සිත කය දෙකෙහි සියුම් කොටස්වල පිම්බීම හා හැකිළීමය.

ඉහළට ගන්නා හුස්ම සමඟ අප තරමක සන්සුන් බවක් අත්දකිමු. තත්පර කිහිපයකදී මෙම ඉහළට ගත් හුස්ම මුදා නොහළහොත් අපට ආතතියක් දැනෙනු ඇත. හුස්ම පිට කරනවා සමඟම එම ආතතිය මුදා හැරෙයි. හුස්ම පිට කිරීමෙන් පසුව නැවත හුස්ම ඉහළට ගැනීමට පමා වුවහොත් අපහසුතාවක් දැනෙයි. මින් අදහස් වන්නේ පෙණහලු වාතයෙන් පිරෙන සෑම අවස්ථාවකම හුස්ම පිට කළ යුතු බව සහ පෙණහලු හිස්වන සෑම විටෙකම නැවත වාතය ඇතුළු විය යුතු බවත්ය. ආශ්වාසයේදී මෙන්ම ප්‍රාශ්වාසයේදී යම් ප්‍රමාණයක සන්සුන් බවක් අපට දැනෙයි. ආතතිය මුදා හැරීම සහ සන්සුන් බවට අපි ආශා කරමු. සන්සුන් බව දිගු වේලාවක් පැවතීම මෙන්ම ආතතිය සාමාන්‍යයෙන් සිදු වනවාට වඩා ඉක්මනින් පහව යා යුතුයි යන්න අපි ප්‍රාර්ථනා කරමු. නමුත් එම දේවල් එලෙස සිදු නොවෙනු ඇත. පැමිණෙන සන්සුන් බව වැඩි කාලයක් රැඳීම සහ ඉක්මනින් ඉවත්ව යන ආතතිය නැවත නොපැමිණීම අපගේ ආශාව බැවින් නැවතත් අපි නොරිස්සුම් බවක් අත්දකිමු. මෙම තත්වය පාලනය කිරීමට "තමා" යන ස්වභාවය නොමැති වීම තවත් බලාපොරොත්තු සුන් වීමක්ය.

කෙසේ වෙතත්, මානසික සන්සුන් බව කෙරෙහි ලොල් නොවී, ආතතිය කෙරෙහි අසතුට නොපෙන්වා, හුස්මෙහි පවතින අස්ථිර බව, අතෘප්තිය හා අනාත්ම බව පමණක් අත්දකින විට මනස සාමකාමී හා සන්සුන් වෙයි. සිත මුළු කාලයේදීම හුස්ම සමඟ රැඳෙන්නේ නැත. එය ශබ්ද, මතකයන්, චිත්තවේගයන්, දැකීම්, සිහිකල්පනාවන් හා චිත්ත නිර්මාණ කෙරෙහි ඇදී යයි. මෙවැනි තත්ත්වයක් අත්දකින විට, හුස්ම අමතක කර අපගේ අවධානය වරකට එක බැගින්, ඒවා වෙත යොමු කළ යුතුය. ඒවා ඉවත්ව ගිය පසු ඕනෑම දිගු හෝ ඉක්මන් ගමනකින් පසුව නිවස වෙත ආපසු පැමිණෙන්නාක් මෙන් හුස්ම වෙත සිත යොමු කළ හැකිය. මෙවන් සියලුම මානසික චාරිකා සිත තුළ පමණක් සිදුවන බව මතක තබා ගන්න. සිත හුස්ම කරා නැවත පැමිණෙන සෑම වාරයකදීම අස්ථිර බව, අතෘප්තිය හා අනාත්ම බව පිළිබඳ ගැඹුරු විදර්ශනා රැගෙන එයි. අපක්ෂපාතීව හා සාධාරණව මෙම සිදුවීම් දෙස බලා සිටීමෙන් සිත විනිවිද දකිනා නුවණින් පිරීයයි. මෙසේ භාවනා කරන අප සිරුර තබා ගන්නේ කෙසේද? දැන් ඒ ගැනත් විමසා බලමු.

භාවනා පුහුණුව වසර දහස් ගණනක් තිස්සේ පැවත එන්නක් බැවින්, දිගුකාලීන අත්හදා බැලීම් තුළින් මනාව පිරිපහදු වූ පිළිවෙත්වලින් එය සමන්විත වේ. මනස හා සිරුර තදින් එකිනෙක බැඳී තිබෙනවා මෙන්ම එකක් අනික කෙරෙහි බලපෑම් කරන බව ද බුදු දහම විසින් සැම කලෙකම පිළිගනු ලබයි. එම නිසා, මෙම මානසික නිපුණතාවය ඇතිකර ගැනීමට උපකාරී වන, නිර්දේශිත අභ්‍යාසයන් සමූහයක් ඇත. මෙම ඉරියව් අභ්‍යාස උපකාරක බව මතක තබා ගන්නා අතරම ඒවා අනුගමනය ද කළ යුතුයි. ඔබ මෙම දෙවර්ගය පටලවා නොගත යුතුයි. භාවනාව යනු එරමිණියා ගොතාගෙන වාඩි වී සිටීම නොවේ. එය මානසික කුසලතාවයකි. ඔබගේ කැමැත්ත පරිදි එය ඕනෑම ස්ථානයකදී පුරුදු පුහුණු කළ හැකියි. නමුත් මෙම ඉරියව් එම නිපුණතාවය ඉගෙන ගැනීමට ඔබට සහාය වන අතරම ඔබගේ දියුණුව හා වර්ධනය ද ඉක්මන් කරයි. එමනිසා ඒවා භාවිත කරන්න.

 

සාමාන්‍ය නීති

විවිධ ඉරියව්වල පරමාර්ථය තුන්වැදෑරුම් වෙයි. පළමුව එම ඉරියව් සිරුරට ශක්තිමත් බවක් ලබා දෙයි. සිරුරේ සමතුලිතතාව හා මස්පිඬු වෙහෙසට පත්වීම ගැන කරදර නොවී භාවනා අරමුණ කෙරෙහි සිත යොමුකිරීමට ඔබට පහසුව සලසා දෙයි. දෙවනුව, සිරුර නිසල කිරීම මඟින් සිතේ නිසල බව ප්‍රවර්ධනය කරනු ලබයි. මේ මඟින් ගැඹුරු ලෙස තැන්පත් වූත් සන්සුන් වූත් සිත් එකඟතාවයක් ඇති කරයි. තෙවනුව, භාවනානුයෝගියාගේ ප්‍රධාන සතුරන් වන වේදනාව, මස්පිඬුවල තදවීම හා නින්ද යන තුනට හසුනොවී දිගු කාලයක් වාඩි වී සිටීමේ හැකියාව ලබා දෙයි.

අත්‍යවශ්‍ය කාරණය පිටකොන්ද කෙළින් තබාගෙන වාඩි වීමය. එකිනෙක මත ගොඩගැසූ කාසි ගොඩක් ලෙස පිහිට­ුවන ආකාරයෙන් කොඳු ඇට පෙළ ඍජුව තබාගත යුතුය. කොඳු නාරටියට කෙළින් ඔබගේ හිස තබා ගන්න. මේ සියල්ල ඉතාමත් සැහැල්ලු හා පහසු ගතියකින් කළ යුතුයි. ඔබ ලීවලින් තැනූ සොල්දාදුවෙකු නොවේ. එමෙන්ම ඔබට සරඹ ඉගැන්වීමට සාජන්වරයකු ද මෙහි නැත. පිටකොන්ද ඍජුව තබා ගැනීමේදී මස්පිඬුවල ආතතියක් ඇති නොවිය යුතුය. සැහැල්ලුවෙන් හා පහසුවෙන් වාඩිවන්න. ඔබගේ කොඳුනාරටිය, හරියට මෘදු පසේ නොසැලී වැඩෙන නාඹර ගසක් මෙන් විය යුතුය. සිරුරේ අනෙක් අවයව සැහැල්ලුවෙන් තබා ගන්න. මේ සම්බන්ධයෙන් ඔබට යම් තරමකට අත්හදා බැලීම් කරන්නට සිදු වෙනු ඇත. සාමාන්‍ය ජීවිතයේදී අපි ඇවිදින හා කථා කරන විට මස්පිඬු දැඩි කරගත් ඉරියව් ද විවේකයෙන් පසුවන විට හතර අතට අතපය විහිදා ගත් ඉරියව් ද භාවිත කරමු. ඒ එක ඉරියව්වක් හෝ මෙහිදී සුදුසු නැත. අපගේ සංස්කෘතික පුරුදු වන එම ඉරියව් වෙනස්කර ගැනීමට අපට හැකියාව ලැබේ.

ඔබගේ පරමාර්ථය විය යුත්තේ මුළු භාවනා කාලය තුළම නොසෙල්වී වාඩි වී සිටිය හැකි ඉරියව්වක් සොයා ගැනීමය. ආරම්භයේදී පිටකොන්ද ඍජුව තබාගෙන වාඩි වී සිටීම තරමක් නුහුරු බවක් දැනුන ද ඔබ එයට ඉක්මනින් පුරුදු වනු ඇත. එයට පුහුණුව අවශ්‍ය වන අතර ඍජුව සිටීම ඉතා වැදගත් ය. කායික විද්‍යාවේදී ප්‍රබෝධවත් බවේ ඉරියව්ව ලෙස සලකන මෙය සමඟ මානසික ප්‍රබෝධය ද බැඳී පවතියි. හිස හා උරහිස් එල්ලා වැටෙන සේ වකුටු වී සිටීම නින්දට කරන ආරාධනයක් වැනියි. මෙහිදී ඔබට වාඩි වීමට කොට්ටයක් හෝ පුටුවක් අවශ්‍ය කරනු ඇත. ඔබ තෝරා ගන්නා ඉරියව්වට ගැළපෙන ආසනයක් ද තෝරා ගැනීමට සැලකිලිමත් වන්න. වඩාත් මෘදු ආසනයක් ඔබව නිදි ගන්වන අතර වඩා තද ආසනයක් ඔබට වේදනාව ඇති කරනු ඇත.

 

(භාවනාවට යෝග්‍ය ඇඳුම් ගැන මීළඟ කලාපයෙන් බලාපොරොත්තු වන්න)

Comments