නවය; සැඟවුණ කතාවේ නොසැඟවුණු කතාව | සිළුමිණ

නවය; සැඟවුණ කතාවේ නොසැඟවුණු කතාව

“මීට වසරකට පෙර ශ්‍රී ලංකාව තුළ දිග හැරුණු ගෝල්ෆේස් අන්දරය පාදකව සහ මූලාශ්‍රව එය සාමාන්‍ය පරිණාමය සහ ව්‍යුහාත්මක සන්දර්භයක තබමින් විමල් වීරවංශ සිදු කොට ඇති විග්‍රහය ශ්‍රී ලංකේය මෑත කාලීන දේශපාලන චින්තනය තුළ විශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරනු නියතය.

සමාජ, දේශපාලන සංසිද්ධීන් සහ ක්‍රියාවන් පිළිබඳ ලිවීමේදී, විචාරයේදී බොහෝ විට සිද්ධිමය සහ ප්‍රපංචමය රාමුවෙන් ඔබ්බට නොයාම සාමාන්‍ය තත්ත්වයක් වුවත් එම සුපුරුදු තත්ත්වය මෙහිදී අතික්‍රමණය කර තිබීම විමල් වීරවංශ පර්යේෂකයාගේ දේශපාලන භාවිතයේ සහ පරිචයේ පමණක් නොව ඔහුගේ සංකල්පීය න්‍යායික නැඹුරුවේ විශේෂත්වයකි.

මේ යුගයේ අප මුහුණ දී සිටින අර්බුදය මනුෂ්‍ය වර්ගයාගේ පැවැත්ම නිසා උද්ගත වු අර්බුදයක් නොව, මෙය ගෝලීය ධනේශ්වරයේ මූල්‍ය ස්වරූපයේ ක්‍රියාකාරීත්වය නිසා ජනිත වු අර්බුදයක් ලෙස වටහා ගැනීම සඳහා මෙම කෘතිය මනා ප්‍රවේශයක් සපයන බව මනාව පෙනී යයි. මේ පසුබිම තුළ මෙම කෘතියෙහි කතුවරයා බොහෝ තොරතුරු, දත්ත, සාධක පාදකව වර්ධනය කරන අදහස් සහ සංකල්පවලින් කිසිදු සවිඥානික සමාජ දේශපාලන ව්‍යාපාරයකට මඟහැර යා නොහැකිය.

ඔහු අප ඉදිරියෙහි ඇති යථාර්ථය සංකල්පීයකරණය කර ඇති අතර ඉදිරි කාර්යය වන්නේ ශ්‍රී ලාංකේය ස්වෛරීත්වය ජාතික සංවර්ධනය සක්‍රිය දෘෂ්ටිවාදයක් නිර්මාණය කිරීමේ කර්තව්‍යයයි.

දෘෂ්ටිවාදි ප්‍රවේශයක් නිර්මාණය කර ගැනීම සඳහා සක්‍රිය සහ උපයෝගීතාවෙන් යුතු ප්‍රයෝගික කතිකාවක් උදෙසා මෙම කෘතිය අගනා ප්‍රවේශයක් වනු නියතය"මේ විමල් වීරවංශගේ නවය සැඟවුණු කතාව කෘතියෙන් උපුටා ගත් කොටස් කිහිපයකි.

ගාලු මුවදොර අරගලය" මතුපිටින් බැලූ කල ස්වාභාවික සංසිද්ධියකි. එහෙත් ඊට වසර ගණනාවකට පෙර යුක්රේනයේ පැවැති "මයිදාන් අරගලයේ" බොහෝ සමානකම් ගාලු මුවදොර අරගලය තුළ දක්නට විය. අප හෙළි කරනුයේ මැයි 9 සිට ජූලි 9 දක්වා උද්වේගකරව හඹා ගිය "ගාලු මුවදොර අරගල" සුළියේ සැඟවුණු කතාවය. නූතන තරුණ පරපුර මේ සත්‍යය අවබෝධ කර නොගතහොත් ශ්‍රී ලංකාව තවත් එක් හයිටියක්, ලිබියාවක් හෝ ඉරාකයක් බවට පත්වීම වැළැකිය නොහැකිය. 

*************

කෙසේ වෙතත්, අප්‍රේල් මස ආරම්භ වන විට විදුලිය කප්පාදුව, ඉන්ධන හිඟය ආදිය විසින් ඉතා බරපතළ ලෙස දැනෙන පීඩනයන් සමාජය මත පටවනු ලැබ තිබිණි. "තැටිය රත් වන විට රොටිය පුච්චා ගැනීම" එතරම් අසීරු කාර්යයක් නොවේ. "පුච්චා ගන්නේ" කවරාකාරයේ "රොටියක් දැයි" දැනගෙන සිටියේ ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනිය ඇතුළු සුළු පිරිසක් පමණි. සෙසු බොහෝ දෙනෙක් හදන්නට යන්නේ කුමන වර්ගයේ "රොටියක් දැයි" නොදැන ඊට දායක වූවෝ වෙති.

*************

ගාලු මුවදොර අරගලයේ තීරණාත්මක ආරම්භය ලෙස සැලකිය හැක්කේ 2022 මාර්තු 31 වැනිදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පදිංචිව සිටින පෞද්ගලික නිවස අසල එනම් මිරිහානේ ඇතිවූ විරෝධතාවයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාට අනුව එදින සිදුවූ දේපළ හානිවල අලාභය රුපියල් මිලියන 39කි.

වැදගත්ම කාරණය වූයේ මාර්තු 31 සිදුවූ මෙකී බරපතළ කලහකාරී සිදුවීම් හමුවේ පවා අතිරේක හමුදා සහාය ලබා ගැනීමට ජනාධිපතිවරයා අසමත්ව තිබීමය. යුද හමුදාපතිවරයා ඒ වන විට සිටියේ කොළඹ තරු පන්තියේ හෝටලයක පැවති විවාහ මංගල්‍ය උත්සවයකට සහභාගි වෙමිනි. ඔහු අදාළ ඉල්ලීමට ප්‍රතිචාර දැක්වූයේ තරමක් රෑ බෝවීමෙන් පසුවය.

*************

ප්‍රචණ්ඩකාරී විරෝධතාවෙන් පසුව ඇමෙරිකන් තානාපතිවරිය ජනාධිපතිවරයා මුණගැසීමට පැමිණියාය. එසේ පැමිණි ඇය, ජනාධිපතිවරයාට ඇති වූ පීඩනය ගැන තමන් අවංකවම දුක් වන බවත්, ඇය අදහන ආගමේ හැටියට ඔහු වෙනුවෙන් යාඥා කිරීමට අවස්ථාව දෙන ලෙසත් පවසා සිටියාය. එයින් නොනැවතුණු ඇය ගෝඨාභය ජනාධිපතිවරයාට ආරක්ෂාව හා සහනය පතමින් ඔහු ඉදිරියේදීම දෙවියන්ට යාඥා කළාය.

මිරිහාන ගැටුමෙන් අනතුරුව "ගෝඨා" ගෙදර අතහැර ජනාධිපති මන්දිරයට නික්ම ගියේය. ඉන්ධන පිරවුම්හල් අසල සිදුවන ගැටුම් පිළිබඳ ප්‍රවෘත්ති වෙතින් මාධ්‍ය පිරී යමින් තිබිණි. ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නීතිඥයන් මිරිහාන ගැටුම සම්බන්ධව අත්අඩංගුවට ගත් පුද්ගලයන් ඇප මත නිදහස්ව උසාවියෙන් පිටව එන විට අත්පොළසන් නඟා පිළිගත්තේ තව තවත් එවැනි ප්‍රචණ්ඩ විරෝධතා සඳහා පුද්ගලයන් දිරි ගන්වමිනි.

මෙම සිදුවීම්වලින් අනතුරුව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනිය විසින් වියානා සම්මුතිය උල්ලංඝනය කරමින්, ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතු පිළිබඳ "ට්විටර් පණිවිඩ" නිකුත් කිරීම බහුලව සිදු කෙරිණි. ඇය 2022 අප්‍රේල් 02 වැනිදා සටහන් කර තිබුණේ "ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රකාශනය සඳහා අත්‍යවශ්‍ය, සාමකාමී විරෝධතා දැක්වීමට ශ්‍රී ලාංකිකයන්ට අයිතියක් ඇත. මම තත්ත්වය සමීපව නිරීක්ෂණය කරමින් සිටිමි.

*************

2022 අප්‍රේල් 9 වැනිදා ජනාධිපති ලේකම් කාර්යාලය අභිමුවට පිරිස් ඒකරාශී වන්නට වූහ. බාහිරව මෙහෙයවනු ලැබූ පුද්ගලයෝ ද මේ පිරිස් අතර සිටියහ. ජනාධිපති ලේකම් කාර්යාලයේ එක් දොරටුවක් අවහිර වන පරිදි වාඩිලාගත් විරෝධතාකරුවන් විසින් පසුව ගාලු මුවදොර භූමිය තම අණසකට යටත් කර ගනු ලැබීය.

*************

ගාලු මුවදෙර අරගලය තුළ ආරම්භයේ සිට ඉදිරිපත් වූයේ "ගෝඨා ගෝ හෝම්" යන සටන් පාඨයයි. අරගලයේ සිටි කිසිවකුත් නොදන්නා කාරණය (ඇතමකු හැර) වූයේ ගෝඨා ගෙදර ගිය පසු ඒ තනතුරට ගෙන එන්නේ කවර අයකුද යන්නය. ඒ ප්‍රශ්නය මාධ්‍යකරුවකු විසින් අරගලයේ සිටි සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු වෙතින් විමසූ කල ඔහු දුන් පිළිතුර වූයේ "ගෝඨා" යැවීමෙන් පසු ඒ ගැන කල්පනා කළ හැකි බවය.

*************

රැඩිකල් අදහස් දරන බව කියන පිරිස් මැයි 9 වැනිදා ඉහළින්ම ප්‍රචණ්ඩත්වය ආස්වාදනය කරන ලදී. ඒ බව ඔවුන්ගේ මුහුණු පොත් ආදිය තුළ හොඳාකාරවම දැකගන්නට ලැබිණි. බස් රථවල අංක, විරුද්ධවාදීන්ගේ නිවාසවල ලිපින ආදිය සමාජ මාධ්‍ය තුළ බෙදා හරිමින්, ප්‍රහාරයට අදාළ වීඩියෝ දර්ශන, ඡායාරූප ආදිය මහත් ආස්වාදයෙන් රසවිඳිමින් ප්‍රහාර කුළු ගන්වන අදහස් පළ කරමින්, ප්‍රහාර සඳහා නියෝග ලබාදෙමින් සිටි මේ පිරිස අතර, නළු නිළියන්, ගායක ගායිකාවන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, මාධ්‍යවේදීන්, ලේඛකයන්, ජවිපෙ හා පෙරටුගාමී ආධාරකරුවන් විශාල පිරිසක් දක්නට ලැබිණි. ගාලු මුවදොර ප්‍රහාරයට බස් රථ හිමිකරුවන් වගකිව යුතුද? ඔවුන් තම ආදායම් මාර්ගය සඳහා මුදලට බස් රථ ලබා දුන්නා මිසක ප්‍රහාරයක් ගැන දැන සිටින්නට නැත. එහෙත් ආදරය වපුරන අරගලයට ඒ කිසිවක් අදාළ වූයේ නැත.

*************

ජවිපෙ සුනිල් හඳුන්නෙත්ති ප්‍රසිද්ධ රැස්වීමක් අමතමින් ප්‍රකාශ කළේ මැයි 9 සිදුවීම්වලට සම්බන්ධ සියලු දෙනා ආරක්ෂා කළ යුතු බවය. ජවිපෙ නලින් හේවගේ රූපවාහිනී සංවාදයක දත්මිටිකමින් ප්‍රකාශ කළේ මැයි 9 උදෑසනක් නොතිබුණේ නම් හවසක් නිර්මාණය නොවන බවය.

*************

වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හා හමුදාපති ශවේන්ද්‍ර සිල්වා තමාට ඉහළින් ලැබෙන නියෝග පරිදි ක්‍රියා නොකරන තත්ත්වයට පත් කර ගැනීමට හැකි වූයේද යන්න මේ හරහා මතු වන මූලික සැකය වේ. කොටි ත්‍රස්තවාදයට එරෙහි සංග්‍රාමයට අදාළව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වාට ද ජිනීවාහි චෝදනා එල්ල කර තිබේ. ඇතැම්විට එයින් ගැලවීම පිණිස ඇමෙරිකාව "ෂේප්" කර ගැනීමේ අවශ්‍යතාවෙන් ඔහු පෙළෙනවා විය හැකිය. කෙසේ වෙතත්, මැයි 09 බිහිසුණු භීෂණය රට පුරා නිදහසේ පතුරුවාලීමට හැකි වූයේ ආරක්ෂක අංශ නිහඬව සියල්ල නරඹන්නන්ගේ තත්ත්වයේ සිටි නිසාය.

*************

ගෑස්, පෙට්‍රල්, ඩීසල් හිඟ වීම හා ඉන්ධන මිල ඉහළ යාම හේතු කොටගෙන ආහාර මිල ඉහළ යාම සමඟ ජනතාවගේ පීඩනය උත්සන්න විය. එහෙත් තුන් කල් බලා පාර්ලිමේන්තුවට පැමිණි රනිල්, අගමැති කිරුළ හිස පැලඳ ගත්තේ අර්බුදයේ බරපතළ වගඋත්තරකරුවකු ලෙස නොව අර්බුදයේ ගැලවුම්කරුවකු ලෙසය.

ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනිය ද තම ක්‍රියාන්විතය අවසන් කර තිබුණේ නැත. ඇය 2022 මැයි 14 ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මුණ ගැසුණාය. එම හමුවීම පිළිබඳ තානාපතිනිය තම ට්විටර් ගිණුමේ සඳහන් කර තිබුණේ "ආර්ථික අර්බුදයට තිරසාර, සියල්ල ඇතුළත් විසඳුම් කරා ගමන් කිරීමට ශ්‍රී ලංකා රජය දරන ප්‍රයත්නයන් දිරිමත් කිරීම සඳහා අද මම අනුර දිසානායක හමුවී ශ්‍රී ලාංකිකයන් මුහුණ දෙන හදිසි අභියෝග ගැන සාකච්ඡා කළෙමි." යනුවෙනි. ඇමෙරිකානු තානාපතිවරයකු ජවිපෙ නායකයකු හමු වූ පළමු අවස්ථාව එය විය යුතුය.

*************

ඇමරිකානු තානාපතිනියගේ මෙහෙයුමට අමතරව පරිධීය රටවල දේශපාලනය හැසිරවීම සඳහා ඔවුන් භාවිත කරන සංවිධාන, පුද්ගලයන්, ගිවිසුම් ආදී මෙවලම් රාශියක් තිබේ. මේවා අරගලය මොහොතේ පමණක් නොව දීර්ඝකාලීනව ලංකාව තුළ ක්‍රියාත්මක දෑ වන අතර, ඒවායේ ප්‍රධාන අරමුණ සිය භූ දේශපාලනික උවමනාවන්ට අනුව ශ්‍රී ලංකාවේ ජන මනස හා දේශපාලන බලවේග පාලනය කිරීමය. ඒ සඳහා දායකත්වය සපයන ප්‍රධාන සංවිධාන වන්නේ, USAID, NED, IRI, IREX, MEND, NDI, SDJF යන ඒවාය.

හිතුවාටත් වඩා කලින්, හිතුවාටත් වඩා පහසුවෙන් ජනාධිපති මන්දිරය තුළට කඩා වැදුණු විරෝධතාකරුවන් එතැන් සිට හිමිකරගත් "ආස්වාදය" විඳින ලද ආකාරය නොදන්නා අයෙකු නැත. එම මන්දිරයේ තිබූ වටිනා සම්පත් අතුරුදහන් වූ අයුරු විරෝධතාකරුවන්ට ද රහසක් වූයේ නැත. කෙසේ වෙතත් මුහුදු මාර්ගයෙන් ජනාධිපතිවරයා ත්‍රිකුණාමලය බලා පලායන ලදී.

මේ අතර ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව වැටලීමට ද ජූලි 09 වැනිදා සන්ධ්‍යාවේ විරෝධතාකරුවෝ උත්සාහ කළහ. එයට ජවිපෙ නායකයන් මුලදී මූලිකත්වය ගනු ලැබීය. විරෝධතාකරුවන් විසින් විධායකය පලවා හැර අවසන්ය. ඊළඟට ඇත්තේ ව්‍යවස්ථාදායකය හෙවත් පාර්ලිමේන්තුව අත්පත් කර ගැනීමය. දැන් ඒ සඳහා ඔවුන් පාර්ලිමේන්තුව වට කරනු ලැබ තිබේ. ඊළඟට ඇත්තේ අධිකරණය හෙවත් සංකේතාත්මකව ශ්‍රේෂ්ඨාධිකරණ භූමිය අත්පත් කර ගැනීමය. ජාතික රාජ්‍යයක ප්‍රධාන මුදුන් කණු තුන වනුයේ විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය බව පැහැදිලිය. එම මුදුන් කණු තුනම පාලනයෙන් තොරව බිඳ වැටුණු කල්හි ජාතික රාජ්‍යය බිඳ වැටේ. එවිට ඇති වන්නේ අපාලිත හා අරාජික තත්ත්වයකි.

මේ අතර කථානායකවරයාගේ ආරාධනාවකින් හෝ පූර්ව දැනුම් දීමකින් තොරව ඇමෙරිකා එක්සත් ජනපද තානාපතිවරිය කථානායකවරයා හමුවීමට නිල නිවසට පැමිණියාය. ඇය පැමිණ සිටියේ කථානායකවරයා අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ යුතු බව පැවසීමටය. පෙර පරිදිම, කථානායකවරයා ව්‍යවස්ථානුකූලව තමන්ට එය බාරගත නොහැකි බව හා ඊට අදාළ ව්‍යවස්ථාමය බාධා පෙන්වා දුන්නේය. "ව්‍යවස්ථාව වැඩක් නෑ, අපි ඒක බලා ගන්නම්. ඔබ එය බාර ගන්න" යනුවෙන් විධානාත්මකව ඉල්ලා සිටි ඇමෙරිකානු තානාපතිවරිය, කථානායකවරයාගෙන් යහපත් ප්‍රතිචාරයක් නොලද කල බොහෝ අසතුටෙන් එම ස්ථානයෙන් නික්ම ගියාය.

මේ අතරතුර යුද හමුදාපතිවරයාට නිරන්තරයෙන්ම දුරකථන ඇමතුම් ලැබුණේ ආරක්ෂක හමුදා ප්‍රධානියකුව සිටි පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරයෙකුගෙනි. ඉහත කාලය ඇතුළත අප ඉහත කී සුවිශේෂ මන්ත්‍රිවරයා 13 වතාවක් යුද හමුදාපතිවරයාට දුරකතනයෙන් උපදෙස් දෙනු ලැබ තිබේ.

මේ වන විට වැඩබලන ජනාධිපති බවට ව්‍යවස්ථානුකූලව පත්ව තිබුණේ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාය. පාර්ලිමේන්තුව වට කර සිටින පිරිස එම ස්ථානයෙන් ඉවත් කරන මෙන් ඔහු විශේෂ කාර්ය බළකායේ ප්‍රධානියා වෙතින් ඉල්ලා සිටියේය.

ජනාධිපති මන්දිරය මෙන්ම ජනාධිපති ලේකම් කාර්යාලය ද කිසිදු බලවත් ප්‍රතිවිරෝධයකින් තොරව අත්පත් කර ගැනීමට හැකිවීම තුළින් ඔවුහු වඩාත් ආක්‍රමණශීලී තත්ත්වයකට පත්ව සිටියහ. කළුවර වැටුණු පසු, ආරක්ෂක අංශ පාර්ලිමේන්තුව වට කර ගෙන සිටි විරෝධතාකරුවන්ට පහර දී පලවා හැරීමට ක්‍රියා කළහ. ඒ හේතු කොටගෙන පාර්ලිමේන්තුව අත්පත් කර ගැනීමට විරෝධතාකරුවන්ට හැකි වූයේ නැත.

සියලු කරුණු පැහැදිලිව විමර්ශනය කරන ලද කල්හි නිගමනය කළ හැක්කේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපතිවරියට අවශ්‍යව තිබුණේ තවත් ලිබියාවක් බවට ශ්‍රී ලංකාව පත්කර ගැනීමට බවය. ලිබියාවේ පාලකයාව සිටි මුවම්මර් ගඩාෆි මහමඟ මරා දැමීමෙන් පසුව ලිබියාවට හඳුන්වා දුන්නේ එහි ඒ වන විට සිටි කථානායකවරයා මූලික කොටගත්, තවත් විවිධ අංශ නියෝජනය වන පරිදි අටවාගත් ඊනියා අන්තර්කාලීන පාලනයකි. කථානායකවරයා ඇයගේ යෝජනාවට එකඟ වුයේ නම් බොහෝවිට ඇටවිය හැකිව තිබුණේ එවැන්නකි. එහි තෝරාගත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනකුද, යුද හමුදාපතිවරයාද, විදේශ නියෝජිතයන් කිහිප දෙනකුද, නියෝජනය වනු ඇත. ජාතික රාජ්‍යය බිඳවැටීමෙන් පසු අරාජිකත්වය තම අරමුණට අනුව කළමනාකරණය කළ හැකි වනුයේ එවැනි පාලන ආකෘතියක් අටවා ගනු ලැබුවහොත් පමණි.

එම "පළමු තෝරාගැනීම" "ප්ලෑන් ඒ" කරා ශ්‍රී ලංකාව රැගෙන යාමට ඇමෙරිකානු තානාපතිනියට හා අරගලකරුවන්ට හැකි වූයේ නැත. "මම දැන ගන්න ඕන ඉක්මනින් අංක 02 සිට අංක 01 වෙන්න" යැයි තම මිතුරාට පැවසූ රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ සිදු කළ ඡන්ද විමසීමකින් අංක 01 හෙවත් අනුප්‍රාප්තික ජනාධිපතිවරයා බවට පත් විය.

ජනාධිපති ධුරයේ වැඩ බාරගත් වහාම ඔහු සිදු කළේ ජනාධිපති ලේකම් කාර්යාලය සහ ජනාධිපති මන්දිරය අරගලකරුවන්ගෙන් නිදහස් කර ගැනීමය. ඒ සඳහා ගනු ලැබූ පියවර පිළිබඳ තම අසන්තෝෂය ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිවරිය පළ කර තිබුණේ මෙසේය.

"2022 ජූලි 22 මධ්‍යම රාත්‍රියේ ගාලු මුවදෙර විරෝධතාකරුවන්ට එරෙහිව ගන්නා ලද ක්‍රියාමාර්ගය පිළිබඳ දැඩි කනස්සල්ල පළ කරමි. බලධාරීන් විසින් සංයමයෙන් යුතුව ක්‍රියා කළ යුතු අතර, තුවාල වූවන් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කළ යුතු බව අපි ඉල්ලා සිිටිමු."

එදිනම අනුප්‍රාප්තික ජනාධිපති රනිල් වික්‍රමසිංහ මුණගැසීමෙන් අනතුරුව ඇය තබා තිබූ ට්විටර් සටහන මෙසේය.

"එක රැයකින් විරෝධතාකරුවන්ට එරෙහිව ප්‍රචණ්ඩත්වය අනවශ්‍ය පරිදි හා ගැඹුරින් උත්සන්න කිරීම පිළිබඳ මාගේ කනස්සල්ල පළ කිරීම පිණිස රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා හමුවුණෙමි. මෙය පුරවැසියන් මර්දනය කිරීමට කාලය නොවේ.

ඇමෙරිකානු තානාපතිනිය නැවත 2022 ජුලි 22 වැනිදා ද අනුප්‍රාප්තික ජනාධිපතිවරයා මුණගැසුණාය. ඒ පිළිබඳව ඇය තබා ඇති ට්විටර් සටහන මෙසේය. "ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපති ලේකම් කාර්යාලයේදී මුණගැසුණෙමි. ඔහු බලයට පත්වන්නේ ශ්‍රී ලංකාව සන්ධිස්ථානයක සිටින මොහොතකය. ආර්ථික හා දේශපාලන අර්බුදය මේ තත්ත්වය කරා පැමිණියේ කෙසේද යන්න සහ සැමට දීප්තිමත් අනාගතයක් කරා ගමන් කිරීමට අපට එකට වැඩ කළ හැකි ආකාරයත් පිළිබඳව අපි සාකච්ඡා කළෙමු."

**********

ශ්‍රී ලංකා රාජ්‍යය ද වළට වැට්ටවීම අරගලකරුවන් මෙහෙය වු ජූලි චංග්ලාගේ උවමනාව විය. බාහිරව පොම්ප කරන ලද මුදල් බොහෝ අරගලකරුවන්ට ලැබී තිබිණි. එක් සමාජ මාධ්‍යකරුවකුගේ ගිණුමට රුපියල් ලක්ෂ 50ක් කවරකු හෝ දමා ඇතැයි පැමිණිලි කළේ ඔහුමය. යුක්රේනයේ මයිදාන් අරගලයට මෙන්ම ශ්‍රී ලංකාවේ ගාලු මුවදොර අරගලයටද ජීවය ලැබුණේ මෙරට ඇතිකොට තිබු ආර්ථික පීඩනයෙන් පමණක් නොවේ. ඉහත ආකාරයෙන්, අරගලකරුවන් බොහෝමයක් නඩත්තු කිරීමට විවිධ බාහිර දුෂ්ට පාර්ශ්ව විසින් මුදල් පොම්ප කිරීමෙන් ඒ සඳහා ප්‍රබලව ජීවය ලැබුණි. අරගලයේ ප්‍රතිඵලය ලෙස ශ්‍රී ලංකාව නම් වු ජාතික රාජ්‍යය බිඳ වැටී දේශීය හා විදේශීය පාර්ශ්වකරුවන්ගෙන් සමන්විත අන්තර්කාලීන පාලනයක් අටවා ගනු ලැබුවේ නම්, අද ශ්‍රී ලංකාව, රස්තියාදුකාරයන්ගේ පාලනයට නතු වූ අරාජික රටකි.

**************

කෙසේ වෙතත් දැන් එකිනෙක බල කේන්ද්‍ර අතර ප්‍රතිවිරෝධය තීව්‍ර වී තිබේ. එය තවදුරටත් තීව්‍ර වීම මිස සමනය වනු ඇතැයි සිතිය යුතු නැත. මෙම තීව්‍රතාව වැඩිවන තරමට පිහිටීම අතින් උපාය මාර්ගික මර්මස්ථානයක පිහිටා තිබෙන ශ්‍රී ලංකාව සිය දාස රාජ්‍යයක් බවට පත්කර ගැනීමේ ඇමරිකානු උවමනාව ද උත්සන්න වේ. දැන් අප මුහුණ දී තිබෙන්නේ එම උත්සන්න වු තත්ත්වයේ පීඩනයටය.

ගෝඨාභයගේ අසමත් පාලනය විසින් ගාලු මුවදොර අරගලයට පිටිය සකසා දුන් අතර ගාලු මුවදොර අරගලය විසින් "තැටිය" රත්කර දුන්නේ එක්සත් ජනපද "රොටිය" පුච්චා ගැනීමටය. මේ ඔවුන් "රොටිය" හොඳ හැටි පුච්චා ගනිමින් සිටින කාලයයි. ඊට එරෙහි අරගලයට, පැරණි අරගලකරුවෝ කිසිවකුත් නොවෙති. හදිසියේ පහළ වු "දියසෙන්ලා" හා "විහාරමහාදේවින්ලා" අතුරුදන්ව සිටිති.

ගෝලීය බලකේන්ද්‍ර අතර අරගලය තීව්‍ර වන විට ඇමෙරිකානු බලකේන්ද්‍රයේ බලපෑම ශ්‍රී ලංකා රාජ්‍යය අරඹයා තීව්‍ර වන විට ජනාධිපති රනිල් වික්‍රමසිංහ එම බලපෑමට අවනතව සියල්ලට ඉඩ සලසා දෙනු ලබන විට, ඊට එරෙහි අරගලයට සැබෑ අරගලකරුවන් උවමනා කර තිබේ.

Comments