ජීවිතේම වෙනස් කළේ තාත්තගෙ වචනයක් | Page 4 | සිළුමිණ

ජීවිතේම වෙනස් කළේ තාත්තගෙ වචනයක්

ට මතක් වෙන්නේ ජයලත් මනෝරත්නගේ ගුරු තරුවය. එහි මුල් ගුරුතුමා අහන්නේ හැබෑවට ම මහත්තයො දැන් ඔය මැටි වැඩ අරව මේවා ඉගෙන ගත්තොත් ඔය කළ ගෙඩියක් මුට්ටියක්වත් හදාගන්න පුළුවන්. ඔය සාහිත්‍ය ඉගෙන ගෙන මොනවද කරන්නේ කියා ය. සාහිත්‍ය ගුරුතුමා කියන්නේ සාහිත්‍යයෙන් නේද? සාහිත්‍යයෙන් කරන්නෙ ඔය කෙළින් කරල තියන කොන්ද උඩ තියෙන මැටි මුට්ටියට රත්තරන් පුරෝගන්නව ද අසූචි පුරෝගන්නව ද කියල තෝරල බේරල ගන්න එක කියා ය. අද කතා නායකයාට ජයලත් මනෝරත්න හමු වෙන්නේ පුංචි සන්දියේදී ය. හේ ඔහුගේ ඥාතියෙකි. අවුරුදු නිවාඩුවට නූර්ති ගී ගායනා කරන්නට මනෝරත්න එනකම් අයියලා දෙන්නා සහ අක්කා සමඟ ඔහු ඇඟිලි ගනියි. මනෝරත්න කලාකරුවා ගුරුතරුවේ කියන්නා සේම මේ පවුලේ දරුවෝ ද කලාවට ලැදි ය. එමෙන්ම විද්‍යාවට ද ලැදි ය.

- මම කිසිම දෙයක් ජයග්‍රහණය තෙක් අතහරින්නෙ නෑ. මට ලෝකය වෙනස් කරන්න පුළුවන් නායකයන් 100ක් බිහි කිරීමේ සිහිනයක් තියෙනවා
- රැකියාවලට ඉල්ලුම් කළේ පොඩි තනතුරුවලට නෙවෙයි. හැමෝම පුහුණු කළමනාකරු ඉල්ලද්දි මම ඉල්ලුවෙ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, සාමාන්‍යාධිකාරී වගේ තනතුරු
- මම හරි ආසයි සින්දු කියන්න. විශේෂයෙන් නූර්ති ගීත ගයන්න

පුංචි සන්දියේ ලැබුණු කලාත්මක ආභාසයත්, ගෙදරින් ලැබුණු අධ්‍යාපනයේ වටිනාකම පිළිබඳවත් හරියට ම අවබෝධයෙන් සිය ගමන ආ අපූරු වෘත්තියවේදියකු අද කඩඉම විශේෂාංගයෙන් ඔබ හමුවට එයි. ඔහුට ඇත්තේ අදිටන මතින් ජයගත් ජීවිතයකි. ඔහු නමින් පරාක්‍රම ගුණසේකර ය. මේ වන විට ඔහු Bodyline PVT Limited (MAS Holdings Group) හි අධ්‍යක්ෂ (නවෝත්පාදන ක්‍රියාවලි) ලෙස කටයුතු කරයි. ඔහු මේ MAS Holdings Group හි සේවය කරන 23 වැනි වසරයි. ජීවිතයේ ජයගත නොහැකි ඉලක්ක නැති බව කියන ඔහුගේ දිවිසැරියේ ආවර්ජනයයි මේ.

සම්පූර්ණ නම :

විතානගේ දොන් පරාක්‍රම ගුණසේකර

උපන් දිනය :

1971 දෙසැම්බර් 07

ගම් පළාත කොහේද?

මම ගම්පහ දිස්ත්‍රික්කයට අයත් කඳුබොඩ ගමේ

අම්මා තාත්තාගේ නම් සහ වෘත්තීන්...

මගේ තාත්තා විතානගේ දොන් ගුණසේකර, ඔහු විදුහල්පතිවරයෙක්. මගේ අම්මා නන්දාවතී, ඇය ගුරුවරියක්.

සහෝදර සහෝදරියන්...

මට අයියලා දෙන්නයි අක්කයි ඉන්නෙ. මම තමයි බාලයා.

පාසල් යන්නෙ...

මුලින්ම මම තුනවසර වෙනකම් පාසල් ගියේ කඳුබොඩ ප්‍රාථමික විද්‍යාලයට. එතැනින් 5 ශිෂ්‍යත්වෙ වෙනකම් දෙකටන ප්‍රාථමික විද්‍යාලයට ගියේ. ශිෂ්‍යත්වෙ සමත් වෙලා කොළඹ රාජකීය විද්‍යාලයට ආවා. මගේ අයියලා දෙන්නා ශිෂ්‍යත්වෙ පාස් වෙලා ආනන්දෙට ආවා. අක්කා විශාඛා එකට ආවා.

කොහොමද පාසල් කාලය...

මම පාසල් ශිෂ්‍ය භටයෙක් විදියට හිටියා. අපි 88 දී ජාතික කුසලානයත් ගත්තා. අද වෙනකම් ඒ රෙකෝඩ් එක තියෙනවා. විවිධ සමිති සමාගම්වල හිටියා.

ඔබ හොඳ ගායකයෙක් කියලා මම අහලා තියෙනවා. පාසල් කාලෙත් ඒවට යොමු වුණාද?

විවිධ අවස්ථාවල අපි සින්දු කිව්වා. විවිධ විවිධ දෑ කළා. විශ්වවිද්‍යාලෙදිත් එහෙමයි. දැන් වුණත් මම අවස්ථාවක් ලැබුණොත් සින්දුවක් ගායනා කරන්න පැකිළෙන්නෙ නෑ

වැඩියෙන් ඔබ කැමැති නූර්ති ගී ගායනා කරන්න කියලයි මම අහලා තියෙන්නෙ. මොකද්ද හේතුව?

මට ජයලත් මනෝරත්නයන් එක්ක ඥාති සම්බන්ධයක් තියෙනවා. මගේ තාත්තාගෙ මල්ලි විවාහ වුණේ මනෝරත්නයන්ගෙ අක්කා එක්ක. ඒක තමයි අපේ නෑකම. ඥාති ගෙදරට අවුරුද්දට ආවට අපේ ගෙදර තමයි මනෝරත්නයන් ඇතුළු කණ්ඩායම ඇවිත් සින්දු එහෙම කිය කිය විනෝද වෙන්නෙ. මොකද අපේ ගෙදර ටිකක් ලොකු සාලයක් තිබුණා. ඉතින් අපිත් හරි ආසයි ඒකට. ඒ ආභාසය වෙන්න ඇති, මාත් හරි ආසයි සින්දු කියන්න; විශේෂයෙන් නූර්ති ගීත.

ළමයි හතරදෙනෙක් කොළඹ ප්‍රධාන පෙළේ ඉස්කෝලවලට යවන එක පහසු වැඩක් නෙවෙයි. කොහොමද අම්මලා විය හියදම් කළමනාකරණය කර ගත්තෙ?

ඇත්තටම අපි ගෙව්වෙ අසීරු කාලයක්. අම්මටයි තාත්තටයි මාසික පඩිය විතරයි තිබුණෙ. ගෙවල් හදන්න ගත්ත ලෝන් එහෙමත් ගෙවන්න තිබුණා. මොකද තාත්තා පවුලෙ දේපළවලින් මොනවත් ගත්තේ නෑ. මම හැදුණෙ නැන්දා ගාව. නැන්දට ළමයි හිටියෙ නෑ. 83 දී මාමා නැති වුණාට පස්සෙ නැන්දයි මායි විතරයි හිටියෙ.

ගෙදර සහෝදර සහෝදරියො එක්ක ගත කරන්න නොලැබුණු එකට දුක හිතුණෙ නැද්ද?

මම හරි ආසයි අක්කලා අයියලා එක්ක ඉන්න. අපේ ගෙදර පරිසරයටත් මම කැමතියි. ඒක කලාවට සහ විද්‍යාවට බර ගෙදරක්. අපි පැය ගණනක් විවාද කරනවා. ඉතිහාසය ගැන එහෙම කතා කරන්න ගත්තම අපට වෙලාව යනවා තේරෙන්නෙ නෑ. ඉතින් මම හරි ආසයි ඒ පරිසරයේ ඉන්න. ඒත් නැන්දා මට ගොඩක් ආදරෙන් සැලකුවා. ඒවගේම මගේ අම්මට තාත්තට ඔක්කොම තනියෙන් කරගන්න අමාරුයි කියන එක මම තේරුම් ගත්තා. ඒවගේම මාමා නැති වුණාම නැන්දා තනි වුණා. ඒනිසා මම කැමැති වුණේ නෑ නැන්දා තවත් තනි කරන්න. මම බැඳීම්වලට ආදරේ සහ ගෞරව කරන කෙනෙක්. මම කොළඹ ආවට පස්සෙත් නැන්දා මා එක්ක අපේ ගෙදර හිටියෙ. නැන්දා නැති වෙනකොට එයාට 88යි.

ඔබ ගෙදර පරිසරය ගැන හරි ආදරෙන් කතා කළා. ඒ පරිසරය අද ඉන්න තත්ත්වෙට එන්න කළ බලපෑම කොයි වගේද?

ඇත්තටම ආකල්ප වර්ධනය වගේම දැනුම වර්ධනය වෙන්නත් මට ගෙදර පරිසරය ගොඩක්ම බලපෑවා. ඉස්සර අපේ ගෙදර මඩුව පුළුන් පුරවපු සත්තුන්ගෙන් පිරිලා. කොහේහරි සතෙක් මැරුණොත් අපි එයාව වළලලා මාස හයකට පස්සෙ ඇටසැකිලි ගොඩ අරන් සතාව පුළුන් පුරවලා හදනවා. සර්පයන් වුණත් එහෙමයි. අපිට සර්පයන් හතළිහක විතර එකතුවකුත් තිබුණා. අපි වෙසක් එකට, නත්තලට, අලුත් අවුරුද්දට එක එක දේවල් කරනවා. මම විවිධ ක්‍රියාකාරකම් රැසක් කළා. මොකද මම කැඩෙට් කළානෙ.

පාසල් ගියේ ගෙදර ඉඳන් ද?

ඔව්. අපි තුන්දෙනාම පාසල් ගියේ ගෙදර ඉඳන්. අපි පාන්දර තුනට ඇහැරෙන්නෙ. ඊට පස්සෙ අපේ ගෙදර ඉඳන් දෙල්ගොඩ හන්දියට යන්න ඕන බස් එකක. එතනින් පස්සෙ පොදු පාසල් සේවයේ තමයි යන්නෙ.

විවිධ අපහසුකම් දරා ගනිද්දි මොනවද හිතුණෙ?

රෝයල් එකට යද්දි අපට පේනවා අනික් අය කන බොන ඒවා. පාවිච්චි කරන දේවල්. ඒත් අපිට මේවා නෑනෙ කියලා කවදාවත් හිතිලා නෑ. කවදාවත් මට ඒ අය ගැන ඉරිසියාවක් ඇති වෙලා නෑ. අපිට ටෙලිනාට්‍ය එහෙම බලද්දි පේනවානේ අරයට කාර් එකක් තියෙනවා, මෙයාට මේවා තියෙනවා, අනේ මට නෑනෙ කියලා දුප්පත් ළමයා දුක් වෙනවා කියලා. ඇත්තටම මට නම් කවදාවත් එහෙම සිතිවිල්ලක් ඇති වෙලා නෑ. මොකද අපිට තියෙන්නෙ හොඳම දේ කියන එක අපේ හිතේ හැමදාමත් තිබුණා. උදාහරණයක් විදියට අපි ගෙනියන බෑග් එක කියලා හිතන්න. ඊට වඩා කොච්චර හොඳ එකක් කවුරු හරි අරන් ආවත් අපට ඒක දැනුනෙවත් නෑ. මොකද අපි ගෙනියන්නෙ ඒ වැඩේට අවශ්‍ය හොඳම එකක් කියලා අපේ ඔළුවෙ තිබුණා. ඇත්තටම ආත්ම අභිමානයකුත් තිබුණා. අපි කොහොම හරි ගමනක් යනවා කියන අධිෂ්ඨානය අපිට තිබුණා. අපි හතරදෙනාම එකම විදියට හිත ශක්තියෙන් හිටියා. දැනටත් අපි හතරදෙනාම ඉන්නෙ එකම ළඟ ගෙවල් හදාගෙන. ඒතරම් සහෝදර බැඳීමක් අපි අතර තියෙනවා.

ලද දෙයින්, තියෙන දෙයින් සතුටු වීම කියන එක ලොකු සැනසීමක් දැනෙන කාරණයක්?

ඇත්තෙන්ම ඔව්. ඇත්තට ම ඒක ගෙදරින් ලැබුණු හුරු කිරීමක්. අපිට ගොඩක් දේවල් නැති වුණාට ඒක ඒතරම් ඒ කාලෙ දැනුණෙ නෑ. අද හැරිලා බලද්දි තේරෙනවා අපි ගොඩක් දුෂ්කරතා වින්දා කියලා. උදේ තුනට ඇහැරිලා ඉස්කෝලෙ ගිහින් ආයෙත් ගෙදර එද්දි හවස 5 විතර වෙලා. සීසන් එකට එන නිසා සමහර දවසට සීටීබී එකක් එනකම් පැය ගාණක් පාරෙ. අපිට රුපියල් 10ක් දීලා තිබුණා හදිසියකට ගන්න කියලා ගෙදරින්. අපි කවදාවත් ඒක වියදම් කරන්නෙ නෑ. කඩචෝරු කන්නෙ නෑ. එහෙම උවමනාවක් තිබුණෙත් නෑ. අපි අරපිරිමැස්සමට හොඳට ම පුරුදු වුණු අය. ගෙදරින් බැඳලා දෙන කෑම මුල ඇරෙන්න අපි වෙන කිසි දෙයක් කන්නෙත් නෑ.

ඒ වුණාට යාළුවො එහෙම විහිළු තහළු කරන්න ඇති?

නැත්තෙම නෑ. හැබැයි මම ගණන් ගත්තෙ නෑ. මම ඒකාලෙ ගෙනිච්ච බෑග් එක සූට්කේස් මොඩ්ල් එකේ ටිකක් ලොකු එකක්. ඒකට එහෙම හිනා වුණා කියලා මම දන්නවා. ඒ වුණාට ඒක මට ගාණක් වුණේ නෑ. මට ඒක ලැජ්ජාවක් විදියට දැනුණෙ නෑ. සමහර ගුරුවරු කියන දේවල් එක්ක නම් දුකක් දැනුණු අවස්ථා තිබුණා. පැහැදිලිවම සංසන්දනයක් තිබුණා. සල්ලි තියෙන ළමයි කවුද, නැති අය කවුද කියන එක එයාලා අපි එද්දිම දැනගෙන හිටියා. විවිධ දේවල්වලට සහභාගී කර ගත්තෙ නෑ. එතකොට අපි මේ වෙන් කරන්නෙ සල්ලි නැති නිසා කියන එක දැනුණු අවස්ථා තිබුණා. ළමයින්ගෙන් වගේ නෙවෙයි ගුරුවරුන්ගෙන් වෙනස්කමක් විඳින්න වුණාම. ඒක දැනෙනවා වැඩියි. අනික අපි ගුරුවරුන්ට ගොඩක් ගරු කරන අයනෙ.

උසස් පෙළට මොන විෂයයන්වලින් ද පෙනී සිටින්නේ

මම ගණිත අංශයෙන් උසස් පෙළ කළේ. ඊට පස්සෙ මොරටුව ඉංජිනේරු පීඨයට ඇතුළත් වුණා.

කොහොමද වියදම් දරා ගත්තෙ. මහපොළ විතරක් මදිනෙ වැඩ කරගන්න?

ඔව්. නැන්දත් වියදම් කළා. මම විශ්වවිද්‍යාලෙදී තෝරා ගත්තෙ සිවිල් ඉංජිනේරුවරයෙක් වෙන්න අවශ්‍ය විෂයය ධාරාව. මගේ ලොකු අධිෂ්ඨානයක් තිබුණා ව්‍යාපාරයක් කරන්න ඕන කියලා. එතන්දි අපේ ජ්‍යෙෂ්ඨ අයියලා විවිධ ව්‍යාපෘතිවල වැඩ කරමින් සිටියා. ඒ අයට බ්ලොක් ගල් ආදිය අවශ්‍ය වුණා. එයාලා ඒවා මිලට ගන්නවට වඩා අඩුවෙන් මට ගමෙන් ඒවා ගෙන්නලා දෙන්න පුළුවන් විදියේ ව්‍යාපාරයකට මම අතගැහුවා. මට ඒකෙන් ආදායමක් ලැබුණා.

ගෙදරින් කැමැති වුණාද?

ගෙදරින් කැමැති වුණේ නෑ. ව්‍යාපාර කරනවට වඩා ඉගෙන ගන්න එකටයි ගෙදරින් කැමැති වුණේ. එයාලා පොඩි කාලෙ ඉඳන් ඔළුවට දැම්මෙ අපිට මුකුත් නෑ, ඉගෙන ගත්තොත් විතරයි දියුණුවක් තියෙන්නෙ කියලා.

මොකද්ද පළවැනි රැකියාව?

මම රැකියාවලට ඉල්ලුම් කළේ පොඩි තනතුරුවලට නෙවෙයි. හැමෝම පුහුණු කළමනාකරු ඉල්ලද්දි මම ඉල්ලුවෙ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, සාමාන්‍යාධිකාරී වගේ තනතුරු. දම්රෝ එකෙන් මට කතා කරලා ඇහුවා ‘ඔයා කැම්පස් අවුට් වුණු ගමන් එක්කෙනෙක්. මොකද මේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී තනතුරට ඉල්ලුවේ‘ කියලා. මම කිව්වා මට හිතෙනවා මට ඒක පුළුවන් කියලා. මමත් පුදුමයට පත් වුණා, එයාලා මට පුහුණු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී තනතුර දුන්නා.

මම එතන හිටියෙ මාස දෙකක් විතර. ඊට පස්සෙ මම Central Engineering Consultancy Bureau එකේ කොළඹ ප්‍රධාන කාර්යාලයට බැඳුණා. මම ඒකෙ සැලසුම් ඉංජිනේරුවරයෙක් විදියට වැඩ කරමින් ඉන්න කොට දවසක් මට රූපසිංහ මහත්තයා ඇවිත් මගෙන් ඇහුවා කැමතිද අපේ ව්‍යාපෘති බලන්න යන්න කියලා. අපි නුවර, දිගන, හම්බන්තොට වගේ ව්‍යාපෘතිවලට ගියා. හම්බන්තොටට යද්දි එතන වැඩ කරන ඉංජිනේරුවරු දෙන්නම නිවාඩු ගිහින්. රූපසිංහ මහත්තයා මගෙන් ඇහුවා පුළුවන් ද මෙතන සතියක් වැඩ කරලා එන්න කියලා. මම හා කිව්වා. සතියකට නතර වෙන්න ගිය මට එන්න වුණේ මාස තුනක් ඉඳලා. එතන මම අවුරුද්දක් විතර හිටියා. ඒක මට ලොකු අත්දැකීමක් වුණා.

කොහොමද MAS Holdings එකට එන්නෙ?

මට ආරාධනයක් ලැබුණා 2000 අගභාගයේදී. මම මුලින්ම කළේ ව්‍යාපෘති කළමනාකරණය. එතැනින් මට කාර්මික ඉංජිනේරු පැත්තටත් 2007 දී යොමු වෙන්න වුණා. ලොකුම වෙනස වුණේ ඵලදායිතාව වැඩිකිරීම සම්බන්ධ ( Lean Management) වැඩසටහනට තෝරා ගත් කිහිපදෙනා අතර මාත් සිටීම. ඒක ටොයොටා ප්‍රඩක්ෂන් සිස්ටම් එකේ භාවිත කරන ලෝක ප්‍රසිද්ධ වැඩපිළිවළක්. අපිට විශ්වවිද්‍යාල 10කට ගියත් ඉගෙන ගන්න බැරිතරම් දේවල් ඒකෙන් ඉගෙන ගන්න ලැබුණා. ලෝකෙ හොඳම තැන්වල අපිට පුහුණුවීම් ලැබුණා. මේ සම්බන්ධව ලෝකෙ පුරා ලියැවිලා තියෙන පොත් මම කියෙව්වා. ඒ නිසා මට ඒ ගැන ප්‍රාමාණික දැනුමක් ලබා ගන්න පුළුවන් වුණා. මේ ආයතනය විශ්වවිද්‍යාලයක් වගේ. මම අවුරුදු 23ක් මෙහි සේවය කරන්න හේතුව එයයි.

ජීවිතේ හැරවුම් ලක්ෂ්‍ය මොනවාද?

මගේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යය තාත්තා දුන් අභියෝගය භාර ගැනීම. මම බාහිර වැඩ නිසා උසස් පෙළ නොකරන්න තීරණය කළා. මම ඒක තාත්තට කිව්වා. තාත්තා ඒක ගාණකට නොගෙන සංයමයෙන් කිව්වා, ඔව් ඉතින් මොනවා හරි රස්සාවක් හොයා ගන්න බලමු එහෙනම් කියලා. ඒක මට දැනුණෙ මාව අවතක්සේරු කළා වගේ. මට ඒක තදට දැනුණා. ඒ නිසාම මම ලොකු අකුරෙන් බිත්තියේ ලිව්වා, එක තත්ත්පරයක්වත් අපතේ නොහරිමි කියලා. නිදා ගන්න හිතෙනවට ඇඳ උඩ සපත්තු තිබ්බා. මම හරිම කෙටි කාලෙකින් ඉංජිනියරින් යන්න උසස් පෙළ සමත් වුණා. තාත්තාගේ වචන තමයි මගේ හැරවුම් ලක්ෂ්‍යය.

මොකද්ද ඔබේ රැකියාවේ කාර්යභාරය?

Automation, Digitalization, Industrial Engineering, costing, Lean Manufacturing සියල්ල දැන් මම යටතේ තියෙන්නෙ. මේකට හැම පැත්තක්ම අහු වෙනවා. අපි කරන්නෙ ආයතනය ඊළඟ වැඩිදියුණු තත්ත්වයට ගෙන යෑම. ලෝකයේ විවිධ සංකල්ප අපි එකතු කරනවා. ඒවා පිළිබඳ අපි පුහුණුව ලබා දෙනවා. ලෝකයේ හොඳම ඵලදායිතා උපක්‍රම සඳහා ආයතනය ගෙන යෑම තමයි මගේ වගකීම. මම අලුත් දේවල් කරලා දේවල් වෙනස් කරන්න කැමැතියි. මම මගේ රැකියාවෙන් විනෝද වෙන කෙනෙක්. ඒක මගේ ජීවිතේ කොටසක්. ලීන් කියන්නෙ දර්ශනයක් නිසා ඒක ධර්මයට, විශ්වීය බවට, ලෝකයත් එක්ක කරන ගනුදෙනුවට මම හරි කැමතියි.

නායකයෙක් විදියට මොකද්ද ඔබේ දැක්ම?

ආයතනය දියුණු කරන්න නම් පුද්ගල දියුණුව ඇති කරන්න ඕන. මම උත්සාහ කරන්නෙ ආයතනය ඇතුළෙ පුද්ගල දියුණුව ඇති කරන්න. මට අරමුණක් තියෙනවා, අති දක්ෂ නායකයන් 100ක් බිහි කරන්න ඕන කියලා. මම පුහුණු කරනවා දහස් ගණනක්. ඒ වුණාට මට ලෝකය වෙනස් කරන්න පුළුවන් නායකයන් 100ක් බිහි කිරීමේ සිහිනයක් තියෙනවා. මේ සියල්ල එකතු කරලා මම පොතක් ලියන්නත් හිතන් ඉන්නවා. සේවකයන් කාමරේට ගෙන්න ගෙන ප්‍රශ්න විසඳනවට වඩා ඔවුන් ඉන්න තැනට ගිහින් ප්‍රශ්න විසඳන එකේ තමයි මගේ විදිය. 

කවුද ජීවන සහකාරිය?

ඇය ප්‍රමිලා වරුණිකා. අපි විවාහ වෙන්නෙ 2007 දී. ඇය ගුරුවරියක් විදියට වැඩ කළා. අපේ දරුවන්ගේ වැඩ කටයුතු වෙනුවෙන් ඇය රැකියාවෙන් පසුකාලීනව ඉවත් වුණා. අද මගේ ලොකුම ශක්තිය මගේ බිරිය සහ දරුවන්.

දරුවන් ගැන?

අපට දියණියන් තිදෙනෙක් ඉන්නවා. වැඩිමලා සයුන්දි, දෙවැනියා හිරුන්දි, තුන්වැනි දියණිය සෙනින්දි.

විවේක වෙලාවට මොකද කරන්නෙ?

මම සංගීතයට කැමැති නිසා ගීත අහනවා. ලංකාවේ සහ ලෝකයේ ඉතිහාසය කියවනවා. අනික මම සමාජ සත්කාර වැඩ ගොඩක් කරනවා.

මොකද්ද ළඟදි කියවපු පොත?

Yuval Noah Harari ගෙ Sapience පොත තමයි මේ දවස්වල කියවන්නෙ. මම කොහොමත් මානව ඉතිහාසය කියවන්න කැමැතියි. මේ පොතේ මානව ඉතිහාසයේ ඉඳන් කෘත්‍රිම බුද්ධිය දක්වා සඳහන්. ඒ නිසා මම ඒක හරි කැමැත්තෙන් කියවනවා.

Comments