පොත් පුවත් | Page 2 | සිළුමිණ

පොත් පුවත්

ප්‍රොමීතියස්ගේ දරුවෝ කෘතිය එළිදකියි

කෘතිය- ප්‍රොමීතියස්ගේ දරුවෝ 
සම්පාදක- සඳුන් සමීර සිරිබන්දු 
ප්‍රකාශනය-සන්සරසිඳු ප්‍රකාශන 
මිල- 1,320 /= / පිටු ගණන-336 
විමසීම්- 0773 571 105

මෙය විද්‍යා ප්‍රබන්ධ කෙටිකතා සංග්‍රහයකි. ප්‍රවීණයන්ගේ සිට නවකයන් දක්වා පරාසයේ විවිධ ලේඛික ලේඛිකාවන් දහනව දෙනකු විවිධ ශෛලීන් හා ආකෘතීන්වලින් ලියන ලද සහ පරිවර්තනය කරන ලද කෙටි විද්‍යා ප්‍රබන්ධ එකතුවක් ලෙස මේ කෘතිය හැඳින්විය හැකිය. ඒ අනුව, අමිල මොහාන්, ඉසුරු හිදැල්ලආරච්චි, චන්දික අබේවික්‍රම, චින්තක විදානපතිරණ, තත්සරණි බුලත්සිංහල, දමිත නිපුණජිත්, දිමන්කා ගුණතිලක, නිමාෂි ප්‍රනාන්දු, පාලිකා විතාන, පුෂ්ප රන්ජන් විජේසිංහ, ප්‍රදීප් ප්‍රේමලාල්, ප්‍රභාත් මිරිහාගල්ල, මනෝජ් ධර්මරත්න, සංජය දිසානායක, සත්‍ය හෙට්ටිආරච්චි, සඳුන් සමීර සිරිබන්දු, සමීර මධුසංඛ වන්නිආරච්චි, කවින්දි ආරියතිලක සහ සුසිත රුවන්ගේ කෙටි විද්‍යා ප්‍රබන්ධ මේ කෘතිය තුළින් ඔබට රසවිඳිය හැකිය.


අනුල ද සිල්වාගේ පෙරාගත් මල් පැණි

කෘතිය- පෙරාගත් මල් පැණි 
පරිවර්තනය- අනුල ද සිල්වා 
ප්‍රකාශනය- සඛිල ප්‍රකාශන 
ල- 1,400 /= / පිටු ගණන-227 
විමසීම්- 0112 529 481

ඉන්දීය ලේඛිකා කමලා මාකන්දාය නම් ලේඛිකාව විසින් ඉංග්‍රීසි බසින් ලියන ලද ප්‍රථම නවකතාව වන Nectar in a Sieve නම් කෘතියේ සිංහල පරිවර්තනයයි. මෙය මෙරට අ.පො.ස උසස් පෙළ ඉංග්‍රීසි සාහිත්‍ය විෂයය සඳහා නිර්දේශිත කෘතියක් වීම ද විශේෂත්වයකි. ළමා මනාලියක සේ ජීවිතය අරඹන රුක්මනී නම් ගෙවිලියගේ ජීවන කතාව ඇතුළත් මේ නවකතාව ප්‍රවීණ ලේඛිකා අනුල ද සිල්වා විසින් පරිවර්තනය කරන ලද මේ කෘතිය ද ඇයගේ සෙසු නිර්මාණ මෙන් සිත් ඇද ගන්නා සුලුය රසවත්ය.


දමින්දගෙන් රජයේ නිලධාරීන්ට අත්වැලක්

කෘතියේ නම : රජයේ නිලධාරීන්ගේ විධිමත් විනය පරීක්ෂණවල පැමිණිල්ල මෙහෙයවීම 
කතෘ : දමින්ද හේවාපතිරණ 
කතෘ ප්‍රකාශනයකි. 
මිල- 650/- 
විමසීම්- 0773 846 552

රාජ්‍ය සේවයේ විමර්ශන නිලධාරියකු වන දමින්ද හේවාපතිරණ විසින් මේ කෘතිය රචනා කර ඇත්තේ වසර 24ක් පමණ වන සිය රාජ්‍ය සේවයේ අත්දැකීම් හා විශේෂයෙන් විමර්ශන නිලධාරියකු ලෙස මෙන්ම රජයේ නිලධාරින්ගේ විනය කටයුතුවලදී පැමිණිල්ල මෙහෙයවන නිලධාරියකු ලෙස කටයුතු කරමින් ලබා ගත් අත්දැකීම් පදනම් කරගනිමිනි. රජයේ නිලධාරින්ගේ විධිමත් විනය පරීක්ෂණවල පැමිණිල්ල මෙහෙයවීමේ රාජකාරි ඉටු කරන නවක නිලධාරින් සඳහා මෙම ග්‍රන්ථය අත්වැලක් වනු ඇත. ලේඛකයකු ලෙස විවිධ පුවත්පත් සඳහා විශේෂාංග රචකයකු වන දමින්ද හේවාපතිරණ මහතා රජයේ නිලධාරින්ගේ පුහුණු වැඩ සටහන්වලදී විනය කටයුතු සම්බන්ධ දේශකයකු ලෙස ද කටයුතු කරයි. කැලණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රපති උපාධිධාරියකු වන කතුවරයා, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ලේඛකත්ව හා සන්නිවේදනය පිළිබඳ පශ්චාත් උපාධියක් ලබා එම විශ්වවිද්‍යාලයේම ජන සන්නිවේදනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය හදාරා ඇත.


එස්. ජී. පුංචිහේවා ගේ දෙපැත්තක ගැටුම

කෘතිය- කුමාරතුංග තෙන්නකෝන් සහ දෙපැත්තක ගැටුම 
කර්තෘ- එස්. ජී. පුංචිහේවා 
ප්‍රකාශනය- සරසවි ප්‍රකාශකයෝ 
මිල- 450 /= / පිටු ගණන-75 
විමසීම්- 0112 769448

කෘති රැසක කතුවරයා වන එස්.ජී. පුංචිහේවා විසින් මේ කෘතිය ලියා ඇත්තේ ස්වාධීනත්වය සඳහා වූ සටනේදී එවකට මෙරට සිටි සිංහල ලේඛකයන් අතර නිවැරැදිම සටන්කාමීන් වූ කුමාරතුංග මුනිදාස, රැපියෙල් තෙන්නකෝන් දෙපළ පිළිබඳය. කෘතිය පිළිබඳ හැඳින්වීමක් කරමින් කතුවරයා පවසන්නේ, ‘‘මේ අග්‍රගණ්‍ය ප්‍රාඥයන් දෙපළ අපේ ස්වාධීනත්ව සටනට දුන් ජවය අජර ය. අමර ය. මේ පොතින් උත්සාහ ගැනුණේ ඒ සැඟවුණ කරුණ මතුකරලීමය."


බෞද්ධ ආකල්පය කෘතිය නිකුත් වෙයි

කෘතිය- බෞද්ධ ආකල්පය 
කර්තෘ- ධර්මසේන හෙට්ටිආරච්චි 
ප්‍රකාශනය- දයාවංශ ජයකොඩි සහ සමාගම 
මිල- 850/= / පිටු ගණන-207 
විමසීම්- 0112 953 996

බුදු දහම ආශ්‍රිත ශාස්ත්‍රීය හා සරල කෘති ගණනාවක කතුවරයා වන ආචාර්ය ධර්මසේන හෙට්ටිආරච්චි විසින් රචිත මේ කෘතිය තුළින් ද උත්සාහ කර ඇත්තේ මාතෘකා කිහිපයක් සම්බන්ධයෙන් බෞද්ධ ආකල්පය සරලව සහ කෙටියෙන් සාකච්ඡා කිරීමටයි. ශාස්ත්‍රීය ලේඛනයක් කිරීම වෙනුවට සාමාන්‍ය බෞද්ධ ජනතාව අරභයා ලියන ලද මේ කෘතිය තුළින් තමා අදහස් කළේ පුද්ගලයන් දහම් මඟට ගැනීම බව කතුවරයාගේ අදහසයි. ඒ අනුව උපතේ සිට මරණය දක්වා මිනිසාට ඇසුරු කිරීමට සිදුවන විෂයයන් 30ක් සම්බන්ධයෙන් බෞද්ධ ආකල්පය ඉතා සරලව එහෙත් මැනවින් ඉදිරිපත් කිරීමට කතුවරයා ගෙන ඇති උත්සාහය අගනේය.


චමින්ද ප්‍රීති කුමාරගේ අරගලය

කෘතිය- අරගලය(UPRISING 2022) 
කර්තෘ- චමින්ද ප්‍රීති කුමාර 
ප්‍රකාශනය-එලයිට් ප්‍රොමෝෂන් එන්ටර්ටේන්මන්ට්(පුද්) සමාගම 
මිල- 3,750/= / පිටු ගණන-292 
විමසීම්- 07764 445 555

2022 වසරේ මෙරට ඇතිවූ ආර්ථික අර්බුදයත් සමඟ පැන නැඟුණු ගෝල්ෆේස් අරගලයේ මුල් අදියරේ සිටම එයට සහභාගී දායකත්වයෙන් සහ සක්‍රිය ක්‍රියාකාරීත්වයෙන් සම්බන්ධ වූ ස්වාධීන රචකයකුගේ අත්දැකීම් සහ රහස්‍ය තොරතුරු අනාවරණය කිරීමක් ලෙස මේ කෘතිය හැඳින්විය හැකිය.

කෘතිය ගැන හැඳින්වීමක් කරමින් රචකයා පවසන්නේ, කිසිවකුට චරිත සහතික දීමට හෝ මතවාදීමව වශයෙන් හෝ දේශපාලනිකව පක්ෂග්‍රාහී නොවී, සැබවින්ම මෙම ඓතිහාසික ගෝල්ෆේස් අරගලය පැන නැඟීම සඳහා පාදක වූ කරුණු සත්‍ය ලෙසින් මෙන්ම තර්කානුකූලව සහ පර්යේෂණාත්මක මට්ටමින් ගෙනහැර දැක්වීමට මේ කෘතිය මඟින් උත්සාහ කළ බවයි.


ලොකුබන්ඩා තිලකරත්නගේ රට සභාව

කෘතිය- රට සභාව 
කර්තෘ- ලොකුබන්ඩා තිලකරත්න
ප්‍රකාශනය- සරසවි ප්‍රකාශකයෝ 
මිල- 300/= / පිටු ගණන-148 
විමසීම්- 0112 769448

නුවරකලාවියේ පැරණි ග්‍රාමීය අධිකරණ ක්‍රමයක් ගැන ලියැවුණ මේ කෘතිය හුදෙක් ඉතිහාස කෘතියක් නොවේ. කතුවරයා තම උපන් පරිසරය සහ ජීවන රටාව ඇසුරෙන් ලද අත්දැකීම් ද කෘතියට ඇතුළත් කර ඇත්තේ පාඨක විශ්වාසය නොමඳව දිනා ගනිමිනි. ඒ සඳහා කතුවරයා ජනශ්‍රැතිය පිළිබඳ ඇති මනා අවබෝධය උපකාරී කරගෙන ඇති බව පෙනේ. නුවරකලාවියේ ජනශ්‍රැතිය පිළිබඳ මේ කෘතිය රචනා කිරීමට අදාළ නිවැරදි කරුණු රැස් කිරීම සඳහා කතුවරයා බොහෝ වෙහෙස දරා ඇති බවක් හැඟෙන අතර ඔහුගේ වෑයම සාර්ථක වී ඇති බව ද කිව යුතුය. අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයේ ආදි සිසුවකු වන ලොකුබන්ඩා තිලකරත්න මේ වන විට ජීවත් වන්නේ අමෙරිකා එක්සත් ජනපදයේය.


ධම්ම පදය සරල බසින්

කෘතිය- ධම්ම පදය සරල බසින් 
සම්පාදක- ඒ. තිලකා ශ්‍රියාලතා අල්විස් 
කර්තෘ ප්‍රකාශනයකි 
පිටු ගණන- 171  
විමසීම්- 0715 921 776

බෞද්ධයාගේ අත්පොත ලෙස සැලකෙන ධම්මපදය පිළිබඳ දූ දරුවන් ඇතුළු සියලු ජනතාවට අවබෝධ කර ගැනීම පහසු කරමින් සම්පාදිත කෘතියකි මේ. වසර 35කට අධික කාලයක් ශ්‍රී ලංකා ගුරු සේවයේ හා ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ 1 ශ්‍රේණියේ විදුහල්පතිනියක ලෙස කටයුතු කර ඇති ඒ. තිලකා ශ්‍රියාලතා අල්විස් පවසන්නේ මෙම ග්‍රන්ථය සකස් කිරීමේ අරමුණ තමා ලත් දැනුම දායාද කිරීම බවයි.


තිලංගගේ ඒ මගේ අම්මා

කෘතිය- ඒ මගේ අම්මා 
කර්තෘ- තිලංග ෆොන්සේකා 
කර්තෘ ප්‍රකාශනයකි 
මිල- 970/= / පිටු ගණන-96 
විමසීම්- 0718 384 089

ජනමාධ්‍ය‍ෙව්දියකු ද ලෙස දශක දෙකකට ආසන්න කාලයක් මෙරට කටයුතු කළ තිලංග ෆොන්සේකා මේ වන විට නීතිඥයකු ලෙස කටයුතු කරමින ඔස්ට්‍රේලියාවේ වාසය කරයි. මීට පෙර ඝර්ම නම් නවකතාව රචනා කළ ඔහු මේ කෘතිය ඉදිරිපත් කරන්නේ කෙටිකතා සංග්‍රහයක් ලෙසිනි. එදිනෙදා අප අත්විඳින දෑ ජීවිතයෙන් පෙත්තක් කොට රසවත්ව, හරවත්ව කියැවීම සඳහා ලියා තැබීමට මෙවලමක වේද, ඒ කෙටිකතාව බව පවසන කතුවරයා මේ කෘතිය තුළින් තමා අත්විඳි සිදුවීම් රසවිඳින්නට පාඨකයාට ඇරයුම් කරයි.

Comments