මේයසුනරි කවබතාගේ ‘නමුරෙරු බිජො’නම් ජපන් නවකතාවේ ඉංගිරිසි පරිවර්තනය වන House of the Sleeping Beauties කෙටි නවකතාවේ සිංහල පරිවර්තනයයි.
නිදි කුමරියන්ගේ නිවහන යනු නෂ්ටකාමයෙන් මෙන්ම ලිංගික බෙලහීනතාවයෙන් පෙළෙන මහලු මිනිසුන් උදෙසා පවත්වාගෙන වෙනස් ආකාරයක නිවාසයකි. කෙසේ වෙතත් එය spa එකක් නොවේ.
මෙහි සාමාජිකත්වය දරන පිරිමින්ට එයට ඇතුළුව රැයක් පුරා නින්දේ සිටින නිරුවත් සුරූපිනියක් සමඟ වැතිර සිටිය හැකිය. නැතහොත් නිදා ගත හැකිය. මේ සුරූපිනියන් මළා සේ නිදිය. ඔවුන් එසේ සිටින්නේ කිසියම් මත්වනසුලු රසායනයක් ශරීර ගත කරනු ලැබ ඇති නිසාය.
ඔවුන් සමඟ සැතපෙන්නට එන වෘද්ධයන්ට සුවෙන් නිදන්නට අවශ්‍ය නම් නිදි පෙති ද සැපයේ.
මේ කතාව අපට කියන එගුචි 67 හැවිරිදි පුද්ගලයෙකි.
මේ සියලු කෙල්ලන් කන්‍යාවන් බව ඔහුගේ විශ්වාසයයි. ඔවුන්ගේ සිරුරුවල කොතැනකවත් ලප, කැලැල්, ඉන්නන් වැනි දෑ නොමැති බව එගුචි කියයි.
පළමු වැනි රාත්‍රියේ ඔහු සැතපී සිටින සයනයේ අනෙක් පස සිටින තරුණිය ළාබාල දැරියක් බව පෙනේ. ඇයගෙන් ඔහුට දැනෙන්නේ කිරි සුවඳකි. එය සිය මුනුපුරා සමීපයේ ඇති සුවඳ බව ඔහු සිතයි.
මෙලෙස ඔහු දින පහක් එතැනට යයි. ඔහුට එක් තරුණියක් දෙවරක් හමු නොවේ. ඊට හේතුව ලෙස පාලිකාව කියන්නේ ඔහු සිය පැමිණීම හදිසියේම දන්වන නිසා ඔහු ප්‍රිය කළ පෙර සිටි තරුණියක් ලබා දීම කළ නොහැකි බවයි.
බොහෝ විට ඔහු මේ නිරුවත් කන්‍යාවන් සමීපයේ වැතිරී සිය අතීතය මෙනෙහි කරයි. ඔහු, ඔවුන්ගේ සිරුරු ඇසුරින් සිය දියණියගේ, බිරියගේ මෙන්ම මවගේ ද සිරුරු ගැන මෙනෙහි කරයි.
"ඔහු ඇගේ පියොවුරක් ස්පර්ශ කළේය. එය තම අතින් මෘදු ලෙස අල්ලාගෙන සිටියේය. ඒ ස්පර්ශයෙන්, මේ පියොවුරු, තමා පිළිසිඳ ගන්නට පෙර තම මවගේ ඒවා වැනිය යන හැඟීම වැනි යම් අමුතු පහර කෑමක් වැනි දෙයක් එක්වර සිදු විය. ඔහු තම අත ඉවතට ඇද ගත්තේය. එහෙත් ඒ හැඟීම ඔහුගේ පපුවේ සිට උරහිස දක්වා ගමන් කළේය."
පළමු දිනයේදී එගුචිට සිය යොවුන් වියේ පෙම්වතිය සිහි වෙයි. "එය හිම සහිත රාත්‍රියකි. තරුණ එගුචි සුන්දරත්වය සඳහා හුස්මක් ගත් අතර, කඳුළු සලන්නට තරම් විය. ඉන්පසු ඔහුට හමු වූ කාන්තාවන් තුළ එවැනි සුන්දරත්වයක් ඔහු කිසිදිනෙක දැක නැත. ඒ සුන්දරත්වය ඔහු කෙමෙන් වටහා ගත්තේය. ඇගේ රහස් තැන ඒ සුන්දරත්වය, ඇගේ ආත්මයේ සුන්දරත්වයම බව ඔහුට වැටහිණ."
ජීවිතාස්තංගතයේදී සුන්දර නිරුවත් කන්‍යාවන් සය දෙනෙකු සමඟ අවස්ථා පහකදී නිදිවර්ජිතව රැය පහක් පහන් කරමින් සිතිවිල්ලේ නිමග්නවැ සිටින්නකු දකින, සිතන, ආවර්ජනය කරන දෑ මෙහි කියැවිය හැකිය.
කෙසේ වෙතත් තමා තුළ තවමත් හැකියාව ශේෂව පවතින බව එගුචි කියයි. තරුණියක් තමා නිසා ගැබ් ගතහොත් ඇය ප්‍රසූත කරන දරුවා සමඟ පාරේ යනවිට මුණ ගැසුණත් තමාට හඳුනා ගන්නට බැරි වනු ඇති නේද යැයි ඔහු සිතයි. මෙයින් අපට වැටහෙන්නේ ඔහු කෙළින්ම නොකිව්වද එක්තරා රැයක සයනයේ සිටින නිදිගත් තරුණියට ඔහු අතින් යමක් සිදුවන්නට ඇති බවයි.
එක් දිනෙක තමා එතැනට යොමු කළ මිතුරාගෙන් එගුචිට දැන ගන්නට ලැබෙන්නේ, පෙර දිනයේ නිදි කුමරියන්ගේ නිවහනට ඇතුළු වූ තමාටත් වඩා වියපත් අයෙක් එහිදී මරණයට පත් වූ බවයි. ඒ ගැන විමසන ලදුව නිවාස පාලිකාවගෙන් දැනගන්නට ලැබෙන්නේ එය සත්‍යයක් බවයි. මැරුණු මිනිසා විසින් ඔහු සමඟ එදා යහනේ සිටි තරුණියගේ පපුවේ සීරුම් තුවාල ඇති කොට තිබූ බව ද ඇය පවසයි. මිනිසාගේ දේහය රාත්‍රියේදීම තානායමක් කරා මාරු කර යවනු ලදුව පසුදින අවමඟුල් කටයුතු සිදු කරනු ලැබිණ.
අවසාන දිනයේ නිවහනට යන ඔහුට තරුණියන් දෙදෙනකුම ලැබේ. එකියක් කළු වන අතර අනෙකිය සුදුය. එදා රැයේ කළු තරුණිය මියගොස් සිටිනු ඔහු අනාවරණය කර ගනී. එය කෙසේ සිදු වූවා දැයි අපි නොදනිමු. නිවාස පාලිකාව මළසිරුර සුපුරුදු ලෙස තානායමට යවා අනෙක් තරුණිය සමඟ රෑ පහන් කරනු ලෙස ඔහුට දන්වයි.
කතාවේ අවසානයේ මෙසේය:
"ඇය කාලවර්ණ තරුණිය පහළ මාලයට ඇදගෙන යනු ඔහුට ඇසිණි. තම රාත්‍රී කිමෝනාව හැඳ නැඟිට සිටි ඔහුට පළමුවරට තමා මත සීතලක් තිබෙනු දැනිණ. සුදු පෙති දෙකක් සමඟ ගැහැනිය නැවත පැමිණියාය.
”ආ, මෙන්න හෙට දවල් වෙනකම්ම නිදිය ගන්න”
”අපොයි” ඔහු කාමරයේ දොර ඇරියේය. ඇඳ ඇතිරිලි කලබලයෙන් ඇද දමා තිබූ පරිදිම විය. පැහැපත් තරුණියගේ නිරුවත් රුව සුන්දරත්වයෙන් දිලිසෙමින් තිබිණි.
ඔහු ඈ දෙස බලා සිටියේය.
මොටෝරියක් ඉවතට ඇදී යනු ඔහුට ඇසිණි. බොහෝදුරට ඒ කාලවර්ණ තරුණියගේ සිරුර සමඟ විය යුතුය. එය රැගෙන යන්නට ඇත්තේ මහලු ෆුකුරා රැගෙන ගිය සැකසහිත තානායමටමද?”
කවබතා මේ කෙටි කෘතියෙන් අපට ගෙන එන්නේ අපූර්ව අත්දැකීමකි.
මෙහි සුන්දරත්වය හා අජූව, නව යොවුන් බව හා අතීත යෞවනය සහ ජීවත්වන බව සහ මියගිය බව යන ඒවායේ විසදෘෂතාව මැනැවින් නිරූපණය වන බව විචාරක මතයයි.
මේ ඇසුරින් චිත්‍රපටයක් ද නිර්මාණය වී ඇතත් එය එතරම් සාර්ථක වී නැත. සිය ‘මගේ දුක්ඛදායක සුන්දරියන් පිළිබඳ මතක’නම් කෙටි නවකතාවේ කතා වින්‍යාසය ගොඩනැඟුණේ මේ අභාසයෙන් බව මාකේස් සටහන් තබා ඇත යැයි සඳහන්ය.