
- මෙවර කොළඹ දන්සල් 214ක්
- දොළොස් වසරක් දිනපතා දුන්න දන්සල නැවතුන හැටි
- ලංකාවේ පළමු තොරණ ජපානයට ගෙන ගිය හැටි
- වෙසක් එකට සිරකරුවන්ට රසකැවිලි
කොරෝනා වසංගතය නිසා අපට අහිමි වූ දේ බොහෝය. එයින් වැඩිම හානියක් වූයේ වෙසක් උත්සවයට යැයි සිතිය හැකිය. අපේ වෙසක් උත්සවයේ ජීවමාන සාධකයන් වූ දන්සල හා තොරන යන සංකල්ප කොරෝනා වසංගතයත් එක්කම අපෙන් ඈත්ව ගියේය. කොරෝනාවෙන් පසු වසරක් ගෙවී ගියේය. දෙකක් ගෙවී ගියේය. වසර තුනක් ද ඉක්මවූ පසු මෙවර වෙසක් උත්සවය අමුතුම ප්රබෝධයක් ගෙන ඇත.
වෙසක් උත්සවය වෙනුවෙන් කොළඹ, හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය සංවිධානය කරන 'බුද්ධ රශ්මි' වෙසක් කලාපය ජනාධිපති රනිල් වික්‍රමසිංහයන්ගේ ප්‍රධානත්වයෙන් මුලින්ම ආරම්භ වූයේ පසුගිය තුන්වැනි බදාදාය. රාජ්‍ය මට්ටමින් වෙසක් උත්සවය ආරම්භය සනිටුහන් කෙරුණේ එසේය. බුද්ධ රශ්මි ජාතික වෙසක් මංගල්‍ය වෙනුවෙන් ගාලු මුවදොර ෂැංග්‍රිලා හරිත භූමියේ සහ ජනාධිපති කාර්යාල පරිශ්‍රයේ මැයි 03 වැනිදා සිට 06 වැනිදා දක්වා තොරණ, පහන් කූඩු, භක්ති ගීත, දන්සල, සීල භාවනා ඇතුළු වැඩසටහන් රැසක් ආරම්භ කෙරිණි.
එහි සමාරම්භය සටහන් කරමින් විදුලි පහන් ආලෝකය දැල්වීම ජනාධිපතිවරයා අතින් සිදු වූ අතර අනතුරුව ජනාධිපති කාර්යාලයීය පියගැටපෙළ ඉස්මත්තේදී පැවති විචිත්‍රවත් භක්ති ගීත ප්‍රසංගය නැරඹීමට ජනාධිපතිවරයා අමතක නොකළේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගංගාරාම සීමා මාලකයේ බුදුපිළිම වහන්සේ වෙත මල් පූජා කර ආගමික වතාවත්වල නිරත වීමෙන් අනතුරුව විදුලි ආලෝකය දල්වා "බුද්ධ රශ්මි වෙසක් කලාපය" විවෘත කළේය.
දකුණු ආසියානු තානාපති කාර්යාල හා මහ කොමසාරිස් කාර්යාලවල දායකත්වය සහිතව ඉදි කෙරුණු මෙම වෙසක් කලාපයේ බෞද්ධ උරුම නිරූපණය වන අයුරින් එම රටවල් ඉදිකර ඇති ප්‍රදර්ශන කුටි ඉතා ආකර්ෂණීය විය. පාකිස්ථාන බෞද්ධ උරුම පිළිබඳ ප්‍රදර්ශන කුටියේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ එහි තිබා තිබූ සමරු ග්‍රන්ථයේ සටහනක් තබනු දැක ගැනීමට හැකි විය.
කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ වසර 3ක් අඛණ්ඩව කොළඹ නගරය තුළ දන්සල් නිසි අයුරින් පැවැත්වීමට වාතාවරණයක් නොවීම හේතුවෙන් මෙවර වෙසක් පුන් පොහොය යෙදෙන මැයි 05 වැනිදා සිට කොළඹ නගර සීමාවේ කොළඹ 01 සිට කොළඹ 15 දක්වා දන්සල් වැඩි වැඩියෙන් සංවිධානය කරන ලෙස කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි රුවන් විජයමුණි සංවිධායකවරුන්ගෙන් ඉල්ලා සිටියේ මේ අතරය.
කොළඹ නගරයේ දන්සැල් පැවැත්වීමට කැමැති අය කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක අබේරත්න හමුවී ලියාපදිංචි විය යුතුව තිබුණ අතර කොළඹ නගරයේ පවත්වන සියලුම දන්සල්වල ආහාර පරීක්ෂා කිරීම සඳහා විශේෂ කණ්ඩායම් 6ක් යොදවන බව ද රුවන් විජයමුණි පැවසීය.
ජනාධිපති ලේකම් කාර්යාලය අසල බත් දන්සල ඇතුළුව කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ දන්සල් 214ක් බ්‍රහස්පතින්දා දහවල් වන විට කොළඹ මහනගර සභාවේ ලියාපදිංචි වී තිබුණි. වැඩිම දන්සල් ප්‍රමාණයක් එනම් දන්සල් 123ක් ලියාපදිංචි වී තිබෙන්නේ උතුරු කොළඹ වන අතර දෙවන වැඩිම දන්සල් ප්‍රමාණය වන 91ක් ලියාපදිංචි වී තිබෙන්නේ දකුණු කොළඹය.
බත් දන්සල් 127ක් ලියාපදිංචි වී ඇති අතර එයින් 37ක උතුරු කොළඹද 27ක් දකුණු කොළඹ ද ලියාපදිංචි වී ඇත. ලියාපදිංචි වී ඇති අයිස් ක්‍රීම් දන්සල් 88ක් අතරින් 29ක් උතුරු කොළඹ පවතින අතර දකුණු කොළඹට 19ක් අයත් වේ. සීනි සම්බල් පාන් දන්සල් 48ක් ලියාපදිංචි වී ඇති අතර එයින් ද වැඩිම ප්‍රමාණයක් එනම් දන්සල් 20ක්ම ලියාපදිංචි වී තිබෙන්නේ උතුරු කොළඹ ප්‍රදේශයේ වීම විශේෂත්වයකි.
සාමාන්‍යයෙන් දන්සල් පැවැත්වෙන්නේ වෙසක් දිනයේ වුවත් අපට ඊට කලින් දින බ්‍රහස්පතින්දා සීනි සම්බල් පාන් දන්සලක් දක්නට ලැබුණේ පිටකොටුව නවනගර ශාලාව ඉදිරිපිට ලංකා බැංකුවේය. සීනි සම්බල් දන්සල ආරම්භ කෙරුණේ බ්‍රහස්පතින්දා සවස හතරටය. ලංකා බැංකු ශාඛාව අසලට ගිය අපට දක්නට ලැබුණේ මනාව සැකසූ පාන් හා සීනිසම්බල් පාන් ෂොපිං උරවල බහා සූදානම් කොට තිබූ අයුරුය. වසර 15කට අධික කාලයක සිට පැවත එන මේ දන්සල ගැන අප අසා සිටියේ එම බැංකු ශාඛාවේ කළමනාකරු සමින්ද රාජපක්ෂගෙනි.
"පසුගිය කොවිඩ් කාලේ මේ දන්සල නැවතිල තිබුණේ. අවුරුදු තුනකින් තමයි මේ පටන් ගත්තේ."
ඒ සමඟම එම ස්ථානයට ආවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වන විතානගේ හා ඩිල්ෂාන්ය. දන්සලට සැකසූ ආහාර ද්‍රව්‍ය ඔවුනගේ නිරීක්ෂණයට ලක්විය. වේල්ල වීදිය පොලිසියේ ප්‍රධානියා වූ අජිත් පේදුරු ආරච්චි ද දන්සල විවෘත කිරීමේ අවස්ථාවට එක්විය. දන්සල ආරම්භයට පෙර දන්සලේ පෝලිම නවනගර ශාලාව ද පසුකර තිබුණි. හොඳින් හැඳ පැලඳගත් වැදගත් බොහෝමයක් දෙනා එම පෝලිමේ සිටියේ අලුත් අත්දැකීමක් ලබාගන්නට සූදානමිනි. මුලින්ම දන්සලෙන් සීනි සම්බල් පාන් පාර්සලය ලබා ගත්තේ සිඟිති දැරියකි.
"වෙසක් දන්සලකින් නොකෑවොත් ඇඟට ටිකක මදි වගේ. හෙට බැංකු නිවාඩු හින්ද දන්සල අද දෙන්නේ. රෑ දොළහ විතර වෙනකං මේ පෝලිම තියෙනවා." පෝලිමේ සිටි අයෙක් අනාරාධිතවම අපට පැවසීය. මේ දැන් දන්සල් ඇත්තේ වෙසක් පොසොන්වලට පමණක් වුවත් වසර 12ක් පුරා පැවැත්වෙන දන්සලක් කොළඹ මහ රෝහල අසල පැවැත්විණි. එය පැවැත්වූයේ මුස්ලිම් ජාතික ව්‍යාපාරිකයකුගේ අනුග්‍රාහකත්වයෙනි. මහ රෝහලට ප්‍රතිකාර, වෛද්‍ය වාර්තා හා ප්‍රතිකාර ගන්නට එන දහසකට අධික පිරිසක් සඳහ උදෑසන ආහාරය හා දිවා ආහාරය එහිදී ලැබුණි. එහෙත් පාස්කු ප්‍රහාරයෙන් පසු මෙම අනුග්රාහකයාට විවිධ චෝදනා එල්ල වීම නිසා මෙම දන්සල නවත්වා දමන ලදී. එහෙත් මෑතකදී එම ස්ථානයට යාබඳව නැවතත් මෙම දන්සල් කටයුත්ත සංවිධානාත්මකව අරඹා තිබෙනු දක්නට ඇත.
මේ අතර වෙසක් උත්සවය නිමිති කොට ධර්මායතනාධිපති පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන්ගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක කෙරුණු කොළඹ ආශ්‍රිත මගී ප්‍රවාහනයේ යෙදෙන ත්‍රිරෝද රථ දහසක බෞද්ධ කොඩි සවි කිරීම වැඩසටහනක ආරම්භය මැයි 03 දින අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් කොළඹ 7, ධර්මායතනයේ දී සිදු කෙරිණි.
මෙහිදී අදහස් දැක්වූ පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් මෙසේ පැවසූහ.
"උත්සවය කියන වචනය බෞද්ධයන් සතු වචනයක්. උත්සවය කියන වචනය තුළ එකතුවීම, එකට වැඩ කිරීම, එක අරමුණක සිටීම, සියලු දෙනා සතුටින් සිටීම යන වචන තියෙනවා. අපේ තිබුණේ බෞද්ධ උත්සව, වෙසක්, පොසොන්, ඇසළ, නිකිණි, බිනර කියලා. දැන් හුඟාක් බෞද්ධ උත්සව වැටිලා ගිහිල්ලා. ඉතුරු වෙලා තියෙන්නේ වෙසක් සහ පොසොන් විතරයි. මේ සැරසිලි නැතුව ගියොත් ආලෝකයක් නැහැ. අපේ වෙසක් උත්සවය බලන්න ජපානය, කොරියාව, තායිලන්තය, මියන්මාර් ආදී බෞද්ධ රටවල්වලින් විශාල සංචාරකයන් පිරිසක් ලංකාවට පැමිණෙනවා."
වෙසක් උත්සවය ගැන අලුත්ම ආරංචිය එන්නේ ඇමරිකාවේ ධවල මන්දිරයේ පැත්තෙනි. වෙසක් උත්සවයක් ප්‍රථම වතාවට ධවල මන්දිරයේ පැවැත්වීමට පූජ්‍ය හේනේපොල ගුණරතන හිමියන්ට ඇරයුම් ලැබී ඇති අතර උන්වහන්සේ වෙනුවෙන් එම උත්සවයට වැඩම කරන්නේ ඇත්කඳුවල ශ්රද්ධාජීව හිමිපාණන්ය.
බන්ධනාගාරගත වූවන්ට 'රසකැවිලි' දෙන ආරංචියක් එන්නේ වැලිකඩ බන්ධනාගාරය පැත්තෙනි. ඒ අනුව බන්ධනාගාරගත වූවන් බැලීමට එන ඥාතීන්ට, රැඳවියන්ට රසකැවිලි පාර්සලයක් ලබාදීමට අවස්ථාව උදාවී ඇත. එමෙන්ම සිරකරුවන් 500කට ජනාධිපති සමාව මෙවර වෙසක් උත්සවය වෙනුවෙන් පිරිනැමී ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වැනි වගන්තියෙන් ජනාධිපතිවරයා පැවරී ඇති බලතල වලට අනුව අධිකරණ ඇමැතිවරයා කළ ඉල්ලීමකට අනුව මෙම සමාව ලැබී ඇත. වෙසක් මංගල්‍යයට සමගාමීව වැලිකඩ බන්ධනාගාර පරිශ්‍රය තුළ තෙදිනක වෙසක් කලාපයක් පැවැත්වීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබුණි.
"අවිදු අඳුර දුරලමු සිපිරි වෙසක් සමරමු" යන තේමාව මුල් කර ගනිමින් පැවැත්වෙන මෙම වෙසක් කලාපය මෙම 6 දින සිට 7 දින දක්වා පැවැත්වෙන අතර මෙම ප්‍රදර්ශනය බන්ධනාගාර නිලධාරීන්ගේ හා රැඳවූවන්ගේ මූලිකත්වයෙන් සිදු කෙරෙයි.
මෙම වෙසක් කලාපය තුළ දර්ශනීය පහන් කූඩු, බැති ගී, දන්සල්, ධර්ම සාකච්ඡා ඇතුළු වැඩසටහන් රැසක් ක්‍රියාත්ම කිරීමට කටයුතු යොදා තිබුණි. මෙම වෙසක් කලාපය වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට කිලෝ මීටර් භාගයක් පුරා ප්‍රදර්ශනය කෙරෙන අතර එය නැරඹීම සඳහා මහජනතාවට අවස්ථාව උදා කර දී තිබීම විශේෂත්වයකි.
වෙසක් දිනය ජාත්‍යන්තර නිවාඩු දිනයක් බවට පත්කරන්නට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට යෝජනා කළේ එවක විදේශ ඇමැතිවරයා වූ ලක්ෂ්මන් කදිරගාමර්ය. බුදුන්ගේ ශ්‍රී සද්ධර්මය ගැන අසීමිත ගෞරවයක් තිබූ කදිරගාමර් නම් ද්‍රවිඩ ජාතිකයා 2005 වසරේදීම ද්‍රවිඩ ත්රස්තවාදීන්ගේ ස්නයිෆර් ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්වීම දෛවෝපගත සිදුවීමක් විය. වෙසක් උත්සවයත් සමඟ කියවෙන තවත් අත්‍යවශ්‍ය අංගයක් වන්නේ තොරණයි.
කොරෝනා උවදුරට පෙරාතුව පෑලියගොඩ, නවලෝක, කිරිබත්ගොඩ, ගංගාරාම, කොසගස් හංදිය, රාගම, පිටකොටුව, එළවළු මාකට්, බොරැල්ල, බෞද්ධාලෝක මාවත, ගාලුමුවදොර, නුගේගොඩ, මහරගම, හෝමාගම ආදී ප්‍රදේශවල පවා තොරන් දැකගත හැකි විය. එහෙත් මෙවර කොළඹ තොරන් දැකගත හැකිව ඇත්තේ දෙමටගොඩ හා තොටලඟය. මෙම තොරන් ඉදිකිරීම් දක්නට නොමැතිවීමට ප්‍රධාන හේතූන් ලෙස සංවිධායකයන් දක්වා ඇත්තේ විදුලිබිල හා විදුලි බුබුළු, ෆ්ලයිවුඩ්, වයර්, චිත්‍ර ශිල්පී ගාස්තු හා පුවක්ගස් හා යකඩ බාර් කුලී ගාස්තු ඉහළ යෑමය. මෙවර කොළඹ තොරන් ඇත්තේ තොටළඟ හා දෙමටගොඩ පමණි.
තොරන් ඉතිහාසය පිරික්සද්දී පෙනෙන්නේ ලංකාවේ මුල්ම වෙසක් තොරණ ඉදිවන්නේ 1955 දී තොටළඟ බවය. උසින් අඩි 85ක් පමණ වූ මේ තොරණ නිර්මාපකයා නාගලගම් වීදියේ ප්‍රකට ව්‍යාපාරිකයකු වූ විල්බට් පෙරේරා යි. තොරණට තේමාව වූයේ මහා භද්‍රකල්ප පුවත යි. වයස අවුරුදු 12ක් පමණ විට කොල්වින් පීරිස් ඇතුළු කොලු ගැටවුන් පිරිසකගේ කුඩා කුඩා සිතුවම් තොරණක් දැකීමෙනුයි විල්බට්ට තොටලඟ තොරණ කිරීමට සිත් පහළ වී තිබෙන්නේ.
විදුලි බුබුළු 25000කින් අලංකාර වූ මෙම තොරණට රුපියල් 7500/-ක් එකල වැය වී තිබේ. මුළු රටට ම විදුලිය නැති කුප්පි ලාම්පු එළියට හුරු ඒ කාලේ ජෙනරේටර්වලින් තොරණට විදුලිය සපයාගෙන තිබේ. විල්බට් පෙරේරාගේ එක් පුතකු වන්නේ අනුර පෙරේරාය. ඔහු මේ තොරන් ඉතිහාසය හාරා අවුස්සන්නේ මෙසේය.
"මුල්ම තොරණට පුවක් ගස් දෙතුන් සියයක් ඒ සඳහා අවශ්‍යයි කියලා දැන ගත්තට පස්සේ මේ පළාතේ එච්චර පුවක් ගස් නැති හින්දා ඒවා යටියන්තොට, රුවන්වැල්ල පැත්තෙන් පුවක් ගස් කැලණි ගඟ දිගේ තමයි තොටළඟට ගෙනත් තියෙන්නේ. ඒක ලංකාවේ මුල්ම වරට ඉදි කළ දැවැන්තම තොරණ හින්දා දස දහස් ගණනක පිරිසක් මේක නරඹන්න ඇවිත් තියෙනව.
අගමැති එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක අතින් තමයි එදා තොරණ විවෘත වෙලා තියෙන්නේ. ඒ අවස්ථාව වඩාත් අලංකාර කරන්න ගුවනින් මල් පවා ඉහළ තියෙනවා.
සති ගණනක් ප්‍රදර්ශනය කෙරුණු මේ අරුම පුදුම තොරණ නරඹන්නට ලක්දිව පුරා ජනයා තොටළඟට ඇවිත් තිබේ. එසේ පැමිණි පිරිස අතර සිටි ජපන් ජාතිකයන් පිරිසකගේ ඉල්ලීම මත මුළු තොරණ ම නැවත ජපන් රටෙත් ප්‍රදර්ශනයට රැගෙන ගොස් තිබීම විශේෂත්වයකි.
ලංකාවේ පැරණිතම තොරණ ලෙස තොටළඟ තොරණ ඉතිහාසගත වුවත් 1971 කැරැල්ල හා 2019 පාස්කු ප්‍රහාරය හා කොරෝනා වසංගතය හේතුවෙන් තොටළඟ තොරණ එම වසරවලදී ඉදිවී නැත.
මෙරට තොරන් කර්මාන්තය දේශපාලන ව්‍යාපෘති සඳහා ද යොදාගත් ඉතිහාසයක් මෙරට තිබුණ බවට බොහෝ දෙනාට අමතකය. ප්‍රේමදාස අගමැති වූ යුගයේ නිදහස් දිනය සැමරෙන පෙබරවාරි 4 වැනි දිනයට පෙර දිනයක මෙවැනි ප්‍රකාශයක් කොට ඇත.
"අපිට ආරංචියි නිදහස් දිනයට ජාතික වීරයෝ ඉන්න තොරන් කොළඹ හදන්න යනවයි කියලා."
සුපුරුදු පරිදි නිදහස් දිනයේදී ජාතික වීරයන්ගේ රූප සහිත තොරන් විවෘත විය. ප්‍රේමදාස අගමැතිවරයාගේ යටතේ එවකට තිබූ ගොඩනැඟිලි ද්‍රව්‍ය සංස්ථාව ගොඩනැඟූ තොරනේ ජාතික වීරයකු ලෙස ප්‍රේමදාස රුවත් චිත්රණය කොට තිබුණි.
එමෙන්ම විජය කුමාරතුංග ඝාතනය වූ වසරේ වෙසක් උත්සවයේදී විජය වෙනුවෙන් තොරණක් විජය වෙඩි කෑ පොල්හේන්ගොඩ නිවස ඉදිරිපිට ගොඩනැඟුණේ පළාත් සභා ඡන්ද උණුසුම මධ්‍යයේය.
එක්සත් සමාජවාදී පක්ෂයේ පක්ෂ ලාංඡනය වූයේ මැටි පහනය. තොරනේ මැටි පහන් සහ ඡන්ද කතිරය නිවි නිවී පත්තු වූයේ බල්බ් වලිනි. එම තොරනේ විජය බුදුන් වඳින කටවුට් එකක් ද විය.
ඩිජිටල් මුද්‍රණය ප්‍රචලිත වීමත් සමඟ තවමත් අපේ තොරනේ 'ගතියක්' ඇත්තේ සිත්තරකු එම තොරණ චිත්රණය කළොත් පමණි. තොරන් නිර්මාණයෙන්ම ජීවත් වූ පිරිසක් කොරෝනාවට පෙර මෙරට සිටි බව ඉතිහාසයට පමණක් එක්වී හමාරය.
ජනක් ප්‍රේමලාල්ගේ 'අබුද්දස්ස කෝලම' නමැති නාට්‍යයට පාදක වී ඇත්තේ තොරණක් පිටුපස ඇති නෙත නොගැටුණ කතාන්තරයයි. තොරනේ කතාව විරිඳුවෙන් හෝ කතාංගයක් ලෙස කොටුවෙන් කොටුව විස්තර කිරීම විචිත්‍රවත් අංගයකි. එමෙන්ම තොරණට ආධාර කරන බැතිමතුන්ට පැදි පෙළකින් ආශිර්වාද කිරීම ද ජයටම සිදු කෙරෙන්නෙකි. අබුද්දස්ස කෝලම නාට්‍යයේ එවැනි බැතිමතුනට තුති පුද කරන්නේ මෙසේය.
ඒ.කේ. නෝමිස් සිඤ්ඤෝ
සත පනහක් දෙන්ඤෝ
ඒ පින් අරගන්ඤෝ
නිවන් පුරට යන්ඤෝ
අපිට මේ තොරන් දැක ගත හැකි වන්නේ වෙසක් එකට පමණය. එහෙත් 1875 සිට දැකගත හැකි තොරණක් අම්බලන්ගොඩ ඇත. එහෙත් මෙම තොරණ නිර්මාණය කොට අවසන් කොට ඇත්තේ 1916දී යයි සැලකේ.
අම්බලන්ගොඩ මහ පන්සල හෙවත් සුනන්දාරාම මහා විහාරයේ ප්‍රධාන පිවිසුම් දොරටුවේ ඇති ඝණ්ටාර තොරණ ද ගෞතම බුදුන්ගේ ශාසනය වෙනුවෙන් ඉදි වූ සුවිශේෂි නිර්මාණයක් ලෙස සඳහන් කළ හැකිය. ප්‍රධාන වශයෙන්ම මෙම ඝණ්ටාර තොරණ සුවිශේෂි නිර්මාණයක් වන්නේ එහි ප්‍රමාණය හේතුවෙනි.
මහල් 4කින් යුතු මෙම ඝණ්ටාර තොරණ උසින් අඩි 75ක් කුත්, පළලින් අඩි 40 කිනුත් යුක්ත වේ. එහි සවිකර ඇති ඝණ්ටාරය හොණ්ඩර 5ක බරකින් යුක්ත බැවින් මෙම ඝණ්ටාර තොරණ ලංකාවේ ඇති විශාලතම ඝණ්ටාර තොරණ බව සැක හැර සඳහන් කළ හැකිය.
අප දන්නා මෑත කාලීන තොරන්වල කොටුවෙන් කොටුව විස්තර කෙරෙන්නාක් මෙන් මේ ඝණ්ටාර තොරණ ගැන ඇති විස්තරයක් මෙසේය.
බඹරේ කැරකෙන විලසින් කැරකෙයි
මැසින් එකක් තුන්වෙනා මහ ලේ
විතරේ නැති එම ලෝකඩ ගුලියක්
දුනුපිට කැරකෙනවා ලක ලේ
අතරේ පැන පැන එක එක දුන්නෙක්
උඩගන්ටාරෙට ගහන ක ලේ
පැතිරේ නාදය අම්බලන්ගොඩ
සුනන්දාරාමේ වෙහෙර තු ලේ
කෙසේ වෙතත් අවසානයේ අපට පැවසිය හැක්කේ මෙවර වෙසක් උත්සවය වසර තුනකට පසු අමුතුම ප්රබෝධයකින් සැමරෙන බවය. ගියවර වෙසක් සමයේ ගෑස් පෝලිමේ, පෙට්‍රල් පෝලිමේ සිටි බැතිමතුන්ට ඒ වෙනුවට මෙවර තමන්ට රිසිසේ තොරන් පෝලිමේ මෙන්ම දන්සල් පෝලිමේ බැති සිතින් ගත කිරීමට මෙවර අවස්ථාව උදාවී ඇත.