අඩි 15,000ක් උඩින් වැටිලා කකුල් දෙකම කැඩුණු වෙලාව මගේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යයයි | සිළුමිණ

අඩි 15,000ක් උඩින් වැටිලා කකුල් දෙකම කැඩුණු වෙලාව මගේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යයයි

මිනිසකු විනාශ කරන්නට පුළුවනි; ඒත් පරාජය කරන්නට නම් නොහැකියි යැයි කීවේ The Old Man And the Sea නම් ලෝක පූජිත නවකතාව ලියමින් අර්නස්ට් හෙමිංග්වේ ය. එය සර්වකාලීන හා සර්වභෞමික සත්‍යයකි. ඒ වාක්‍ය ලියූ හෙමිංග්වේ ට මෙන්ම අපට ද එවැනි මිනිසුන් හමු වී තිබේ. අද මා අබියස සිටිනා මිනිසා ද එවැන්නෙකි. දෛවය සරදම් කළ ද හේ ඒ සරදම ආශීර්වාදයක් කරගන්නේ සිය හදවතේ පරිමාව හා ශක්තිය ගැන වන අනේක විශ්වාසයෙනි. අඩි 15,000ක උසක සිට පැරෂුටයෙන් විස්කම් පෑමට ගොස් වැටී දණිස්සෙන් පහළ කුඩු වී ගිය ද හේ අද සිය වයසේ අන් අයටත් වඩා සෞඛ්‍ය සම්පන්න ව හා ශක්තිමත් ව ජීවත් වෙන්නේ ඒ නිසා ය. වෛද්‍යවරුන් පවා නැවත කකුල් දෙකෙන් ඇවිදින්නට නොහැකි වෙතැයි අනාවැකි කියද්දී ඔහුට ඉතිරි ව තිබුණේ සිය ශක්තිමත් හිත සහ අධිෂ්ඨානය පමණකි.

කළ නොහැක්කක් නැත යන්න සිය ආදර්ශයට ගත් මේ අපූර්ව ශක්තිවන්තයා නමෙන් කීර්ති කණහැරආරච්චි ය. ගුවන් හමුදාවෙන් විශ්‍රාම ගොස් දැන් ඔහු සේවය කරන්නේ වෙනස් ම ක්ෂේත්‍රයක ය. වත්මන Lion Brewery Ceylon(PLC) සමාගමේ ආයතනික කටයුතු පිළිබඳ උප සභාපති ධුරය හොබවන ඔහුගේ දිවිසැරිය පණ ගැහෙන හදවතක් පමණක් ඉතිරි වුව ද ජීවිතය දිනන්නට එය ප්‍රමාණවත් බව පසක් කරනා අන්දමේ අධිෂ්ඨානයේ කතාවකි.

සම්පූර්ණ නම මොකද්ද?

ගංග සිංහ කීර්ති කණහැරආරච්චි

උපන්දිනය

1966 දෙසැම්බර් 17 වැනිදා

ගම්පළාත

ගාල්ලේ යටගල

අම්මා තාත්තාගේ නම් සහ වෘත්තීන්

තාත්තා ප්‍රේමරත්න කණහැරආරච්චි. තාත්තා වෙද මහත්තයෙක්. ගාල්ලෙ ගම්පහ වෙද මහත්තයා කියලා හඳුන්වන්නේ මගෙ තාත්තා. අම්මාගෙ නම ප්‍රේමවතී. ඇය රැකියාවක් කළේ නෑ. මම තමයි පවුලේ එක ම ළමයා

පාසල් ගියේ

මම ගාල්ලෙ ශාන්ත ඇලෝසියස් විද්‍යාලයට තමයි මූලික අධ්‍යාපනයට ගියේ. පහේ ශිෂ්‍යත්වෙ පාස් වුණාට පස්සෙ මම කොළඹ ආනන්දෙට ඇතුළත් වෙනවා

කොළඹ ඇවිත් කොහේද නතර වෙන්නෙ. ආනන්දෙ නේවාසිකාගාරෙද?

නැහැ. තාත්තගෙ නංගි නැන්දගෙ ගෙදර තිබුණෙ මහරගම. මම එහේ තමයි නතර වුණේ.

මහරගම ඉදන් පාසලට එවන්න හේතුවක් තියෙන්න ඇති?

ඔව්. ඇත්තටම. මගේ තාත්තට ඕන වුණේ මාව වෛද්‍යවරයෙක් කරන්න. ඒනිසා එයා හිතුවා මට හොඳට ඉංග්‍රීසි උගන්නන්න ඕන කියලා. අපේ නැන්දලගෙ ගෙදර අය කතා කළේ ඉංග්‍රීසියෙන්. මමත් එහෙදි ඉංග්‍රීසියෙන් කතා කරලා ඉංග්‍රීසි හොඳට ඉගෙන ගනීවි කියලා හිතලා තමයි හොස්ටල් නවත්වන්නෙ නැතිව නැන්දලගෙ ගෙදර නැවැත්තුවෙ.

ඉතින් ටික කාලයක් යද්දි ඔබ හොඳට ඉංග්‍රීසි කතා කරනවා?

නෑ.... නැන්දලගෙ දුවලා දෙන්නයි පුතයි හොඳට ඉංග්‍රීසි කතා කර කර හිටියෙ. මාස තුනක් යද්දි එයාලා හොඳට සිංහලෙන් කතා කරන්න පටන් ගත්තා.

කොහොමද ආනන්දෙ ජීවිතේ

මම බාහිර වැඩ ගොඩක් කළා. මලල ක්‍රීඩා තමයි වැඩිපුරම කළේ. මට ආනන්ද විද්‍යාලයීය වර්ණ, කොළඹ දිස්ත්‍රික්ක වර්ණ, ජාතික පාසල් වර්ණ ආදී වශයෙන් ජයග්‍රහණ රැසක් තියෙනවා. 19න් පහළ මීටර් 400 රෙකෝඩ් එකක් මම තිබ්බා. 1982 දි මම 17න් පහළ තියපු රෙකෝඩ් එක තාමත් කවුරුත් කඩල නෑ. ඒවගේම ශිෂ්‍ය නායකයෙක්. බාහිර ක්‍රියාකාරකම් රැසක් කළා.

හැබැයි ඔබ කොච්චර ක්‍රීඩා කළත් උස තැන්වලට බයයි. පාසලේදීත් එහෙම වුණා නේද?

ඒ කාලෙ ආනන්දෙ 6 පන්තිය තිබුණෙ තට්ටු 5 ගොඩනැඟිල්ලක උඩම තට්ටුවෙ. දවසක් ඒකෙ බැල්කනියෙ ඉඳන් මම නිකමට පහළ බැලුවා. මගේ කකුල් දෙක ගැහෙන්න පටන් ගත්තා. මම පහළ බැලිල්ල වගේම එතන සෙල්ලම් කරන එකත් එදාම නතර කළා.

මොනවද උසස්පෙළට කරන්නෙ?

1981 දි ආනන්දෙ තුන්වැනියට හොඳ ම ප්‍රතිඵල අරන් මම සාමාන්‍ය පෙළ සමත් වුණා. ගණිත අංශයෙන් තමයි පළවැනි පාර උසස්පෙළට පෙනී හිටියෙ. බාහිර ක්‍රියාකාරකම් නිසා ඒ කාලෙ අධ්‍යාපනය ටිකක් කඩාකප්පල් වුණා. ප්‍රතිඵල ආවම S දෙකයි. ඊට පස්සෙ මම විද්‍යා විෂයයන් කරලා ඊළඟ අවුරුද්දෙ B-1 යි C තුනක් ගත්තා.

විශ්වවිද්‍යාලෙ යන්න ඕන කියලා හිතුණෙ නැද්ද?

මට ඇත්තට ම ඕන වුණේ හමුදාවට යන්න. ගෙදරින් නම් එච්චර කැමැත්තක් තිබුණෙ නෑ මම හමුදාවට යනවට. ඒත් මම ගුවන් හමුදාවට බැඳුණා කැඩෙට් නිලධාරියෙක් විදියට. අවුරුදු දෙකක පුහුණුවෙන් පස්සෙ මම අපේ බැච් එකේ හොඳම නිලධාරියා විදියට පාස්අවුට් වුණා. මට දියතලාවෙ කඳවුරේ අනෙක් නිලධාරීන් පුහුණු කරන්න තමයි පළමු පත්වීම විදියට ලැබුණෙ.

හමුදාවට යද්දි අර උස තැන්වලට යද්දි තිබුණු බය අඩු වෙලාද?

යද්දිත් ඒ බය මට තිබුණා කියලා දැනගත්තෙ එක්තරා සිද්ධියක් නිසා. මුළු දියතලාව කඳවුරට ම වතුර දෙන ටැංකිය තිබුණෙ අඩි 40ක් විතර උසින්. ඒකට නඟින්න ඉණිමඟකුත් තිබුණා. දවසක් මම යාළුවො දෙන්නෙක් එක්ක ඒ ටැංකියට නැග්ගෙ අවට සුන්දර පරිසරය බලන්න. හැබැයි බහින්න යද්දි තමයි මට අර ඉස්කෝලෙදි ඇති වෙච්ච බය වගේ බයක් ආයෙත් දැනෙන්න පටන් ගත්තෙ. මම යාළුවො දෙන්නගෙ උදව්වෙන් තමයි බිමට බැහැ ගත්තෙ.

හැබැයි ඔබ කරන රැකියාව එක්ක ඒක කොහෙත්ම ගැළපෙන්නෙ නෑ. ගුවන් නිලධාරියෙක් වෙන්නේ කොහොමද උස තැන්වලට බය වෙලා?

මම හරියටම දැන ගත්තා මට ප්‍රශ්නයක් තියෙනවා කියලා. ඒ කියන්නෙ මම උසට බය බව. එදා මම හිතා ගත්තා මම ඒ බය නැති කර ගන්නවා. මට ලෝකෙට පෙන්නන්න ඕන වුණා මම උසට බය නැති මිනිහෙක් කියලා.

අපි යමුද, 2002 අගෝස්තු 6 වැනිදාට. ඒක අමතක වෙන දවසක් නෙවෙයි?

එතකොට මම ස්කයි ඩයිවින් පටන් අරන්. එදා තමයි සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වුණු ආසියානු මලල ක්‍රීඩා උලෙළේ සමාරම්භක දිනය. එදා ඒ වෙනුවෙන් පැරෂුට් සංදර්ශනයක් පවත්වන්න තිබුණා. එදා ඇත්තටම කාලගුණයත් එච්චර හොඳ මට්ටමක තිබුණෙ නෑ. වලාකුළුවලින් අහස පිරිලා. අපි පැන්නෙ අඩි 15,000ක් උඩ ඉඳන්. අපිට ක්‍රීඩාංගණයවත් හරියට පෙනුණෙ නෑ.

ඔබේ පැරෂුට් එක දිග හැරෙන්නෙ නැද්ද?

නෑ දිග හැරුණා. හැබැයි ඒක ආයෙත් අධි විදුලිබල රැහැන් සහිත ප්‍රදේශයකට ගහගෙන යද්දි මම ඒක වළක්වා ගන්න කළ උත්සාහයත් එක්ක පැරෂුට් එක හැකිළුණා. මම වේගෙන් පහළට ආවා.

ආවෙ කෙළින් නෙවෙයි පැත්තට. මම ආව වේගයත් එක්ක යම් ආනතියකට තමයි පහළට ආවෙ. බිමට වැටෙන්න කලින් මාව තාප්පයක වැදෙන්න ගියා.

මම කකුල් දෙක උස්සලා තාප්පෙට තිබ්බා. නැවිච්චි කකුල් දෙක නිසා දණිස්සෙන් පහළ ඔක්කොම කැඩුණා. හැබැයි දණිස්සෙන් උඩට මුකුත් වුණේ නෑ. හදිසි ගොඩ බෑමකදි කරන්න ඕන දේ පුහුණුව නිසා වෙන්න ඇති මගේ අතින් නිවැරැදිව කෙරුණා.

සිහිය තිබුණ ද ඒ වෙද්දි? මොකද හිතුණෙ

මට හොඳට සිහිය තිබුණා. එකපාර හිතුණෙ මට මොකද වුණේ කියලා. ඊට පස්සෙ මට මොනවද වෙලා තියෙන්නෙ කියලා. සමාන්‍යයෙන් ස්කයි ඩයිවින් කරද්දි ගිලන් රථ, වෛද්‍යවරු එහෙම සූදානම් කරලයි තියන්නෙ. මාව වැටුණෙ ස්ටේඩියම් එකට නෙවේනෙ. ඒ නිසා ඒ මොනවත් නෑ කියලා මට ම කල්පනා වුණා. මිනිස්සු වට වුණා. මම එයාලට කිව්වා මාව අල්ලන්න එපා කියලා. මට වුණු හානිය ගැන මම ම තක්සේරු කළා. පස්සෙ මම වට වෙලා හිටපු අයට කිව්වා මගේ කකුල්වලින් අල්ලන්නෙ නැතිව මාව ඉස්පිරිතාලෙකට ගෙනියන්න කියලා. ත්‍රිවීල් එකක තමයි මාව අරන් ගියේ

මේ දේවල් හිතමින් කරන්න තරම් ඔබේ හිතේ ධෛර්යයක් වගේ ම වේදනාව උහුල ගන්න ඉවසීමක් තිබුණා...

ඔව්. ඇත්තටම. මම දැනගෙන හිටියා ගොඩක් ආබාධ වෙන්නෙ සහ ආබාධ වැඩි වෙන්නෙ ඉස්පිරිතාලෙට අරන් යද්දි කියලා. ඒ නිවැරැදි විදියට ගෙන යන්නෙ නැති නිසා. මම ඒක නොකරගන්න පරිස්සම් වුණා. ජාතික රෝහලට තමයි මාව ගෙනිච්චෙ. ඊට පස්සෙ මම බිරියටත් කතා කරලා කිව්වා. එයත් එනකම් මට සිහිය තිබුණා. ඊටත් පස්සෙ තමයි මට සිහිය නැති වුණේ.

කොහොමද ඔබේ ශල්‍යකර්මය සිද්ධ වෙන්නෙ?

ගෙනාපු ගමන් ඒ අවස්ථාව අනුව කරන දේවල් කරලා දෙවනුව තමයි හොඳට බලමින් අඩු තැන් හොයමින් කකුල් හදන්න පටන් ගත්තෙ. ඒකෙන් පස්සෙ වෛද්‍යවරු කිව්වා මට ආයෙත් ජීවිතේට ඇවිදින්න බෑ කියලා. රෝද පුටුවක මුළු ජීවිත කාලය ම ගෙවන්නයි මට උරුම වෙන්නෙ කියලා. ඒක මට කිව්වෙ නෑ. මගේ යාළුවට සහ බිරියට තමයි කියලා තියෙන්නෙ. මට ඒක කිව්ව ගමන් මම කිව්වා, මම ආයෙත් ඇවිදිනවා විතරක් නෙවෙයි, ස්කයි ඩයිවිනුත් කරනවා කියලා. අනික මම කවුරු බෑ කිව්වත් මට ඕන දේ කරලම තමයි පස්ස බලන්නෙ. මම අතහරින කෙනෙක් නෙවෙයි.

ඒ වෙනකොටත් ඔබ ජාතික රෝහලේ ද ප්‍රතිකාර ලැබුවෙ

නෑ. ඒ වෙනකොට මාව හමුදා රෝහලට ගෙනත් තිබුණෙ. ඒක මට තවත් මනසට හොඳ දෙයක් වුණා. බලන, බලන පැත්තෙ හිටියෙ විවිධ දේවල් නිසා හානි වුණු අවයව සහිත අය. මට වඩා තරුණ නිලධාරීනුත් හිටියා. මට ඒක තවත් හොඳ වුණා මගේ මනස ශක්තිමත් කර ගන්න. ඒ අතරේ මගේ කකුල් හොලවන්න බැරි නිසා කටු විතරයි කකුල්වල ඉතිරි වුණේ. ඒ අතරේ මුලින් ම භෞත චිකිත්සකවරු මට පොඩි පොඩි ව්‍යායාම කරවන්න පටන් ගත්තා. මුලින් ම පටන් ගත්තෙ කකුල උස්සන්න. අඟලෙන් පටන් අරන් හිමින් හිමින් කකුල ඔසවන්න මම පටන් ගත්තා. මාස 6ක් 7ක් ගෙවුණට පස්සෙ ග්‍රෑම් 100 වගේ පුංචි වැලි කොට්ට තියලා ක්‍රමයෙන් කකුල උස්සවනවා. ඒක කියන්න බැරි තරම් වේදනාවක් එන දෙයක්. ඒත් මම ඉවසන් හිටියා. සමහර වෙලාවට වේදනාව ඉවසගන්න බැරිව මම කොට්ටෙ කීතු කීතු වෙන්න විකලා ඉරුවා. ඒ විතරක් නෙවෙයි මම කලන්තත් වුණා. ඒත් මම අතෑරියෙ නෑ. ඒ වෙනකොට අවුරුද්දක් විතර ගෙවිලා

ඔබේ තාත්තා වෙද මහත්තයෙක්නෙ. මේ වගේ කැඩුම් බිඳුම්වලට ගොඩක් අය දේශීය ප්‍රතිකාර ගැන විශ්වාසය තියනවා. තාත්තා බැලුවෙ නැද්ද ඔබ ව හොඳ කරගන්න පුළුවන් ද කියලා?

නෑ. තාත්තා මට හොඳ වෙයි කියන එක විශ්වාස කළේ නෑ. තාත්තා ඇත්තටම මාව අතහැරියා ඒ තිබුණු තත්ත්වෙ එක්ක. තාත්තා සම්පූර්ණයෙන් ම කඩන් වැටුණා. තාත්තා තමයි මගේ ජීවිතේ වීරයා. තාත්තා මං ගැන හරිම ආඩම්බර වුණ කෙනෙක්. එයා මම ගැන පළ වුණු පත්තර කෑලි කපලා අරන් තියලා, ගමේ අයට පෙන්නලා මම ගැන ඒ කාලේ හරියට ආඩම්බර වුණා.

වෙදකම ගැන දන්න නිසා මේ අනතුරේ බරපතළකම ගැනත් ඔහුට අවබෝධයක් තියෙන්න ඇති?

අනිවාර්යයෙන්. ඔහු ඒ ගැන දැනන් හිටියා. තාත්තා දවස් දෙක තුනකට වඩා කොළඹ හිටියෙවත් නෑ. ගමේ ඇවිත් ගෙදර දොර වහගෙන කිහිප දවසක් තනියම ගත කරලා තියෙනවා. අම්මා හිටියෙත් කොළඹ. මගේ පදක්කම් එහෙම අල්ල අල්ල කෑගහමින් අඬලා තියෙනවා. යටගල පන්සලට ගිහින් දිගින් දිගටම බෝධි පූජා තියලා. මගේ අනතුරෙන් පස්සෙ එයා අවුරුද්දක් විතර තමයි ජීවත් වුණේ. තාත්තා නැති වෙන්න කලින් මම කොහොමහරි කකුල් දෙකෙන් හිටගෙන එයාට මම නැගිට්ටා කියලා පෙන්නුවා.

ඔබ මේ කාලෙ කියවනවා ලෝක සම්භාවනාවට පාත්‍ර වෙච්ච රුසියානු නවකතාවක්. බරිස් ප්ලෙවොයිගෙ සැබෑ මිනිසකුගේ කතාවක්... කියන පොත. කොහොමද දරා ගන්න අවැසි ශක්තිය මේ පොතෙන් ලැබුණෙ?

දෙපා බිඳී ගිය සෝවියට් ගුවන් නියමුවකු අනන්ත අප්‍රමාණ වේදනා විඳිමින් මාසයකට කිට්ටු කාලයක් තිස්සේ බිම දිගේ බඩගාගෙන මිතුරු කඳවුරකට ගිය ඒ කතාව කියෙව්වම මට හිතුණා මට එච්චර දෙයක් වෙලා නෑ කියලා. එයාට එහෙම පුළුවන් නම් මට ඇයි බැරි කියලා. මම පන්නරය ගත්තා. මට පුළුවන් වුණා ජයගන්න.

මේ අනතුර නිසා සිදු වූ යම් යම් ශේෂගත වේදනා දැන් කොහොමද ඔබේ දෛනික කටයුතු එක්ක දරා ගන්නෙ?

මම දැන් අවුරුදු 57ක මනුස්සයෙක්. මම මගේ ඒ වයසෙ ඉන්න අනෙක් අයට වඩා හොඳ ශරීර සෞඛ්‍යයෙන් ඉන්නවා. ව්‍යායාම කිරීම මගේ විනෝදාංශයක්. මට තාමත් අඩි 5ක් 6ක් උසට කකුල් දෙකෙන් කික් කරන්න පුළුවන්. මම අංගම්පොර කලාවත් ඒකෙන් පස්සෙ ප්‍රගුණ කළා. මම ඉතා හොඳ ශරීර සෞඛ්‍යයෙන් යුතුයි. හැබැයි ඒ හැමදේටම බලපාන්නෙ මගේ ශක්තිමත් සිත.

හිතේ ශක්තිය වගේම ඔබ විශ්ව ශක්තිය විශ්වාස කරනවා? 

ඔව්. අපේ වටේ ගොඩක් ශක්තීන් තියෙනවා. ඒ ශක්තීන් අල්ල ගන්න පුළුවන් විදිය තමයි අපි ඒ ගැන කරන විශ්වාසය. ඕනෑම දෙයක් ගැන කරන්න පුළුවන් කියලා විශ්වාසයක් තියෙනවා නම් එය කළ හැකියි. වෙන කෙනෙක්ට කරන්න පුළුවන් නම් ඇයි අපට බැරි. අපේ තියෙන විශ්වාස එක්ක විශ්ව ශක්තිය සහයෝගී වුණාම අපිට කරන්න බැරි දෙයක් නෑ.

ඔබ හමුදාවෙන් විශ්‍රාම ගන්නවා. ඊට පස්සෙ ලංකාවෙන් ටික කාලයකට යනවා?

මම මගේ දුවයි, බිරියයි එක්ක අමෙරිකාවට ගියා. අපි දෙන්න ම ටික කාලයක් එහේ රැකියා කළා. අපේ දුව හොඳට ඉගෙන ගත්තා. හැබැයි මට හුදෙකලාවක් දැනෙන්න වුණා. සතුට, ප්‍රියයන් හා කරන ගනුදෙනු, අම්මාගේ අසනීප වීම මේ වගේ දේවල් නිසා මට එහේ ජීවිතය නීරස වුණා. ඒ නිසා අපි නැවතත් ලංකාවට ආවා.

ඒ ඇවිත් ඔබ වෙනස් ම ක්ෂේත්‍රයක රැකියාවකට තමයි අනුයුක්ත වෙන්නෙ?

මට හැමතිස්සෙම සිහින තියෙනවා. මට මගේ සිහින සැබෑ කරගන්න අවශ්‍ය කරන වටපිටාවක් සහිත රැකියාවකුයි මට ලැබුණෙ. ඒ Lion Brewery Ceylon(PLC) සමාගමේ කළමනාකරුවෙක් විදියට. අද අඩියෙන් අඩිය උඩට ඇවිත් ආයතනික කටයුතු පිළිබඳ උප සභාපති ලෙස මම දැන් කටයුතු කරනවා.

මොකද්ද ඔබේ සාර්ථකත්වයේ රහස?

තමන්ට තමන් ගැන, තමන්ගෙ කණ්ඩායම ගැන, වැඩ කරන ක්‍රමවේදය ගැන විශ්වාසය තියෙනවා නම් ඕනෑම අභියෝගයක් ජයගන්න අපහසු නෑ. අපි සිහින හඹා යන්න ඕන. අපේ සිහිනවල පරාසය පුළුල් වෙන්නත් ඕන. ඒ වගේම අනෙක් මිනිස්සු බහුතරයක් බෑ කියන ඒවා කරන්න ඕන. ඒ වගේම ඒක විශ්වාස කරන්න. මම හිතන්නෙ වෙන කාටහරි කරන්න පුළුවන් නම් ඇයි අපිට බැරි කියන එක. ඕනකම විතරයි අවශ්‍යය.

කවුද ඔබේ ජීවන ගමන බෙදා ගත් සහකාරිය

ඇගේ නම නිරූපා. ඇය ගුරුවරියක්. අපිට දුවෙක් ඉන්නවා. ඇගේ නම කිත්මි. දැන් ඇයට අවුුරුදු 27 යි.

පොත් කියවන්න කැමැතිද?

ඔව්. ඉස්සර තරම් බැරි වුණත් පුළුවන් වෙලාවට කියවනවා. සින්දු අහන්න, චිත්‍රපට බලන්නත් කැමැතියි.

සංචාරය කරන්න කැමැතිද?

ලංකාවෙ ඕනෑම තැනකට යන්න කැමැතියි. ඒ හැම තැනක්ම හරිම ලස්සනයි.

මොකද්ද ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යය

එදා වෙච්ච අනතුර තමයි මගේ ජීවිතේ වෙනස් කළේ.

Comments