ශබ්ද ශාස්ත්‍රයේ ස්වරවේධය | සිළුමිණ

ශබ්ද ශාස්ත්‍රයේ ස්වරවේධය

ජ්‍යෝතිෂයෙහි ම ආනුෂංගික ශාස්ත්‍රයක් වන ශබ්ද ශාස්ත්‍රයේදී භාවිතයට ගැනෙන සිද්ධාන්ත ගණනාවක් වේ. මේ අතුරින් වැදගත් සිද්ධාන්ත ගණනාවක් පිළිබඳව මෙයට පෙර කරුණු විමසා බලනු ලැබිණි. නාමකරණයේ දී මෙන් ම වෙනත් ශබ්ද ශාස්ත්‍රීය කාර්යවල දී බෙහෙවින් යොදාගැනෙන තවත් එබඳු සිද්ධාන්තයක් විමසිල්ලට ලක්කොට බලමු.

මෙය සාමාන්‍යයෙන් හැඳින්වෙන්නේ ස්වර වේධය යනුවෙනි. අක්ෂර වේධය නමින් ද ඇතැම් විට හඳුන්වනු ලැබේ. මෙහි වේධය යන වදනින් අදහස් කරන්නේ සතුරු බව, එකිනෙකට එදිරි බව යනුයි. ස්වර අතර පවත්නා සතුරු බව හෙවත් ඇතැම් ස්වර එකිනෙකට විරුද්ධ වීම මේ ස්වර වේධ සිද්ධාන්තයෙන් දක්වනු ලැබේ.

වේධ වන්නේ, සතුරු වන්නේ කුමන ස්වර දැයි දැන් විමසා බලමු. ශබ්ද ශාස්ත්‍රය පිළිබඳ පුරාණ ග්‍රන්ථවල සඳහන් වන පරිදි හෝඩියෙහි මුල් ම අක්ෂරය මෙන් ම මුල් ම ස්වරය ද වන ‘අ’ ස්වරයට ‘උ’ ස්වරය වේධ වේ, සතුරු වේ. එසේම ‘ආ’ ස්වරයට ‘ඌ’ ස්වරය වේධ වේ. ‘ඉ’ ස්වරයට වේධ වන ස්වර දෙකකි. එ නම් ‘එ, ඒ’ යන ස්වර දෙකයි. ‘ඊ’ ස්වරයට ද එසේම ස්වර දෙකක් වේධ වේ. ඒ ‘ඔ, ඕ’ යන ස්වර දෙක යි.

එකිනෙකට විරුද්ධ ස්වර ඉතා පහසුවෙන් බලා ගැනීම සඳහා මෙය චක්‍රයක් වශයෙන් පහත සඳහන් පරිදි ඉදිරිපත් කළ හැකි ය.

අ - උ

ආ - ඌ

ඉ - එ , ඒ

ඊ - ඔ , ඕ

මේ ආකාරයෙන් හැර වෙනත් ලෙසකින් ස්වර අතර එබඳු විරුද්ධත්වයක් ඇති නොවේ. නිදසුනක් ලෙස අ - ඉ ස්වර දෙක අතර වේධයක්, විරුද්ධතාවක් ඇති නොවේ. මෙහිදී යමකුට ප්‍රශ්නයක් ඇති විය හැකිය. එනම්, අපගේ හෝඩියෙහි ඇති ‘ඇ’ ස්වරය මේ වේධ අක්ෂර අතරට නොගැනෙන්නේ ද යන්නයි. ‘ඇ’ ස්වරය මේ අතරට නොගැනෙන්නේ එය සිංහලයට ම ආවේණික වූ, සිංහල හෝඩියෙහි ම පමණක් පවතින අක්ෂර රූපයක් බැවිනි. ස්වර වේධය පිළිබඳ සිද්ධාන්තය සංස්කෘත භාෂාවෙන් ලියැවුණු ශබ්ද ශාස්ත්‍රීය ග්‍රන්ථ ආශ්‍රයෙන් දක්වනු ලබන්නකි.

ස්වර වේධය යෙදෙන සැටි නිදසුන් ඇසුරින් විමසා බලමු. මෙය බොහෝවිට භාවිත වන්නේ සෙත් කවි සෑදීම, ව්‍යාපාර නාම සෑදීම ආදියේදීය. ‘කමල්’ නම ඇත්තකුට සෙත් කවියක් හෝ ව්‍යාපාර නාමයක් හෝ සාදනු ලැබේ යැයි සිතමු. කමල් යන්නේ මුල් අකුර ‘ක’ යනුයි. එය ‘ක්’ (ව්‍යංජනාක්ෂරය) හා ‘අ’ (ස්වරාක්ෂරය) එක්වීමෙන් නිපැදුණකි. එනම් එහි ස්වරය ‘අ’ යනුයි. එහෙයින් කමල් සඳහා සාදන සෙත් කවිය හෝ ව්‍යාපාර නාමය හෝ ‘උ’ ස්වර අක්ෂරය හෝ ඒ හා ව්‍යංජන අක්ෂර එක්ව සෑදුණු සු, මු, ලු ආදි අක්ෂරයක් හෝ මුලට යෙදෙනසේ සාදනු නොලැබේ. එනම් උරුම, සුව, කුසල වැනි පද මුලට යොදනු නොලැබේ. ස්වර වේධයේ සෙසු අකුරු පිළිබඳව ද මෙසේම සලකා ගත යුතු යි.

ඉහත දක්වන ලද්දේ ස්වර වේධය පිළිබඳ සාමාන්‍යයෙන් පිළිගත් ක්‍රමයයි. එහෙත් විවිධ ගුරු කුල සම්ප්‍රදායයන් අනුව ඇතැම් විට සුළු වෙනස්කම් ද දැකිය හැකි වේ.

Comments