
ක්ෂණික දේ රැසකට හුරු වී ඇති මේ සමාජයේ බොහෝ දෙනා සෙත් කවියක් සාදවා ගන්නට ගියද ‘ක්ෂණිකව‘ සාදාගෙන පැමිණීම අපේක්ෂාවයි. කිව නොහැකි තරම් හදිසියකින් පෙළෙන ඇතැමුන් මේ හදිසිය නිසාම ‘කොතැනින් නතරවේ‘දැයි සිතා ගැනීම පවා අපහසුය. එබඳු යුගයක ක්ෂණික සෙත් කවිද ජ්‍යොතිෂවේදීන්ගෙන් ඇතැමුන් ඉල්ලා සිටිනවායයි කීවොත් එයද පුදුමයට කාරණයක් නොවේ.
ජන්ම පත්‍ර පරීක්ෂාවක් සිදු කර ගත් ඇතැම් අයට ග්‍රහ අපල හෝ ඒරාෂ්ටක අපල හෝ ඇති බව හෙළි වූ විට ඒ සඳහා කරන පිළිවෙත් අතර එකක් ලෙස සෙත් කවි ගායනයක් සිදු කර ගන්නා ලෙස නිර්දේශ වී තිබිය හැකිය.
එසේ නිර්දේශ ලද අයෙකු සෙත්කවියක් හෝ දෙකක් රචනා කරවා ගැනීමට යාමේදී අනිවාර්යයෙන්ම රැගෙන යා යුතු වන්නේ සෙත් කවි අවශ්‍ය පුද්ගලයාගේ නිවැරැදි හා පැහැදිලි ජන්ම පත්‍ර පිටපතක් හෙවත් කේන්ද්‍ර පිටපතකි.
ඊට අමතරව සෙත් කවි අවශ්‍ය වන කාරණයද සෙත් කවි අවශ්‍ය අයගේ නමද සෙත් කවි රචකයාට ලබා දිය යුතුය.
සෙත් කවියක් එසැණින් රචනා කර දෙන ලෙස ඇතැම් අය ඉල්ලා සිටියත් සැබෑ සෙත් කවි රචකයෙකුට එය කළ හැක්කක් නොවේ. එහෙත් ඇතැම් පුද්ගලයන් ක්ෂණිකව සෙත්කවි රචනා කර දෙන ආකාරයද දැකිය හැකිය. එවැනි රචනා සාමාන්‍ය කවි මිස ගුණ දෙන සෙත් කවි නොවේ. නිසි වතාවත් සහ සුබ නැකැත් බැලීමකින් තොරව සෙත්කවි රචනා කරන ක්‍රමවේදයක් ඇත්තේ නැත.
සෙත් කවියක් හෝ දෙකක් රචනා කරවා ගැනීමකට යාමේදී බුලත් අතත් සුදුසු ගුරු පඬුරක් සමග නිවැරදි සහ පැහැදිලි ජන්ම පත්‍ර පිටපතක් රැගෙන යාම කළ යුත්තකි. සෙත් කවි අවශ්‍ය පුද්ගලයාගේ ජන්ම පත්‍රය හොඳින් පරීක්ෂා කරන සෙත් කවි රචකයා තම සේවාදායකයාගේ උපන් නැකතට සීහෙන නැකතක් තිබෙන දිනයක් මුලින්ම සොයා ගනී.
එම දිනයේ තිබෙන සුබ නැකතක් ඉන් පසු සොයා ගනී. එදිනට යෙදෙන තිථියද දින ශුද්ධියද සොයා බලයි. මේ සියල්ල පරීක්ෂාවකින් පසුව සෙත්කවි ලිවීම ආරම්භ කරයි. ක්ෂණික සෙත්කවි රචකයන් මේ කිසිම කරුණක් සැලකිල්ලට නොගනී.
සැබෑ සෙත්කවි රචකයෙකු තම සේවාදායකයාගේ ‘පක්ෂියා රජ වන‘ කාල සීමාවද සොයා බලයි. සූර්ය සංක්‍රාන්ති දිනයන්ද, චන්ද්‍ර ග්‍රහණ හෝ සුර්යග්‍රහණ හෝ යෙදී තිබෙන දිනයක්ද සෙත්කවි රචනා කිරීමට යොදා නොගනී.
මේෂ, සිංහ, වෘශ්චික, මකර, කුම්භ යන රාශි උදා වී තිබෙන කාල වේලාවන්හිදීද සෙත්කවි රචනය සිදු නොකරයි. ක්ෂණික සෙත්කවි රචනයකදී මේ කිසිම කාරණයක් සැලකිල්ලට ගත හැකි නොවේ.
සෙත් කවි රචකයා තම සේවා දායකයාගේ ජන්ම පත්‍රය පරීක්ෂා කොට බලා ග්‍රහ චාරය අනුව අපල තිබේනම් ඒ කුමන අපලයක් දැයි හඳුනාගන්නා අතර ඒ අනුව සෙත්කවි ලිවිය යුත්තේ කුමන දෙවියන් උදෙසා දැයි තීරණය කෙරේ.
සෙත් කවියක් ලිවීමට සූදානම් වන සෙත්කවි රචකයා කරනු ලබන වතාවත් අතර එදිනට පවතින තිථියට අධිපති දෙවියන් නමස්කාර කිරීමද එකකි. ඒ හැරුණු විට සරස්වතී දේව මෑණියන්ට පුද පූජා පැවැත්වීමද සිදු කෙරේ. එපමණක් නොව සැබෑ සෙත් කවි රචකයා දිනපතා පන්සිල් සුරැකීමද සිදු කරයි. ක්ෂණික සෙත්කවි රචනයකදී මේ සියල්ල මගහැරී යයි.
සෙත් කවියකින් ප්‍රතිඵල ලබාදිය හැක්කේ ඉහත දැක්වූ කාරණා සම්පූර්ණ කරගනිමින් කරන සෙත්කවි රචනයකදීය. එකී කාරණා සැලකිල්ලට නොගෙන හිතුමතයට, ක්ෂණිකව ලියා දෙන සෙත් කවි ගුණාත්මක භාවයෙන් යුක්ත සෙත් කවි ලෙස භාරගත යුතු නැත.
එබඳු සෙත් කවි ගායනා කිරීම සඳහා කාලය, ධනය, ශ්‍රමය වැය කිරීමද නිෂ්ප්‍රයෝජනය.
ජ්‍යොතිර්වේදී, විශ්‍රාමලත් පාඨශාලාචාර්ය අසෝක විජයසේකර