
අනාවැකි පැවසීමේ ගුප්ත බලයක් සිහිනවලට ඇති බව අනාදිමත් කාලයක සිට මිනිසා විශ්වාස කරනු ලබයි. අපි කවුරුත් සිහින දකිමු. එම සිහින කොටස් දෙකකට බෙදෙයි. ඒ දවල් සිහින සහ රාත්‍රී දකින සිහින වශයෙනි. දහවල් දකින සිහිනවල ප්‍රතිඵල ශුන්‍ය බව පැරණි පඬිවරු මෙන්ම අප ද පිළිගන්නා සත්‍යයකි.
රාත්‍රි අප දකින සිහින කොටස් කීපයකට බෙදෙයි, ඒ රාත්‍රී 9 - 12 අතරත්, රාත්‍රී 12ත් 3ත් අතරත් - 3- 6 අතර දකින වශයෙනි. අලුයම දකින සිහිනවල ප්‍රතිඵල ඉක්මන් වන අතර මධ්‍යම රාත්‍රියේ දකින සිහිනවල ප්‍රතිඵල පමාවී ලැබෙන බවත්, නිදිගත් මුල් කාලයේ දකින සිහිනවල ප්‍රතිඵල අඩු බවද පැවසේ. සිත තුළ නිධන් වී ඇති ආශාවන් සන්තර්පනය කර ගැනීම සිහිනවල පරමාර්ථය බව සුප්‍රකට මනෝ විද්‍යාඥයකු වන සිග්මන් ප්‍රොයිඩ් විසින් ප්‍රකාශ කර ඇත. ශරීරයේ තුන්දොස් කිපීමෙන් සිහින පෙනෙන බව ඇතැමෙක් තර්ක කරති.
මෙලෙස සිහින ගැන නොයෙකුත් මත ප්‍රකාශ කළත් අපි දකින සිහින අනාගත සිදුවීම්වල පෙර නිමිති වශයෙන් අදහන අය බොහෝය. දැන් අපි බලමු අපේ පැරණි පඬිවරු අපි දකින සිහිනවල පලාපල සඳහන් කර ඇත්තේ කෙසේ ද කියා.
මරණය
සිහිනෙන් තමාගේ මරණය සිදු වී ඇති බව දුටුවේ නම් විවාහය ඉතා ඉක්මනටම සිදුවේ. එම කටයුතු සාර්ථක වේ. අන් අයකුගේ මරණයක් දුටුවේ නම් රෝග පීඩා ඇති වීමට හේතුවේ. මරණාසන්න වචන නැතහොත් යමෙකු මැරෙන මොහොතේදී කියන වචන තමන් හොරෙන් අසනවා දුටුකල ස්වකීය අදහස්, බලාපොරොත්තු මුදුන්පත් වෙයි. වාසනාවන්ත ජීවිතයකට පැමිණේ. මලමිනියක් සිහිනෙන් උසුලාගෙන යනු දුටුකල අධික වස්තුවක් සැපවත් භාවයක් හිමිවෙයි. මළමිනියක් නෑවීම සිහිනෙන් දුටුවේ නම් ජයග්‍රහණ අත්වෙයි. මලමිනිසෙකු සමඟ එකට වාඩිවී ආහාර ගනු දුටු කල වස්තුව ලැබෙන අතර මළමිනිසකු සමඟ එකට නිදනු දුටුවිට දීර්ඝායුෂ ලැබෙයි. මළ මිනිසකු වළලනු දුටුකල ලෙඩ රෝග සුවවේ.
කුරුල්ලන්
අවිවාහක තරුණියක්, ලස්සන පියාපත් සහිත කුරුල්ලන් දුටුවොත් එය ඉතා වාසනාවන්තය. අනාගතයේ ඇයට ධනවත් තැනැත්තකු සමඟ යුගදිවිය ගත කිරීමට ලැබෙන බවට එය අනාවැකියක් වේ. යමකු තුවක්කුවකින් වෙඩි තබා කුරුල්ලෙකු මරණයට පත්කරනු සිහිනෙන් දුටුවොත් තමාගේ ධන ධාන්‍ය හෝ ව්‍යාපාර ආදියෙන් පාඩුවට පත්වේ. එය ඔබ දුගී බවට පත්වීමේ පෙර නිමිත්තකි. තුවාල වූ කුරුල්ලකු ඔබ දුටුවොත් අකීකරු ළමුන්ගෙන් ඔබට කරදර සිදුවේ.
දත්
ඔබේ දත් සියල්ලම බුරුල් වී සෙලවෙනු දුටුවහොත් ඉතා භයානක රෝගයක් වැලඳෙන බවට පෙර නිමිත්තකි. ඔබේ දත් සියල්ලම ගැලවෙනු දුටුවේ නම් ඔබේ මරණය ඉතා ආසන්න බව පෙන්නුම් කරයි. දත් තැනින් තැන වැටෙනවා දුටුවොත් ඔබ යොදාෙගන ඇති ගමනක් වේ නම් එය වෙනස්කර එම කාර්යය වෙන දවසකට යොදා ගන්න. මන්ද යත් එම සිහිනය අශුභ සිහිනයක් බැවිනි.
ස්නානය
ඔබ මුහුදේ නානවා දුටුවොත් එය සුබ සිහිනයකි. සශ්‍රීකත්වයක් පිළිබඳව ඔබට සතුටට පත්විය හැකි අනාවැකියකි. ඔබ වගා කටයුතුවල නිරතව සිටින අයෙක් නම් ගොවිතැන් කටයුතුවලින් සාර්ථක අස්වැන්නක් ලැබිය හැකිය. කිසියම් අයකු සමඟ ඇළක, දොළක ස්නානය කරනවා දුටුවොත් පරපුරුෂ සේවනයෙහි යෙදෙන බවට ලකුණක් වෙයි. මෙය ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයටම පොදුය. මඩසහිත අපිරිසිදු ජලයේ හෝ ඇලක ඔබ ස්නානය කරනු දුටුවොත් ඔබේ සිතේ අසතුටට, අයහපත් සෞඛ්‍යයට හා හිතේ කනස්සලු භාවයට කරුණු යෙදෙන බවට අනාවැකියකි.
ආහාර ගැනීම
තමන් සිහිනෙන් බත් අනුභව කරනාව දුටුවොත් ඉදිරි කාලයේදී හිරිහැර කම්කටොලුවලට මුහුණදීමට වන බව පෙර නිමිත්තකි. යමකු කැවිලි වර්ග සිහිනෙන් අනුභව කරනවා දුටුවේ නම් ධනෝපායන ක්‍රමවලින් තමන්ට ලාභ ලබා කීර්තියට පැමිණිය හැකි බවට ලකුණකි. ඉදුණු කහ පැහැති ඇඹුල් සහ පැණි රස පලතුරු අනුභව කරනවා දුටුවොත් රූමත් යුවතියක් හා විවාහ ජීවිතයකට පිවිසෙන බවට පෙරනිමිත්තකි. මෙයද ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයටම පොදු ය.
දරුවන් දැකීම
කුඩා දරුවකු මියයනු සිහිනෙන් දුටුවොත් ඔබේ සියලුම සැලසුම් ව්‍යර්ථ වී පරාජයට පත්වෙන බවට අනාවැකියකි. ඔබ උණ රෝගයෙන් පෙළෙන දරුවකු හෝ ළදරුවෙකු වඩාගෙන සිටිනවා දුටුවේ නම් ඔබ නොකල වරදකට හසු වී නීතියෙන් කරදර ඇතිවීමට හෝ අධිකරණයෙන් දඬුවම් ලැබීමට ද හේතු වෙයි. ඔබ දරුවෙකු සිහිනෙන් අඬනවා දුටුවොත් ඔබට කනගාටුදායක පුවතක් අසන්නට ලැබෙන අතර එයින් පසු ඔබ රෝගීවීම ද සිදු වන බවට පෙර නිමිත්තකි.
අන්ධකාරය
සිහිනෙන් යමෙක් අන්ධකාරය දුරු වෙනවා දකී නම් හෙතෙම සතුරන් නසා කීර්තියට පැමිණේ. යමෙකු පැවති ආලෝකයන් මැඬ පවත්වා ගන අන්ධකාරය පැතිරෙනවා දකී නම් එය දුක් දොම්නස් ඇති කරන අශුභ නිමිත්තක් වේ.
අලි
මංගල වස්තුවක් වශයෙන් සලකන අලීන් දැකීම ද මංගල කරුණකි. අලංකාර වස්ත්‍රාභරණයෙන් සරසන ලද හස්තිරාජයකුගේ පිට උඩට නැඟීම සිහිනෙන් දැකීමෙන් අනේකවිධ සම්පත් හිමි වන බවට ප්‍රකාශ කර ඇත. සුදු පැහැති මල් පොකුරකුත් හොඬින් ගත් ඇතෙක් ඉදිරියට එනවා දැකීම ද සුබපල දෙන ලකුණකි.
ගෙවත්තක් හෝ උද්‍යානයක්
ඉතා හොඳට සකසන ලද එහෙත් මල් දකින්නට නැති උද්‍යානයක් සිහිනෙන් දුටුවොත් අවහිරතා මැද වුවත් සම්පූර්ණයෙන්ම සුව පහසු දිවියක් ළඟාවේ. ඉතා හොඳින් වැඩුණු ගහකොළ වලින් පිරීගිය එහෙත් නොසලකා හරින ලද උද්‍යානයක් නම් අහේතු සහගත බවක් ගැන හෝ විපතක් ගැන කෙරෙන හැඟවීමකි.
තමා දුටු සිහිනය රහසක් ලෙස තබා ගැනීමෙන් හොඳ ප්‍රතිඵල උදාකර ගත හැකිය. අනුන්ට යහපතක් වනු දැකීමට අකමැති අය සිටින බැවින් එය රහසක් ලෙස තබා ගත යුතු බව සලකනුයේ සතුරන්ගෙන් එයට අවහිරතා ඇතිවීමට ඉඩ ඇති බැවිනි. අසුබ සිහින දැකීමෙන් පසු එය බොහෝ දෙනා සමඟ කියා පෑමෙන් අත්වීමට ඇති අනිසි පල අඩුවේ. එහෙත් සිහින දැකීමෙන් පසු පැඟිරි ගසකට කියා පෑම සිරිතක් ලෙස බොහෝ දෙනා සලකති.