අධ්‍යාත්මික දියුණුව ඇති කරන ග්‍රහ පිහිටීම් | සිළුමිණ

අධ්‍යාත්මික දියුණුව ඇති කරන ග්‍රහ පිහිටීම්

වෙසක් සතිය උදා වීමත් සමඟ බොහෝ දෙනකු ආමිස පූජාවලට මූලිකත්වය දෙන බව පෙනේ. නමුත් සැබැවින්ම ආමිස පූජාවලට වඩා වැදගත් වන්නේ ප්‍රතිපත්ති පූජාය. කෙසේ වෙතත් ආමිස පූජා මඟින් ද ප්‍රතිපත්ති පූජා කෙරෙහි යොමු වීමට යම් පෙලඹවීමක් ඇති කිරීමට ඉඩ ඇති බැවින් ආමිස පූජා ද යම් පමණකට වැදගත් වේ. ප්‍රතිපත්ති පූජාවල අවසාන අරමුණ අධ්‍යාත්මික වශයෙන් ඉහළට යෑම යැයි සිතේ. අධ්‍යාත්මික වශයෙන් ඉහළට යාම යනු සිද්ධි වෙනස් කරමින් සතුට සැනසුම සෙවීමට උත්සාහ කරනවා වෙනුවට, සිද්ධිය කුමක් වුවත් සතුටින්, සැනසුමෙන් සිටින ක්‍රමය සෙවීමට උත්සාහ කිරීම යැයි සිතේ.

උදාහරණ ලෙස රහතන් වහන්සේලා ගල් ගුහාවල වාසය කරමින් මහ වැස්සට තෙමෙමින්, කිසිම ආර්ථික ශක්තියක් නොමැතිව, කිසිම ඥාති හිතවතෙකු නොමැතිව සිටියද උන්වහන්සේලා සතුටින් සැනසීමෙන් සිටි බව අප අසා ඇත. තවද රහතන් වහන්සේලා අනතුරුවලට මුහුණ පෑ අවස්ථාවලදී, අසනීප වූ අවස්ථාවලදී පවා සතුටින් සැනසීමෙන් සිටින්නට ඇත.

වෙසක් සතිය තුළ අප කතාබහ කරන්නට බලාපොරොත්තු වන්නේ යම් උප්පත්ති කේන්ද්‍ර සටහනකට අනුව අධ්‍යාත්මික වශයෙන් ඉහළට යාම පහසු කරවන ග්‍රහ පිහිටීම් පිළිබඳවය. විශේෂයෙන් කිසියම් උප්පත්ති කේන්ද්‍ර සටහනක පංච මහා පුරුෂ යෝග කිහිපයක් ඇත්නම් එම පුද්ගලයාට අධ්‍යාත්මික වශයෙන් ඉහළට යාම වඩාත් පහසු වනු ඇත. උදාහරණ ලෙස බුදුරජාණන් වහන්සේගේ ප්‍රසිද්ධියට පත්ව ඇති උප්පත්ති කේන්ද්‍ර සටහනෙහි ද පංච මහා පුරුෂ යෝග කිහිපයක් ඇති බව අප විසින් නිරීක්ෂණය කර ඇත. මෙම පංච මහා පුරුෂ යෝග අතුරින් ද අධ්‍යාත්මික වශයෙන් දියුණු වීමට වඩාත්ම ඉවහල් වන්නේ 'සස' නම් වූ පංච මහා පුරුෂ යෝගය සහ 'ගුරු හංස' නම් වූ පංච මහා පුරුෂ යෝගයයි.

'සස' නම් වූ පංච මහා පුරුෂ යෝගය නිර්මාණය වන්නේ ශනි ග්‍රහයා ප්‍රබල ලෙස කේන්ද්‍රස්ථානයක තැන්පත් වීම තුළින් වන අතර ශනි ග්‍රහයා එසේ ප්‍රබල ලෙස කේන්ද්‍රස්ථානයක තැන්පත් නොවී, ප්‍රබල ලෙස වෙනත් ස්ථානයක් තැන්පත් වුවද අධ්‍යාත්මික වශයෙන් ඉහළට යාමට යම් තරමකින් හෝ සහයෝගයක් ලැබෙනු ඇත. තවද 'ගුරු හංස' නම් වූ පංච මහා පුරුෂ යෝගය උදා වන්නේ ගුරු ග්‍රහයා ඉතා ප්‍රබල ලෙස කේන්ද්‍රස්ථානයක තැන්පත් වීම තුළින් වන අතර ගුරු ග්‍රහයා ප්‍රබල ලෙස කේන්ද්‍රස්ථානයක් නොවන වෙනත් ස්ථානයක තැන්පත් වුවද අධ්‍යාත්මික වශයෙන් ඉහළට යාමට යම් තරමකින් හෝ සහයෝගයක් ලැබෙනු ඇත.

අධ්‍යාත්මික අංශයෙන් ඉහළට යාම සඳහා කිසියම් උත්පත්ති කේන්ද්‍ර සටහනක ඥාන යෝග පැවතීම ද බෙහෙවින් ඉවහල් වෙයි. උදාහරණ ලෙස කිසියම් උප්පත්ති කේන්ද්‍ර සටහනක රවි, බුධ යෝගය, ගුරු, කේතු යෝගය, බුධ, කේතු යෝගය වැනි යෝග ඇත්නම් ද බුධ, ගුරු වැනි ග්‍රහයන් 5, 9 වැනි භාවවල තැන්පත්ව ඇත්නම් ද එවැනි පුද්ගලයන්ට අධ්‍යාත්මික වශයෙන් ඉහළට යාමට තම ඥාන ශක්තිය බෙහෙවින් ඉවහල් වනු ඇත. විශේෂයෙන් බුදුරජාණන් වහන්සේගේ කේන්ද්‍ර සටහන ලෙස ප්‍රසිද්ධියට පත්ව ඇති ඇතැම් කේන්ද්‍ර සටහන් තුළද මෙවැනි රවි, බුධ යෝගයක් ඇත.

මීට අමතර ලෙස ඇතැම් දෙනා බොහෝ සේ අසුබ යෝගයක් ලෙස හඳුන්වන චන්ද්‍ර, රාහු යෝගය ද අධ්‍යාත්මික වශයෙන් ඉහළට යා හැකි විශේෂ යෝගයක් ලෙස අප විසින් නිරීක්ෂණය කර ඇත. උදාහරණ ලෙස බළන්ගොඩ ආනන්ද මෛත්‍රී හිමි, මහත්මා ගාන්ධිතුමා, සත්‍ය ශ්‍රී සායි බාබාතුමා, තෙරේසා මවුතුමිය වැනි අධ්‍යාත්මික වශයෙන් ඉහළ තලයක සිටියා යැයි අප විශ්වාස කරන බොහෝ චරිතවලට අදාළ උප්පත්ති කේන්ද්‍ර සටහන් තුළ මෙවැනි 'චන්ද්‍ර, රාහු' යෝගයක් ඇති බව අප විසින් හඳුනාගෙන ඇත.

මීළඟට මා විසින් බලාපොරොත්තු වන්නේ ඉතා ආන්දෝලනාත්මක වේ යැයි විශ්වාස කරන අදහසක් ඉදිරිපත් කිරීමටය. එනම් බොහෝ දෙනෙකු අතිධාවන කාම යෝගයක් ලෙස හඳුන්වන 'කුජ - සිකුරු' යෝගය අධ්‍යාත්මික වශයෙන් ඉහළට යා හැකි යෝගයක් ලෙස මා විසින් හඳුනාගෙන ඇති බවය. එනම් 'කුජ - සිකුරු' යෝගය ඇති අයට විවාහ අසාර්ථක වීමේ අවදානමක් හට ගත්තද එසේ විවාහය අසාර්ථක වන්නේ තම යෝගය 'අතිධාවන කාම යෝගයක්' නිසා නොවන බව මගේ අදහසයි. මේ පිළිබඳව, ප්‍රසිද්ධ උදාහරණ සහිතව දීර්ඝ ලිපියක් මා විසින් මීට මාස කිහිපයකට පෙර 'සිළුමිණ' පුවත්පත හරහා ඉදිරිපත් කරන ලදි.

සැබවින්ම මෙම පිහිටීම ඇති බොහෝ දෙනකු යහපත් ජීවිත ගත කරන බවද, ඇතැම් දෙනා නායක ස්වාමින් වහන්සේලා පවා ඇසුරු කරන බවද, ඇතමෙකු පැවිදි දිවියට ඇතුළු වී ඉතා සාර්ථක පැවිදි ජීවිත ගත කරන බවද අප විසින් හඳුනාගෙන ඇත. විශේෂයෙන් විනයධර, ධර්මධර ස්වාමීන් වහන්සේලා ලෙස ජනතා ප්‍රසාදයට පත්ව සිටි පාණදුරේ අරියධම්ම හිමි, මඩිහේ පඤ්ඤාසීහ හිමි වැනි ස්වාමීන් වහන්සේලාගේ කේන්ද්‍ර සටහන්වලද මෙවැනි කුජ - සිකුරු යෝගයක් තිබීමෙන් ඒ බව තහවුරු වෙයි.

අප ඉහතින් සඳහන් කළේ අධ්‍යාත්මික වශයෙන් ඉහළට යාමට හෙවත් කුමන සිදු වීමක් සිදු වුවද අඛණ්ඩව සතුටින්, සැනසිල්ලෙන් සිටීමේ ක්‍රමය සොයා ගැනීම පහසු කරවන ග්‍රහ පිහිටීම්වලින් කිහිපයක් පමණි. ඒ අනුව මා සඳහන් කළ ග්‍රහ පිහිටීම්වලින් අඩු වශයෙන් එකක්වත් නොමැති වුවද චන්ද්‍රයා ප්‍රබල ලෙස කේන්ද්‍ර සටහනක තැන්පත්ව ඇති විටද, කේන්ද්‍රය තුළ 'ධර්ම කර්මාධිපති යෝගය' වැනි විශේෂ යෝග ඇති විටද අධ්‍යාත්මික වශයෙන් ඉහළට යාමට එම පිහිටීම් බොහෝ සේ ප්‍රයෝජනවත් වනු ඇත.

Comments