ලංකාවේ රිළා මාකට් එක එකපාරම හිට් වුණු හැටි | සිළුමිණ

ලංකාවේ රිළා මාකට් එක එකපාරම හිට් වුණු හැටි

වසිය නොහැකි ගින්න කුසගින්න යැයි කතාවක් ඇත. එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහනේ නව සංඛ්‍යා වාර්තාවලින් පැවසෙන්නේ ලොව පුරා මිලියන 350කට ආසන්න ජනතාවක් මේ වන විට දරුණු ලෙස කුසගින්නෙන් පෙළෙන බවයි. ඔවුන්ගෙන් මිලියන 49කට ආසන්න සංඛ්‍යාවක් සාගතය අද්දර සිටිති. ලොව පුරා ඇති වෙමින් තිබෙන ආහාර අර්බුදයට හේතු ලෙස ඔවුහු පවසන්නේ ආර්ථික කම්පන, දේශගුණික විපර්යාස, දේශපාලන ගැටුම්, ඉහළ යන පොහොර මිල, ඉන්ධන මිල ආදිය ඒකාබද්ධ වී පෙර නොවූ විරූ අනුපාතයකින් දරුණු ආහාර අර්බුදයක් නිර්මාණය කරමින් තිබෙන බවයි. 

එවැනි තත්ත්වයක් තුළ මෙරට ගොවීන් විසින් වගා කරන භෝගවලට වන සතුන්ගෙන් සිදු වන හානිය සුළුපටු නොවේ. වන සතුන් නිසා එසේ විනාශයට පත්වන භෝගවල වටිනාකම වසරකට රුපියල් කෝටි 1,800 ඉක්මවන බව ද පැවසේ. හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ සහ පුහුණු කිරීමේ ආයතනය මෑතකදී පවසා තිබුණේ වන සතුන්ගෙන් සිදු වන භෝග හානි හේතුවෙන් වාර්ෂිකව සියයට 40කට වැඩි අස්වැන්නක් රටට අහිමි වන බවය. දැනට ඇති තොරතුරු අනුව වැඩිම භෝග හානියක් සිදු කරන්නේ, වල් ඌරන්, රිළවුන් සහ වඳුරන් මෙන්ම මොනරුන්, ඉත්තෑවුන් හා වන අලින්ය. ඒ අතරින් රිළවුන්ගෙන් සිදුවන වගා හානි සහ මිනිසුන්ට සිදු වන පීඩා බොහෝය. රිළවුන් ගැන ඒ පැරණි කතාව පසුගිය දිනවල යළි කරළියට ආවේ චීනයේ සත්වෝද්‍යාන සඳහා මෙරට රිළවුන් ලක්ෂයක් ලබා දීම සම්බන්ධ පුවතක් සමඟය.

ඒ යෝජනාව සම්බන්ධයෙන් ගොවි සංවිධාන, පරිසර සංවිධාන ඇතුළු පාර්ශ්ව විවිධ අදහස් දක්වන්නට වූ අතර, කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර ප්‍රකාශ කළේ ඉකුත් වසරේ මුල් භාගයේදී පොල් ගෙඩි මිලියන 93ක් පමණ රිළවුන්, වඳුරන් සහ යෝධ ලේනුන් විසින් විනාශ කරන අතර, වසරකට පොල් ගෙඩි මිලියන 200ක් පමණ විනාශ වන බවයි. රිළවුන් ලක්ෂයක් ලබා දෙන ලෙස චීන නියෝජිත කණ්ඩායම කළ ඉල්ලීම සම්බන්ධයෙන් ඇතැම් පාර්ශ්ව දක්වන අදහස්වල සත්‍යතාවක් නොමැති බවත් රිළවුන් නිසා සිදු වන වගා හානිය වැළැක්වීම සඳහා ඕනෑම පාර්ශ්වයකට විද්‍යාත්මක විසඳුම් ඉදිරිපත් කිරීමට අවස්ථාව ඇති බවත් හෙතෙම පැවසීය. චීනයට රිළවුන් යැවීම සම්බන්ධයෙන් තීරණ ගැනීමට වනජීවි දෙපාර්තමේන්තුව, ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව, නීතිපති දෙපාර්තමේන්තුව, කෘෂිකර්ම අමාත්‍යාංශය ඇතුළු ආයතනවල නියෝජිතයන්ගෙන් සමන්විත කමිටුවක් ද පත් කෙරිණ. මේ අතර, චීනයේ සත්ත්වෝද්‍යානවල ප්‍රදර්ශනය සඳහා මෙරට රිළවුන් අපනයනයට අවශ්‍ය සියලු ලිපි ලේඛන අදාළ ZHEJIANG WUHU ANIMAL BREEDING COM.LTD නම් චීන සමාගම විසින් කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීරට ඉකුත් 26 වැනිදා භාර දෙනු ලැබිණි. ඒ අනුව එම සමාගමට චීන රජය සත්ත්වෝද්‍යාන කටයුතු පවත්වාගෙන යෑම සඳහා ලබා දුන් සහතිකය, අදාළ සමාගම මඟින් ශ්‍රී ලංකාවේ රිළවුන් එම සත්ත්වෝද්‍යානය වෙත ලබා ගැනීම සඳහා දී ඇති අනුමැති ලිපිය සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය විසින් රිළවුන් අපනයන ව්‍යාපෘතිය සඳහා එම සමාගමට දුන් අනුමැති ලිපිය එහි නියෝජිතයකු විසින් ඇමැතිවරයා වෙත භාර දී ඇත. මේ චීන සමාගම කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් ඉල්ලා ඇත්තේ මුලින්ම රිළවුන් 500ක් දෙන ලෙස වුවද එම ඇණවුම රිළවුන් 1500ක් දක්වා අදාළ සමාගම මඟින් මේ වන විට ඉහළ දමා ඇත. ඉදිරි වසර 2ක පමණ කාලය තුළ රිළවුන් ලක්ෂයක් පමණ චීනය වෙත අපනයනය කිරීම ක්‍රමානුකුලව මේ සමාගම මඟින් සිදු කෙරෙනු ඇත. 

මේ අතර ඇතැම් ගොවි සංවිධාන පවසන්නේ රිළවුන් චීනයට යැවීම සම්බන්ධයෙන් විවේචන එල්ල කරන සංවිධාන හෝ පුද්ගලයන් රිළවුන් ඇතුළු අනෙකුත් සතුන් විසින් තම වගාවලට සිදු කරන හානි වළක්වා ගැනීමට විසඳුම් ලබා දී නැති බවයි. එබැවින් වගාවන්ට විශාල වශයෙන් හානි කරන රිළවුන් ඉවත් කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය ගනු ලබන කවර පියවරකට වුවත් තමන්ගේ උපරිම සහයෝගය පළ කරන බව දිස්ත්‍රික් ගොවි සංවිධානවල නියෝජිතයන් කෘෂිකර්ම අමාත්‍යාංශයට දැනුම් දී ඇති බව ද වාර්තා වේ. රිළවුන් චීනයට යැවීම කෙසේ වෙතත් බොහෝ ගොවීන්ටත් ජනතාවටත් ප්‍රශ්නයක් වී ඇති 'රිළා කරදරය'ට විසඳුම් සෙවීම අත්‍යවශ්‍ය කරුණකි. ඒ පිළිබඳ විද්වත් මත විමසුමක් කිරීමට 'සිළුමිණ' අදහස් කළේ එබැවිනි.

රිළවුන්ගේ සාමාන්‍ය වාසස්ථානය වනාන්තර වුවත් වර්තමානයේ සිදු කෙරෙන නොයෙකුත් සංවර්ධන ව්‍යාපෘති මඟින් ඔවුන්ගේ ස්‌වභාවික වාසස්‌ථාන අහිමි වීම සහ ආහාර සොයා ගැනීමේ අපහසුතා නිසා ඔවුහු මිනිස්‌වාස අසලට පැමිණෙන බව රිළවුන් පිළිබඳ පර්යේෂණ කරන විද්වතුන්ගේ පොදු අදහසයි. රිළවුන් සහ වඳුරන් සුලබව දැකිය හැක්කේ විහාරස්‌ථාන සහ කෝවිල් අසලය. ප්‍රමුඛ විහාරස්‌ථාන හා කෝවිල් වැඳ පුදා ගැනීමට, පූජා පැවැත්වීමට ජනයා දහස්‌ ගණනින් පැමිණෙන අතර පූජා සිදු කිරීමෙන් අනතුරුව ඉවතලන ආහාර මේ ස්‌ථාන අසල ගැවසෙන වඳුරන් සහ රිළවුන් හට ලබා දෙති. මිනිසුන් විසින් දෙනු ලබන ආහාර ලබා ගැනීම තමන්ම වනාන්තරයට ගොස්‌ කාලය මිඩංගු කර ආහාර සොයා ගැනීමට වඩා බොහෝ පහසු ය. මේ පහසු ක්‍රමයට පුරුදු වන රිළවුන් නිතරම මිනිසුන් අතර ගැවසෙමින් ආහාර බලාපොරොත්තුවෙන් සිටිති. එසේ නොලැබෙන අවස්‌ථාවලදී බලෙන් හෝ ආහාර උදුරා ගැනීමටත් වෙළෙඳසල්වලින් හා නිවෙස්වලින් ආහාර සොරකම් කරගැනීමටත් පෙලඹෙති. නිතර ආහාර ලැබීම මඟින් හොඳ පෝෂණයක්‌ අත් කරගන්නා මේ සත්ත්වයෝ ප්‍රජනනය කර තමන්ගේ වර්ගයා ඉතා ශීඝ්‍රයෙන් බෝ කරගනිති. මෙවැනි තත්ත්වයක් තුළ රිළා ගහනය අඩු කිරීමට ඉදිරිපත් වී ඇති මේ යෝජනාවට තම ව්‍යාපාරය එකඟ බව ශ්‍රී ලංකා හරිත ව්‍යාපාරයේ සභාපති සුරංජන් කොඩිතුවක්කු පැවසීය. ඊට හේතු ලෙස ඔහු කරුණු ගණනාවක් පිළිබඳ අවධානය යොමු කළේය.

"මේ ප්‍රශ්නය ගැන කතා කළ යුත්තේ මිනිස් චර්යාවන් සමඟයි. රිළා සහ වඳුරු ගහනය වැඩිවීමට ප්‍රධාන හේතුවක් වෙලා තිබෙන්නේ ඒ සතුන්ට ඕනෑවටත් වඩා ආහාර ලැබීමයි. විශේෂයෙන් රටේ ප්‍රධාන ආගමික ස්ථානවලින් ඉවත දමන ආහාර කෑමට වඳුරන්, රිළවුන් විශාල වශයෙන් පැමිණෙනවා. වඳුරු සහ රිළා ගහනය අඩු කරගැනීමට නම් මූලික වශයෙන් කළ යුත්තේ ආහාර කළමනාකරණය සහ නාස්තිය වළක්වා ගැනීමයි. ලක්ෂ ගණනින් ආදායම් ලැබූ ගොවියන් අද සතුන්ගෙන් සිදුවන හානි නිසා වගා අතහැර ජීවිතය රැකගැනීමට වෙනත් රැකියාවල නිරත වෙනවා. එය ඉතා ඛේදනීය තත්ත්වයක්. ඒ නිසා මේ ප්‍රශ්නයට නිසි විසඳුමක් සෙවිය යුතුයි. චීනය වඳුරා සහ රිළවා ආරක්ෂිත සතුන් ලෙස සලකනවා. අපි ජීවත් වන්නේ මානව කේන්ද්‍රීය ලෝකයකයි. මේ සම්බන්ධයෙන් ජාතික කතිකාවක් ඇති වීම අවශ්‍යයි. සත්ත්ව ගහනය පාලනය කිරීම සඳහා සත්ත්ව චර්යාවන්ට අදාළ ආයතන ඒකාබද්ධ වෙලා පිළිතුරු සෙවිය යුතුයි."

ප්‍රවීණ ලේඛකයකු හා පරිසර‍වේදියකු වන මතුගම සෙනෙවිරුවන් සිය නිරීක්ෂණ මඟින් සොයාගත් විකල්ප යෝජනාවක් ඉදිරිපත් කළේය. 

"රිළවුන් සහ වඳුරන්ගෙන් සිදුවන හානි පාලනය කළ හැකි ක්‍රමයක් මම අත්හදා බැලුවා. රිළවුන් නොයෙක් ශාකවල දලු කන්න කැමතියි. අපේ ගෙදර වත්තට එන වඳුරු රංචුව වත්තේ තියෙන කරාබු ගස් දෙකේ දලු කාලා වත්තේ වෙන කිසිම වගාවකට හානි නොකර යනවා. මම කෘෂිකර්ම කමිටුවටත් යෝජනා කළා හැම වගා බිමකම කරාබු ගස් කිහිපයක් වවන්න කියලා. ඒක ඵලදාව ගන්නම නෙවෙයි, වඳුරන්, රිළවුන්ගෙන් වගාව බේරාගැනීම වෙනුවෙන්. නමුත් ඒ යෝජනාව ක්‍රියාත්මක වුණේ නැහැ. "

රිළවුන් පිළිබඳ දශක දෙකකට අධික කාලයක් පර්යේෂණ කරන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව විද්‍යා අධ්‍යයනාංශයේ මහාචාර්ය චාමලී නහල්ලගේ පැවසුවේ රිළවුන් චීනයට යැවීම සම්බන්ධ යෝජනාව පිළිබඳ නිරවද්‍යතාව නොදත්ත ද එවැනි යෝජනාවක් ක්‍රියාත්මක කරන්නේ නම් සතුන් සහ මිනිසුන් යන දෙපාර්ශ්වය ගැනම නිසි ලෙස කරුණු සලකා බලා ක්‍රියාත්මක කළ යුතු බවයි. ඒ පිළිබඳ අදහස් දක්වමින් මහාචාර්යවරිය සාධනීය කරුණු රැසක් ඉදිරිපත් කළාය.

"රිළවුන් කියන්නේ අපේ රටට ආවේණික සතුන් විශේෂයක්. තෙත් කලාපීය, වියළි කලාපීය සහ කඳුකර කලාපීය විදිහට අපේ රටේ රිළවු විශේෂ 3ක් සිටිනවා. ලෝකයේම රිළවු විශේෂ 22ක් සිටිනවා. ඉන්දියාවේ රිළවු විශේෂ 7ක් පමණ වෙනවා. අපේ බහුලව ඉන්නේ වියළි කලාපයේ රිළවුන්. අපේ රටේ රිළවු වෙනත් රටකට යවනවා නම්, එහෙම යවන්නේ කුමන කලාපයේ ඉන්න රිළවුන්ද කියලා නිසි අවබෝධයක් ඇතිව තීරණය කළ යුතුයි. ඊට හේතුව ස්වභාවික පරිසර ගහනය නැතිවුණොත් නැවත එය සාමාන්‍ය තත්ත්වයට ගැනීම අපහසුයි. එම නිසා මුලින්ම ඒ ඒ කලාපවල සිටින රිළවුන් ගහනය පිළිබඳ නිසි සංඛ්‍යාලේඛන ලබා ගත යුතුයි. දිස්ත්‍රික් කාර්යාල මට්ටමින් සංවර්ධන නිලධාරින් මඟින් ඒ දත්ත එකතුකර ගත හැකියි. ඒ වගේම පළාත් මට්ටමින් වැඩිම හානිය තිබෙන පළාත් පිළිබඳ වාර්තාවකුත් ලබාගත හැකියි. මෙවැනි යෝජනා ක්‍රියාත්මක කළ යුත්තේ එවැනි නිසි සැලසුමක් ඇතිවයි."

මහාචාර්ය චාමලී නහල්ලගේ පවසන්නේ, මෙය සතුන්ගේ හැසිරීම පිළිබඳ ප්‍රශ්නයක් බැවින් මේ පිළිබඳ විද්‍යානුකූල දැනුමක් ඇති විශේෂඥයන් මෙන්ම ගොවින්, ගැමියන් සම්බන්ධ කරගෙන රිළවුන්ගෙන් සිදු වන හානි වළක්වා ගැනීමේ ක්‍රමවේදයක් සකසන්නේ නම් රජයට ඒ වෙනුවෙන් පූර්ණ සහයෝගය ලබා දීමට සූදානම් බවයි.

රිළවුන්ගෙන් සිදු වන හානි වළක්වා ගැනීමට දිගුකාලීන සහ කෙටිකාලීන ක්‍රියාමාර්ග පිළිබඳ ද මහාචාර්යවරිය යෝජනා කරන්නීය. රිළවුන්ගෙන් සිදු වන වගා හානිය අවම කරගැනීමට ඔවුන් ගම්මානවලින් ඈත්ව තබා ගැනීමට සඳහා නිවැරැදි කසළ කළමනාකරණය, වගා භූමි අවට ප්‍රදේශ එළිපෙහෙළි කොට විවෘත භූමි වශයෙන් පවත්වාගෙන යෑම, සතුන් පැමිණෙන මාර්ග අවහිර කිරීම, වගා භූමි වටා වැටවල් බැඳීම, වගා භූමිය වටේ කටු සහිත පඳුරු වර්ග වැවීම සහ වගා මායිමේ මිරිස්‌ වැනි සැර භෝග වර්ග වැවීම සිදු කළ හැකිය. එමෙන්ම රිළවුන් හට ගම්මාන සහ වගා බිම් ආරක්ෂිත ප්‍රදේශ නොවන බව ඒත්තු ගැන්වීම සඳහා දඩයම් බල්ලන් යෙදීම, මුරකරුවන් යෙදවීම, ටක යනාදි උපකරණ භාවිතයෙන් විශාල ශබ්ද ඇති කිරීම, කැටපෝල යොදා ගල් ගැසීම, රතිඤ්ඤා දැමීම, උගුල් ඇටවීම, මැරුණ රිළවකු ගසක එල්ලීම, එක්‌ රිළවකු අල්වා පාට ගැලවීම සහ වායු රයිෆල් භාවිතය වැනි උපක්‍රම භාවිත කළ හැකිය.මෙහිදී මහාචාර්ය චාමලී නහල්ලගේ ඉතා වැදගත් කරුණක් අවධාරණය කළාය. එනම්, රිළවුන් යනු බුද්ධිමත් සතුන් කොට්‌ඨාසයක්‌ බැවින් ඔවුන් ගෙන් සිදු වන වගා හානි ක්‍රම නැති කිරීමට යම් ක්‍රියාමාර්ගයක්‌ ගත් විට එයින් බේරීමේ ක්‍රම ද ඉතා ඉක්‌මනින් එම සත්ත්වයෝ ඉගෙන ගන්නා බැවින් ඉහත ක්‍රම අවස්‌ථානුකූලව යෙදීමෙන් තත්ත්වය තරමක්‌ දුරට පාලනය කළ හැකි බවයි. එමෙන්ම වගා හානිය වැළැක්‌වීමට ගන්නා ක්‍රියා මාර්ග සැම ස්‌ථානයකටම එක සේ යොදාගත නොහැකි බව ද ඇයගේ අදහසයි. එය භාවිත කරන ප්‍රදේශයේ ස්‌වභාවය, රිළවුන් විශේෂය, වගා කරන භෝගය යනාදි කරුණු සලසා ඒ අනුව එක්‌ එක්‌ ප්‍රදේශයට උචිත ක්‍රම පමණක්‌ යොදාගත යුතු බවද ඇය පැවසුවාය.

ශ්‍රී ලංකා වනසත්ව සහ ස්වභාව ආරක්ෂක සංගමයේ සභාපති ස්පෙන්සර් මැනුවපිල්ලෙ පැවසුවේ රිළවුන් ගහනය වැඩි වී ඇති බවට මතු කරන අදහස සත්‍යයක් නොවන බවයි. ඇතැම් මාධ්‍යවල මෑතකදී පළවූ පරිදි මෙරට රිළවුන් මිලියන 3ක් සිටින බව සනාථ කිරීමට විද්‍යාත්මක වාර්තා නොමැති අතර එම ගහනය පිළිබඳ පළමු සහ අවසාන ඇස්තමේන්තුව සිදු කර ඇත්තේ 1997 දී වෛද්‍ය Dittus විසින් බවද ඔහු කීවේය. 70 දශකයේ මැද භාගයේදී 600,000 ට අඩු සංඛ්‍යාවක් ඇස්තමේන්තු කර ඇති අතර, එය වියළි කලාපයේ 439,000ක්, පහතරට තෙත් කලාපයේ 150,000ක් සහ කඳුකර උප විශේෂයේ 1,500ක් ලෙස වේ. එතැන් සිට කලාප තුනේම මෙම ස්වාභාවික වාසස්ථානවල ප්‍රදේශ 50% සිට 70% දක්වා සැලකිය යුතු ලෙස අඩු වී ඇත. ශ්‍රී ලංකා වනසත්ව සහ ස්වභාව ආරක්ෂක සංගමය අවධාරණය කරන්නේ මිනිසුන් සහ රිළවුන් අතර ගැටුම විසඳීමට රිළා ගහනය දැනගැනීමට වඩා ඒ පිළිබඳ වැඩි පර්යේෂණ අවශ්‍ය වන බවයි.

තරුණ සත්වවේදීන්ගේ සංගමයේ හිටපු සභාපති, සත්ත්වවේදී හසන්ත විජේතුංග මේ සම්බන්ධයෙන් පැවසුවේ රිළවුන් ජීවත්වන පරිසරයෙන් පිටතට ගොස් දැමීම ගැටලුවට විසඳුමක් නොවන බවයි. වගා හානි සිදු කරන සියලු සතුන් මෙසේ වෙනත් රටවල්වලට යැවීමට මේ යෝජනාව පූර්වාදර්ශයක් විය හැකි බව ද ඔහුගේ අදහසයි. මෙරට රිළවුන් ගහනය පිළිබඳ නිසි සංඛ්‍යා දත්ත ලබා ගැනීම මෙන්ම මේ ප්‍රශ්නයට අදාළ වගකිව යුතු සියලු දෙපාර්තමේන්තු, පරිසරවේදීන්, ගොවි සංවිධාන ආදී සියලු පාර්ශ්වයන් එකතු වී සාකච්ඡා කර නිසි විසඳුමක් ලබා ගත යුතු බවද හෙතෙම අවධාරණය කළේය.

ගොවිජන සේවා කොමසාරිස් කාර්යාලයෙන් කළ විමසීමේදී එහි ජ්‍යේෂ්ඨ නිලධාරියකු සඳහන් කළේ වන සතුන්ගෙන් වගාවන්ට සිදු වන හානි පිළිබඳ ගොවීන්ගෙන් තොරතුරු ලබා ගැනීමේ වැඩපිළිවෙළක් මේ වන විට ආරම්භ කර ඇති බවත්, මේ වනවිට දිවයිනේ සෑම ප්‍රදේශයකින්ම ගොවීන් විසින් ඔවුන්ට සිදුව ඇති වගා හානි පිළිබඳ තොරතුරු කෘෂිකර්ම අමාත්‍යාංශය වෙත ලබා දෙමින් පවතින බවත්ය.

කෘෂිකාර්මික කටයුතුවලදී වඳුරන් සහ රිළවුන් විසින් සිදු කරන හානිය වැළැක්වීම සඳහා වන ජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් 1992 ක්ෂණික ඇමතුම් අංකය හඳුන්වා දෙනු ලැබුවේ මීට වසර කිහිපයකට ඉහතදීය. මිනිස්- රිළා ගැටුම වැඩි වී ඇති මෙවැනි කාලයක එම අංකය තවදුරටත් ක්‍රියාත්මක වන්නේ දැයි අපි එම ක්ෂණික ඇමතුම් සේවයෙන් විමසුවෙමු. එහි නිලධාරියකු පැවසුවේ 1992 යන දුරකථන අංකයට ඇමතුමක් ලබා දී වඳුරන්ගේ සහ රිළවුන්ගේ සිදුවන හිරිහැර පිළිබඳ තොරතුරු දැනුම් දීමට තවදුරටත් අවස්ථාව සලසා තිබෙන බවයි. සාමාන්‍ය ‍ෙයන් මසකට එම අංකයට ඇමතුම් 20-25ක් පමණ ලැබෙන බවත් එම තොරතුරු මාසිකව අදාළ කලාපයේ වනජීවී කාර්යාලයට ලබා දෙන බවත් ඔහු සඳහන් කළේය.

Comments