රොකට් වේගයෙන් ඉහළ ගිය උද්ධමනය ටිකෙන් ටික පහළට එන හැටි | Page 2 | සිළුමිණ

රොකට් වේගයෙන් ඉහළ ගිය උද්ධමනය ටිකෙන් ටික පහළට එන හැටි

නලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2023 මාර්තු මාසය සඳහා වන ශ්‍රී ලංකාවේ ජාතික පාරිභෝගික මිල දර්ශකය සහ මාසික පාරිභෝග උද්ධමනය ප්‍රකාශයට පත් කර තිබුණේ පසුගිය දිනෙක ය.එයට අනුව ආහාර කාණ්ඩය සැලකූ විට එළවළු, හාල්, මාළු, රතු ලූනු, ලොකු ලූනු, මයිසූර් පරිප්පු, අර්තාපල්, වියළි මිරිස්, කරවල, පාන් (සාමාන්‍ය), මිරිස් කුඩු, සීනි, කුකුළු මස්, බනිස්, තිරිඟු පිටි, කහ කුඩු, කවුපි සහ නූඩ්ල්ස් යන ආහාර ද්‍රව්‍යවල මිලෙහි අඩුවීමක් ප්‍රධාන වශයෙන් වාර්තා වී තිබේ.

නමුත් අලුත් පලතුරු, බිත්තර, පොල් තෙල්, අමු මිරිස්, තේ කොළ, තේ කුඩු, මුං ඇට, ඉඟුරු, සෝයාමීට් සහ සහල් පිටි යන ආහාර ද්‍රව්‍යවල මිලෙහි වැඩි වීමක් වාර්තා වී තිබේ. එසේම ආහාර නොවන කාණ්ඩයේ දර්ශක අගය වැඩිවීම සඳහා, රෙදිපිළි හා පාවහන් ද, නිවාස, ජල විදුලිය, ගෑස් හා වෙනත් ඉන්ධන විදුලි බිල් හා ගෑස් ගාස්තු යන කාණ්ඩවලට අයත් අයිතමයන් ගේ මිල වැඩි වීම ප්‍රධාන වශයෙන් බලපා ඇති බව පෙනෙන්නට තිබේ. එමෙන්ම ගෘහ උපකරණ හා ගෘහ ඒකක නඩත්තු කටයුතු (රෙදි සෝදන සබන් වර්ග), පෙට්‍රල්, ඩීසල් සහ බස් ගාස්තු ඇතුළු ප්‍රවාහන අංශය, ආපණ ශාලා සහ හෝටල්, සුවඳ සබන් වර්ග වැනි විවිධ භාණ්ඩ හා සේවා යන කාණ්ඩවලට අයත් අයිතමයන් ගේ මිල අඩුවීමක් ද වාර්තා වී ඇත.

කෙසේ වෙතත් උද්ධමනයේ හෙමින් සිදුවන මේ පල්ලම් බැසීම පිළිබඳ ප්‍රාමාණිකයන් කිහිප දෙනකුගෙන් අදහස් විමසූවෙමු. 

දැනට දරිද්‍රතා විශ්ලේෂණ මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂවරයකු වන, ආසියානු සංවර්ධන බැංකුවේ හිටපු අධ්‍යක්ෂ සහ ආර්ථික විද්‍යාව පිළිබඳ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු මහාචාර්ය හේරත් ගුණතිලක මේ පිළිබඳ අදහස් දැක්වූයේ මෙලෙසිනි.

" මෙම උද්ධමනය ගණනය කරන්නේ අවුරුද්දෙන් අවුරුද්දට ඒ මාසයේ තිබූ මිල මට්ටම සංසන්දනය කිරීමෙන්. ඒ කියන්නේ, 2022 මාර්තු මාසයට සාපේක්ෂව තමයි, 2023 මාර්තු උද්ධමනය සංසන්දනය කර තිබෙන්නේ. මෙතැන සතුටු වීමට ඉතා කුඩා කාරණයක් තිබෙනවා. එනම්, 1-2%ක තරම් ඉතා අඩු ප්‍රමාණයකින් උද්ධමනය අඩු වීම.

මෙතැන ආහාර උද්ධමනය අඩු වීමේ ප්‍රවණතාවක් පෙන්වනවා.

ඒ කියන්නේ අඩුවෙන්නේ උද්ධමනය වැඩි වන වේගය මිස උද්ධමනය නෙවෙයි. ඇත්තටම තවමත් රට තුළ ආහාර මිල වැඩි වෙමිනුයි පවතින්නේ. ඒ නිසා මේ තත්ත්වය එතරම්ම සතුටු වෙන්න පුළුවන් කාරණයක් නෙවෙයි. මේ තත්ත්වය දිගටම පවත්වාගෙන ගිහින්, 2020 ජූලි මාසයේ තිබූ ආකාරයට 9.9%කට වත් අඩු වෙනවා නම් තමයි සතුටු වෙන්න පුළුවන්. දැනට මේ අංක වලින් කියැවෙන්නේ තවමත් ආහාර උද්ධමනය වැඩි වෙමින් පවතිනවා කියන එකයි. නමුත් අපි අධි උද්ධමනය කලාපයෙන් ටිකක් පහළට බැහැලා. මිල වැඩි වීමේ ශීඝ්‍රතාවයි, යම් තරමකට අඩු වෙමින් පවතින්නේ. මෙන්න මේ තත්ත්වය දිගටම පැවතුණොත් නම් හොඳ ප්‍රවණතාවක්.

ඒ වගේම මේ කාලය තුළ පාරිභෝගිකයා ගේ ආර්ථිකය වර්ධනය වීමක් සිදු වී නැහැ. බදු වැඩි වෙලා. ආහාර මිල, ඖෂධ මිල, ජල විදුලි බිල්පත් වැඩි වෙලා. පාරිභෝගික ආදායම අඩු වෙලා. එවැනි පසුබිමක මේ තත්ත්වය සතුටු වීමට කාරණයක් නම් නෙවෙයි. විශේෂයෙන් අඩු ආදායම් කණ්ඩායම්වලට මේ පසුබිම විශාල ගැටලුවක්. ඒ නිසා උද්ධමනය යම් තරමකට අඩු වූ බවක් සංඛ්‍යා ලේඛනවලින් කිව්වත් එය සතුටට කාරණයක් නම් නෙවෙයි.

මෙවැනි තත්ත්වයකදී විශේෂයෙන් අඩු ආදායම් ලබන කණ්ඩායම් මුහුණ දී සිටින උග්‍ර ආහාර ප්‍රශ්නය වැනි කාරණා සාධක ලෙස ගෙන ඔවුන් උද්ධමනය දරාගත නොහැකි තත්ත්වයකට පත්ව ඇති නිසා රජය ක්‍රමානුකූල වැඩපිළිවෙළක් ඉතා ඉක්මණින් යෙදිය යුතුයි. අධි උද්ධමන තත්ත්වයකට වැටී සිටින මේ බහුතර අඩු ආදායම් කණ්ඩායම්වල දරුවන්, ගැබිනි මව්වරුන් සහ වයස්ගත වැඩිහිටියන් මේ වන විටත් ආහාර හිඟකමෙන් මන්ද පෝෂණ තත්ත්වයට ලක් වෙමින් සිටිනවා. ඒ වගේම සමෘද්ධිය ලැබිය යුතු අයට නොලැබීමත්, නොලැබිය යුතු අය සමෘද්ධිය ගැනීමත් වැනි කාරණා සිදු වෙනවා. රජය මේ වැරැදි වහා නිවැරැදි කළ යුතුයි. අඩු ආදායම්ලාභී සියලු දෙනාට මේ දීමනා සම සේ බෙදී යා යුතුයි. එය මේ වෙලාවේ ඉතාමත් වැදගත් කාරණයක්..."

මේ පිළිබඳ ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ මිල හා වේතන අංශයේ අධ්‍යක්ෂිකා, ආචාර්ය නිරෝෂා දිසානායක පැවැසුවේ මෙවැනි අදහසකි.

" ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විදියට අපි කරන්නේ, වෙළෙඳපොළේ පවතින තත්ත්වය සහ 'දැන් මෙහෙමයි රටේ උද්ධමනය යන්නේ...' කියන කාරණය පිළිබඳ රටේ සැලසුම් සම්පාදනය කරන්නන් වෙත වාර්තා කිරීමක්. ඒ සම්බන්ධව අදාළ තීන්දු තීරණ ගන්නේ ඔවුන්. ජාතික පාරිභෝගික මිල දර්ශකය සහ කොළඹ පාරිභෝගික මිල දර්ශකය පදනම් කොට ගෙන හදන මේ උද්ධමනය අඩු කර ගැනීමට නම්, තව දුරටත් වෙළෙඳපොළේ ආහාර සහ භාණ්ඩ මිල පහළ යා යුතුව තිබෙනවා. කෙසේ වෙතත්, ජාතික පාරිභෝගික මිල දර්ශකයෙන් රටේම උද්ධමනය ගැන කියැවෙන අතර, කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙන් කොළඹ නගරයේ පාරිභෝගිකයාගේ උද්ධමනය පිළිබඳ කියැවෙනවා.

මේ දෙකේම උච්ඡතම අවස්ථාව වන්නේ පසුගිය 2022 සැප්තැම්බර් මාසයේ පැවති උද්ධමනයයි. නමුත් සැප්තැම්බර් මාසයේ සිට මේ වෙනකල් ම, (ජනවාරි මාසයේ 53.2%ක් සහ පෙබරවාරි මාසයේ 53.6% හැරෙන්නට) හැම මාසයේම සිදුව තිබෙන්නේ උද්ධමනය ටිකෙන් ටික අඩු වීම. සාමාන්‍යයෙන් රටක උද්ධමනය ඉහළ අගයකට ගිය පසු පවතින රජය විසින් විවිධ තීන්දු තීරණ ගනු ලබනවා. පහුගිය සමයේ ගෑස් මිල පහළ යෑම වැනි කාරණා වරින් වර සිදු වුණා. නමුත් උද්ධමනය කියන්නේ, භාණ්ඩයක දෙකක මිල අඩු වීම පමණක් නෙවෙයි. එය සමස්තයක්. ඒ නිසා මේ 2023 පෙබරවාරි අපි සංසන්දනය කරන්නේ උද්ධමනයේ ඉහළම අගයක් වාර්තා වූ 2022 අවුරුද්දත් සමඟයි. ඒ අනුව, සිදුව තිබෙන්නේ උද්ධමනය වැඩි වීමේ වේගය අඩු වීමයි. ඒ නිසා තමයි මහජනතාවට තවම මෙය ඇඟට දැනෙන මට්ටමකට ඇවිත් නැත්තේ.

කෙසේ වෙතත් පවතින උද්ධමන තත්ත්වය තුළ මහජනතාවටත් කළ හැකි යමක් තිබෙනවා. විශේෂයෙන්, කුටුම්භ වශයෙන් මේ උද්ධමනය අඩු කරගන්නට පවුල තුළ යමක් කරන්නට පුළුවන්. එනම්, එළවළු පලතුරු දෙක තුනක් හෝ ගෙවත්තේ වගා කිරීමෙන් ඒ සඳහා විශාල අත්වැලක් සපයා ගත හැකියි. කුඩා දරුවන් සහ ගැබිනි මවුවරුන් දැඩි පෝෂණ ගැටලුවලට මුහුණ දෙන මෙවැනි අවස්ථාවක ඉහළ ආහාර උද්ධමනයට මුහුණ දීම සඳහා පෝච්චියක හෝ එළවළුවක් දෙකක්, පලතුරක් වවා ගැනීම ඉතා වැදගත්. මිල වැඩි නිසා බිත්තර මස් මාළු කන්නට නොහැකි නම් එළවළුවක් දෙකක් ගෙවත්තේ වගා කර ගත් විට සිය පවුලේ බත් වේලට එක්කර ගත හැකියි..."

මේ පිළිබඳ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කළමනාකරණය පිළිබඳ ජ්‍යේෂ්ඨ මහාචාර්ය මිල්ටන් රාජරත්න පැවසූයේ මෙවැනි අදහසකි. " උද්ධමනය කාණ්ඩවලට නොබෙදා සමස්තයක් ලෙස ගත්තත් අමාරුම කාලයේ සියයට අනූ ගණනින් ඇස්තමේන්තු කර තිබුණා. පිටරට විශ්වවිද්‍යාලයක කෙනෙක් කියා තිබුණා, ලංකාවේ උද්ධමනය 115% කින් ඉහළ යනවා කියා. එවැනි පසුබිමක මේ අඩු වීම, දෙකෙන් පංගුවක් ම අඩු වීමක් ලෙස සලකන්නට පුළුවන්. ඒ සමඟම ආහාර උද්ධමන වේගයත් අඩුවෙලා. ආර්ථිකය යහපත් දිශාවකට යන ලකුණු පෙන්නුම් කරන නිර්ණායකයක් තමයි උද්ධමන අනුපාතයේ අඩු වීම.

ඒ වගේම, උද්ධමනය අඩු වීම කියන්නේ රටක ආර්ථිකයේ සෞඛ්‍යසම්පන්න භාවය පෙන්නුම් කරන දර්ශක අංගයක්.

එවිට ඇයි සෞඛ්‍යසම්පන්න භාවය පෙන්නුම් නොවන්නේ කියා බැලුවොත් හේතුව තමයි, උද්ධමනය වැඩි වීමේ දී ජනතාව අතේ තිබෙන මුදල්වල ක්‍රය ශක්තිය හෙවත් මිලදී ගැනීමේ හැකියාව (Buying power) හීන වනවා. මුදලේ මුහුර්ත අගය වැඩි වන විට, ක්‍රය ශක්තිය හෙවත් මිල දී ගැනීමේ හැකියාවත් වැඩි වනවා. සරලව ම කිව්වොත් ආර්ථිකයේ සෞඛ්‍ය සම්පන්නභාවය කියන්නේ මෙන්න මේ කාරණය. සාමාන්‍යයෙන් තනි පුද්ගලයන් සහ කුටුම්භ වශයෙනුත්, ආයතන සහ ව්‍යාපාර වශයෙනුත්, රජය හැටියටත් වියදම් කරනවා. මේ පාර්ශ්ව තුනම වියදම් කරන මුදලට, වැඩි භාණ්ඩ ප්‍රමාණයක් මිල දී ගන්නට හැකි නම් අවශ්‍ය වන මුදල් ප්‍රමාණය අඩු වී තිබෙන මුදලට වැඩි භාණ්ඩ ප්‍රමාණයක් මිල දී ගැනීමේ හැකියාව ලැබෙනවා.

එය ආර්ථිකයේ සෞඛ්‍ය සම්පන්න භාවය පෙන්නුම් කරන දර්ශකයක්. ඒ කියන්නේ මේ පාර්ශ්ව තුනේම වියදම් පැත්ත පහළ යනවා. මෙහි සැඟවුණු පැත්තකුත් තිබෙනවා. එනම් ජීවන වියදම ඉතා ඉහළ අගයක පවතින අවස්ථාවක තමයි, ඉහළ බද්දක් පැනවෙන්නේ. ජීවන වියදම ඉහළ ගිය අවස්ථාවක ඉහළ බදු පැන වූ විට බදු ගෙවන ජනතාවගේ අතේ තිබෙන මුදල් ප්‍රමාණය ඉතා ඉක්මණින් අඩු වනවා. ඒ අඩු වන මුදලින් ජීවත්වීම ඉතා අපහසු කටයුත්තක්. එවැනි පසුබිමක ජීවන වියදම අඩු වෙනවා කියන්නේ බදු ගෙවන්නන්ටත් විශාල සහනයක් අත්වනවා කියන එකයි.

උද්ධමනය අඩු වීම තුළ ආර්ථිකය නැවත යථා තත්ත්වයට පත් වෙනවා කියන්නේ මෙන්න මෙවැනි අවස්ථාවකටයි. මම නම් එය දකින්නේ සුබවාදී දෙයක් විදියට. එනම් නිවැරැදි දිශාවකට ගමන් කරනවා කියන එකයි. උද්ධමනය පාලනය සඳහා රජය පියවර ගණනාවක් ගෙන තිබෙනවා.

සියයට අනූ ගණන්වල තිබූ උද්ධමනය මේ ආකාරයෙන් සියයට හතළිස් ගණනට පහළ බැස තිබෙන්නේ, මුදල් අච්චු ගැසීම සීමාකිරීම සහ රාජ්‍ය වියදම් සීමා කිරීම යන එම ප්‍රධාන පියවර ඇතුළු 'මූල්‍ය උපකරණ' කිහිපයක් ම කඩිනමින් ක්‍රියාත්මක කළ නිසයි. ප්‍රතිඵලය තමයි, ආර්ථිකයේ මූල්‍ය පාලනය උදෙසා රජය ගත් පියවර සඵලදායි වී තිබීම.."

Comments