
ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධනගේ රුසියානු නිල සංචාරයෙන් සාර්ථක ප්‍රතිඵල රැසක් අත්කර ගැනීමට ශ්‍රී ලංකාවට අවස්ථාව උදා විය. රුසියාවේ ශ්‍රී ලංකා තානාපතිනිය මහාචාර්ය ජනිතා ඒ. ලියනගේ ද එක් වූ මේ සංචාරය අතරතුර මොස්කව් නුවර මහජන මිත්‍රත්ව විශ්වවිද්‍යාලයේ (පැට්‍රික් ලුමුම්බා විශ්වවිද්‍යාලය) කළ චාරිකාවේදී එහි ශාඛාවක් ශ්‍රී ලංකාවේ විවෘත කිරීමට අමාත්‍යවරයා කළ යෝජනාවට යහපත් ප්‍රතිචාර ලැබුණු අතර, රුසියාවේ ප්‍රවාහන විශ්වවිද්‍යාලයේ කළ චාරිකාවේදී ශ්‍රී ලංකාවේ තාක්ෂණය ආශ්‍රිත විශ්වවිද්‍යාල සමඟ සහයෝගීතාවෙන් කටයුතු කිරීම සහ ශ්‍රී ලංකා- ජර්මානු දුම්රිය කාර්මික අභ්‍යාස මධ්‍යස්ථානය උසස් තත්ත්වයකට දියුණු කිරීමේ හැකියාව සම්බන්ධව අමාත්‍යවරයා ඇතුළු දූත පිරිස ඵලදායි සාකච්ඡාවක ද නිරත විය.
එහිදී බෙලරුසියාවේ ප්‍රවාහන විශ්වවිද්‍යාලය සහ ශ්‍රී ලංකා දුම්රිය සේවය සහ ශ්‍රී ලංකා - ජර්මානු දුම්රිය අභ්‍යාස පුහුණු මධ්‍යස්ථානය අතර අවබෝධතා ගිවිසුමක ද අත්සන් තබනු ලැබුවේය.
මහජන මිත්‍රත්ව විශ්වවිද්‍යාලයේ ප්‍රධානි මහාචාර්ය ඔලෙග් යස්ට්‍රෙබොව් සහ විශ්වවිද්‍යාලයේ පරිපාලන අංශය සමඟ කළ සාකච්ඡාවේදී විශ්වවිද්‍යාල අතර සබඳතා වර්ධනය කිරීමට අමතරව මහජන මිත්‍රත්ව විශ්වවිද්‍යාලයක් ශ්‍රී ලංකාවේදී ආරම්භ කිරීමේ හැකියාව සම්බන්ධව කටයුතු කිරීමට දෙපාර්ශ්වය එකඟතාවට පැමිණි අතර, ශ්‍රී ලංකාවේ දුම්රිය පද්ධතියේ තත්ත්වය ඇගැයීමට අවශ්‍ය තොරතුරු හුවමාරු කරමින් සහ ප්‍රවාහන අධ්‍යාපන ක්ෂේත්‍රය දියුණු කළ හැකි සහයෝගීතාව පිළිබඳ තොරතුරු සාකච්ඡා කිරීමට දෙපාර්ශ්වයෙන්ම ක්‍රියාකාරී කණ්ඩායමක් පත් කිරීමට අමාත්‍යවරයා රුසියානු ප්‍රවාහන විශ්වවිද්‍යාලයේ ප්‍රධානි මහාචාර්ය ඇලෙක්සැන්ඩර් ක්ලිමොව් කළ සාකච්ඡාවේදී තීරණය විය.
ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධනගේ රුසියානු සංචාරය අතරතුර සහයෝගිතාව වර්ධනය කර ගනිමින් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා අමාත්‍යවරයා එරට ප්‍රවාහන විශ්වවිද්‍යාලයේ නිරික්ෂණ චාරිකාවකට එක් විය.
රුසියාවේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය ජනිතා ඒ. ලියනගේ සහ තානාපති කාර්යාලයේ සෙසු කාර්ය මණ්ඩල සාමාජිකයන් ද එක් වූ මේ චාරිකාවේදී අමාත්‍යවරයා රුසියානු ප්‍රවාහන විශ්වවිද්‍යාලයේ ප්‍රධානි මහාචාර්ය ඇලෙක්සැන්ඩර් ක්ලිමොව් සහ සෙසු කාර්ය මණ්ඩලය හමුවී සාකච්ඡාවක නිරත විය. ශ්‍රී ලංකාවේ තාක්ෂණය ආශ්‍රිත විශ්වවිද්‍යාල සමඟ සහයෝගීතාව, ශ්‍රී ලංකා- ජර්මානු දුම්රිය කාර්මික අභ්‍යාස මධ්‍යස්ථානය උසස් තත්ත්වයකට දියුණු කිරීමේ හැකියාව, අධ්‍යයන හුවමාරු, විද්‍යා පර්යේෂණ, මාර්ගගත දේශන සහ ශ්‍රී ලංකාවේ ප්‍රවාහන ක්ෂේත්‍රයේ විශේෂඥයන් පුහුණු කිරීම වැනි කරුණු පිළිබඳ මෙහිදී සාකච්ඡාවට ලක් විය.
ශ්‍රී ලංකාවේ දුම්රිය පද්ධතියේ තත්ත්වය ඇගැයීමට අවශ්‍ය තොරතුරු හුවමාරු කරමින් සහ ප්‍රවාහන අධ්‍යාපන ක්ෂේත්‍රය දියුණු කළ හැකි සහයෝගීතාව පිළිබඳ තොරතුරු සාකච්ඡා කිරීමට දෙපාර්ශ්වයෙන්ම ක්‍රියාකාරී කණ්ඩායමක් පත් කිරීමට ද එහිදී තීරණය විය.
සාකච්ඡාවෙන් අනතුරුව දෙපාර්ශ්වය අතර සංකේතාත්මක තිළිණ හුවමාරු වූ අතර, විශ්වවිද්‍යාලයේ ගෞරවනීය අමුත්තන්ගේ සටහන් පොතේ අත්සන් තැබු අමාත්‍යවරයාට දූත පිරිස සමඟ එරට විශ්වවිද්‍යාල පරිශ්‍රය, විද්‍යාගාර, පුස්තකාල සහ කෞතුකාගාර වැනි ස්ථාන නැරැඹීමේ සංචාරයකට ද ඇරයුම් ලැබී තිබිණි. සිය සංචාරය අතරතුර අමාත්‍යවරයා මොස්කව් නුවර පිහිටි රුසියානු මහජන මිත්‍රත්ව විශ්වවිද්‍යාලයේ (පැට්‍රික් ලුමුම්බා විශ්වවිද්‍යාලය) චාරිකාවකට ද එක් වූ අතර, රුසියාවේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය ජනිතා ඒ. ලියනගේ ඇතුළු කාර්ය මණ්ඩලය ද ඒ සඳහා සහභාගී වූහ. එම චාරිකාවේදී රුසියානු මහජන මිත්‍රත්ව විශ්වවිද්‍යාලයේ ප්‍රධානී මහාචාර්ය ඔලෙග් යස්ට්‍රෙබොව් සහ විශ්වවිද්‍යාලයේ පරිපාලන අංශය විසින් එම දූත පිරිස පිළිගනු ලැබූ අතර, මහජන මිත්‍රත්ව විශ්වවිද්‍යාලය සහ ශ්‍රී ලංකාව අතර අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ දීර්ඝ කාලීන ශක්තිමත් සබඳතාවක් පවත්වා ගෙන යන බවත්, එහි වසර 60කට වැඩි ඉතිහාසය තුළ ශ්‍රී ලංකාවේ ඉහළ සුදුසුකම්ලත් සිසුන් දහසකට වැඩි පිරිසකට මහජන මිත්‍රත්ව විශ්වවිද්‍යාලය මඟින් අධ්‍යාපනය ලබාදී ඇති බවත් එහිදී මහාචාර්යවරයා අමාත්‍යවරයාට කියා සිටියේය.
මහාචාර්ය ජනිතා ඒ. ලියනගේ ගේ සහාය ඇතිව පසුගිය වසරේදී මහජන මිත්‍රත්ව විශ්වවිද්‍යාලයේ නියෝජිතයන් දෙදෙනකු ශ්‍රී ලංකාවේ සංචාරය කළ බවත්, එහිදී ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල සමඟ අවබෝධතා ගිවිසුම් තුනකට ද අත්සන් තැබූ බවත් මහාචාර්ය ඔලෙග් වැඩිදුරටත් සඳහන් කළේය. අමාත්‍යවරයා එම විශ්වවිද්‍යාලයේ චාරිකාවක නිරත වීම ශ්‍රී ලංකාව සමඟ ඇති සහයෝගීතාව වර්ධනය කිරීම වේගවත් කිරීමට ඉවහල් වනු ඇතැයි ද මහාචාර්යවරයා වැඩිදුරටත් සඳහන් කළේය. මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහජන මිත්‍රත්ව විශ්වවිද්‍යාලයෙන් ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයට ලැබෙන අගනා දායකත්වය ඇගයීමට ලක් කළ අතර, එහි ශාඛාවක් ශ්‍රී ලංකාවේ ආරම්භ කරන ලෙස මහාචාර්යවරයාට යෝජනාවක් ද ඉදිරිපත් කළේය. විදෙස් සිසුන් ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනය හැදෑරීමට ආකර්ෂණය වී සිටින බැවින් සහ ශ්‍රී ලංකාව අධ්‍යාපනයේ කේන්ද්‍රස්ථානයක් බවට පත් වීමේ උනන්දුවකින් පසුවන බැවින් එම වැඩසටහනට පහසුකම් සපයන බවට අමාත්‍යවරයා සහතික විය.
විශ්වවිද්‍යාල අතර සබඳතා වර්ධනය කිරීමට අමතරව මහජන මිත්‍රත්ව විශ්වවිද්‍යාලයක් ශ්‍රී ලංකාවේදී ආරම්භ කිරීමේ හැකියාව සම්බන්ධව කටයුතු කිරීමට දෙපාර්ශ්වය එකඟතාවට පැමිණියහ. නිල සාකච්ජාව අවසන් වීමෙන් පසු ශ්‍රී ලාංකික දූත පිරිස විශ්වවිද්‍යාලයේ මෙහෙයුම් පාලන මධ්‍යස්ථානයේ චාරිකාවක නිරත වූ අතර, එම විශ්වවිද්‍යාලය මෑතකදී සිදු කළ ඉහළ තාක්ෂණයෙන් යුතු පර්යේෂණයක ඉදිරිපත් කිරීමකට ද එක් විය.
රුසියානු සංචාරය අතරතුර අමාත්‍යවරයා දූත පිරිස සමඟ බෙලරුසියා ජනරජයේ සංචාරයකට ද එක් වූ අතර, රුසියාවේ තානාපතිනිය මහාචාර්ය ජනිතා ඒ. ලියනගේ සහ බෙලරුසියාවේ මින්ස්ක් අගනුවර ශ්‍රී ලංකාවේ කොන්සියුලර්වරයා වන ඩී. වයි. රුසානොව් ද ඊට සහභාගී වූහ.
එම සංචාරය අතරතුර අමාත්‍යවරයා ප්‍රමුඛ දූත පිරිස එරට කර්මාන්ත අමාත්‍යවරයා සහ බෙලරුසියාවේ ප්‍රමුඛතම ප්‍රවාහන සමාගම් වන මින්ස්ක් අගනුවර ඔටෝමොබයිල් කර්මාන්තශාලාව, බී. කේ. එම්. හෝල්ඩිංග්ස් සහ ජේ. එස්. සී. අම්කොඩොර් ප්‍රධානීන් සමඟ සාකච්ඡාවකට එක් විය. එහිදී දෙපාර්ශ්වය ප්‍රවාහන නිෂ්පාදන අංශයේ සහයෝගීතාව සම්බන්ධව එකඟතාවන්ට එළැඹුණු අතර, දෙරටේ අදාළ අංශ අතර ඒ සඳහා ගිවිසුම් අත්සන් කිරීමට ද සැලසුම් කර ගත්හ.
රුසියාවේ ශ්‍රී ලංකා තානාපතිවරිය වන මහාචාර්ය ජනිතා ඒ. ලියනගේ සමඟ අමාත්‍යවරයා බෙලරුසියාවේ ප්‍රවාහන විශ්වවිද්‍යාලයේ චාරිකාවකට ද එක් වූ අතර, බෙලරුසියාවේ ගොමෙල් නුවර සංචාරය අතරතුර දූත පිරිස ප්‍රවාහන විශ්වවිද්‍යාලයේ ප්‍රධානි යූරි කුලසෙන්කෝ සමඟ ප්‍රවාහන අධ්‍යාපන ක්ෂේත්‍රයේ සහයෝගීතා ගැටලු සහ උසස් පුහුණු ක්ෂේත්‍රය සම්බන්ධව සාකච්ඡා කළේය. මීට අමතරව බෙලරුසියාවේ ප්‍රවාහන විශ්වවිද්‍යාලය සහ ශ්‍රී ලංකා දුම්රිය සේවය සහ ශ්‍රී ලංකා - ජර්මානු දුම්රිය අභ්‍යාස පුහුණු මධ්‍යස්ථානය අතර අවබෝධතා ගිවිසුමක ද අත්සන් තබනු ලැබුවේය.
ශ්‍රී ලංකාවේ ප්‍රවාහන ක්ෂේත්‍රයට සම්බන්ධ ආයතන සමඟ දිගුකාලීන හා ඵලදායි සහයෝගීතාවක් අපේක්ෂා කරන බව මෙහිදී බෙලරුසියානු ප්‍රවාහන විශ්වවිද්‍යාලය ප්‍රකාශ කළේය. නිල සාකච්ඡාවට පසු දූත පිරිස විශ්වවිද්‍යාලයේ රසායනාගාර සහ පන්ති කාමර ඇතුළු පහසුකම් ද දැකබලා ගැනීමට ගියේය.
ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධනගේ රුසියානු සංචාරයට පෙර පසුගිය මාසයේදී රුසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් බෙලරුසියාවේ ප්‍රාන්ත වෛද්‍ය විශ්වවිද්‍යාලය සහ පේරාදෙණිය විශ්විද්‍යාලය, ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලය සහ මොරටුව විශ්වවිද්‍යාලය අතර මාර්ගගත රැස්වීමක් සංවිධාන කරනු ලැබීය.
ශ්‍රී ලංකාවේ සහ බෙලරුසියාවේ විශ්වවිද්‍යාල අතර සම්බන්ධතාවක් ගොඩනැඟීම කටයුතු කිරීම පිළිබඳ බෙලරුසියා ප්‍රාන්ත වෛද්‍ය විශ්වවිද්‍යාලයේ ප්‍රධානී මහාචාර්ය සර්ජී රුබ්නිකොවිච් රුසියාවේ ශ්‍රී ලංකා තානාපතිවරිය මෙහිදී මහාචාර්ය ජනිතා ඒ. ලියනගේ ඇගැයීමට ලක් කළේය. ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල නියෝජනය කළ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර සබඳතා කාර්යාලයේ කළමනාකරණ කමිටුවේ ආචාර්ය කීර්ති දිසානායක, ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ආචාර්ය අසංක පල්ලේවත්ත, මොරටුව විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර සබඳතා අධ්‍යක්ෂ මහාචාර්ය ගාමිණී ලැනරෝල් සහ අනිකුත් විශ්වවිද්‍යාලවල නියෝජිතයන් මහාචාර්යවරයා රුබ්නිකොවිච් විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.
රැස්වීම අතරතුරදී සියලුම විශ්වවිද්‍යාල ඉදිරිපත් කිරීම් සහ ඔවුන්ගේ උනන්දුව දක්වන ක්ෂේත්‍ර සම්බන්ධව විග්‍රහයක නිරත වූ අතර, ශිෂ්‍ය හා කාර්ය මණ්ඩල හුවමාරුව, තේරීම් පාඨමාලා පිහිටුවීම, අධ්‍යාපනික හා පරිපාලන උපදේශන පැවැත්වීම ආදිය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළහ.
සහයෝගීතාව සඳහා නිශ්චිත යෝජනා හුවමාරු කර ගැනීමට සහ ඒ හා බැඳුණු කරුණු තවදුරටත් වැඩි දියුණු කිරීමට සහ අනාගත ඒකාබද්ධ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා අවබෝධතා ගිවිසුම් කෙටුම්පත් සාකච්ඡා කිරීමටද දෙපාර්ශ්වය අතර එකඟතාව ඇති විය.