
අපේ විදෙස් ආර්ථිකයේ හැසිරීම බොහෝ විටම රඳා පවතින්නේ විදෙස්ගත ශ්‍රමිකයන් විසින් මෙරටට එවනු ලබන ප්‍රේෂණ හෙවත් විදේශ විනිමය හරහාය. එම විදෙස්ගත ශ්‍රමිකයන් විසින් මෙරටට වසරකට එවන ලද මුදල් ප්‍රමාණය මසකට අමෙරිකන් ඩොලර් මිලියන 700කට ආසන්න විය. ඒ කොවිඩ් 19 වසංගතයට පෙරය. එකල ඩොලරයේ අගය රුපියල් 200කටත් අඩු විය.
උද්ධමනය පවා සාමාන්‍ය පාලනයක් යටතේ පවත්වා ගැනීමට හැකිව තිබුණි. එහෙත් කොවිඩ් 19න් පසුව ඒ තත්ත්වය ක්ෂණිකවම වේගවත් ලෙසින් වෙනස් වන්නට විය.
ඒ විගමණික ශ්‍රමිකයන් විසින් මසකට එවනු ලබන ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකන් ඩොලර් 200ක් පමණ දක්වා පහළ යෑමෙනි. ඒ හරහා මෙරට ආර්ථිකයට මරු පහරක් වැදුණි. එවැන්නක් සිදු වීමට බලපෑ ප්‍රධාන කරුණු දෙකකි. එකක් නම් විදෙස්ගත ශ්‍රී ලාංකියන් විසින් නීත්‍යනුකූල ක්‍රමයෙන් මෙරටට මුදල් එවීම අඩු වීමයි. ඔවුහු ඒ සඳහා උණ්ඩියල් හා හවාලා වැනි අනීතික ක්‍රම යොදා ගත්හ. අනෙක් හේතුව වූයේ කොවිඩ් 19 නිසා තවත් පිරිසක් එරට රැකියාවෙන් ඉවත්වී මෙරටට ආපසු පැමිණීමයි.
මෙරටට ඩොලර් පැමිණීම අඩුවීම මත ඉන්ධන ගෑස් ගල්අඟුරු ආදිය මෙරටට ආනයනය කිරීමට විශාල බාධා මතු විය. ඒ තත්ත්වයෙන් රට ගොඩ ගෙන විගමණික ශ්‍රමිකයන්ගේ මෙරටට එවනු ප්‍රේෂණ වැඩි කර විගමණික රැකියා වැඩි කිරීමේ ක්‍රමවේදය වර්ධනය කිරීම පැවරුණේ විදේශ රැකියා හා කම්කරු අමාත්‍ය මනූෂ නානායක්කාරටය. ඒ වගකීම ඉටු කිරීම මේ වන විට ජයග්‍රහණයක් කරා යන්නට හැකිව තිබේ. එය එක් අතකින් විශ්වකර්ම වැඩක් ද නොවේ. විදෙස්ගත ශ්‍රමිකයන්ට පිළිගැනීමක් ඇති කර ඔවුන්ට නීත්‍යනුකූලව මුදල් එවීමේදී ලබා දෙන සහන වැඩි කිරීම තුළින් මේ කටයුතු සිදු කරන්නට අමාත්‍යවරයා විසින් කටයුතු කරන ලද්දේ එම අවශ්‍යතාවන් මැනවින් තේරුම් ගෙන එය වටහා ගැනීම නිසාය.
ඒ අනුව පළමුවෙන්ම සිදු කරන ලද්දේ විදෙස් රැකියා පිණිස යන්නන් හා ආපසු පැමිණෙන්නන් උදෙසා කටුනායක ගුවන් තොටුපොළේ HOPE GATE (අපේක්ෂා ගේට්ටුවක්) විවෘත කිරීමයි. ඒ අනුව විගමනික ශ්‍රමිකයන්ට ගුවන් තොටුපොළට ඇතුළුවීමේදී හා පිටවීමේදී එම ගේට්ටුව හරහා යාමේ විශේෂ අවස්ථාවක් උදා විය.
ඒ පිබිදීමත් සමඟම තවත් විශේෂ වරප්‍රසාදයක්ද ඔවුන්ට ලැබුණි. ඒ විගමණික ශ්‍රමිකයන්ට තමන් නීත්‍යනුකූලව මෙරටට එවන ලද මුදල් වලට සමානුපාතික වන ලෙස එයින් අඩකට සමාන මිලකට වාහනයක් ආනයනය කිරීමේ අවස්ථාව උදාකර දීමයි. එම ආනයනික මිල තීරණය වුයේ වාහනය විදෙස් රටකින් මිලට ගෙන මෙරටට ආනයනය කිරීම දක්වා වන මුදලයි. (CIF) එය යතුරුපැදියේ සිට මෝටර් රථ, වෑන් රථ, ජීප් රථ දක්වා විවිධ කාණ්ඩවලට අයත් වූ අතර අනිවාර්යෙන්ම විද්‍යුත් වාහනයක් විය යුතු වීමයි.
ඒ සඳහා ඉතා ඉහළ හා සාර්ථක ප්‍රතිචාර විගමනිකයන්ගෙන් ලැබී ඇති අතර මේ වන විට ඩොලර් මිලියන 8කට අදාළව වාහන ආනයනයට අයැදුම්පත් 125ක් පමණ ලැබී ඇත.
මේ ශ්‍රමිකයන්ට විශේෂිතම සහනය ගැන පණිවුඩය ලැබුණේ පසුගිය 27 වෙනිදාය. ඇමැතිවරයා පැවසුවේ විදෙස්ගතව සිට පැමිණෙන ශ්‍රමිකයන්ට ලබන මැයි 1 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි තිරුබදු සහනයද වැඩි ඇති බවයි.
ඒ යටතේ පසුගිය වසරේ මැයි පළමු වැනිදා සිට බැංකු හරහා මෙරටට එවනු ලැබූ මුදල් ප්‍රමාණය සැලකිල්ලට ගෙන කාණ්ඩ පහක් යටතේ මෙම සහනය ලබාදෙනු ඇත.
ඒ යටතේ වසරක් හෝ ඊට අඩු කාලයකදී අමෙරිකානු ඩොලර් 2400 ක අවමයක් මෙරටට එවා ඇති සියලු ශ්‍රමිකයන් මේ යටතේ සුදුස්සන් වනු ඇත.
අදාළ කාණ්ඩ නම් කර ඇත්තේ සිල්වර්, සිල්වර් +, ගෝල්ඩ්, ගෝල්ඩ් +, හා ප්ලැටිනම් යනුවෙනි.
ඒ යටතේ වසරක හෝ අඩු කාලයකදී අමෙරිකානු ඩොලර් 2400 – 4799 අතර මුදලක් එවා ඇති ශ්‍රමිකයන් සිල්වර් කාණ්ඩයට අයත් වන අතර ඔවුන්ට දැනට ලබා දෙන තීරුබදු සහනයට වඩා අතිරේකව අමෙරිකන් ඩොලර් 600 ක සහනයක් හිමිවනු ඇත.
එමෙන්ම අදාළ කාලය තුළ ඩොලර් 4800 - 7199 අතර මුදලක් එවා ඇති ශ්‍රමිකයන් සිල්වර් + කාණ්ඩයට අයත් වන අතර ඔවුන්ට අතිරේකව අමෙරිකන් ඩොලර් 960 ක සහනයක්ද ලබාගැනීමට හැකි වේ.
වසරකට ඩොලර් 7,200 - 11,999 අතර මුදලක් එවා ඇති ශ්‍රමිකයන් ගැනෙන්නේ ගෝල්ඩ් කාණ්ඩයට වන අතර ඔවුන්ට අතිරේකව ඩොලර් 1,440ක තීරු බදු සහනයක් හිමිවේ. ඩොලර් 12,000 - 23,999 අතර ප්‍රේෂණ ප්‍රමාණයක් එවා ඇති විදේශ ගත ශ්‍රමිකයන් ගැනෙන්නේ ගෝල්ඩ්+ කාණ්ඩයට වන අතර ඔවුන්ට ඩොලර් 2,400 ක සහනයක් ලබා ගැනීමට හැකිය.
වසරකට අමෙරිකන් ඩොලර් 24,000 ක් හෝ ඊට වැඩි මුදලක් එවා ඇති ශ්‍රමිකයන් ප්ලැටිනම් කාණ්ඩයට ගැනෙන අතර ඔවුන්ට අතිරේකව ඩොලර් 4,800 ක තීරු බදු සහනයක් ලබා ගැනීමට හැකිය.
මීට අමතරව මේ අයට පෙර හිමිව තිබූ තීරු බදු සහනය ද හිමිවනු ඇත. ඒ යටතේ දින 90කට අඩු කාලයකදී නම් ඇමරිකන් ඩොලර් 187.5ක්ද දින 90 සිට දින 365ක් දක්වා නම් අමෙරිකන් ඩොලර් 625ක් හා දින 365ට වැඩිනම් අමෙරිකන් ඩොලර් 1750ක සහනයක්ද හිමිවනු ඇත.
මෙරට රුපියල් ගිණුමකට ප්‍රේෂණය කරන ද්විත්ව පුරවැසිභාවය හිමි ශ්‍රී ලාංකිකයකුට වුව ද මෙම අතිරේක තීරු බදු රහිත දීමනාව ලබා ගැනීමට හැකියාව තිබේ. විශේෂ පැකේජයක් ලෙස හිමිවන මේ සහනය මේ දක්වා ශ්‍රී ලාංකික විදෙස්ගත ශ්‍රමිකයන්ට හිමි වූ විශාලතම වරප්‍රසාදය වනු ඇත.
මීට අමතරව විගමණික ශ්‍රමිකයන් සඳහා අඩු පොලී ණය ක්‍රමයක් හඳුන්වාදීමට ද පසුගිය සතියේ කැබිනට් මණ්ඩල අනුමැතිය ලබාගන්නා ලදී. ඒ අනුව විදේශ ගත ශ්‍රමිකයන්ට රුපියල් මිලියන දෙකක් දක්වා වන ණය පහසුකම් ලබාගත හැකිය. ඒ සඳහා ඉතා සහනදායි පොලී අනුපාතයක් යටතේ ණය හිමි වනු ඇත. ඒ සඳහා ජනාධිපතිවරයා විසින් තවත් නිර්දේශයක් ඉදිරිපත් කර තිබේ. ජනාධිපතිවරයාගේ නිර්දේශය වී ඇත්තේ විදේශ රැකියාවල නිරතව සිට යළි මෙරටට පැමිණෙන ශ්‍රමිකයන්ට ව්‍යාපාර කටයුතු ආරම්භ කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළක් මේ හරහාම ක්‍රියාත්මක කරන්න කියලා ජනාධිපතිතුමා කැබිනට් මණ්ඩලයට තමන්ගේ නිරීක්ෂණ ඉදිරිපත් කරමින් දැනුම් දුන්නා.
විගමනිකයන්ට ලැබුණු හා ලැබෙන මේ සහන යටතේ සැලකිය යුතු පිරිසක් විදෙස්ගතව ඇත. ඒ යටතේ මේ වසරේ ජනවාරි 01 වෙනිදා සිට පසුගිය අප්‍රේල් මස 27 වැනිදා වන විට ශ්‍රමිකයන් 93,669ක් රැකියා පිණිස විදෙස්ගතව තිබුණි. ඇමැතිවරයාගේ අපේක්ෂාව වී ඇත්තේ මේ වසර අවසන් වන විට ලක්ෂ 3කට අධික පිරිසක් විදෙස් රැකියා පිණිස යැවීමටය. පසුගිය වසරේදී විදෙස් රැකියා පිණිස ගිය ශ්‍රමිකයන් සංඛ්‍යාව 312,000කි.
පසුගිය වසරේ ජනවාරි මාසයේ අමෙරිකානු ඩොලර් මිලියන 259.2ක ප්‍රේෂණ මෙරටට ලැබුණු අතර මේ වසරේ එය දැක්වුණේ ඩොලර් මිලියන 437.5 ලෙසිනි. එය පෙර වසරට සාපේක්ධෂව 68.8%ක වැඩි වීමකි. පසුගිය වසරේ පෙබරවාරි මාසයේ ලැබුණු ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 204.9ක් වූ අතර මේ වසරේ එය දැක්වුණේ අමෙරිකානු ඩොලර් මිලියන 407ක් ලෙසින් වන අතර එය පෙරට වඩා 98.8%ක අතිවිශාල වැඩිවීමකි. 2022 මාර්තු මාසයේ දැක්වුණු අමෙරිකානු ඩොලර් මිලියන 318.4 වෙනුවට මේ වසරේ ප්‍රේෂණ දැක්වුණේ අමෙරිකානු ඩොලර් මිලියන 568.3ක් ලෙසින් වන අතර එය පෙර වසරේ එම මාසයට වඩා 78.5%ක වැඩිවීමකි.
එමෙන්ම ඇමැතිවරයාගේ අපේක්ෂාව වී ඇත්තේ මසකට අමෙරිකානු ඩොලර් බිලියනයක් එනම් වසරකට අමෙරිකානු ඩොලර් බිලියන 12ක ප්‍රේෂණ මෙරටට ගෙන්වා ගැනීමටය. මේ වන විට ඇමෙරිකානු ඩොලර් බිලියන 100ක ප්‍රේෂණ ඉන්දියාව තම රටට ගෙන්වා ගැනීමට කටයුතු කර තිබේ. ඒ විදෙස් රටවලින් වැඩිම ප්‍රේෂණ ගෙන්වා ගැනීමට කටයුතු කර ඇති රට වෙමිනි.
ශ්‍රී ලංකාවේද මේ ලෙසින් වැඩිවෙමින් සිදුවන අතිවිශාල ප්‍රේෂණ වැඩිවීම මත තවත් වසර කිහිපයක් ගත වන විට විගමනික ප්‍රේෂණ හරහා ලැබෙන ඇමෙරිකානු ඩොලර් ප්‍රමාණය අපේක්ෂිත මට්ටමට නොව ඊටත් වඩා වැඩිවන බව ඇමැතිවරයාගේ මතය වී ඇත.
ඉදිරියේදී දූ දරුවන් පාසල්වලට ඇතුළත් කිරීමේදී මෙන්ම වෙනත් විගමණිකයන්ගේ අවශ්‍යතා සඳහා ප්‍රමුඛතා ලබාදීමට අවශ්‍ය පියවර ගැනීමට ද ඇමැතිවරයා කටයුතු කරමින් සිටී. කොවිඩ් සමයේ මිනිස් බෝම්බ ලෙස සැලකූ අය රට විරුවන් ලෙස පරිවර්තනය වූ බව ද එම විරුවන්ට තවත් පහසුකම් ලබාදීමට ඉදිරියේදී පියවර ගන්නා බවද ඇමැතිවරයා පවසයි.