සතියේ පොත් | Page 2 | සිළුමිණ

සතියේ පොත්

යුද බිමේ අත්දැකීම් ගැන කියන කෘතියක්



කෘතිය- රණබිමක පන්හිඳ
කර්තෘ- රත්නපාල ගමගේ
ප්‍රකාශක- නවිඳු ප්‍රකාශන
විමසීම්- 0112 842 507
මිල- 2000 / = පිටු ගණන- 322

දශක තුනකට ආසන්න කාලයක් මෙරට පැවති යුද්ධයේදී නොබියව තම දිවි පරදුවට තඹා පෙරමුණේ සිට මාධ්‍ය ආවරණය සිදු කළ ප්‍රවීණ සිංහල මාධ්‍යවේදියකු වන රත්නපාල ගමගේ සටන් බිමේදී ඔහු දුටු සත්‍ය සිදුවීම් මේ කෘතිය තුළින් ලොවට හෙළි කර ඇත. ප්‍රවෘත්ති වාර්තාකරණයට අමතරව විශේෂාංග ලේඛකයකු ලෙස ද කැපී පෙණුනු මාධ්‍යවේදියකු වන ඔහුගේ ලගන්නා ලේඛන ශෛලිය සහ බස් වහර මේ කෘතිය තුළින් ද මනාව පිළිබිඹු වේ. මේ වන විට ස්විස්ටර්ලන්තයේ වෙසෙන කතුවරයා කෘතියේ පෙරවදන තුළින් සිය මාධ්‍ය ජීවිතයට උපකාර කළ වූවන් සිහි කරමින් ඔවුන්ට කෘතගුණ දක්වා තිබීම ද විශේෂත්වයකි. පැරණි ඡායාරූප පෙළක් ද කෘතියට ඇතුළත් කර ඇත්තේ ලේඛනයේ ජීව ගුණය තවත් වැඩි කිරීම අරමුණු කරගනිමිනි.


රෝහිත මුණසිංහගේ කොෂ්මාර්


කෘතිය- කොෂ්මාර්
කර්තෘ- රෝහිත මුණසිංහ
ප්‍රකාශක- සරසවි ප්‍රකාශකයෝ
විමසීම්- 0112 769 446
මිල- 1,100 / = පිටු ගණන- 245

කෙටිකතා, යොවුන් නවකතා, නවකතා, දේශපාලන නවකතා, චරිත කතා ආදී කෘති රැසක කතුවරයා වන ප්‍රවීණ ලේඛක රෝහිත මුණසිංහගේ නවතම කෘතිය මෙයයි. ස්විස්ටර්ලන්තයේ ජිනීවාහි සංචාරයකට යන ශ්‍රී ලාංකික යුවළකගේ තෙහැවිරිදි කුඩා පුතු එහි ප්‍රධාන දුම්රියපොළේ ජනකාය අතර මග හැරී අතුරුදන් වීමේ සිද්ධියක් පදනම් කරමින් ලියා ඇති මේ නවකතාවෙන් කියැවෙන්නේ මවුපියන්ට දරාගත නොහැකි තරම් කම්පනයකින් යුතු සිදුවීම් මාලාවකි. කතුවරයා පවසන්නේ කොෂ්මාර් කෘතිය ලිවීමේදී ඒ වේදනාව, කම්පනය විඳීමෙන් තමා මිය නොයෑම අරුමයක් බවය. දරුවකුගේ වියෝවකට මුහුණ දුන් සෑම මවකට, පියෙකුටම කොෂ්මාර් කියැවීමෙන් ඒ ප්‍රකම්පනය දැනෙනු ඇත.


කරුණා පෙරේරාගේ අදත් ඒ වගේමයි



කෘතිය- අදත් ඒ වගේමයි
කර්තෘ- කරුණා පෙරේරා
ප්‍රකාශක- ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ
විමසීම්- 0713 980 599
මිල- 475 / = පිටු ගණන- 104

ප්‍රවීණ ලේඛිකා කරුණා පෙරේරා විසින් රචිත මෙම කෙටිකතා සංග්‍රහයට කෙටිකතා 10ක් ඇතුළත්ය. කෙටිකතා සංග්‍රහය පිළිබඳ කතුවරිය මෙසේ පවසන්නීය.
"මගේම අත්දැකීම් තේරී ගී හා සසඳන කල මා අවට මගේ සමාජයේ ස්ත්‍රීන්ගේ ජීවිත ගැන මගේ සිත සසල විය. ඒ එදාය. අද ද මම සසල වූ සිතින් පෑන අතට ගමි. ඇත්තටම මේ අප ජීවත් වන සමාජයේ වඩාත්ම පීඩාවට පත්වන්නේ දිළිඳු ගැහැනුන් ද? මම මගෙන්ම ප්‍රශ්න කරමි. ඔවුහු නුවණ නැත්තෝද?"
එසේ විමසන ඇය ඒ ගැහැනු ගැන දයාවෙන් සිය පෑන හසුරුවා ලන්නීය.


උපාලි උබයසේකරගෙන් ලෝ පතළ හොල්මන් කතා



කෘතිය- ලෝ පතළ හොල්මන් කතා
පරිවර්තක- උපාලි උබයසේකර
ප්‍රකාශක- සමයවර්ධන පොත්හල
විමසීම්- 0112 677 539
මිල- 1,350 / = පිටු ගණන- 255

රෝල්ඩ් ඩාල් විසින් තෝරාගන්නා ලද ලෝ පතළ හොල්මන් කතා කෘතියේ සිංහල පරිවර්තනයයි. කෘති රැසක් පාඨක ආකර්ෂණය විශිෂ්ට අයුරින් දිනාගන්නා අයුරින් පරිවර්තනය කර ඇති ප්‍රවීණ ලේඛක උපාලි උබයසේකර මේ කෘතියේ පරිවර්තකයාය. ළමා මනස කියැවීමට යොමු කරවා රසවින්දනයක් ලබා දීමෙන් පමණක් නොනැවතී ඔහුට දැනුමක් මෙන්ම වාග් මාලාවක් ද උගන්වන, කියැවීමේ සහ ලිවීමේ පුරුද්ද දරුවන් තුළ ඇති කිරීමට සමත් කතා 14ක් මේ කෘතියට ඇතුළත්ය. ළමුන්ට පමණක් නොව වැඩිහිටියන්ට ද රසවිඳිය හැකි අපූරු කෘතියකි.


ප්‍රේමානිශංස ගැන විචාර සංග්‍රහයක්



කෘතිය- ප්‍රේමානිශංස- විචාර විමංසන
සංස්කරණය- සරත්චන්ද්‍ර වල්පොල
ප්‍රකාශක- සරසවි ප්‍රකාශකයෝ
විමසීම්- 0112 769 446
මිල- 750 / = පිටු ගණන- 128

සම්මානිත ලේඛක චන්ද්‍රරත්න බණ්ඩාර විසින් රචිත ප්‍රේමානිශංස නවකතාව 2022 ස්වර්ණ පුස්තක සම්මානය, 2022 විද්‍යෝදය ජාතික සම්මානය, 2022 ගොඩගේ සම්මානය හා 2022 රාජ්‍ය සාහිත්‍ය සම්මාන උලෙළේ හොඳම නවකතා ත්‍රිත්වයට ඇතුළත් වීම ආදී ඇගයීම් රැසකට පාත්‍ර වූ මෑත කාලයේ අතිශය ජනාදරයට පත් වූ නවකතාවකි. මේ කෘතිය පිළිබඳ කරුණු ගණනාවක් ඇසුරු කරගත් විචාර ඇසුරෙන් තෝරා ගත් විවරණ 22ක් මේ කෘතියට ඇතුළත්ය.


දිලිනිගේ කුලුඳුල් නවකතාව එළි දකී



කෘතිය- ඉසොප්ටේරා
කර්තෘ- දිලිනි කෞෂල්‍යා ජයසූරිය
ප්‍රකාශක- ඇම්.ඩී. ගුණසේන සහ සමාගම
විමසීම්- 0112 323 981
මිල- 1,950 / = පිටු ගණන- 642

වෘත්තියෙන් නීතිඥවරියක වන දිලිනි කෞෂල්‍යා ජයසූරිය කොළඹ විශ්වවිද්‍යාලයේ පශ්චාත් නීතිවේදී උපාධිධාරිනියකි. දශක දෙකකට අධික කාලයක් නිවේදිකාව ලෙස ද කටයුතු කරන ඇය විසින් රචිත ප්‍රථම නවකතාව මෙයයි. ඉසොප්ටේරා හෙවත් පියාපත් ඇත්නම් නමැති මේ නවකතාව තුළින් කතුවරිය ගැහැනිය මුහුණ දෙන විවිධ දුක් දොම්නස් මෙන්ම ආදරය සහ විවාහයේදී ගැහැනියගේ සහ පිරිමියාගේ මනෝ භාවයන් පිළිබඳ විවරණය කෙරේ. සරල එහෙත් සුන්දර බස් වහරකින් යුක්තය.


ලාබ ඇපල් ගැන කියන තුෂාරි


කෘතිය- ලාබයි ඇපල්
කර්තෘ- තුෂාරි අබේසේකර
ප්‍රකාශක- ඇම්.ඩී. ගුණසේන සහ සමාගම
විමසීම්- 0778 353 215
මිල- 1,000 / = පිටු ගණන- 235

ප්‍රවීණ ලේඛිකා තුෂාරි අබේසේකර රචිත විසින් ලාබයි ඇපල් නවකතාව පිළිබඳ ඇය මෙසේ පවසන්නීය."මේ කෘතියේ ලස්සන භාෂාවක් නැත. ලස්සන මිනිසුන් ද ලස්සන ගැහැනුන් ද නැත. දෙපතුල් හොඳින්ම ස්පර්ශ වන පරිදි මහ පොළොවේ අඩිය ගසන උන් ළඟ මතුපිටට පෙනෙන ලස්සනක් නැති බව සමාජයට කියන්නට ඕනෑ නිසාම, උන්ගේ භාෂාව ඒ විලසින්ම ලියූ බව කිව යුතුමය. මේ ඇත්තම ඇත්තය. " කතුවරියගේ එවදන් තුළින් ලාබයි ඇපල් කෘතිය පිළිබඳ අදහසක් ලබා ගත හැකිය. කතුවරියගේ බොහෝ නිර්මාණ තුළින් පිළිබිඹු වන ජීවිත යථාර්ථය මේ කෘතිය තුළ ද අඩු නැතිව දැක ගත හැකි බව කීම වරදක් නොවේ.


සෝමලතාගේ සත් මිතුරියෝ



කෘතිය- සත් මිතුරියෝ
කර්තෘ- සෝමලතා වෛද්‍යරත්න
ප්‍රකාශක- සරසවි ප්‍රකාශකයෝ
විමසීම්- 0112 790 016
මිල- 650 / = පිටු ගණන- 132

රාජ්‍ය සම්මානලාභී ලේඛිකාවක වන සෝමලතා වෛද්‍යරත්නගේ නවතම කෘතිය මෙයයි. සරල, සුගම බස් වහරකින් ලේඛන කලාව තුළ නියැළෙන ඇය තාක්ෂණික මෙවලම් භාවිතය ඇසුරේ දරුවන් යහමඟට යොමු කිරීමේ අරමුණ ඇතිව මෙම කෘතිය රචනා කර ඇත. පාඨක හදවත පහසුවෙන් ඇද බැඳ තබාගැනීමේ හැකියාව ඇයගේ බොහෝ නිර්මාණ තුළින් දැකිය හැකිය.


සෝරත නාහිමි චරිතාපදානය



කෘතිය- මත්තේගොඩ මෙත් ගඟුල
කර්තෘ- නන්දන කුමාරපේලි
කර්තෘ ප්‍රකාශනයකි
විමසීම්- 0772 020 800
මිල- 350 / = පිටු ගණන- 148

මෙය මත්තේගොඩ බණ්ඩාරනායකපුර ශ්‍රී පියරතනාරාම විහාරස්ථානයේ විහාරාධිපති ශාස්ත්‍රපති පූජ්‍ය පන්ගම්විලයායේ සෝරත නාහිමිගේ චරිතාපදාන කෘතියකි. චරිතාපදාන සම්පාදනය පිළිබඳ ප්‍රවීණ ලේඛකයකු වන නන්දන කුමාරපේලි විසින් මෙම කෘතිය රචනා කර ඇත්තේ සෝරත නාහිමි විසින් ඉටු කරනු ලබන විශාල ශාසනික සේවාව ඇගයීමට මෙන්ම උන්වහන්සේ පිළිබඳ අනාගත පරපුර ද දැනුම්වත් කිරීමේ අරමුණිනි.


සැත මත සැරිසරන්නා ඉංග්‍රීසි බසින්



කෘතිය- Walking on a knife-edge
පරිවර්තක- ෆ්‍රීඩා විල්ලවරායන්
කර්තෘ ප්‍රකාශනයකි
විමසීම්- 0770 253284
මිල- 800 / = පිටු ගණන- 361

මේ කෘතිය ප්‍රවීණ ලේඛක අජිත් මෙන්ඩිස් විසින් රචිත 'සැත මත සැරිසරන්නා' නමැති නවකතාවේ ඉංග්‍රීසි පරිවර්තනයයි. 'සැත මත සැරිසරන්නා' නවකතාවට පසුබිම් වී ඇත්තේ වර්ෂ 1600 අග භාගයේදී ලන්දේසීන්ගේ අධික තාඩන පීඩන මැද ගෝවේ සිට ලංකාවට සම්ප්‍රාප්ත වූ කතෝලික පූජකයකු වූ ජෝශප් වාස් පියතුමාගේ ජීවිත කතාවයි.

Comments