ශ්‍රී පාද රක්ෂිතයෙන් හෙළි වූ ගිරවුන් ජාවාරම | Page 2 | සිළුමිණ

ශ්‍රී පාද රක්ෂිතයෙන් හෙළි වූ ගිරවුන් ජාවාරම

අත්අඩං­ගු­වට ගනු ලැබූ ගිර­වුන් සහ අත්අ­ඩං­ගු­වට ගත් ගිර­වුන් දෙදෙනෙක්

ලංකාර පලා පැහැති කොළ පාටින් යුතු ගිරවා ශ්‍රී ලංකාවේ සිත් ගත් පක්ෂියෙකි. මෙම පක්ෂියාගේ දැකුම්කලු බව මෙන්ම මිනිස් හඬ අනුකරණයට ගිරවා දක්වන විශේෂ දක්ෂතාව ගිරවුන් කූඩු කර ඇති කිරීමට ප්‍රධානම හේතුවකි.

ඒ අතර මුදල් අපේක්ෂාවෙන් ගිරවුන් අල්ලා විකුණන පුද්ගලයන් පිළිබඳ තොරතුරු ද විටින් විට වාර්තා වේ. ශ්‍රී පාද රක්ෂිතයෙන් අල්ලා ගන්නා ලද ගිරවුන් විවිධ වූ මිල ගණන් යටතේ විකිණීමේ ජාවාරමක් පසුගියදා වාර්තා වූවේ දැරණියගල පොලිස් බල ප්‍රදේශයෙනි. 

“අපට ලද තොරතුරක් මත කළ සෝදිසි මෙහෙයුමකදී මාල ගිරවුන් හත් දෙනෙක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් දැරණියගල මාලිබොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට හැකිවූවා. මෙම සැකකරුවන් වයස අවුරුදු 17 සහ අවුරුදු 60 වයසේ පසුවන්නන්ය. මොවුන් මෙම ගිරවුන් කැලයෙන් අල්ලාගෙන ඇවිත් ගෙදර තියාගෙන විකුණනවා කියන තොරතුරු මතයි අප වැටලීම සිදු කළේ. මොවුන් මෙම ගිරවුන් පාරේ තියාගෙන නෙවෙයි, ගෙදර තියාගෙනයි විකුණන්න සූදානම් කර තිබුණේ. කවුරුන් හෝ ඇවිත් ඉල්ලුවොත් විකුණනවා.මාලිබොඩ වටේටම තියෙන්නේ කැලය. කැලේට ගිහිල්ලා ගස් බෙනවලින් තමයි මේ ගිරවුන් අල්ලාගෙන තියෙන්නේ.

අපිට තොරතුරක් ලැබුණේ ගිරවුන් ගැන පමණයි. වෙනත් කුරුල්ලන් සිටින බවක් වාර්තා වූවේ නැහැ. අපි අත්අඩංගුවට ගත්තේ එලෙස විකිණීමට තබාගෙන සිටි මාල ගිරවුන් හත් දෙනෙක්. මෙවැනි තොරතුරක් මත අත්අඩංගුවට ගැනීමක් සිදු කළේ පළමු වරටයි.

පොලිස් සැරයන් 48731 මිල්ටන් හා කොස්තාපල් 97581 ලියනගේ යන නිලධාරින් දෙදෙනා මේ වැටලීමට මාත් සමඟ සහභාගි වුණා“ දැරණියගල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මංජුල ජයවර්ධන පැවසුවේය.

ශ්‍රී ලංකාවේ ගිරවු වර්ග පහක් සිටිති. මෙයින් වර්ග දෙකක් මෙරටට ආවේණික ගිරවු වෙති. රෑන ගිරවා හෙවත් මාල ගිරවා (Rose ringneck parakeet) ඒ අතරින් විශාලම ගිරවාය. පඬු ගිරවා (Plum headed parakeet), ලබු ගිරවා (Alexandrine parakeet) මෙන්ම මෙරටට ආවේණික අළු ගිරවා (Sri Lankan layard's parakeet) සහ ගිරා මලිත්තා (Sri Lankan lorikeet or hanging parrot) මෙරට වෙසෙන සෙසු ගිරවු වෙති.

මෙලෙස ගිරවු ඇති කිරීම හා අලෙවි කිරීම සම්බන්ධයෙන් පරිසරවේදී නීතිඥ ජගත් ගුණවර්ධනගෙන් විමසූ අතර ඔහු පැවසුවේ මෙබන්ඳකි. “වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂා කිරීමේ ආඥා පනතේ 31 වගන්තිය අනුව මෙවැනි කුරුල්ලන් විකිණීම, ළඟ තබා ගැනීම, විකිණීම සඳහා ඉදිරිපත් කිරීම, කැලයෙන් එකතු කිරීම යන මේ සියල්ලක්ම වරදක් ලෙස සැලකෙනවා. අද වන විට විකිණිය හැකි හැම දෙයක්ම මිනිස්සු විකුණනවා.

මෙවැනි කරුණු සම්බන්ධයෙන් නීතිය දැඩිව ක්‍රියාත්මක කරන්න ඕනෑ. මෙහිදී නීතිය ක්‍රියාත්මක කිරීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට සහ පොලිසියට අවශ්‍ය බලතල තිබෙනවා. හැම කුරුල්ලෙක්ම රතු දත්ත පොතේ නිර්නායකවලට අනුව වර්ග කර තිබෙනවා. ඒ අනුව මාල ගිරවාත් රතු දත්ත පොතට ඇතුළත් වෙනවා. ගිරවුන් නිවෙසේ ඇති කිරීමට ‍මෙන්ම විවිධ අපල සඳහා නිදහස් කිරීමට ද මුදල් දී මිලදී ගන්නා අය වෙති. ‍ෙජ්‍යාතිෂයට අනුව අපල සඳහා සතුන් නිදහස් කිරීම සම්බන්ධයෙන් මාවනැල්ල ගුරුතරුව ජ්‍යොතිර්වේදී ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශ්‍රාමික යූ.එම්.ආර්.ගුණරත්න ගෙන් විමසුවෙමු.

“විවිධ අපල උපද්‍රව සඳහා අතීතයේ සිට සත්ත්වයන් නිදහස් කිරීමත්, ගස් වර්ග ආරක්ෂා කිරීමටත් කටයුතු කර තිබෙනවා. සිකුරු අපලයට තමයි පියාසර කරන ගිරවුන්, මයිනන්, පරෙවියන් වැනි කුරුල්ලන් කූඩුවල දමාගෙන සිටින අයගෙන් මිලදී ගෙන හානියක් නොවන ලෙසට නිදහස් කරන්නේ.

රවිගේ අපලයට මරණයට නියම වූ ගවයන් මිලට ගෙන නිදහස් කරනවා. සඳුගේ අපලයට මාළුවෝ, ඉබ්බෝ වැනි දියෙහි වෙසෙන සත්වයන් නිදහස් කරන්න ඕනෑ. ඒ අයට කෑම දෙන්න ඕනෑ. සෙනසුරු අපලයට කපුටන්ට කෑම දෙන්න කපුටන් රැක බලාගන්න ඕනෑ. රාහුගේ අපලයට සර්පයන්, නාගයන් නිදහස් කරන්න අවශ්‍ය වෙනවා.

මේ ලෙසම තමයි අපල සඳහා ගස් වර්ග ආරක්ෂා කිරීමත්. එහිදී රවිගේ අපලයට ඉඹුල් ගසුත්, සඳුගේ අපලයට අත්තික්කා ගසුත්, කුජගේ අපලයට කොලොන් ගසුත්, බුදගේ අපලයට කොහොඹ ගසුත් ආරක්ෂා කරන්න සමහරු කටයුතු කරනවා. ඒ වගේම ගුරුගේ අපලයට බෝධීන්, සිකුරුගේ අපලයට කරඳ ගස්, සෙනසුරු අපලයට නුග ගස්, රාහුගේ අපලයට වැටකේ ගස් හා කේතු ගේ අපලයට කෙසෙල් ගස් වගා කර රැකබලා ගැනීමත් සුදුසු බවයි ජ්‍යොතිෂ පොතපතෙහි සඳහන් වන්නේ.“

කෙසේ වෙතත් ශ්‍රී පාද රක්ෂිතයෙන් මාල ගිරවුන් අල්ලා විකිණීමට කටයුතු කළ බවට සැකපිට අත්අඩංගුවට ගත් දෙදෙනා අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එක් සැකකරුවකුට රුපියල් පනස් දහස බැගින් රුපියල් ලක්ෂයක ශරීර ඇප දෙකක් මත සැකකරුවන් දෙදෙනා මුදා හැරිණි. මෙම නඩුව ජූනි මස 05 දා යළි කැඳවීමට නියමිතය. සැකකරුවන් සමඟ දැරණියගල පොලිස් භාරයට ගෙන සිටි මාල ගිරවුන් ශ්‍රී පාද රක්ෂිතයට මුදා හරින ලෙසට ද මහේස්ත්‍රාත්වරයා එහිදී නියෝග කර තිබිණි.

රඹුක්කන විශේෂ, ඔස්වල්ඩ් ගොඩකුඹුර

Comments