පුවත් මවන එක්ස්ප්‍රස් පර්ල්ට විරුද්ධව නඩු යන හැටි | Page 2 | සිළුමිණ

පුවත් මවන එක්ස්ප්‍රස් පර්ල්ට විරුද්ධව නඩු යන හැටි

* ඩොලර් බිලියන 6.4ක වන්දි ඉල්ලා නඩු පැවැරීම සිංගප්පූරු අධිකරණයකදී
* මැයි 19ට පෙර නඩු පැවැරිය යුතුයි. ලංකාවේ අධිකරණයක නඩු පවරන්න 
- පරිසරවේදීහු ඉල්ලති
* නඩු කටයුත්තේදී අපේ සම්පූර්ණ සහය ලබා දෙනවා 
- සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති
 පරිසර හානිය අවුරුදු 10ක් ඉදිරියටත් ගණනය කිරීමට සිදු වේවි
 - හිටපු සභාපතිනිය 

MV X Press Pearl නොෟකාව ඉන්දියාවේ හසීරා වරායේ සිට නයිට්‍රික් ඇසිඩ් ටොන් 25ක් සහ වෙනත් රසායනික ද්‍රව්‍ය සහ රූපලාව‍ණ්‍ය ආලේපන ද්‍රව්‍ය සහිත බහාලුම් 1486ක් රැගෙන 2021 මැයි මස 15 වන දින යාත්‍රා කරමින් තිබුණේ ලංකා මුහුදු සීමාව හරහාය. 2021 මැයි මස 19 වන දින කොළඹ වරාය ආසන්නයට පැමිණි නෞකාව නාවික සැතපුම් 9.5ක් දුර මුහුදේ නැංගුරම් ලා තිබියදී මැයි 20 වැනිදා නෞකාවේ විශාල පිපිරීමකින් ඒ රසායනික ද්‍රව්‍ය ඇතුළත් බහාලුම් සියල්ලම අප සාගර පතුලට එක්කරමින් නැව මුහුදුබත් විය. ලොව පරිසර විශේෂඥයන් පවසන ආකාරයට මෙය දරුණුතම පරිසරය හානියක් වන අතර, එය අපේ රටට කෙසේ දරා ගැනීමට හැකිවේද යන්න ප්‍රශ්නකාරීය. සියල්ල අවසන් යැයි අපට සිත හදා ගැනීමට නොහැකිය. සියල්ල සිදුවී වසර දෙකකට ආසන්න කාලයක් ඉකුත් වීමට තව ඇත්තේ මසකටත් නොඅඩු දින කිහිපයකි. පරිසරවේදීන් මේ වන විට හඬ නඟා පවසන්නේ තවමත් වන්දි අය කර ගෙන නොමැති මේ මහා විනාශයේ වන්දි අය කර ගැනීමේ නීතිමය කටයුතු වහා සිදුකරන ලෙසයි. ලංකාවේ සාමාන්‍ය කාලාවරෝධී නීතියට අනුව යම් වන්දියක් ඉල්ලමින් නඩු පැවැරීමේ කාලය ඇත්තේ සිදුවීමෙන් වසර දෙකක් ඇතුළතය. ඒ අනුව MV X Press Pearl නෞකාවේ වන්දි ලබා ගැනීමේ කාලයද මැයි 19 වන විට ඉකුත් වේ. මේ වන විට මීට අදාළ කටයුතු සිදු වන්නේ කුමනාකාරයෙන්ද? ඒ පිළිබඳ විවිධ පාර්ශ්ව දැක්වූ අදහස් අනුසාරයෙන් මේ ලිපිය සකස් වේ. 

MV X Press Pearl නෞකාවේ විනාශය සිදුවූයේ මහා පරිමාණයෙනි. මීගමුව ප්‍රීතිපුර ඇතුළු වෙරළෙන් ආරම්භ වූ ප්ලාස්ටික් දූෂණය රට පුරා වෙරළ තීරයන් ආක්‍රමණය කළේ ලොව සිදුවූ විශාලතම පරිසර හානිය මතු කරමිනි. වෙරළ පවිත්‍රතා කටයුතු සිදු වූයේ අධික මිනිස් ශ්‍රමය යොදා ගනිමිනි. ප්ලාස්ටික් කැට, ප්ලාස්ටින් ප්ලේට්ස් ඇතුළු අපද්‍රව්‍ය මෙට්‍රරික් ටොන් ගණනින් එකතු විය. විදෙස් මාධ්‍ය හුවා දක්වන්නේ ලොව සිදුවූ දරුණු ප්ලාස්ටික් දූෂණය මෙය බවකි. සත්ත්ව හානිය සංඛ්‍යාත්මකව ප්‍රකාශ කළ නොහැකි වුවද පරිසර යුක්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ හේමන්ත විතානගේ පවසන පරිදි මේ හේතුවෙන් කැස්බෑ මරණ 417 ක්, ඩොල්ෆින් මරණ 46 ක් මෙන්ම තල්මස් මරණ 8 ක් වාර්තා වී ඇති බවය. ඒ පැහැදිලිව හඳුනාගත් ඒවා පමණි. නැවේ ගින්න නිවීමට ලංකා රජයට ගිය වියදම , වෙරළ තීරණය පිරිසුදු කිරීමට මෙන්ම සමුද්‍ර පරිසරයට,ධීවර කර්මාන්තයට හා සංචාරක කර්මාන්තයට වූ හානිද මෙතකැයි කියා ගණන් බැලීමට පවා අපහසු වන පරිදි සිදුවී ඇත.

“MV -X Press Pearl හානිය කියන්නේ තව දිගින් දිගටම සිදුවන්නක්. නැව තවමත් මුහුදු පතුලේ. මෙහි දෙවැනි වාර්තාවට අනුව සිදුවී ඇති පරිසර හානිය ඩොලර් බිලියන 6.4 ක්. කැස්බැවුන්, ඩොල්ෆින්ලා ඇතුළු ජීවින් විශාල වශයෙන් මිය ගියා. මේ හානියේ ප්‍රමාණයටයි මේ ගණනය කිරීම් සිදු කළේ. සමහර හානි ඉදිරියටත් සිදු වෙමින් පවතිනවා. ප්ලාස්ටික් නර්ඩ්ල්ස්වලින් සිදුවන හානිය ඉදිරියටත් පවතින්න පුළුවන්. මේ වාර්තාවට අනුව ඉදිරි අවුරුදු 10 ක් වත් අදාළ ආයතන හානිය අධීක්ෂණය කරමින් යා යුතුයි. මියගිය කැස්බෑවුන් 400 අධික ගණන යළි බිහි කිරීමට කොතෙක් කාලයක් ගත වේවිද? මොවුන් යළි ප්‍රතිෂ්ඨාපනය කරන ක්‍රමවේද ඇතුළත් වෙනවා. මේවා අධික්ෂණය කරමින් යන ගමනේදීයි , ඉදිරි හානි පිළිබඳ අවබෝධයක් ලබාගත හැකි වන්නේ. මේ නෞකාවෙන් සිදුවූ පරිසර හානියට වන්දි ගෙවා නැහැ. නඩු පැවැරීම් හා වන්දි ලබා ගැනීමේ කටයුතු සිදු කළ යුතු වන්නේ නීතිපති දෙපාර්තමේන්තුවෙනුයි. වෙරළ තීරය පිරිසිදු කිරීම හා ධීවර හානිය වෙනුවෙන් ඩොලර් මිලියන 10 ක් පමණ මුදලක් ලැබුණා. නීතිපති දෙපාර්තමේන්තුවෙන් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් වුණා, සිංගප්පූරුවේ නඩු පැවැරිම් කළ යුතු බව. නමුත් අපේ මතය වුණේ නාවුක සැතපුම් 12 කට මෙහා දේශීය ජල තීරයේ මේ දේ සිදුවීම වූ නිසා ඊට අදාළ වන්නේ රටේ නීතිය නිසාත් නඩු පැවැරීම ලංකාවේ සිදු කළ යුතු බව. අපේ මතය අපි ප්‍රකාශ කළා. නමුත් කැබිනට් මණ්ඩලය නීතිපති දෙපාර්තමේන්තු මතය අනුමත කළා. ලංකාවේ නඩු පවරනවා නම් අවුරුදු දෙකකට පෙර නඩු පැවැරිය යුතුයි. “ඒ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරීයේ හිටපු සභාපතිනි නීතීඥ දර්ශනි ලහඳපුරය.

විශ්වවිද්‍යාල මහාචාර්යවරුන්ගේ ප්‍රධානත්වයෙන් සකස් වූ එක්ස්ප්‍රස් පර්ල් විද්වත් කමිටු වාර්තාව පසුගිය කාලයේ සකස් වූයේ බොහෝ අභියෝග මධ්‍යයේය. එම වාර්තාව අදාළ පාර්ශ්වයන්ට ලබා දුන්නේ 2023 ජනවාරි මසය. පරිසර හා අනෙකුත් හානි පූර්ණයන් ගණනය කිරීම සඳහා පත්කළ මෙම විද්වත් කමිටු සාමාජිකයෝ පෙන්වා දී ඇත්තේ නැව අසලටම හෝ නැව තුළට යෑමට නොහැකි වීමෙන් පරිසර හානිය තක්සේරු කිරීමට යම් බාධාවන් ඇති වූ බවය. මේ සඳහා නාවික හා ගුවන් හමුදාවල සහාය ලබාගෙන පහසුකම් සැලසීමට කටයුතු කළ යුතුව තිබූ බවද විද්වත් කමිටු සාමාජිකයෝ පෙන්වා දී ඇත්තේය. නැව ආසන්නයටම ගොස් සාම්පල ලබා ගැනීමට නොහැකි වීම වන්දි ඉල්ලා පවරන නඩුවේදී අවාසි සහගත වීමට ඉඩ ඇති බැවින් අවශ්‍ය පහසුකම් කඩිනමින් සලසන ලෙස කමිටුව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියට (මීපා) සහ නාරා ආයතනයට උපදෙස් ද දී ඇත්තේය.

මෙම වාර්තාවට අනුව සිදුවූ පරිසර හානිය වෙනුවෙන් ඇ‍ෙමරිකන් ඩොලර් බිලියන 6.4 ක වන්දි මුදලක් ලබා ගැනීමට අදාළ විද්වත් කමිටු වාර්තාව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය විසින් නීතිපති දෙපාර්තමේන්තුවට යොමුකොට ඇත. ඒ මේ සීමිත කාලය තුළදීය. එසේම මෙම සිද්ධියට අදාළ වන්දි අයකර ගැනීමේ ක්‍රියාවලියේ ප්‍රගතිය සමාලෝචනය සඳහා අදාළ පාර්ශ්ව සමඟ පරිසර කටයුතු පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව නැවතත් අප්‍රේල් 25 වැනිදා රැස්වීමටත් මෙහිදී තීරණය විය. 

නමුත් මේ වන විට විවිධ සංගම් චෝදනා කරන්නේ පරිසරයට, මුහුදු ජිවීන්ට, අපේ සාගර තීරයට, ධීවර ප්‍රජාවට මෙන්ම වායූ ගෝලයට සිදුව ඇති දූෂණය ගණන් බැලීම මෙන්ම වන්දි අය කර ගැනීම නිසි පරිදි සිදුවී නොමැති බවයි. මෙය ලංකා මුහුදු තීරයේදි සිදුවූවක් වන හෙයින් මීට අදාළ වන්දි ලබාගැනීමේ නඩු පැවැරීම් ලංකාවේ සිදු කළ යුතු බව ඔවුන්ගේ අදහසය. ඔවුහු පවසන්නේ නඩු කටයුතු සිංගප්පූරුවේදී සිදු කිරීමට යන උත්සාහය සිදු නොකළ යුත්තක් බවයි.

“කොළඹ වරායට නුදුරින් 2021 වසරේ මැයි 20 වැනි දින ගිනිගෙන විනාශ වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් ශ්‍රී ලංකාවේ සමුද්‍ර දූෂණයට සිදුකළ අති මහත් විනාශයට අදාළ ඩොලර් බිලියන 6.4 ක වන්දි නඩුව නියමිත දිනට පෙර ගොනු නොකළහොත් සම්පූර්ණ වන්දියම රටට අහිමි වනවා. මේ සඳහා ඇත්තේ මසකටක් අඩු කාලයක්. එය ජාත්‍යන්තර මූල්‍ය ආයතනය මඟින් ශ්‍රී ලංකාවට දෙන ඩොලර් බිලියන් 3 මෙන් දෙගුණයකටත් වඩා වැඩි මුදලක්. මේ නඩුව ලංකාවේ අධිකරණයකට පැවැරිය යුතුයි. මන්ද සිංගප්පූරු අධිකරණයකදී මෙම නඩුව දිනවීමට ඇති අවස්ථාව ඉතා අඩුයි. “ඒ පරිසර යුක්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ හේමන්ත විතානගේය.

ඔවුහු පවසන්නේ මෙයින් සිදුවූ සමුද්‍ර දූෂණය මෙතෙක් ලෝකයේ සිදුවූ විශාලතම රාසයනික දූෂණ නාවික අනතුර බවත් එම විනාශය ඩොලර් බිලියන 10 ඉක්මවා යන බවත්ය. පරිසර යුක්ති කේන්ද්‍රය වැඩි දුරටත් චෝදනා කරන්නේ බලධාරීන්ගේ නිද්‍රාශීලී බව හා නොසලකා හැරීම නිසා නැවට අදාළ වන්දි නඩුව විසිවී යාමේ විශාල අවදානමකට පත්ව ඇති බවයි.

මේ පිළිබඳ සිළුමිණ කළ විමසීමකදී පාරිසරක නීතීඥ ආචාර්ය ජගත් ගුණවර්ධන සඳහන් කළේ මෙවැන්නකි.

“මෙම නඩුව ලංකාවේ අධිකරණයක පැවැරිය යුතුයි. මෙය අපේ අධිකරණ බලසීමාව තුළ සිදුවු වරදක්. දෙවැන්න මෙහි අපරාධ නඩුව ඇත්තේ ලංකාවේ අධිකරණයන්හිදීයි. එමනිසා සිවිල් නඩුවක් පැවැරිය යුත්තේ ලංකාවේ අධිකරණ තුළයි. නමුත් අපිට වාර්තා වන්නේ මේ නඩුව සිංගප්පූරුවේ අධිකරණයක දමන බවයි. එසේ වුවහොත් ප්‍රශ්න තුනක් ඇති වෙනවා. පළමු ප්‍රශ්නය අපේ අධිකරණ බල සීමාවේ සිදුවූ දෙයකට සිංගප්පූරුවේදි නඩු පැවැරිය හැකිද යන්න. ඔවුන් එයට මූලික විරෝධතාවක් ගෙනෙන්න පුළුවන්. එයින් අපේ නඩුව අඩාළ විය හැකි හෝ නඩුව විසිවිය හැකියි. දෙවැන්න නීතීඥ සහය ගන්න වෙන්නේ සිංගප්පූරු සමාගමකින්. ඒ ආයතනය ගැන අපේ වගකීමක් නැහැ. එසේම ඒ සමාගමට අධික වියදමක් ගෙවන්න වෙනවා. තුන්වැනි කාරණාව මේ සඳහා සාක්ෂිකාරයන් කැඳවන්න සිදු වන්නේ ලංකාවේ අය. ඒ අයට සිංගප්පූරුවට ගෙනියන්න විශාල වියදමක් යනවා. මේ අතින් බලන විට සුරක්ෂිත ක්‍රියාමාර්ගය වන්නේ ලංකාවේ නඩු පැවැරිමයි. මේ සියල්ලටම ඇත්තේ මාසයකට වඩා අඩු කාලයක් පමණයි. “

අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමැති ජනාධිපති නීතීඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ පවසන්නේ නඩු පැවැරීමේ කටයුතු ඉක්මනින් සිදු කරන බවත් මේ වන විට ඊට අදාළ ක්‍රියාමාර්ග ගනිමින් පවතින බවත්ය.

“MV -X Press Pearl නෞකාවේ ගින්නෙන් මෙරටට සිදු වූ හානිය සම්බන්ධයෙන් නඩු පැවරීම ඊට අදාළ කාලය ඉක්මවා යෑමට පෙර විධිමත් අයුරින් සිදු කරනවා. මෙහි වන්දි ලබා ගැනීම තක්සේරු කිරීම සඳහා විශේෂඥයින් 40 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් විසින් සකස් කළ වාර්තාව පසුගිය වසරේ සැප්තැම්බර් මස 23 වන දිනට පෙර ලබා දෙන බවට පොරොන්දු වූවත් වාර්තාව ලැබුණේ මෙම වසරේ ජනවාරි මසයි. එම වාර්තාව අදාළ නෛතික කටයුතු සඳහා නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමු කළා. අදාළ වන්දි ලබා ගැනීම සඳහා නඩු පැවරීමේ කටයුතු නීතිපති දෙපාර්තමේන්තුව ජාත්‍යන්තර වශයෙන් කටයුතු කරනු ලබන විදේශ නීතිඥ ආයතන සමඟ එක්ව සිදු කරමින් පවතිනවා. මේ සඳහා ඇතැම් පුද්ගලයින් විසින් අල්ලස් ලබා ගෙන ඇති බවට පැමිණිලි ලැබී ඇති බැවින් අල්ලස් ලබා ගෙන ඇති ඕනෑම පුද්ගලයකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනවා. කාලාවරෝදය සම්බන්ධව පවතින නීතිමය තත්වය අනුව නඩු පැවරීමට අදාළ කාලය ඉක්මවා යාමට පෙර වන්දි ලබා ගැනීම පිළිබදව නඩු පැවරීම සිදු කරන බැවින් ඒ පිළිබදව ගැටලුවක් ඇති කර ගත යුතු නැහැ. මීට වන්දි ලබා ගැනීමට අදාළ නඩු පැවරීමේ කටයුතු සාගරය පිළිබඳව විශේෂඥ දැනුමක් ඇති නීතිපති දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් සිදු කරනවා....“ ඒ ඇමැති ජනාධිපති නිතීඥ විජයදාස රාජපක්ෂයි.

ගිලුණු නෞකාව ඉවත් කිරීමේ කටයුතු සිදු වූයේ Shanghai salvage නැමැති ආයතනය විසිනි. නැවේ බහාලුම් ඉවත් කිරීමේ කටයුතු සිදු වූයේ Resolve marine රක්ෂණ සමාගම විසිනි.

එක්ස්ප්‍රල් පර්ල් නෞකාව මුහුදුබත් වීමෙන් මෙරට සමුද්‍රීය පරිසර පද්ධතියට සිදු වූ හානිය වෙනුවෙන් වන්දි ලබා ගැනීම සඳහා සිංගප්පූරු අධිකරණයක නඩු පැවරීමට නීතිපති දෙපාර්තමේන්තුව මේ වන විට කටයුතු කරමින් සිටියි. ඒ සඳහා මූල්‍ය දායකත්වය ලබා ගැනීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ඇතිව මූල්‍ය සමාගමක් දැනටමත් පත්කර ඇත. මේ පිළිබඳ නීතිපති දෙපාර්තමේන්තුව කළ අනාවරණයකදි පවසා ඇත්තේ සිංගප්පූරු අධිකරණයකදි නඩු පැවැරීම සඳහා අධිකරණ බලය ඇති බවට ඔස්ට්‍රේලියානු නීති සමාගම උපදෙස් දී ඇත. මෙම ප්‍රශ්න සහගත නැවේ අයිතිකරු අතුළු ප්‍රධාන පාර්ශ්ව සියල්ල සිංගප්පූරුව තුළ ස්වකීය ව්‍යාපාර කටයුතු කරගෙන යයි. එසේම ලංකාවට වඩා සිංගප්පූරු රජය ජාත්‍යන්තර වශයෙන් වැඩි පිළිගැනීමක් ඇති නාවුක කේන්ද්‍ර ස්ථානයක්ද වන හෙයින් එම රටේ නීති ක්‍රම උපයෝගි කර ගනිමින් මෙම නඩුව ගෙන යාම සාර්ථක බවද මෙම සමාගම උපදෙස් දී ඇත. මෙම නඩු කටයුත්ත ආරම්භ වීමට පෙර මෙම පරිසර හානි සම්බන්ධයෙන් හිමිකම් පෑමක් අදාළ සමාගම වෙත යොමු කිරීමටද නීතිපති දෙපාර්තමේන්තුව කටයුතු යොදමින් සිටියි. මේ සඳහා නීතිපති දෙපාර්තමේන්තුව සමඟ සමුද්‍රීය පරිසර ආරක්ෂණ සමාගමද එක්ව සිටියි.

සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ නව සභාපති නිතීඥ අසේල බී. රැකව පවසන්නේ නීතිපති දෙපාර්තමේන්තුව හරහා නඩු පැවැරිමේ කටයුත්තේදී අධිකාරියේ සම්පූර්ණ සහයෝගය ලබා දෙන බවයි.

“මෙම නෞකා අනතුරින් පරිසරයට සිදු වූ හානිය සඳහා වන්දි ලබා ගැනීමේ කටයුතු මැයි 20 ට පෙර සිදු කළ යුතුයි. අධිකරණ ඇමැති, නීතිපති සමඟ අපි මේ ගැන කතා කළා. එහිදි තීරණය වුණේ අදාළ කාලයට පෙර නඩු පැවැරිමටයි. අපිට ලැබුණු සියලු තොරතුරු ඔවුන්ට ලබා දෙනවා. අපි මේ නඩුව ඉක්මනින් ෆයිල් කරනකම් බලා සිටිනවා. පනතේ බලතල අනුව මෙවැනි අවස්ථාවක නඩු පැවැරිමේ බලතල ඇත්තේ නීතිපතිවරයාට. මෙහිදි නීතිපතිවරයා නඩු පැවැරීමට අදාළ කරුණු කාරණා පැහැදිලි කර තියෙනවා. එය සිංගප්පූරුවේද එසේත් නැතිනම් ලංකාවේද සිදු කරන්නේ යන වග. එතැනදි ඔහු පවසා තියෙනවා, සිංගප්පූරුවේදිම නඩු පැවැරීම යෝග්‍ය බව. එතුමාගේ ඒ කටයුත්තට අපි සම්පූර්ණ සහයෝගය දක්වනවා. ධීවරයන්ට සිදු වූ පාඩුව, වෙරළ තීරය පිරිසිදු කර ගැනීමට ලැබුණු මුදල් තාවකාලික ගෙවීම් පමණයි. ඒවා සිදු වූයේ ඔවුන් සමඟ ඇතිකරගත් එකඟතාවන් මතයි. දැන් ඒ ගෙවීම්ද රක්ෂණ සමාගම විසින් නවත්වා තියෙනවා. ඒවා ගැනත් අපි ක්‍රියාත්මක වෙනවා. විදේශ අමාත්‍යාංශය හරහා සියලු තානාතිපති කාර්යාල ගෙන්වා මේ පිළබඳ දැනුම්වත් කරනවා.” ඒ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිවරයාය.

කෙසේ වෙතත් අපිට MV -X Press Pearl නෞකාවෙන් ලබා ගැනීමට ඇති වන්දිය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අපිට ලැබෙන මුදල් මෙන් දෙගුණයකටත් වඩා වැඩිය. එම වන්දි මුදල අපිට ඉතා වැදගත් වන්නේය. රටේ ජනතාව බලා සිටින්නේ අපිට හිමිවීමට තිබෙන මේ මුදල් ලැබෙන තෙක්ය.

Comments