ගූගල් සිතියමෙන් මුළු ලොවටම පාර කියන අපි හැමෝගෙම ආදරණීය අක්කා | Page 4 | සිළුමිණ

ගූගල් සිතියමෙන් මුළු ලොවටම පාර කියන අපි හැමෝගෙම ආදරණීය අක්කා

‘පාර කියන අක්කා‘ මට මුලින්ම හමුවන්නේ 2012 වසරේ ජනවාරියේ දකුණු අප්‍රිකාවේදීය. වසර 2011 දෙසැම්බරයේ යෙදී තිබූ ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ දකුණු අප්‍රිකානු සංචාරයේ මාධ්‍ය ආවරණ කටයුතු සඳහා 2012 ජනවාරියේ එහි ගිය මොහොතේ නවාතැන වෙත යෑමට කේප්ටවුන් ගුවන්තොටුපොළෙන් ටැක්සියක නැඟුණු මා හෝටලයේ ලිපිනය රියැදුරු අත තැබුවෙමි. එතැන් සිට පැයකට ආසන්න කාලයක් රියැදුරු මා අදාළ හෝටලය වෙත රැගෙන ගියේ මෝටර් රථයේ සවිකර තිබූ ගූගල් සිතියම ඇතුළත් කුඩා දර්ශන තීරයට ඔබ්බෙන් වූ ස්පීකරයෙන් ඇසුණු ‘පාර කියන අක්කා‘ගේ උපදෙස් මතය. අපූරු ලාලිත්‍යයකින් යුතු මිහිරි හඬකින් ඇය නිවැරැදි දිශාව ගැන කියද්දී මා අසා සිටියේ අයා ගත් මුවින් යුතුවය. සැබැවින්ම ඒ වනවිට මා ඇය ගැන නොදැන සිටියෙමි. මා රැගත් ටැක්සිය හරියටම නිවැරැදි ස්ථානයට පැමිණි පසු ඇය මෙසේ කීවාය.

‘You have reach your Destination‘

ඒ වනවිටත් ලොව පුරා බොහෝ රටවල ජනතාවට ගූගල් සිතියමේ ජී.පී.එස්. තාක්ෂණය ඔස්සේ ඔවුනොවුන්ගේ ගමනාන්ත ගැන ටක්කෙටම උපදෙස් සැපැයූ මේ පටිගත කරනු ලැබූ හඬෙහි හිමිකාරිනිය කවුරුත් දැන සිටියේ ‘GPS Girl‘ නමිනි. ඇය ‘පාර කියන අක්කා‘ ලෙස ප්‍රචලිත වූයේ ගූගල් සිතියමෙන් පාර සෙවීමේ ක්‍රමවේදයට පසුකාලීනව ශ්‍රී ලංකාවේ ජනතාව ද හුරුපුරුදු වූවාට පසුවය.

කැරන් ජේකබ්සන්.. 

ඇගේ සැබෑ නමය. ලොව පුරා බිලියන ගණනාවක ජනතාව අතර කටහඬින් පමණක් දන්නා හඳුනන මේ ප්‍රසන්නශීලි කාන්තාව අද වන විට ලොව සියලුම රටවල වඩාත්ම ජනප්‍රිය කටහඬෙහි හිමිකාරිනිය පමණක් නොව වඩාත්ම විශ්වාසනීය මාර්ගෝපදේශිකාව ද වන්නීය. ගායිකාවක වීමේ සිහිනය දකිමින් සිටි ඇය අන්තිමට නැවතුණේ බිලියන ගණනාවක ලෝක ජන හදවත් තුළය.

ඔස්ට්‍රේලියාවේ උතුරු ක්වීන්ස්ලන්ඩ් පළාතේ කුඩා ටවුමක් වන මකායි ප්‍රදේශයේ උපත ලැබූ ‘පාර කියන අක්කා‘ගේ ළමා විය එහෙම පිටින්ම ගෙවී ගියේ සංගීතය අතරය. ඇය ගායිකාවක වීමේ සිහිනය දකින්නට වූයේ සත් හැවිරිදි වියේ සිටය. එවකට ලොව පුරා අතිශය ජනප්‍රිය ගායිකාවක බවට පත්වී සිටි ඔලිවියා නිව්ටන් ජෝන්ට පුදුමාකාර ලෙස ආශක්තව සිටි ඇයට වෘත්තීය මට්ටමේ ගායිකාවක වීමට ඔලිවියා නිව්ටන් ජෝන් කදිම අභිප්‍රේරණය බවට පත් විය. ක්වීන්ස්ලන්ඩ් විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලබා පියානෝ වාදනයෙන් විශේෂ සංගීත උපාධියක් ද අත්කර ගත් කැරන් ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ තරුණ ගීතිකා කණ්ඩායමේ සාමාජිකාවක ද වූවාය. පසුකාලීනව ‘ගුඩ් මෝනිං ඔස්ට්‍රේලියා‘ රූපවාහිනී වැඩසටහනට එක්වීමේ අවස්ථාව ලැබීමත් සමඟ ගායිකාවක වීමේ සිහිනය තවදුරටත් ශක්තිමත් වූ බව කැරන් පසුකාලීනව කීවාය.

ඇය කියන්නේ කුඩා වියේ සිටම ඇයට ජීවිතය පාට කරගැනීමේ නොතිත් ආසාවක් තිබූ බවය. දහස් සංඛ්‍යාත හැඩ තල ඔස්සේ ඔබේ ආත්මයට කතා කරන්නට පාටවලට හැකි බවට ශ්‍රේෂ්ඨ සාහිත්‍යධර ඔස්කා වයිල්ඩ්ගේ අපූරු කියමන කැරන්ගේ සිතේ තිබෙන්නට ඇත.

ගූගල් සිතියමෙන් පාර කියන අක්කා 2000 වසරේදී අමෙරිකාවේ නිව්යෝර්ක් නුවරට සේන්දු වූයේ ඇගේ ජීවිතයට පාර සොයාගෙනය. නිව්යෝර්ක් නුවරදී සින්දු කියන අක්කා වීමේ සිහිනය සැබෑ කර ගැනීමට අවශ්‍ය වටපිටාව එමට තිබිණි. ගායනයට, වාදනයට පමණක් නොව ගී පද රචනයටත් එක සේ දස්කම් පෑ මේ කාන්තාව ‘As I am‘ ගීතය නිකුත් කරමින් ගී ලොවට පිවිසියාය. ඇය විසින්ම පද රචනය කර සංගීතවත් කළ මේ ගීතය නිව්යෝක් නුවර ගීතලෝලීන් අතර ජනප්‍රියත්වයට පත්වූ අතර, පියානෝ වාදනයට ප්‍රකට අවන්හල් රැසක ඇය විසින් පියානෝව වාදනය කරමින් මේ ගීතය ගයනු ලැබීමෙනි.

කෙනකුට තනිව තම තමන්ගේ ජීවිත වර්ණවත් කරගැනීමට අපහසු බවත්, විශේෂයෙන් කාන්තාවකට එවැන්නක් කිරීම අතිදුෂ්කර බවත් ඇය දැන සිටියත්, නොසිටියත් කුඩා වියේ සිටම නිව්යෝක් යෑමේ සිහිනය සිතෙහි ගුලි වී තිබූ බැවින් එය ඇයට එතරම් විශාල අභියෝගයක් නොවූ බව ඇයම කියන්නීය. ඊළඟට එදා සිට සින්දු කන්දරාවක්ම ඇය විසින් නිකුත් කරනු ලැබූ අතර, ඒවායින් වැඩි ප්‍රමාණයක් අමෙරිකාවේ ජනප්‍රිය වීමට වැඩි කාලයක් ගියේද නැත. සින්දු කියන අක්කා පසුව පාර කියන අක්කා බවට පත්වීමත් අපූරු කතාවකි.

‘හඬ පරීක්ෂණයක් තිබුණා. ඒක කරපු කෙනා බැලුවේ ඔස්ට්‍රේලියානු සම්භවයක් ඇති කාන්තාවක්. ඒ වගේම ගායිකාවක් වගේ මිහිරි හඬක් ඇති කාන්තාවක්. දැනට අමෙරිකාවේ ජීවත්වෙන කාන්තාවක්. ඉතින් හැම දෙයක්ම ගැළපුණේ මටයි. ඔඩිෂන් එකට ගියා. රැකියාව ලැබුණා.‘ ඇය කියන්නේ පාර කියන අක්කා බවට පත්වූ ආකාරය ගැනය.

‘රැකියාව තමයි ජීපීඑස් තාක්ෂණයට හඬ කවන එක.‘

එය සෑහෙන කාලය වැය වූ වැඩකි. ඇය කියන හැටියට එය අතිවිශාල පිටපතකි.

‘මට කිවුවේ ඔස්ට්‍රේලියාවේ හඬ තමයි ඉහළම ප්‍රමුඛතාව ලැබුණු හඬ කියලයි. මොකද ඔස්ට්‍රේලියානු උච්චාරණය තමයි අහන් ඉන්න ආස විදිහේ වඩාත්ම ප්‍රසන්නශීලි ඉංග්‍රීසි උච්චාරණය කියල එයාලා සැලකුවේ. ඒක කොයිතරම් දෙයක්ද එක අතකට. ඒක ඇත්තටම ලොකු පිටපතක්. සිස්ටම් බේස් එකට ඇතුළත් කරන්නයි තිබුණේ. පුංචි ස්ටූඩියෝ එකක පැය පනහක පටිගත කිරීමක්.‘ ඇය දෑස් විසල් කරමින් එසේ කියන්නේ එහි බරපතළ හා දුෂ්කර බව ගැන පාඨකයාට ඒත්තු ගන්වන්නට මෙනි.

‘හැබැයි හරිම විනෝදජනකයි.‘ එසේ කියමින් ඇය සිනාසෙයි. යූ ටියුබ් නාළිකාවට ඇතුළත්ව තිබුණු ඇගේ සම්මුඛ සාකච්ඡා ඇතුළත් වීඩියෝ පට කිහිපයකම දක්නට ලැබුණු විශේෂය වන්නේ එක දිගට කතා කරමින් සිටියදී ඇය එකවරම ‘පාර කියන අක්කා‘ බවට පත්වී එහි යම්කිසි වගන්තියක් කියවයි. අනතුරුව හඬ නඟා සිනාසී නැවත සම්මුඛ සාකච්ඡාවට එක් වෙයි.

‘දවස් පහක් එක දිගට වැඩ කරනවා. ඊළඟට සති අන්තයේ නිවාඩු. මේ විදිහට සති තුනක්.‘

වැඩිපුරම භාවිත කරපු වචනය තමයි ආසන්න වශයෙන් (approximately ) කියන එක. ආසන්න වශයෙන් කිලෝමීටර් 5යි, ආසන්න වශයෙන් කිලෝමීටර් 2යි. ඔය විදිහට අදාළ පුද්ගලයා ගමනාන්තයට කිට්ටු වෙනකල් මම කියනවා. මං ඒ වචනේ 168 වතාවක් කිවුවා.‘

පසුකාලීනව ඇපල් ජංගම දුරකතන යෙදවුමක් ලෙස ලොවට හඳුන්වා දුන් ‘සිරි‘ කෘත්‍රිම බුද්ධි තාක්ෂණයට ඇගේ සේවය ලබා ගැනීමට ඇපල් සමාගම පියවර ගත්තේය. අමෙරිකාවේ එක්තරා විද්‍යාත්මක පර්යේෂණ ආයතනයක් වන SRI International හඳුන්වා දුන් මේ යෙදවුමට කැරන් සම්බන්ධ වූයේ තවත් කිහිපදෙනකු සමඟය. සිරි යෙදවුම ජනප්‍රිය වීමත් සමඟ කැරන් ලොව පුරා ප්‍රසිද්ධ වූයේ ඔස්ට්‍රේලියාවේ සිරි නමිනි.

පාර කියන අක්කා ආසියානු කලාපයේ ජනප්‍රියත්වයට පත් වූයේ අමෙරිකාවේ හා යුරෝපයේ ජනප්‍රියත්වය පත්වීමෙන් වසර කිහිපයකට පසුවය. ශ්‍රී ලංකාවට නම් ඊටත් පසුවය. එය කෙසේ වුවත් මේ හඬ සහ එහි ලාලිත්‍යය වරක් ඇසූ පමණින් කෙනකුගේ මනසෙහි තැන්පත් වන ආකාරයේ එකකි. කැරන් කියන්නේ ගායිකාවක වීමට නිව්යෝක් නුවරට ගොස් ලොවම ජනප්‍රිය කටහඬෙහි හිමිකාරිනිය වීම වඩාත් හොඳ බවය. එහෙත් ගීත ගායනය නම් අත් නොහරින බව ඇය කියයි.

ඇය ගායිකාවක ලෙස පමණක් නොව හඬ කැවීමේ ශිල්පිනියක ලෙසත් අභිප්‍රේරණ දේශිකාවක ලෙස ද කටයුතු කරයි. කාලයක් නිව්යෝර්ක් නුවර ජාතික දේශකයන්ගේ සංගමයේ සභාපතිනිය ලෙසත් කටයුතු කළ ඇය, ගෝලීය දේශන සමුළුවට ද සහභාගී වෙමින් තවත් පුද්ගලයන් දහස් ගණනකට ජීවිත ගොඩ නඟා ගැනීමට අවශ්‍ය උත්ප්‍රේරණය සපයනු ලබයි. ඇය මේ වන විට ග්‍රන්ථ දෙකක් ද ලියා පළ කර ඇති ලේඛිකාවකි. මුලින්ම 2011 දී Directions for Driving Performance Success කෘතිය එළි දැක්වූ ඇය 2015දී The GPS Girl's Road Map for Your Future කෘතිය නිකුත් කරමින් කලා ශිල්පිනියක ලෙස ඇගේ ජීවිතයේ නිම්වළලු පුළුල් කරගත්තාය.

මේ වනවිට 54 හැවිරිදි වියෙහි පසුවන මේ ආකර්ෂණීය කාන්තාව කියන්නේ ඔබේ ජීවිතය ඔබම තීරණය කරගත යුතු බවය.

කොවිඩ් වසංගතයේ ව්‍යාප්තියත් සමඟ වසර 20කින් පසු නිව්යෝක් නුවරින් නික්ම සිය සැමියා හා පුත්‍රයා සමඟ ඔස්ට්‍රේලියාවේ සිය නිජබිම වෙත ගිය කැරන් දැන් එරට සංගීත ප්‍රසංග, ප්‍රචාරණ ව්‍යාපාර ඇතුළු විවිධ ඉසව් සංවිධාන කිරීමෙන් ව්‍යාපාරිකාවක ලෙසත් ප්‍රචලිත වෙමින් සිටී.

ජීවිතය යනු පරීක්ෂණයකි. අත්හදා බැලීමකි. එය කිසිවිටෙක ලෙහෙසි පහසු කාර්යයක් ද නොවේ. සැබැවින්ම ජීවිතය ඔබට දෙන්නේ ලෙමන් පමණි. ඉන් ලෙමනේඩ් සාදා ගැනීමට ඔබ දැනගත යුතුය. සාරවත් හා ප්‍රීතිමත් ජීවිතයකට සිහින මවන ඕනෑම අයකුට අවශ්‍ය වන්නේ උත්සාහය හා කැපවීමය. ඔබට ඔබ තුළ සිටින ඔබවම හඳුනා ගැනීමට හැකි නම් ජීවිතය ජයගැනීම යනු ඔබට අභියෝගයක් නොවන බව කැරන් ජේකබ්සන් ලොවට පෙන්නුම් කර ඇත්තේ පාර කියන ගමන්මය.

You have reach your Destination...!

Comments