
එංගලන්තයේ දිගු කාලයක් රැකියාවක නිරතව සිට මෙරටට පැමිණි අයකු අපරාධකරුවන්ගේ ගොදුරක් බවට පත්ව ඝාතනය වූ බව පෙන්වා පවුම් මිලියන ගාණක රක්ෂණ වන්දියක් ලබාගැනීමට කළ සැලසුම් සහගත උත්සහයක් ගැන ඉතිහාසයේ අපට අසන්නට ලැබෙන්නේ 2002 වසරේ දීය. එකල මේ ගැන මාධ්‍යවල පුවත් මැවුණා පමණක් නොව, චිත්‍රපටයක් පවා නිර්මාණය වූයේ ඒ තරමට මෙම අපරාධමය සැලසුම සමාජයේ දැඩි කතාබහකට ලක්වූ බැවිනි.
එදා ජූලි 07 වෙනිදාය. වේලාව උදෑසන හිරු එළිය බිමටය පතිත වෙමින් තිබුණු මොහොතකි. ප්‍රධාන මාර්ගයෙන් මඳක් ඇතුළට වන්නට හබරණ කැලෑවේ ගිනිගෙන දැවෙමින් තිබෙන්නේ මෝටර් රථයකි. එම රථයේ කරකුට්ටම් වී ඇට කටු ටිකක් පමණක් ඉතිරි වූ සිරුරක් ද තිබුණේය. මෝටර් රථයද පිලිස්සී තිබුණේ යකඩ ගොඩක් පමණක් ඉතිරිවන තරමටය. බැලූ බැල්මටම මෙම ගින්න පෙන්නුම් කළේ අපරාධයක සලකුණුය. ඒ මෝටර් රථය සමඟ යම් පුද්ගලයකුව ගිනි තබා මරා දමා ඇති බවටය.
මෙම අපරාධය සිදු වූ පැත්තේ එකල පොලිස් ප්‍රධානියා ලෙස සේවයේ නිරතව සිටියේ වත්මන් මැතිවරණ කොමිසමේ සාමාජිකයෙක් වන විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කේ. පී. පී. පතිරණ ය. එකල ඔහු සේවයේ නිරතව සිටියේ පොලොන්නරුව පොලිස් කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ලෙසිනි. උප පොලිස් පරීක්ෂකවරයෙක් ලෙස පොලිස් සේවයට එක්වූ නිලධාරියෙක් වූ පතිරණ එකල සිටම අපරාධ විමර්ශන ගැන දැක්වූයේ දැඩි උනන්දුවකි. 1976 වසරේ හෝමාගම පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයෙක් ලෙස සේවයේ නිරතව සිටියදී හොඳම අපරාධ විමර්ශකයා ලෙස සම්මානයට පවා පොලිස් දෙපාර්තමේන්තුවෙන් ඔහු පිදුම් ලබන්නේද එබැවිනි.
හබරණ කැලේ ගින්න ගැන පතිරණට ඇතිවන්නේ දැඩි කුතුහලයකි. ඒ අගුරු බවට පත්වන තරමට මෝටර් රථයත් සමඟ යම් පුද්ගලයෙක් ගිනි තබා ඇතත්, මියගිය පුද්ගලයාගේ යැයි අනුමාන කළ හැකි මුදල් පසුම්බියක තිබුණු ලියකියවිලි කිසිදු හානියකින් තොරව තැන තැන විසිරී තිබීම නිසාය. ඒ ලියකියවිලිවලට අනුව මෝටර් රථයේ ගිනිගෙන අගුරු බවට පත්ව සිටියේ පිළිමතලාවේ පදිංචිකරුවෙක් වූ උදයකාන්ත මුදලිගේ ජයතිලක නමැති අයෙකි. මෝටර් රථයේ අංකය ඔස්සේ කළ පරීක්ෂාවේදී හෙළි වන්නේ එම මෝටර් රථය එකී පුද්ගලයා විසින් කුලියට ගත් එකක් බවය. ඒ අනුව අනුමාන කෙරෙන්නේ මෝටර් රථය සමඟ පිලිස්සී මියගොස් සිටින්නේ උදයකාන්ත මුදලිගේ ජයතිලක බවටය.
මේ පුද්ගලයා ගැන සොයා බැලීමේදී පෙනී යන්නේ ඔහු එංගලන්තයේ දීර්ඝ කාලයක් රැකියාවක නිරතව සිට මෙරටට පැමිණි අයෙක් බවය. ඒ කෙටි නිවාඩුවක් ගත කර නැවත එංගලන්තය බලා යාමේ සූදානමිනි. ඔහුගේ බිරිය කියන්නට වූයේ සිය සැමියා පැමිණි දා සිට රට වටේ සංචාරය කරමින් සිටි බවය. හබරණ කැලේ පිලිස්සෙමින් තිබියදී හමුවන්නේ ඔහු අවසන් වරට සංචාරය සඳහා ගමන් ගත් මෝටර් රථයයි. ඒ වන විට ඔහු පරිහරණය කරමින් තිබුණු ජංගම දුරකතනයද ක්‍රියා විරහිතව තිබීමත් ගිනි ගැනීම සිදු වූ ස්ථානය අවට තිබී හමුවන මුදල් පසුම්බිය ඇතුළු ලියකියවිලි වලිනුත් පෙනී යන්නේ මෝටර් රථය තුළ පිලිස්සී සිටින්නේ ජයතිලක බවමය. ඒ තමාගේ සැමියා බව බිරිය මෙන්ම ඔහුගේ සහෝදරයාද පිළිගන්නේ පැකිළීමකින් තොරවය. ඒත් එක්කම ඔවුන් පොලිසියේ නිලධාරීන් සමඟ නිතර කතාබහ කරන්නට වූයේ සිය සැමියාට සිදුවූ මෙම අපරාධය ගැන හෝ ඊට සම්බන්ධ සැකකරුවන් කොටුකර ගැනීමට පොලිසිය උනන්දු කිරීමට නොව, මරණ සහතිකය ඉක්මනින්ම ලබා ගැනීමට ඇති හැකියාව ගැනය.
මේ ගැන පොලිස් ප්‍රධානියා වූ කේ. පී. පී. පතිරණට ඇතිවන්නේ දැඩි සැකයකි. ඒ සැමියා මිය ගිය බිරියකගේ හැසිරීමකට එහා ගිය අසාමාන්‍ය හැසිරීමක් ඇගෙන් පිළිබිඹු වන්නට වූ බැවිනි. ඒ නිසාම ඔහු හබරණ කැලේ මෝටර් රථ ගින්න ගැන කෙරෙන විමර්ශන කෙරෙහි වඩාත් උනන්දුවක් දක්වන්නට ගත්තේය. කොළඹ ආනන්ද විද්‍යාලයේ තමා සමඟ එකට අධ්‍යාපනය ලැබූ ඒ වන විට කොළඹ වෛද්‍ය පීඨයේ මහාචාර්ය රවීන්ද්‍ර ප්‍රනාන්දුගෙන් යම් උපදෙසක් පතන්නේ එබැවිනි. ඒ ඇටකටු පරීක්ෂා කිරීමක් තුළින් අපරාධයට ගොදුරුවී ඇති පුද්ගලයා සම්බන්ධයෙන් යම් තොරතුරක් හෙළිකර ගැනීම සඳහාය. එහිදී පතිරණව සිය මිතුරා විසින් යොමු කරනු ලබන්නේ එවකට පේරාදෙණිය වෛද්‍ය පීඨයේ මහාචාර්යවරයා හමුවටය. පතිරණ සිය විමර්ශන කණ්ඩායම ඒ අනුව පේරාදෙණිය වෛද්‍ය පීඨය වෙත යොමු කරනු ලබන්නේ මෝටර් රථයේ තිබුණු අඩක් පිලිස්සුණු ඇට කැබලි කිහිපය ද සමඟිනි. ඒ අධිකරණයෙන් ඊට අවශ්‍ය අවසරයන් ද ලබාගෙනය.
එංගලන්තයේ සිට ආ ජයතිලක හබරණ කැලේ මෝටර් රථයක් තුළ පුලුස්සා මරා දමා ඇතැයි කියා එකල මාධ්‍ය ප්‍රධාන මාතෘකාවක් බවට පත්කර ගත්තා සේම එය මරණය රක්ෂණ වන්දියක් ලබාගැනීම වෙනුවෙන් සැලසුම් සහගතව සිදුකළ ව්‍යාජ රඟපෑමක් බව එකී මාධ්‍ය වලටප්‍රධාන මාතෘකාවක් බවට පත්වන්නේ පේරාදෙණිය වෛද්‍ය පීඨයෙන් ඇට කැබලි පරීක්ෂා කර බලා එම ඇට කැබලි පිරිමියකුගේ නොව, කාන්තාවකගේ බව තහවුරු කිරීමක් සමඟිනි. ඒ අඩක් පිලිස්සී ඉතිරිව තිබුණු ඇට කැබලි අතර වූ උකුළු ඇටය පරීක්ෂා කිරීමෙනි. ඒත් එක්කම පොලිසිය හබරණ කැලේ මෝටර් රථ තුළ මරා දමා ගිනි තැබූවේ යැයි කී ජයතිලකව ද අත්අඩංගුවට ගත්තේය. ඒ දීර්ඝ විමර්ශනයකින් අනතුරුවය.
එංගලන්තයේ රක්ෂණ සමාගමක පවුම් මිලියන ගාණකට සිය ජීවිතය රක්ෂණය කර මෙරටට පැමිණ ඇති ජයතිලක සැලසුම් කර ඇත්තේ මෙරටදී ඔහු ඝාතනය වී ඇති බව පෙන්වා බිරිය මඟින් රක්ෂණ වන්දිය ලබාගෙන වෙනත් නමකින් සැපවත් ජීවිතයක් ගත කරන්නටය. දිගින් දිගටම ඔහුගේ බිරිය මරණ සහතිකය ඉල්ලා ඇත්තේ එම සැලසුමේ ඇය ද කොටස්කාරියක් බවට පත්ව සිටි බැවිනි.
විසිඑක් වසරකට පසු ඒ මතකය නැවත අලුත් වෙන්නේ හබරණ පැත්තේම සිදු වූ ඊට සමාන අභිරහසක් විසඳීමට මකුළුගස්වැව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අයි. කේ. ඩී. එන්. සිරිවර්ධන සහ හබරණ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පාලිත ඉලංගන්සේකර ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් සමත් වී ඇති බැවිනි. හැබැයි ඒ වසර එකහාමාරකට පසුවය.
මේ කතාවේ ආරම්භය සටහන් වන්නේ පසුගිය 06 වෙනිදාය.
මෙදින සවස සිය සැමියා සමඟ කාන්තාවක් මකුළුගස්වැව පොලිසියට පැමිණෙන්නේ සිය සැමියාගේ හිතවතෙක් තමාගේ ජාතික හැඳුනුම්පත සොරාගෙන එම හැඳුනුම්පතින් ජංගම දුරකතන සිම් කාඩ්පතක් මිලදී ගෙන භාවිත කරන බවට වූ පැමිණිල්ලක් කිරීමටය.
මෙම අඹුසැමි යුවළ පදිංචිව සිටින්නේ අලුත්වැව බඹරගස්වැව ප්‍රදේශයේය. සැමියා සුමේධ ලියනගේය. බිරිය දිස්නා දමයන්තිය. ඇගේ සැමියා වූ සුමේධ ලියනගේ රැකියාවේ නිරතව සිටියේ අලුත්වැව පිහිටි බේකරියකය. සිය ජාතික හැඳුනුම්පත සොරාගෙන එමඟින් ජංගම දුරකතන සිම් කාඩ්පතක් මිලදී ගෙන ඇතැයි ඇය චෝදනා කරන්නට වූයේ එම බේකරියේ සේවයේ නිරතව සිටින සිය සැමියාගේ මිතුරෙක් වන අසංකටය.
පොලිස් නිලධාරීන් හමුවේ ඇය පවසන්නට වූයේ අසංක නිතර සිය නිවෙසට යන එන තැනැත්තෙක් බවය. සිය සැමියා විසින් පරිහරණය කරන තමාට අයත් යතුරු පැදිය පවා ඇතැම් විට ඔහු ඉල්ලා ගෙන යන බව ද ඇය පොලිසිය හමුවේ කීවාය.
“මගේ අයිඩෙන්ටි කාඩ් එක තිබ්බේ බයික් එකේ කැබින් එකේ. පිට කවුරුත් බයික් එක අරන් යන්නේ නැහැ. අසංක තමයි බයික් එක ඉල්ල ගෙන යන්නේ. ඒ නිසා මට සැකයක් තිබ්බා එයා තමයි අයිඩෙන්ටිය ගන්න ඇත්තේ කියල.“ ඇය පොලිසිය හමුවේ ලොකු කතාවක් කියන්නට ගත්තාය.
ඇයට සිය සැමියාගේ මිතුරා වූ අසංක කෙරෙහි තිබුණේ ලොකු සැකයකි. ඒ ඔහු කිසිවිටකත් සිය පවුලේ තොරතුරු කිසිවක් පවසා නොතිබුණු බැවිනි. අඩුම තරමින් ඔහු ඉන්නා හිටින තැනක් ගැනවත් කිසිවක් කීවේ නැත. ඒ නිසාම ඇය නිතරම සිටියේ අසංක කෙරෙහි සැකයෙනි. එහෙත් ඇගේ සැමියා සිටියේ ඔහු ගැන ලොකු විශ්වාසයක් ඇතිවය.
සිය ජාතික හැඳුනුම්පත අතුරුදන්වීමෙන් පසු ඒ ගැන අසංක ගැන සැක යැයි ඇය සැමියාට කොතෙකුත් කීවත් එය බීරි අලීන්ට වීනා වැයුමක් බඳු විය.
“දවසක් අසංක අපේ ගෙදර ඇවිල්ල එයාගේ ෆෝන් එක මගේ අතට දීල අක්කේ මේක ටිකක් චාජ් කරල දෙන්න කෝ කිව්වා. මම ඒක අරගත්තා. ෆෝන් එක පොඩි එකක්. ලොකු ගාණක් වටින එකක් නෙමෙයි. හැබැයි ඒ වෙලාවේ ෆෝන් එක ලොක් කරලයි තිබුණේ. මට නිකමට වගේ හිතුණා ෆෝන් එක චෙක් කරන්න ඕනේ කියල. මම ඒකේ සිම් එක ගලවල මගේ ෆෝන් එකට දාල චෙක් කළා.“ පොලිස් නිලධාරීන් හමුවේ තමන් කළ හොර වැඩේ ගැන ඇය කියන්නට වූවාය.
ඇයට අවශ්‍ය වන්නේ අසංකගේ අනන්‍යතාව හෙළි කර ගන්නටය. ඔහු විසින් ලබාගෙන ඇති දුරකතන ඇමතුම් සහ ලැබුණු ඇමතුම් ගැන තොරතුරු පරීක්ෂා කළත් වැදගත් යැයි කිසිවක් ඇයට ඒ තුළින් සොයා ගන්නට ඉඩක් නොවූවාය. අවසානයේදී ඇය අසංකගේ අනන්‍යතාව හෙළිකර ගැනීමට ජංගම දුරකතනයේ #132# අංකයට ඇමතුමක් ගෙන පරීක්ෂා කරන්නේ සිම් කාඩ්පතේ හිමිකරුගේ තොරතුරු ඒ තුළින් බලා ගැනීමට හැකියාවක් ඇති බැවිනි. එම අංකය සටහන් කිරීමෙන් පසු ජංගම දුරකතන තිරයේ දිස්වන්නේ අසංකගේ අනන්‍යතාව නොව, දිස්නාගේ සම්පූර්ණ නම, ජාතික හැඳුනුම්පත් අංකය, ලිපිනය ඇතුළු තාක්ෂණික තොරතුරු රැසක් සමඟින් ඇගේ අනන්‍යතාවට අදාළ තොරතුරු ගොන්නකි. ඒ තුළින් කියාපාන්නට වූයේ එම සිම්පතේ හිමිකරු ඇය බවය.
ඒ අනුව දැන් ඇයට හොඳටෝම හැමදෙයක්ම පැහැදිලිය. ඒ සිය ජාතික හැඳුනුම්පත සොරාගෙන ඇත්තේ අසංක බවය. සිම් කාඩ්පත මිලදී ගෙන ඇත්තේ එම හැඳුනුම්පතෙන් බවත් බවද ඇයට දැන් පැහැදිලිය. එහෙත් ඇය අසංක ඉදිරියේ කිසිදු වෙනසක් නොපෙන්වමින් ජංගම දුරකතනය චාර්ජ් කර නැවත ඔහු අතම තැබුවේය. සිය සැමියාව ද කැටුව ඇය පොලිසියට එන්නේ අනතුරුවය. පොලිස් නිලධාරීන් හමුවේ ඇය කියන්නට වූයේ අසංක සිය ජාතික හැඳුනුම්පතෙන් සිම් කාඩ්පතක් නොගෙන තමාගේ ජාතික හැඳුනුම්පත සොරා ගෙන සිම් කාඩ්පතක් මිලදී ගැනීම සැක සහිත බවය. තමා පැමිණිල්ලක් කිරීමට පොලිසියට ආවේ ඒ නිසා බවද ඇය කීවාය.
ඇය විසින් ඉදිරිපත් කළ මේ සැක සංකා කෙරෙහි පොලිසියේ ද විශේෂ අවධානයකට යොමු වන්නට වූයේ ඇයව පොලිස් ස්ථානාධිපති සිරිවර්ධන හමුවට ඉදිරිපත් කරමිනි. ඇගේ කතාව ඇසූ පොලිස් ස්ථානාධිපති සිරිවර්ධනට පවා අසංක සම්බන්ධයෙන් එහිදී ඇති වන්නේ දැඩි සැකයකි. අසංක නවාතැන් ගෙන සිටියේ මෙම යුවළ පදිංචිව සිටි නිවෙසට කිට්ටුව පාතක පිහිටි නිවෙසකය. ඒ බෝඩ්ම්කාරයෙක් ලෙසිනි. එම නිවෙසේ ජීවත් වූයේ වයස්ගත පුද්ගලයෙකි. එම පුද්ගලයාගේ පවා සිත දිනාගෙන අසංක ඒ වන විටත් එම නිවෙසේ රැඳී සිටියේය. මේ ගැන හැම තොරතුරක් ගැනම විමසා බැලීමේදී පොලිස් ස්ථානාධිපති සිරිවර්ධනට ද ඇති වන්නේ දිස්නාට ඇතිවුණු සැකයට එහා ගිය බලවත් සැකයකි. ඒ නිසාම ඔහු උප පොලිස් පරීක්ෂක ගම්ලත්, සැරයන්වරුන් වන රණතුංග (74174) සහ ජගත් (732) සමඟ බඹරගස්වැව බලා යන්නේ මේ කියන අංසක යනු කවුරුන්දැයි සොයා බැලීමටය.
මෙම පොලිස් කණ්ඩායම එහි යන විට අසංක සිටියේ ඒ නිවෙසේ රැඳී සිටිමිනි. පොලිස් නිලධාරීන් දුටු ඔහු තිගැස්සෙන අයුරු පොලිස් නිලධාරීන්ට නිරීක්ෂණය වන්නේ ඈත තියාමය. එහෙත් ඔහු ඒ බවක් නොපෙන්වමින් පොලිස් නිලධාරීන් ඉදිරියේ හැසිරෙන්නට ගත්තේ දැඩි ආයාසයකිනි. ඒ බව පොලිස් නිලධාරීන්ට දැනෙන්නට වූයේ ඔහු කෙරෙහි ඒ වන විටත් ඒ අය සිටියේ සැකයෙක් වූ බැවිනි.
“ තමුන්ගේ නම මොකක්ද“ පොලිස් නිලධාරීන් අසංකගෙන් විමසුවේය.
“සර් මම අසංක“ ඔහු කීවේය.
“තමුන් කොහේද වැඩ කරන්නේ“ පෙරළා පොලිස් නිලධාරීන් ප්‍රශ්න කළේය.
එහිදී ඔහු තමා වැඩ කරන බේකරියේ නම පොලිස් නිලධාරීන් හමුවේ කීවේය.
“ගම් පළාත කොහේද?“ පොලිස් නිලධාරීන් විමසුවේය.
“හබරණ“ යැයි ඔහු කීවේය.
“මෙහෙ මොනවද කරන්නේ“ යැයි පෙරළා නැවත වරක් ඔහුගෙන් විමසුවේය.
“සර් රක්ෂාවක් හොයාගෙන ආවා. වත්තක වැඩ කළා. පස්සේ බේකරියේ වැඩ හම්බ වෙච්ච නිසා දැන් බේකරියේ වැඩ කරගෙන ඉන්නවා“ බයාදු ලෙස අසංක කීවේය.
“ තමන්ගේ අයිඩෙන්ටිය ගන්නවා බලන්න“ අසංකගෙන් එසේ ජාතික හැඳුනුම්පත පොලිස් නිලධාරීන් ඉල්ලා සිටියේ අවසානයේදීය. ඒ ඔහු කී දේවල්වල ඇත්ත නැත්ත දැනගන්නටත් එක්කය.
“සර්, අයිඩෙන්ටිය නැතිවෙලා“ අසංක ගොත ගසමින් කීවේය.
පොලිස් නිලධාරීන්ට මෙහිදී අසංක කෙරෙහි ඇතිවන සැකය වඩාත් තීව්‍ර වන්නේ ජාතික හැඳුනුම්පත නැති වී ඇති බව කීම නිසාය. ඒ නිසාම ඔහු රැඳී සිටි කාමරය පොලිස් නිලධාරීන්ගේ පරීක්ෂාවට ලක්වූවේය. ඔහුගේ යැයි කියා මුළු කාමරයේම තිබුණේ කුඩා ගමන් මල්ලක් පමණකි. පොලිස් නිලධාරීන් කාමරයේ හැම අස්සක් මුල්ලක්ම පරීක්ෂා කරනු ලබන්නේ එම ගමන් මල්ල ද සමඟිනි. දිස්නාගේ නැතිවුණු හැඳුනුම්පත හමුවන්නේ එම ගමන් මල්ලේ තිබියදීය. එම හැඳුනුම්පත අතට ගත් පොලිස් නිලධාරීන් ඒ ගැන විමසන විට ඔහු එයින් ලිස්සා යන්නට උත්සහ ගත්ත ද එය ව්‍යර්ථ වන්නේ පොලිස් කණ්ඩායම අසංක සොයා යන්නේ එම හැඳුනුම්පත සම්බන්ධයෙන් වූ පැමිණිල්ල මත වූ බැවිනි.
අවසානයේදී පොලිස් නිලධාරීන්ගේ පරීක්ෂාවට ලක්වන්නේ අසංකගේ මුදල් පසුම්බියයි. එහිදී පොලිස් නිලධාරීන්ට එහි තිබී හමුවන්නේ අසංක විසින් සිය මවට ලියන ලද ලිපියකි. තුන හතරට නවා මුදල් පසුම්බියේ දමා තිබුණු එම ලිපිය බොහෝ කලකට පෙර ලියා ඇති එකක් බව බැලූ බැල්මට පෙනී ගියේය. එහි සඳහන් වී තිබුණේ තමා සිය දිවි හානිකර නොගත් බවත් ජීවතුන් අතර තවමත් සිටින බවත් වූ සටහනකි. අධිකරණයේ පවතින නඩු සහ දඩ මුදල් ගෙවා ගැනීමට නොහැකි බැවින් එයින් බේරීම සඳහා තමා සිය දිවි හානි කරගත් බවට රඟපෑමක් කළ බවට වූ කතාවක් එම ලිපියෙහි අන්තර්ගතව තිබුණේය.
මේ අපභ්‍රංශය කුමක්දැයි පොලිස් නිලධාරීන්ට එම අවස්ථාවේදී පැහැදිලි නොවූවත් අසංකව අත්අඩංගුවට ගෙන පොලිස් ස්ථානය වෙත රැගෙන යන්නේ හැඳුනුම්පත් සොරකම සම්බන්ධයෙනි. අසංක ගැන වැඩි යමක් සොයා බැලීමට මකුළුගස්වැව පොලිසියේ ස්ථානාධිපති ප්‍රමුඛ නිලධාරීන් පියවර ගන්නේ ඉන් අනතුරුවය. ඒ හබරණ පොලිසියට අසංක ගැන තොරතුරු දැනුම් දෙමිනි.
අසංකගේ බොරුව එළියට එන්නේ මකුළුගස්වැව පොලිසිය විසින් ලබා දුන් තොරතුරු ඔස්සේ හබරණ පොලිසියේ නිලධාරීන් විසින් අසංකගේ අනන්‍යතාව පරීක්ෂා කිරීමේදීය. එහිදී පෙනුණේ අසංක පෙනී සිට ඇත්තේ ව්‍යාජ නමකින් බවය. නමුත් මකුළුගස්වැව පොලිසියේ නිලධාරීන් ප්‍රශ්න කිරීමේදී අසංක විසින් ලබා දුන්නේ ඔහුගේ සැබෑ ලිපිනයයි. මකුළුගස්වැව පොලීසියේ දැනුම්දීමට අනුව හබරණ පොලිසිය එම ලිපිනය සොයා ගොස් කළ පරීක්ෂාවේදී හෙළි වන්නේ ඔහු අසංක නමින් කිසිවෙක් එම නිවෙසේ නොමැති බවය. එසේ නම් අසංක යනු කවුරුන්දැයි හබරණ පොලීසියේ නිලධාරීන් සොයා බැලීමේදී හෙළි වන්නේ 2021 වසරේ ඔක්තෝබර් 29 වෙනිදා ගිනි තබාගෙන සියදිවි හානි කරගත් සුදේශ් ඉලංගසිංහ නමැති විසිහත් හැවිරිදි තරුණයා ඔහු බවය.
සුදේශ් ඉලංගසිංහ නමැති ඔහු ගමටම එපා කරපු නරුමයෙකි. හබරණ පොලිස් පොත්වල තැන් කිහිපයකම සුදේශ් ගැන ලියැවී ඇත්තේ විවිධ අපරාධ චෝදනා සම්බන්ධයෙනි. ඒ එක් පැමිණිල්ලක් පොලිස් පොතේ ඔහුට එරෙහිව ලියැවී ඇත්තේ වෙළඳසැළක් බිඳ රුපියල් එක්ලක්ෂ තිස්පන්දහසක මුදලක් සොරා ගැනීමක් සම්බන්ධයෙනි. තවත් පැමිණිල්ලක් ඇත්තේ රුපියල් හැටපන්දහසක් වටිනා මුදුවක් කොල්ලකෑමක් ගැනය. මත්කුඩු ළඟ තබා ගැනීමේ චෝදනාවක් ද ඒ හැරුණු කොට ඔහුගේ නම ඉදිරියේ ලියැවී ඇත්තේය. බීමත්ව රිය පැදවීමේ චෝදනාවක් ඇතුළු රථවාහන වැරදි ගොන්නකට ද විටෙන් විට හසුවී ඇති සුදේශ් ගිනි තබාගෙන සිය දිවි හානිකර ගන්නා අවස්ථාවේදී ඔහුට එරෙහිව අධිකරණයෙන් නිකුත් කර ඇති වරෙන්තු ගණන 03කි. එසේම රුපියල් 80,000ක දඩයක්ද අධිකරණයට ගෙවීමට නියම වී තිබී ඇත.
සුදේශ් ඉලංගසිංහ ගිනි තබාගෙන සියදිවි හානිකර ගැනීම ගැන හබරණ පොලිසිය එකල කළ විමර්ශනවල තොරතුරුවලට අනුව එය පෙළගැසෙන්නේ මෙසේය.
එදා 2021 වසරේ ඔක්තෝබර් 29 වෙනිදා සවස 4.30ට පමණ 119 පොලිස් හදිසි ඇමතුම් අංශය හරහා හබරණ පොලිසියට තොරතුරක් ලැබෙන්නේ පලුගස්වැව - කුඩා රඹෑව මාර්ගයේ ඇති ගල්වැඩ පොළ භූමියේ පිලිස්සුණු මළ සිරුරක් ඇති බවටය. ඒ අනුව හබරණ පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් ඒ මොහොත්ම එතැනට ගියේය. කැලෑවට ගොස් තිබුණු ගල්වැඩ පොළ භූමියේ තැනක පිලිස්සුණු මළ සිරුරක් තිබී ඇත්තේ මියගොස් ඇති අය හඳුනා ගැනීමට නොහැකි තරමට මළ සිරුර අගුරු ගොඩක් බවට පත්වෙමිනි. ඒ ආසන්නයේ තිබී ඇත්තේ ලීටර් 10 ප්‍රමාණයේ හිස් බූලියක් සහ ලිපියකි. එම ලිපිය ලියා තිබුණේ සුරේශ් ඉලංගසිංහ විසිනි. ඒ ඔහුගේ අත්අකුරිනි. එහි අන්තර්ගතය වන්නේ අධිකරණයේ ඇති නඩු කටයුතු සහ දඩ මුදල් ගෙවා දැමීමට නොහැකි බැවින් පීඩනයකට ලක්ව සිටින තමා සියදිවි හානිකර ගන්නා බවය. හිස් බූලිය පරීක්ෂා කිරීමේදී එහි ඇති සුවඳින් පොලිස් නිලධාරීන් වටහා ගන්නේ එහි තිබී ඇත්තේ යම් ඉන්ධන වර්ගයක් බවය. ඒ අනුව පොලිසිය සැක කරන්නට වූයේ එම බූලියෙන් රැගෙන ආ ඉන්ධන සිය සිරුරට හළා ගෙන සුදේශ් ඉලංගසිංහ සියදිවි හානිකර ගෙන ඇති බවය.
මේ ගැන අධිකරණයට ද පොලිසිය කරුණු වාර්තා කළේය. අධිකරණය විසින් ලබා දුන් නියෝගයකට අනුව ගිනි ගැනීමෙන් පසු ඉතිරි වූ සිරුරේ කොටස් පශ්චාත් මරණ පරීක්ෂණයක් සඳහා යොමු කරනු ලබන්නේ පොලොන්නරුව රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙතය. ඒ යැයි කියා පශ්චාත් මරණ පරීක්ෂණයක් කරන්නට තරම් සිරුරක් එහි නොවීය. තිබෙන්නේ පිලිස්සී ගිය ඇට කැබලි කිහිපයක් පමණි. ඒ හබරණ වනාන්තරයේ ගිනිගත් මෝටර් රථයෙන් හමු වූ ඇටකැබලිවලට සමාන කොටස් කිහිපයකි. එම කොටස්වලින් ඩී. එන්. ඒ. පරීක්ෂාවක් කිරීමට හැකි කොටස් කිහිපයක් පමණක් වෙන්කරගත් අධිකරණ වෛද්‍ය නිලධාරියා ඒවා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කරනු ලබන්නේ ඩී. එන්. ඒ. පරීක්ෂාවක් වෙනුවෙනි.
මෙහිදී සුදේශ් ඉලංගසිංහගේ පවුලේ කිසිවකුත් අධිකරණ කටයුතුවලදී සාක්ෂි ලබාදීමට හෝ සිරුර හඳුනා ගැනීමකට හෝ ඉදිරිපත් නොවීම හේතුවෙන් සිරුරේ සෙසු කොටස් වළ දැමීමට සිදුවන්නේ රජයේ වියදමිනි. ඒ පොලොන්නරුව පොදු සුසාන භූමියේය.
එහෙත් හබරණ පොලිසිය මෙම මරණය ගැන විමර්ශන අතහැර දැමුවේ නැත. 119 හදිසි ඇමතුම් අංශයට ඇමතුම දුන්නේ කවුරුන්දැයි කියා යම් සොයා බැලීමක්ද කළේය. එහිදී හෙළි වන්නේ සුදේශ්ගේ සහෝදරයෙක් විසින් එම ඇමතුම ලබාදී ඇති බවය. ඒ ගැනත් යම් සැකයක් මතු වූවත් පොලිසිය ඉන් එහාට වැඩිදුර විමර්ශනයක් සිදු කළේ දැයි ඇත්තේ ගැටලුවකි. අඩුම තරමින් රස පරීක්ෂකවරයාගේ වාර්තාව ඉක්මනින් ලබාගෙන සුදේශ්ගේ පවුලේ සාමාජිකයන් සමඟ ඩී. එන්. ඒ. පරීක්ෂාවක් පවා කරන්නට එකල හබරණ පොලිසියේ සේවය කළ බලධාරීන් උනන්දුවක් දැක්වූ බවක්වත් දැනගන්නට නැත. ඒ අනුව මෙතෙක් කලක් පොලිස් පොත්වල ලියැවී තිබෙන්නේ සුදේශ් ඉලංගසිංහ සියදිවි හානිකර ගෙන මියගොස් ඇති පුද්ගලයෙක් බවය. වසර එකහාමාරක් තිස්සේ මියගොස් සිටි සුදේශ් ඉලංගසිංහට පණ එන්නේ මකුළුගස්වැව පොලිසියේ දැනුම් දීමට අනුව හබරණ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පාලිත ඉලංගන්සේකරගේ උපදෙසින් අපරාධ අංශයේ ස්ථානාධිපති රත්නායක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් පලුගස්වැව නිවසට ගොස් කළ විමර්ශනයෙන් අනතුරුවය. ඊට මඟ පෑදෙන්නේ ජාතික හැඳුනුම්පත අතුරුදන් වීම මුල් කරගෙන දිස්නා ගැසූ ගේම නිසාය. එසේ නොවන්නට අදටත් සුදේශ් ඉලංගසිංහ සිටින්නේ මියගොස් ඇති පුද්ගලයෙක් ලෙසිනි.
මෙහිදී හෙළිවන්නට වූ තොරතුරුවලට අනුව වසර එකහාමාරකට පෙර ගිනි තබාගෙන සියදිවි හානි කරගත් පුද්ගලයෙක් බවට පත්වූ සුදේශ් පලුගස්වැවෙන් අතුරුදන් වී අසංක නමින් අලුත් ජීවිතයකට මුල පුරන්නේ මීගමුවේ බේකරියක කලක් ඔහු සේවය කරන විට දැන හඳුනාගත් ගයාන් විජේසිංහගේ රැකවරණය ලබමිනි. අසංක නමින් සුදේශ්ව බෞතිස්ම කරන්නේද ගයාන්ය.
මැදිරිගිරියේ පදිංචිකරුවෙක් වූ ගයාන් විවාහ වී සිටියේ දෙමළ කතක් සමඟිනි. ඇය සමාජ මාධ්‍ය වැඩි වශයෙන් භාවිත කළ තැනැත්තියක් වූවාය. ඇය කරන්නේ සමාජ මාධ්‍ය ඔස්සේ තරුණයන් සමඟ හිතවත්කම් පා ඒ අයව හෝටල් හා නවාතැන් පොළවල් වෙත ගෙන්වා ගැනීමය. අවසානයේදී සිදුවන්නේ ඇගේ පහස ලැබීමට එන අයව සුද්ද කිරීමය. එම සුද්දය දුන්නේ ගයාන්ය. ඒ බිරිය සමඟ එක්වය. පසුකාලයේ ඊට ඔහු සුදේශ්ව ද හවුල් කර ගත්තේය. මේ දේවල් ඔවුන් කරන්නට වූයේ එක තැනක රැඳී නොසිටිමිනි. ඔවුන් ගමින් ගමට නගරයෙන් නගරයට සංක්‍රමණය වන්නට වූයේ වතු සේවකයන් ලෙසිනි. මැල්සිරිපුර, කැකිරාව, මීගමුව ආදී ප්‍රදේශවල වතු වල සේවකයන් සහ මුරකරුවන් ලෙස මේ අය මේ කාලය තුළ ගත කළහ. අන්තිම කාලේ මේ යුවළ සමඟ සුදේශ් ගත කළේ අලුත්වැව ප්‍රදේශයේ කටුඅනෝදා වත්තක් බලා කියා ගෙනය. සුදේශ් අලුත්වැව පැත්තේ නිවෙසක කුලියට නවාතැන් ගනිමින් බේකරියක වැඩට යන්නේ දෙදෙනා අතර ඇතිවන විරසකයක ප්‍රතිඵලයක් ලෙසිනි. නිවෙස් හිමියාගේ හිත් දිනාගෙන සිටි නිසාම සුදේශ්ට ඔහු තමා සතුව තිබුණු කුඩා ජංගම දුරකතනයක් පවා දුන්නේය. එහෙත් ඊට සිම්පතක් නොවීය. සුදේශ් මුලින්ම සොරා ගන්නේ නිවෙස් හිමියාගේ ජාතික හැඳුනුම්පතය. ඒ සිම්පතක් එය ඉදිරිපත් කර ලබා ගන්නටය. එය ව්‍යර්ථ වන්නේ ජාතික හැඳුනුම්පත අපහැදිලි බැවින් ඊට සිම්පතක් නොලැබුණු බැවිනි. සිය බේකරි මිතුරාගේ බිරියගේ ජාතික හැඳුනුම්පත සොරාගෙන එමඟින් සිම්පතක් ඔහු ලබා ගන්නේ ඊළඟ විකල්පයට යමිනි.
තමා මෙසේ පොලිසියට කොටු වූයේ සිය බේකරි මිතුරාගේ බිරිය විසින් පොලිසියට කළ පැමිණිල්ලක අනුව බව ඒ වන විටත් සුදේශ් දැන සිටියේ නැත. ඔහු සිතන්නේ ගයාන් විසින් තමාව පොලිසියට හසුකර දී ඇති බවය. ඒ නිසාම සුදේශ් එතෙක් කලක් සඟවාගෙන සිටි රහසක් පොලිසිය හමුවේ එළියට දැම්මේය. ඒ එදා ගල්වැඩපළ භූමියේ පිලිස්සුවේ ගයාන් විසින් රැගෙන ආ යාචකයකුව මරා බවය. ත්‍රිරෝද රථයක නංවා ගෙන ගයාන් විසින් යාචකයාව රැගෙන විත් ඔහුත් සමඟ මත්පැන් පානය කිරීමෙන් පසු ඔහුව ගෙල සිරකර මරා දැමූ බව සුදේශ් කියන්නට විය.
සුදේශ් විසින් කළ ඒ පාපොච්ඡාරණයත් සමඟ මකුළුගස්වැව පොලිසියේ නිලධාරීන් ගයාන්ව අත්අඩංගුවට ගත්තේය. ප්‍රශ්න කිරීම් හමුවේ ඔහු පවසන්නට වූයේ තමන් එවැනි අපරාධයකට හවුල්කරුවෙක් නොවූ බවකි.
හබරණ පොලිසියේ නිලධාරීන් මේ වන විට මේ කියන කතාවල ඇත්ත නැත්ත ගැන සොයා බලමින් ඇත්තේ පුළුල් විමර්ශනයකට ආරම්භයක්ද තබමිනි.