අපේ අරමුණ දැනුම, කුසලතාව පිරි කලා ශිල්පීන් බිහි කිරීමයි | සිළුමිණ

අපේ අරමුණ දැනුම, කුසලතාව පිරි කලා ශිල්පීන් බිහි කිරීමයි

ටවර් හෝල් රඟහල එදා මෙදා තුර අපේ කලාවට කළ මෙහෙය මෙතෙකැයි කිව නොහැකිය. කලාවේ පුරෝගාමී මෙහෙවරක් කළ හෙයින්ම එකල ටවර් හෝල් ශිල්පියෙකැයි කීම ම මහත් වූ ගෞරවයක් විය. ඒ, එම ශිල්පීන් සතු වූ රංගන, ගායන කුසලතා ඇතුළු කලාත්මක හැකියාවන් නිසයි. ටවර් හෝල් ශිල්පීන් තුළ වූ ඒ දක්ෂතාව ඇති රංගන ශිල්පීන් නැවතත් බිහි කිරීම උදෙසා ටවර්හෝල් රඟහල පදනම මඟින් විසල් මෙහෙවරක් සිදු කරයි. ඔවුන් කලාවට සිදු කරන මේ නිහඬ මෙහෙය පිළිබඳ අප ඔවුන්ගෙන් ඇසුවෙමු. මේ, ඒ පිළිබඳ ටවර්හෝල් රඟහල පදනමේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඩී.එම්.එස්. දිසානායක මහතා කළ හඬ අවදි කිරීමයි. 

‘1978 අංක 1 දරණ පාර්ලිමේන්තු පනත මඟින් ස්ථාපිත කරනු ලැබූ ආයතනයක් ලෙස ටවර්හෝල් රඟහල පදනම හඳුන්වාදිය හැකියි. මෙහි ප්‍රධාන පරමාර්ථ ගණනාවක් තියෙනවා. ඒ අනුව ටවර් කලා ශිල්පීන්ගේ සුබසාධනය, ඔවුන් රැකබලා ගැනීම, ඊට අමතරව නවක ටවර් රංගන ශිල්පීන් බිහි කිරීම, එම ටවර් ශිල්පීන් සතු නාට්‍ය පිළිබඳ ඥානය එමෙන්ම අනෙකුත් සෞන්දර්ය විෂයයන් පිළිබඳ පවතින දැනුම ඉදිරි සමාජයට ගෙන යාම සිදු කෙරෙනවා. තවත් ලෙසකින් පවසනවානම් නව නාට්‍ය පරපුරක් බිහි කිරීම මෙහි මූලික පරමාර්ථයක්. ඒ අනුව යමින් ටවර් හෝල් නාට්‍ය පදනම ටවර් නාට්‍ය පාසල ආරම්භ කළා. ටවර් නාට්‍ය පාසලට දැන් වයස වසර 20ක් පමණ වෙනවා. ටවර් නාට්‍ය පාසල ක්‍රියාත්මක වෙන්නේ ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය සමඟ ඒකාබද්ධවයි. මේ අනුව SLQF 2 සහ 3 මට්ටම් ටවර් නාට්‍ය පාසලෙන් උසස් ඩිප්ලෝමාවක් ලෙසින් ලබා ගත හැකියි. SLQF4 සහ 5 ආවරණය කෙරෙන්නේ ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයෙනි. ඔවුන්ගේ උපාධිය සකස් වෙන්නේ අධ්‍යාපනවේදී නාට්‍ය හා රංගකලාව ලෙසයි. මේ උපාධිය ලබා ගන්නා අයගෙන් කොටසක් ගුරුවරු ලෙසින් පත්වන අතර තවත් කොටසක් වෙනත් රැකියා සඳහා යොමු වෙනවා. එම වැඩපිළිවෙළෙන් පමණක් රංගන ක්ෂේත්‍රයට රංගන ශිල්පීන් වැඩි ප්‍රමාණයක් බිහි කිරීමේ හැකියාවක් ලැබෙන්නේ නැහැ. මොකද ගුරුවරු ලෙස හෝ වෙනත් රැකියා සඳහා යන අය රංගනය අත්හරිනවා. දැනට මේ පාඨමාලාවෙන් වැඩි රංගන ශිල්පීන් ප්‍රමාණයක් බිහි කළ හැකි වුවත් වසරකට රංගන ශිල්පීන් ලෙස ඉතිරි වන්නේ ඉතාමත් සුළු ප්‍රමාණයක්. මෙය කිසිසේත් ප්‍රමාණවත් වන්නේ නෑ.

ටවර්හෝල් රඟහල භාරකාර මණ්ඩලයේ සභාපති ධූරය දරන්නේ නිල වශයෙන් ම ගරු අග්‍රාමාත්‍ය තුමා. මේ අනුව අගමැති තුමා, විෂයභාර ඇමැති තුමා, අමාත්‍යාංශ ලේකම්තුමන්ලා ඇතුළු සාමාජිකයන් 15 දෙනකුගෙන් යුතු පිරිසකගෙන් මෙම මණ්ඩලය සමන්විතයි. එම මණ්ඩලය විසින් තීරණයක් ගනු ලැබුවා ශ්‍රී ලංකාවේ රංගන ක්ෂේත්‍රයට විශේෂයෙන් ම වේදිකා නාට්‍ය, ටෙලි නාට්‍ය, සිනමාව යන හැම එකකටම අදාළ වන පරිදි රංගන පාඨමාලාවක් ආරම්භ කළ යුතු බව. මේ සඳහා තෘතිය අධ්‍යාපන කොමිසන් සභාවේ නියාමනයන්ට යටත්ව ඒ අය සමඟ ඒකාබද්ධව NVQ4 මට්ටමේ ඩිප්ලෝමා පාඨමාලාවක් ආරම්භ කිරීමට තීරණය විය. මෙහි පරමාර්ථය වන්නේ වේදිකා නාට්‍ය, ටෙලි නාට්‍ය හා සිනමාව යන අංශවල රංංගනයේ නියැළෙන වෘත්තීය රංගන ශිල්පීන් පිරිසක් බිහි කිරීමයි.

ලංකාවේ විශ්ව විද්‍යාලවල විවිධ වූ උපාධි පාඨමාලාවන් ක්‍රියාත්මක වෙනවා. මේ පාඨමාලාවන් අතර නාට්‍ය හා රංග කලා මෙන්ම වෙනත් කලා විෂයයන් ද තිබුණත් ඒ පාඨමාලා සඳහා ඇතුළත් විය හැකි වන්නේ, සාමාන්‍ය පෙළ සමත්, උසස් පෙළ සමත් හා උසස් පෙළ වැඩිම ලකුණු ලබා ගත් ශිෂ්‍ය පිරිසකට පමණයි. නමුත් සහජ දක්ෂතාවන් ඇති රංගනය පිළිබඳ කැමැත්තක්, උනන්දුවක් ඇති අය බොහෝ විට මේ විධිමත් අධ්‍යාපනයෙන් ඉදිරියට නොගියොත් ඔවුන්ගේ දක්ෂතාවන්ට අධ්‍යාපනික සුදුසුකම් ලබා ගැනීමට නොහැකි වේ. මේ නිසා අපි තීරණය කළා කිසිම අධ්‍යාපන සුදුසුකමක් නොබලා ඒ කෙරෙහි පවතින ඇල්ම, උනන්දුව හා හැකියාව පවතින අයට අවස්ථාව ලබා දීමට. මේ සඳහා වයස් සීමාවක් ද නැහැ. මෙය ළාබාල ළමයින්ට මෙන්ම වැඩිහිටියන්ට, දැනටත් රංගන ක්ෂේත්‍රයේ යෙදෙන අයටත් සහභාගී විය හැකි පාඨමාලාවක් වීම විශේෂත්වයක්.

පසුගිය 22 වැනි දින සිට මෙහි දේශන ආරම්භ වූ අතර එම NVQ පාඨමාලාව මාස 6-7ක දී අවසන් වේ. ඉන් පසුව ඔවුන්්ට NVQ5 මට්ටමට එනම් ඩිප්ලෝමා මට්ටමට යාමට හැකියි. එම ශිෂ්‍යයන්ට උපාධිය ගැනීමට අවශ්‍ය නම් ඒ මට්ටම දක්වා වුවද ඉගෙනීමට පුළුවන්. මෙය තීරණය වන්නේ ශිෂ්‍යයන්ගේ අවශ්‍යතාව අනුවයි.

ඒ සමඟින්ම භාරකාර මණ්ඩලය විසින් තීරණය කරනු ලැබුවා දැනට නාට්‍ය පාසලේ ක්‍රියාත්මක නාට්‍ය හා රංගකලා පාඨමාලාවට අමතරව නර්ථනය හා ගායනය, සංගීතය පිළිබඳ තවත් ඩිප්ලෝමා පාඨමාලා 2ක් ආරම්භ කිරීමට. එතැනදී අපි අවධානය යොමු කරන්නේ අ.පො.ස. සා/පෙළ සමත්, අ.පො.ස. උ/පෙළ සමත් අය මේ සඳහා බඳවා ගැනීමටයි. මෙහිදී අපි එකඟතාවක් ඇතිකර ගෙන තිබෙන්නේ විවෘත විශ්ව විද්‍යාලයේ පවත්වන උපාධි පාඨමාලා සඳහා මේ සිසුන් යොමු කිරීමටයි. එහිදීත් SLQF2 හා 3 අපි විසින් ආවරණය කරන අතර SLQF4සහ 5 ශ්‍රී ලංංකා විවෘත විශ්ව විද්‍යාලය මඟින් ආවරණය කෙරෙනවා. ඒ අනුව ඒ අයටත් වෙනත් රැකියාවලට යාමේ හැකියාවද පවතිනවා. එහිදී අපි මහනුවර නගරය කේන්ද්‍ර කරගෙන දේශන මාලාව පවත්වාගෙන යන්න කටයුතු කරනවා. මේ හැම කාර්යයකින් ම ටවර්හෝල් රඟහල පදනම අපේක්ෂා කරන්නේ රංගන ක්ෂේත්‍රයට අවශ්‍ය කරන ශිල්පීන් හා වෘත්තිකයන් බිහි කිරීමයි.

නාට්‍ය ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් නාට්‍ය ජනගත කිරීම, පොදු ජනතාව අතර නාට්‍ය ජනප්‍රිය කිරවීමට කටයුතු කිරීම ආදිය සිදු කළා. නාට්‍ය උලෙළවල් පැවැත්වීම මඟින් ජනතාව නාට්‍ය බැලීමට යොමු කිරීම නිසා එල්ෆින්ස්ටන් හා ටවර් යන රඟහල් දෙකම සති අන්ත නිවාඩු දවස් වසර පුරාම නාට්‍ය සඳහා වෙන්කර තිබෙනවා. ඒ වගේම ප්‍රාෙද්ශීයව නාට්‍ය උළෙලවල් සංවිධානය වී තිබෙනවා. එහිදී ජනතාව තුළ නාට්‍ය ගැන ඇති උනන්දුව වර්ධනය කිරීමට අපට හැකියාව ලැබුණා. පසුගිය පෙබරවාරි මාසයේ දී ටවර්හෝල් රඟහල පදනම මඟින් ‘ටවර් ප්‍රභාෂ්වර‘ නමින් යුතු සංගීත වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා. මෙහි නූර්ති, නාඩගම්, ටීටර් යුගයේ හා ටවර් ශිල්පීන් විසින් ගායනා කළ ගීත නැවත ගායනා කිරීම සිදු කළා. මෙම ගීත ඉදිරිපත් කරන්නේ නාට්‍යයේ ජවනිකාවද නිරූපණය කරමින් නිසා සාමාන්‍ය සංගීත වැඩසටහනකට වඩා මෙහි විශේෂත්වයක් තිබෙනවා. මෙය පසුගිය දෙසැම්බර් මාසයේ දී එල්ෆින්ස්ටන් රඟහලේ පළමුවෙන් ම පැවැත් වූ අතර පෙබරවාරි මාසයේ දී අම්පාර දිස්ත්‍රික්කයේ මහඔය නගරයේ දී ආදිවාසී නායකතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. එළඹෙන වෙසක් මාසයේ දී පුත්තලම් දිස්ත්‍රික්කයේ පැවැත්වෙන රාජ්‍ය වෙසක් කලාපයේ දීත් 7 වැනි දින නැවත මෙම සංගීත වැඩසටහන පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

කොළඹට කේන්ද්‍රවී තිබූ නාට්‍ය හා නාට්‍ය සංගීත වැඩසටහන් ප්‍රාෙද්ශීයවත් ක්‍රියාත්මක කිරීමට කටයුතු කිරීම මඟින් මේවා ජනතාව අතර ප්‍රචලිත කිරීමට අප කටයුතු කරනවා. ටවර්හෝල් රඟහල පදනම මූලිකවම කොළඹ නගරය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වුවත් 2022 වසරේ දී ටවර් නාට්‍ය පාසලක් යාපනය නගරයේ විවෘත කළා. මේ නිසා ඔවුනට දමිළ මාධ්‍යයෙන් නර්ථනය, නාට්‍ය හා රංගකලාව හැදෑරීමට ස්ථානයක් තිබෙනවා. මේ වන විට එහි ශිෂ්‍යයන් 50ක් අධ්‍යාපනය හදාරණ අතර ඔවුන්ටද ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනවේදී පාඨමාලාව හැදෑරීමේ හැකියාව පවතිනවා. ඔවුන් ලෝක නාට්‍ය දිනය වෙනුවෙන් කොළඹට පැමිණ සිංහල හා දමිළ නාට්‍ය හා රංගකලාව හදාරණ සිසු සිසුවියන්ගේ එකතුවෙන් නිර්මාණය වූ Next up නමින් නාට්‍යයක් වේදිකාගත කළා. මෙය නැරඹීමට පැමිණි පිරිසගෙන් එල්ෆින්ස්ටන් රඟහල සම්පූර්ණයෙන් ම පිරී ගියා. එය හැමදෙනාට ම වෙනස්ම අත්දැකීමක් වුණා.

සංගීතය පිළිබඳ දමිළ මාධ්‍යයෙන් ඩිප්ලෝමා පාඨමාලාවක් ආරම්භ කරන අතර එය නුවර වතුකරයේ දමිළ ජනතාව ඉලක්ක කරගනිමින් සිදු කරනවා. මේ සඳහා අපට වතු යටිතල පහසුකම් අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පදනමෙන් සහයෝගය ලබා දෙන බවට එකඟතාව පළ කළා. මෙතෙක් එක් පාඨමාලාවක් පමණක් සිදු කළ අප ආයතනය පාඨමාලා 6ක් පවත්වන තත්ත්වයට වසරක් තුළ දී වර්ධනය කිරීමට හැකි වුණා. 400කට අධික ශිෂ්‍ය පිරිසක් අප ආයතනයේ අධ්‍යයන කටයුතුවල නියැළෙනවා. මේ තුළින් අප බලාපොරොත්තු වෙන්නේ සෞන්දර්ය විෂය ක්ෂේත්‍රයෙන් දැනුමින්, දක්ෂතාවෙන් පිරිපුන් වෘත්තිකයන් පිරිසක් බිහි කිරීමයි. නිසි විෂය හැදෑරීමකින්, අවබෝධයකින්, දැනුමකින් තොරව කලාවේ නියැළීමෙන් රසික ජනතාව අපේ නාට්‍ය, ටෙලිනාට්‍ය හා සිනමා නිර්මාණ රසවිඳීමෙන් ඈත්ව විදෙස් රටවල කලාකෘති පමණක් රසවිඳීමට පුරුදු වෙන්න පුළුවන්. මේ නිසා අපේ අරමුණ දැනුම, අවබෝධය, පළපුරුද්ද, කුසලතාව පිරි ශිල්පීන් අපේ කලා ක්ෂේත්‍රයට බිහි කිරීමයි.

ඊට අමතරව වයෝවෘද්ධ ටවර්හෝල් රංගන ශිල්පීන් වෙනුවෙන් රුපියල් 7500ක විශ්‍රාමික මාසික දීමනාවක් ලබා දෙන අතර සිංහල අවුරුද්ද වෙනුවෙන් රුපියල් 10,000ක වවුචර පත් පිළිගැන්වීමක් ද සිදු කළා. මෙසේ විශ්‍රාමික කලා ශිල්පීන් රැකබලා ගැනීම අපගේ යුතුකමක්. ටවර්හෝල් රඟහල පදනම මඟින් එම සේවාවද ඉටු කරන්නේ එය අපේ වගකීමක් ලෙස සිතාය.‘

සටහන -අයන්ති උඩුගම්පල 
ඡායාරූපය - ගයාන් පුෂ්පික

Comments