ෂෝ එකකට ගියොත් විසිල් ගහන්නැතුව ස්ටේජ් එකෙන් බහින්න දෙන්නෑ | Page 6 | සිළුමිණ

ෂෝ එකකට ගියොත් විසිල් ගහන්නැතුව ස්ටේජ් එකෙන් බහින්න දෙන්නෑ

- හැමෝටම ඕන වුණා මේ කෙල්ලව කොහොමහරි දිනවන්න 
- මටත් කැමැත්තක් තිබුණෙ නෑ ජීවිතේටවත් ගායිකාවක් වෙනව කියලා

උපේකා නිර්මාණි රියැලිටි කලාවෙන් බිහිවූ තාරකාවකි. ඩ්‍රීම් ස්ටාර් දෙවැනි තරගයේ ජයග්‍රාහිකාව මෙන්ම රියැලිටි තරගයකින් ප්‍රථම වරට ජයග්‍රහණය කළ කාන්තා නියෝජනය ද ඇයයි. කලාව පවුලේ උරුමයක් වුව ද එය පලිහක් කර නොගෙන ස්වඋත්සාහයෙන් කලාව තුළ නමක් රැන්දූ ඇය ගැනයි අද අපේ කතාබහ. 

උපේකාගේ නම මේ දිනවල වැඩිපුරම කියවෙන්නේ මහාචාර්ය ආරියරත්න ඇතුගලයන්ගේ සහෝ චිත්‍රපටයේ ගීතත් එක්ක. කොහොමද ඒ අත්දැකීම?

සහෝ කියන්නේ විශ්වවිද්‍යාල ජීවිතයේ විඳින ආදරය, මිත්‍රත්වය, අරගල වැනි අත්දැකීම් පාදක කරගෙන නිර්මාණය වුණු චිත්‍රපටයක්. එහි ඉන්ද්‍රචාප ලියනගේ සමඟ ගයන සිහිනෙකී සොයන ජීවිතේ, රහසකී විඳින ජීවිතේ කියන ගීතය සඳහා මට ආරාධනා ලැබුණා. එය සියුමැලි ළයාන්විත හඬකට එහා ගිය වේගවත් ජවසම්පන්න හඬකින් ගැයෙන ගීතයක්. තාරුණ්‍යයේ ජීවය වගේම ශෘංගාරය තුළින් ගලන ප්‍රේමයත් ඒ තුළින් ඉස්මතු වෙනවා. වේග රිද්මය නිසා එයට අමුතු ජවයක් එකතු වුණා කිව්වත් හරි.

ඔබට කොහොමද ඒ සඳහා ආරාධනා ලැබෙන්නේ?

සහෝ සිනමා පටය සංගීත අධ්‍යක්ෂණය කළේ තරුපති මුණසිංහ. තරුපති අයියත් එක්ක මං මීට කලින් සින්ඩරෙල්ලා චිත්‍රපටයේ වැඩ කරලා තිබුණා. ඔහු තමයි මාව යෝජනා කරලා තිබුණේ. ඇතුගල සර් මට කතා කරලා ඇහුවා මේ වගේ වැඩක් තියෙනවා. කරමු ද කියලා. මං ගොඩක් සතුටින් බාර ගත්තා.

උපේකා නිර්මාණි කියන්නෙ රියැලිටි ඉතිහාසයේ ප්‍රථම රියැලිටි තාරකා විය. ඒ ගැන මතකය අවදි කළොත්?

ඔව්. දෙරණ ඩ්‍රීම් ස්ටාර් දෙවැනි සීසන් එකේ. එතකොට මට වයස අවුරුදු 17යි. දිනන්න හිතාගෙන ආවෙ නැතත් හොඳ තරගයක් දෙන්න හිතාගෙන ආවේ. කාන්තාවකට දිනන්න පුළුවන් වේවි කියලා හිතුණෙම නෑ. අන්තිම මොහොතෙවත් බලාපොරොත්තුවක් තිබුණෙ නෑ මං දිනාවි කියලා. ඒ නිසාමයි මට ඒ වෙලාවෙ කෑගැහුණෙ. කාන්තාවන්ගෙන් ලොකු සපෝට් එකක් ලැබුණා. හැමෝටම ඕන වුණා මේ කෙල්ලව කොහොමහරි දිනවන්න.‍

ඔබේ පියාත් කලාවට සම්බන්ධ කෙනෙක්. අනිවාර්යයෙන්ම මේ ගමනෙදි පියාගේ උදව්ව ලැබෙන්න ඇති ?

තාත්ත විතරක් නෙවෙයි. අපේ පවුලේ ගොඩක් අයට කලා හැකියාව තියෙනවා. ඒ අභාසය මටත් පිහිටන්න ඇති. තාත්ත නම් කොහෙත්ම කැමැති වුණේ නෑ මං කලාවට යොමු වෙනවට. එයා හිතුවේ ගෑනු ළමයෙකුට මේ ක්ෂේත්‍රය කරදරයි. අයුතු යෝජනා ඒවි. ඒ වගේ දේවල් නිසා එයා කැමැති වුණේම නෑ. මටත් කැමැත්තක් තිබුණෙ නෑ ජිවිතේටවත් ගායිකාවක් වෙනව කියලා. මං ආසාවෙන් හිටියේ ගුරුවරියක් වෙන්න.

ඉස්කෝලෙ යන කාලෙත් වයලීන්, බටනළාව වගේ ඉන්ස්ටෘමන්ට් ප්ලේ කරන්න තමයි මට දක්ෂතාව තිබුණේ. ගුරුවරුත් මාව ඒ පැත්තට යොමු කළා මිසක් මට ගායන හැකියාවක් තියෙනවා කියල දැනගෙන හිටියෙ නෑ.

එතකොට ඔබ ඩ්‍රීම් ස්ටාර් තාරකාවක් වෙන්නෙ කොහොමද?

අම්මා තමයි කිව්වේ මෙහෙම තරගයක් තියෙනවා අපි දාල බලමු කියලා. තාත්ත නම් එපාම කිව්වා. අම්මගෙ බලකිරීමට තමයි ගියේ. තරගයට ඉදිරිපත් වෙලා හොඳ කමෙන්ට්ස් ලැබෙද්දි නොදැනුවත්වම ඉදිරියට ගියා. හරියට සුළඟෙ පාවෙලා යනව වගෙයි මට දැනුණේ. මටත් හිතුණා මේකෙ මොකක් හරි ඇති කියලා. ලක්ෂ ගාණකින් අවසන් 48ට තේරුණ වෙලාවෙ කකුල් දෙක ගැහෙනවා හිටගෙන ඉන්නත් බැරි තරමට. මයික් එක අල්ලන් ඉද්දිත් ගැහෙනවා. ඒ හැමදේම දරාගෙන තමයි මෙතනට ආවේ. 

ගායනයට වගේම ඔබට විසිල් ගහන්නත් හැකියාවක් තියෙනවා. ඒකත් ජනප්‍රියත්වයට ඉවහල් වුණා කිව්වොත්?

ඇත්තටම ඔව්. තාත්ත නම් කැමැති වුණේම නෑ. ගෑනු ළමයි විසිල් ගහන්න හොඳ නෑ කියලා. මටත් පොඩි බයක් තිබුණා රෝහණ බෝගොඩ සර් ජජ් බෝඩ් එකේ ඉන්න නිසා මොන වගේ කමෙන්ට් එකක් ලැබෙයිද කියලා. ඒක ඉතින් මෙලඩියකට ගහන විසිල් එකක් මිසක් රස්තියාදු විසිල් එකක් නෙවේනෙ. ඒ නිසා මට ඕන වුණා විසිල් කරලා පෙන්නන්න. ඒක ගොඩක් ජනප්‍රිය වුණා. ඒ දවස්වල හැමෝම වගේ මට කිව්වේ විසිල් ගහන ගෑනු ළමයා කියලා. අදටත් ෂෝ එකකට ගියොත් විසිල් ගහන්නැතුව ස්ටේජ් එකෙන් බහින්න දෙන්නෑ. රසිකයන් කෑගහල ඉල්ලන්නේ විසිල් එකක්.

උපේකා නිර්මාණී වගේම කොච්චි ගී කණ්ඩායමත් දැන් ගොඩක් ජනප්‍රියයි. කොහොමද ඒක හැදෙන්නේ?

මට ඕනවෙලා තිබුණා අලුත් දෙයක් කරන්න. ස්ටේජ් එකේ තනියම සින්දු කියන්න මටම කම්මැලියි. 4 දෙනෙක් එක්ක එකතු වෙලා කියද්දි මාර පහසුයි. අමුතු ජවයක් ලැබෙනවා. ඩ්‍රීම් ස්ටාර්වල හොඳම අය තෝරගෙන තමයි ඒ දේ කළේ. ඒ මම, එරන්දි, නැටලි සහ සශිකා. ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා වගේම ලොකු ඉල්ලුමකුත් තියෙනවා.

ඇයි කොච්චි වගේ නමක් දැම්මේ?

මට ඕන කළේ හොඳට කට ඇරලා හපන්න පුළුවන් නමක්. සති දෙකක් තිස්සේ කල්පනා කරමින් ඉන්න කොට තමයි මගේ මහත්තයා කිව්වේ, ඔයාට සිංහල නමක්නෙ ඕන. අපි කොච්චි කියලා දාමු කියලා. ඒකට මට ආස හිතුණා. මියුසික් අතිනුත් සැරයි. කෙල්ලොත් සැරයි.

කොහොමද මහත්තයගෙන් ලැබෙන සහයෝගය?

ඒක නම් කියලා නිම කරන්න බෑ. එයාගෙ නම තිළිණ. කොච්චි ටීම් එක මැනේජ් කරගෙන ලොකු බරක් කරට අරන් කරන්නෙ එයා. කොහේ ගියත් අපි 4 දෙනා ආරක්ෂා කරගෙන, වාහනයත් ඩ්‍රයිවින් කරගෙන යන්නෙ එයා. අපේ වීඩියෝ එඩිට් කරන වැඩත් කරනවා. දැන් අපිට අවුරුදු 4ක බබෙක් ඉන්නවා. එයාගෙ වැඩයි මේ වැඩයි ඔක්කොම බැලන්ස් කරගෙන අපි සතුටින් ජීවිතේ ගත කරනවා.

Comments