මම කොහේ ගියත් යන්නෙ මේකප් නැතිව | Page 2 | සිළුමිණ

මම කොහේ ගියත් යන්නෙ මේකප් නැතිව

- හොඳ නිර්මාණයකට ආරාධනාවක් ලැබුණොත් සම්බන්ධ වෙන්න ආසාවෙන් ඉන්නවා
- නිලන්ති ඩයස් කියන චරිතය මම මේන්ටේන් කරන්න යන්නේ නැහැ

නටන්න ගයන්න රඟන්න දක්ෂ ඇය නිලන්ති ඩයස්. හැමදාමත් හැඩට නටන නිලන්ති නිරන්තරයෙන්ම දකින්න ලැබෙන චරිතයක් නෙමෙයි. සිනමා නිර්මාණවලින් ඉඳහිට දකින්න ලැබෙන ඇය ගැන කලකට පසුව රසඳුනත් එක්ක මේ විදියට කතා කරන්න හිතුවා.

ලොකු දුවක් ඉන්න අම්මා කෙනෙක් නිසා දැන් නැටිල්ල පැත්තකින් තියලද..?

මගේ කලා ජීවිතයේ ආරම්භයම නැටිල්ල. ඉතින් කොහොමද නර්තනයෙන් ඈත් වෙන්නේ. ප්‍රසංගවලට තවමත් ආරාධනා ලැබෙනවා නර්තන‍ය සඳහා. මගේ කණ්ඩායම එක්ක ඒවටත් සම්බන්ධ වෙනවා. සතියට එක දවසක් නර්තන පුහුණුවීම් කරනවා. ප්‍රසංග තියෙන දවස්වලට දින කිහිපයක් පුරුදු වෙනවා. නර්තනයෙන් නම් දැන්ම ඈත් වෙන්න අදහසක් නෑ.

නිලන්තිට අවුරුදු නවයක දුවක් ඉන්නවා. මවගේ, බිරියගේ වගකීම් කාර්‍යබහුල ජීවිතයත් එක්ක මඟ හැරෙනවා ඇති නේද?

මොන දේ කළත් මුලින්ම මුල් තැන දෙන්නෙ පවුලට. දුව නිසා මම සෑහෙන කාලයක් නිර්මාණවලින් ඈත්වෙලා හිටියා. එයා දැන් දැනුම් තේරුම් තියන වයසක ඉන්න නිසයි මම නිර්මාණවලට සම්බන්ධ වෙන්නේ. සැමියත් කාර්යබහුල චරිතයක්. ගෙදර වැඩ, දුවගේ වැඩ වගේම එයාගේ වැඩ ගැනත් සමහර වෙලාවට හොයලා බලලා කරන්න වෙනවා. ගෙදර උයන පිහන එකේ ඉඳලාම සියලුම වැඩ මම කරන්නේ. ඒ නිසා පුද්ගලික ජීවිතය මඟ ඇරෙනවා කියන්න අමාරුයි.

දුවත් ඔබ වගේම ගයන්න නටන්න රඟන්න දක්ෂයි ද..?

දුව ශෙනායා. එයා නර්තනයට දක්ෂයි. මම නර්තනය පුරුදු වෙන වෙලාවට එයාට කියනවා ඇවිත් පුරුදු වෙන්න කියලා. ඒත් එයා ඒකට කැමැත්තක් දක්වන්නෙ නෑ. ලැජ්ජයි කියලා කියන්නත් බෑ. මම පුරුදු වෙනකොට එයා ළඟට ඇවිත් අම්මේ මේ අයිටම් එක කැතයි. මේ විදියට කළා නම් හොඳයි නේද කියලා කියනවා. එයා කියන ගොඩක් දේවල් ඇත්ත. ඒ වෙලාවට හිතෙනවා එයා මටත් වඩා දක්ෂයි කියලා. නමුත් මොන පැත්තට යොමු වෙයිද කියලා කියන්න බැහැ. එයා කැමැති දෙයක් කරන්න එයාට අපි ඉඩ දෙනවා.

ඇයත් ජනප්‍රියත්වයට අකමැති කෙනෙක් ද ඔබේ සැමියා වගේම..?

මගේ රසික රසිකාවියන් ළඟට ඇවිත් ෆොටෝස් ගන්නකොට දුව මට කියනවා අම්මෝ මට නං පොපියුලර් වෙන්න අවශ්‍ය නැහැ කියලා. එහෙම එයා කියන්නේ තේරුමක් නැතුව කියලා මට හිතෙනවා. එයා හරිම කීකරු දරුවෙක්. මං මොනාහරි ගෙදර වැඩක් කිව්වත් එයා කරල දෙනවා. මගේ සැමියා නිරෝෂන් ක්‍රිශාන්ත. එයා නම් කිසිම දේකට සම්බන්ධ වෙන්නේ නැහැ. ඔයා ඕන දෙයක් කරගන්න කියනවා. මට නම් මාධ්‍ය ඉස්සරහට එන්න බැහැ කියනවා. එයාට ඕන නිදහසේ පාඩුවේ ජීවත් වෙන්න. අඩු තරමින් එයා සමාජ මාධ්‍ය වත් පාවිච්චි කරන්නේ නැහැ.

දැන් ඔබව පුංචි තිරයෙන් දකින්න නැහැ. පුංචි තිරයට නිර්මාණ ගෙනෙන අධ්‍යක්ෂවරුන්ට ඔබව අමතක වෙලාද, එහෙම නැත්තම් ඔබ ස්වයං තීරණයකද..?

දැන් නිර්මාණය වෙන්නේ ගොඩක් දීර්ඝ නාට්‍ය. ඉස්සර කොටස් තිහකට පනහකට සීමා වෙච්ච නිර්මාණ දැන් කොටස් දහස පන්නලා නිර්මාණය වෙන්නේ. එක නිර්මාණයකට අවුරුදු ගණන් සම්බන්ධ වෙන්න සිදු වෙනවා. සමහර ලොකේෂන් දුර පළාත්වල තියෙන්නේ. ලොකු කාලයක් ඒ සඳහා වෙන් වෙනවා. ඒ වගේ නාට්‍යවලට සම්බන්ධ වුණොත් පවුල් ජීවිතයට මුල් තැන දෙන්න අමාරුයි. ඒ නිසයි ටිකක් නිහඬ වෙලා ඉන්නේ. කොටස් අඩු හොඳ නිර්මාණයකට ආරාධනාවක් ලැබුණොත් සම්බන්ධ වෙන්න ආසාවෙන් ඉන්නවා. කලාවට සම්බන්ධ වුණු කාලේ ඉඳලා මේ දක්වා ටෙලිනාට්‍ය දහයකට වගේ තමයි මම සම්බන්ධ වෙලා තියෙන්නේ. 

ඒ වුණාට පුළුල් තිරයෙන් දකින්න ලැබෙනවා නේද ..?

සිනමාවෙන් ඈත් වෙලා නැහැ. ළඟදි රූගත කිරිම් අවසන් වුණු ලාල් ප්‍රියදේව මහත්මයාගේ චිත්‍රපටියට සම්බන්ධ වුණා. ළඟදි තවත් චිත්‍රපටියකට ආරාධනාවක් ලැබුණා. තවම ඒක සාකච්ඡා මට්ටමේ තියෙන්නේ. මම නර්තන ශිල්පිනියක් විදිහට තමයි අනූ නමය වර්ෂයේ “පිටි කොටපං නෝනේ“ කියන සින්දුවෙන් එළියට එන්නේ. 2000 වර්ෂයේ චිත්‍රපට සඳහා ආරාධනා ලැබෙනවා. එදා ඉඳලා අද වෙනකම් සිනමාවට ආරාධනා ලැබෙනවා. ඒවට මම සම්බන්ධ වෙනවා.

ඔබේ පෙනුම නිසාද එකම රාමුවකට කොටු වෙලා ඉන්නේ..?

මටත් එහෙම හිතෙනවා. මගේ බටහිර පෙනුම නිසා හැම චරිතයක්ම ලැබෙන්නේ ඒකාකාරි විදිහට. මමත් ආසයි විවිධ චරිත රඟපාන්න. ඒත් ඒකට අධ්‍යක්ෂවරු ඉඩ දෙන්න ඕන. එහෙම අවස්ථාවක් ලැබෙනකම් මම බලාගෙන ඉන්නවා.

ජනප්‍රිය චරිත බොහෝම දෙනෙක් මේකප්වලින් පරිබාහිරව දකින්න ලැබෙන්නේ නැහැ. නිලන්ති කියන්නේත් මේකප්වලින් ලස්සන තියාගෙන ඉන්න කෙනෙක් ද..?

මේකප් අවශ්‍යම තැනකට විතරයි මම මේකප් කරන්නේ. නිලන්ති ඩයස් කියන චරිතය මම මේන්ටේන් කරන්න යන්නේ නැහැ. කොහේ ගියත් මම එළියට බහින්නේ මේකප් නැතුව. සමහර අය මට කියනවා ඔයා අවුරුදු පහළොවකට දාසයකට කලින් දැක්කා වගේමයි තවමත් කියලා. මේකප් දාලා ලස්සන මවන්න අවශ්‍ය නැහැ. ස්වාභාවික පෙනුමත් එක්ක තියෙන සරලකමට මම ආසයි. මම කොහොමත් සරලව ජීවත් වෙන කෙනෙක්.

Comments