සොරුන් වෙතටයි...! | සිළුමිණ

සොරුන් වෙතටයි...!

"මා නුබලාට අනවශ්‍ය කරදරයක්ද මන්දා..."

එසේ විමසමින් විදේශිකයා වෑන් රථයට ගොඩවන්නේ සිනාවකින් මුව සරසාගෙනය.

අප තානායමේ සතියක් දෙකක් නතර වීමට පැමිණි එම ඔස්ට්‍රියානු ජාතිකයා සුවිශේෂී චරිතයකි.

වෘත්තියෙන් එරට අත්වැසුම් නිපදවන කම්හලක යන්ත්‍ර ක්‍රියාකරවන්නකු වන හෙතෙම මස් මාළු, මත්පැන්, දුම්වැටි ආදියෙන් තොර තිස්තුන් හැවිරිදි වියෙහි පසුවන අවිවාහකයෙකි.

ඔහු පවසන්නේ වයස පනහ සපිරුණු අනාගතයේ යම් දිනයෙක ශ්‍රී ලංකාවේදීම බුදු දහම වැලඳ ගැනීම ඔහුගේ ඒකායන බලාපොරොත්තුව බවයි.

නූතනයේ බොහෝ මිනිසුන්ගේ වචන විශ්වාස කළ නොහැකිය. එහෙත් ඔස්ට්‍රියාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණ, එළවළු පමණක් ආහාරයට ගන්නා, සන්සුන් ඇවතුම් පැවතුම් සහිතව තානායමේ දවස ගෙවමින්, උදෑසන මාගේ කාර්යාල කාමරයේ කුඩා බුදුරුව ඉදිරියේ දැල්වෙන පොල්තෙල් පහන දෙස පවා බලා හිඳ විවිධ මාදිලියේ බෞද්ධාගමික කරුණු මගෙන් විමසන තනිකඩ මොහු සැබවින්ම සුවිශේෂී නොවේද?

වෑන් රථයට ගොඩවී ඔහු අසලින්ම අසුන් ගත් මා මෙතැන් සිට සැරසෙන්නේ අතැඹුලක් සේ මා දන්නා තානායම් පාලක රාජකාරිය නොවේ. හරිහැටි නොදන්නා සංචාරක මඟපෙන්වීම නොහොත් ගයිඩ් කටයුත්ත ඉටු කිරීමටය.

"යමෙක් නොදන්නා බව දන්නෙහිද? හේ දන්නෙහිය.."යන කර්තෘ අඥාත උපදේශන වැකිය කොහේදෝ සිට මගේ මතකයට ආවේය.

අනාගතයේ බුදු දහම වැලඳ ගැනීමට අපේක්ෂාවෙන් සිටිනා තරුණ විදේශිකයකු තානායම ආශ්‍රිත විහාරස්ථාන කිහිපයකට රැගෙන ගොස් බොදුනු වත්පිළිවෙත් හඳුන්වා පහදා දීම එක්තරා සංකීර්ණ වගකීමකි.

"කොහෙන්ද බොස් අපි වැඩේට බහින්නේ?"

ඉංග්‍රීසි අකුරින් ඩෙල් යනුවෙන් පපුවෙහි සඳහන් ටීෂර්ටයකින් සහ සායම ගිය ඩෙනිමකින් සැරසුණු තරුණ වෑන් රථ රියැදුරා මගෙන් විමසන්නේ ඔහු හපමින් සිටි චුවින්ගම් පෙත්ත ඒ හක්කෙන් මේ හක්කට පන්නමිනි.

"පරණ ඇන්ටික් කැටයම් ගරාදි වැටකුත් තියෙන නිසා එහා පාරෙ රජමහ විහාරෙන්ම වැඩේ පිකප් කරමු නේද බොස්..?"

"නෝ.. නෝ.. ඩෝන්ට් බී හරී.."

ඩෙල් රියැදුරාගේ පිකප් යන ඉංග්‍රීසි වචනය වැටහුණු නිසාදෝ විදේශිකයා එසේ පැවසුවේ සිංහලෙන් අප කතා වූයේ වාහනයේ වේගය පිළිබඳ කතා බහක් යැයි සැක සිතා විය යුතුය.

"මල්ලී.. අපි අපේ භාෂාවෙන් කතා කිරීම ඇඟට ගුණයි නේද?.."

මා රහසින් මෙන් රියැදුරුට යෝජනා කළේ ඉදිරියේදී ඔහුගේ මුවින් තවත් අනවශ්‍ය වචන විසිවී ඩෙල් නොව වැඩේ දෙල් වීමට පෙරය.

"හරි එහෙනම් ඔයා කියපු ඒ රජමහ විහාරෙන්ම වැඩේ පටන් ගනිමු"

එක් අතකින් ජංගම දුරකථනය අමතමින් තනි අතින් සුක්කානම කරකවා, බර බරාස්.. හඬින් ටයර කෑගස්සවමින් රජමහ විහාර වාහල්කඩ තුළින් අංශක අනූවක් වෑන් රිය ළඟ නැමූ ඩෙල් මල්ලිගේ රිය පැදවුම නම් නොම්මර එකය.

යතුරු පැදි පරිද්දෙන් ත්‍රිරෝද පදවන, ත්‍රිරෝද පරිද්දෙන් බස් රථ පදවන, බස් රථ පරිද්දෙන් දුම්රිය අද්දන ඇතැම් නූතන රියැදුරු සංහතියක් මැද්දේ අපගේ ඩෙල් රියැදුරු සාපේක්ෂ චරිතයක් නොවේ දැයි මම හිත හදා ගත්තෙමි.

විහාරස්ථානයේ ඇත්තේ සුපුරුදු ශාන්ත නිසසල බවකි. එම නිහැඬියාව කඩින් කඩ බිඳෙන්නේ විහාරයේ ඝණ්ඨා නාදයෙන් පමණය.

වේලාව උදෑසන දහය පසු වූවා පමණය. විහාර ගෙය තුළ ප්‍රමාණවත් පිරිසක් බුදුන් වඳිමින් සිටිනු දුටු අප ඔස්ට්‍රියානු ජාතික මිත්‍රයා මදෙස බලමින් නළලත රැලි ගන්වා සිය විමතිය හා ප්‍රසාදය පළ කළේය.

අනවශ්‍ය පැහැදිලි කිරීම්වලට ගොස් ඔහුගේ සිතිවිලි දැහැන අවුල් නොකොට, බුදු දහම පිළිබඳ ඔහු විමසනා යම් කරුණක් වේද, ඊට සවිස්තරාත්මකව පිළිතුරු සැපයීම වඩාත් ගැළපෙන ක්‍රමවේදය නොවේ දැයි කල්පනා කළ මා විදේශිකයා විහාර ගෙය තුළ වටයක් පයින් ඇවිද්දවාගෙන ගියේය.

"ඇයි මේ මිනිස්සු හෙල්මට් එකත් අතේ දරාගෙන විහාරගෙය ඇතුළට ඇවිත් ඉන්නේ... එය යතුරුපැදියේම රඳවා මෙහි ඇතුළු විය හැකියි නේද?...ඇයි එසේ නොකරන්නේ...?"

සුද්දා විමසූ පළමු පැනයෙන්ම මා කරකැවී අතහැරුණේය.

ලංකාවට බුදු දහම රැගෙන ආ අයුරු, එය අන්‍ය ආගම්වලින් වෙනස් වන අයුරු ආදී ගැඹුරු දේ විදේශික මොහුට පහදා දීමට මා නොදන්නා ඉංග්‍රීසි වචන පවා පෙරදා රැයේ අන්තර්ජාල ශබ්දකෝෂය පිරික්සා සොයාගෙන බුදු දහම ගැන විෂය කරුණු කාරණාවලින් සන්නද්ධ වී සිටි මගෙන් විදේශිකයා මේ විමසන්නේ කුමක්ද?

"හෙල්මට්..?"

"ඔව් මැනේජර් මිත්‍රයා... අර බලන්න, අතන බුදුන් වඳින අයගේ හෙල්මට් දෙකම ඔවුන් අසලින්ම බිම තබාගෙන ඇති ආකාරය.."

මම එදෙසට වේගයෙන් ගෙල හැරවූයෙමි. ඔහු නිවැරදිය. බුදුන් වහන්සේට ගල් පෙරළන ආකාරය සිතුවම් කර ඇති විහාර බිත්තිය අසල බිම ඉඳගෙන බුදුන් වඳිනා තරුණ යුවළ අසල තිබෙන්නේ ඔවුන් මෙතැනට රැගෙන ආ හිස් සුරකින යතුරුපැදි හිස්වැසුම් දෙකය.

"තව තියෙනවා.. අර බලන්න මිත්‍රයා.. අර කිරි දරුවා සමඟ පැමිණ සිටිනා යුවළගේ ළඟත් දරුවා මෙන්ම ආරක්ෂා සහගතව බිම තබාගෙන සිටින්නේ ඔවුන්ගේ යතුරුපැදි හෙල්මට් දෙක නොවේද?.." මට නම් පෙනෙන්නේ ඔවුන් මෙසේ විහාරස්ථානය තුළට තම හිස් වැසුම් රැගෙන එනවා ඇත්තේ...

"...වේට්.. වේට්.. සර්.. අයිල් එක්ස්ප්ලේන් ඉට්..."

මා වහා ඉදිරියට පැන විදේශිකයා නිහඬ කළෙමි.

ඔහු කියන්නට තැනූ ඉතිරි කොටස මා හට අසන්නට සිදු වූවා නම් වසර දෙදහස් පන්සියයක ප්‍රෞඩ ඉතිහාසයක් ඇති බොදුනු රටකට එය කිසිසේත් උචිත වන්නක් නොවේ.

එබැවින් මෙම ලිපිය කියවන හෙල්මට් වංවාකරුවන් සිටිත් නම් පළමුව ඔවුන්ගෙන් කළ යුතු ආයාචනයක් තිබේ. කිසියම් නාට්‍ය රඟහලක, සිනමා හලක පමණක් නොව විහාරස්ථානයකට ඇතුළු වන විට සැක බියකින් තොරව යතුරුපැදි හෙල්මටය යතුරුපැදිය මත තබා යෑමට සමාජයේ ඇති මෙම අනියත බිය තුරන් කිරීමට ඔබලා කාරුණිකව ක්‍රියා කරන්න.

එමෙන්ම යතුරුපැදි ධාවකයන් හට ද යම් සිහිකැඳවීමක් කළ යුතුව තිබේ. එනම්, මීට දශකයකට දෙකකට පමණ ඉහතදී එදා සිනමාහලට ඇතුළු වන විටත් හෙල්මටයට අමතරව යතුරු පැදියේ පැති කන්නාඩි යුගලයද හිමිකරු විසින්ම ගලවා අතට ගෙන ආරක්ෂාවට ළඟ තබාගෙන චිත්‍රපටය නැරඹූ අතීතයක් ද අප පසුකොට පැමිණි බව ඇතැම් විට ඔබලා නොදන්නවා විය හැකිය. ඒ අනුව හෙල්මට් සයිඩ් කන්නාඩි සොරුන්ගේද යම් සුබවාදී යුග පරිවර්තනයක් සිදුව ඇති වග මැදිහත්ව සිතන්න.

මා එම සිදුවීම තානායම්පල්ලා කොලමෙහි සටහන් කරනා අයුරු සිතින් සංස්කරණය කරමින් සිටිනා අතරේ අප මිත්‍ර විදේශිකයා විහාරස්ථානයේ කපු මහතා සමඟ ගැඹුරු කතාබහක නියැළී සිටිනු දුටුවෙමි.

"සර් පොඩ්ඩක් එතැනට එන්ටර් වෙනවද?.. කපු මහත්තයා සුද්දගෙ දත ගලවන්න වගෙයි ලයින් වෙන්නේ.."

ඩෙල් රියදුරු මල්ලී රහසින් මෙන් මා අමතා විදේශිකයා දෙසට ඇස් බෝල යොමු කරමින් කීවේය. මම හනි හනික එදෙසට පය ඉක්මන් කළෙමි.

රන්ජන් ගාමිණී ජයවර්ධන

Comments