මස් රාත්තලම ඉල්ලා මහ පාරේ පාතාල මවන වාහන සීසර්ලා | Page 4 | සිළුමිණ

මස් රාත්තලම ඉල්ලා මහ පාරේ පාතාල මවන වාහන සීසර්ලා

ලීසිං වාරික ගෙවීම මඟ හැරී ගිය මෝටර් රථයක් මහමඟදී පැහැරගත් සීසර්ලා දෙදෙනකුට අත්තනගල්ල මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න ඉකුත් 10 වැනිදා වැදගත් තීන්දුවක් දුන්නේය. වාහන හිමිකරු වාහනය ලීසිං මාර්ගයෙන් මිලදී ගෙන තිබුණේ කලල්පිටිය ප්‍රදේශයේ ලීසිං සමාගමකිනි. 

වේයන්ගොඩ ප්‍රදේශයේ මහ මඟදී අයිතිකරු ඇද දමා පැහැර ගෙන ගිය වාහනය සම්බන්ධව අයිතිකරු විසින් ගොනුකළ පැමිණිල්ල විභාගයට ගත් 2023.02.28 දින විනිසුරුවරයා ප්‍රසිද්ධ අධිකරණයේ ප්‍රකාශ කළේ ලීසිං මුදල් වාරික නොගෙවූ බව කියමින් කිසිම මූල්‍ය සමාගමකට වාහන පැහැර ගැනීමට නීතියෙන් කිසිදු බලයක් නැති බවය.

අධිකරණ නියෝගයට අනුව අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කළ සීසර්ලා දෙදෙනා පමණක් නොව එම මූල්‍ය ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලය ඇතුළු සියලුම සැකකරුවන් තරාතිරම නොබලා අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කරන ලෙස විනිසුරුවරයා නියෝග කළේය. අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කළ සීසර්ලා දෙදෙනා රුපියල් ලක්ෂ 10ක ශරීර ඇප මත මුදා හැර ජූනි 13 වැනිදාට නඩුව යළි කැඳෙව්වේය.

මෙතෙක් කල් නිසි ආකාරව කියවා ගැනීමක් නොතිබුණු කල්බදු පනතේ වගන්ති දැන් හරියට කියවන්නට පටන් අරන් තිබේ. ඒ සිවිල් ජන මැදිහත් වීමක් ද සමඟය. දැනට කල්බදු පනත ප්‍රකාරව ණය වාරික මඟ හැරුණු හෝ පැහැර ගත් වාහන අත්පත් කර ගැනීමේ නීතිමය ක්‍රියාවලියෙන් පිටත ක්‍රියාත්මක වූ පාතාල මැරකම් තවදුරටත් වලංගු නැති බව සමාජයට පණිවිඩයක් ලැබී තිබේ. අනීතිකව මෙවැනි වාහන පැහැර ගත් සීසර්ලා 68 දෙනෙක් මේ වනවිට රිමාන්ඩ් බන්ධනාගාරගත වී සිටිති.

එහෙත් මේ අපරාධ එම බරින්ම වාර්තා නොවූ අතීතයක් තිබිණි.

ලීසිං කොම්පැණියක සීසර්ලා මහනුවර පුද්ගලයෙක් ඉල ඇට කඩා මරා දැම්මේය. බඩ දරු මවක් රථයේ එල්ලී සිටිය දී ඇයවත් ඇදගෙන මීටර විස්සකට වඩා වැඩි දුරක් ගොස් ඇයට බරපතළ තුවාල සිදුකර රථය පැහැර ගත්හ. ලක්ෂ විසි දෙකක මුදලක් සමඟ ජීප් රථය ගල්කිස්ස පොලිසිය ඉදිරිපිට දීම සල්ලිත් සමඟම ලීසිං සීසර්ලා කොල්ල කෑහ. මේ අපරාධ බොහෝ විට පොලිස් පොතේ ලියැවුණේ නැත. පසුගිය මාස තුන තුළ පමණක් ලීසිං වාරික කීපයක් හිඟ වූ පමණින් මහ මඟ දී හිමිකරුට පහර දී වාහන කොල්ලකෑම් 250කට වඩා වාර්තා වී තිබිණි. ගම්පහ හොඳම කුඩා පරිමාණ ව්‍යවසායින් 05 දෙනා අතරට තේරී කොවිඩ් සමයේ සිය ආර්ථිකය සපුරා බිඳවැටී ගිය පසු අති අසීරුවෙන් ජීවිතය ගොඩ නඟා ගැනීමේ සටනක යෙදුණ වත්තල අප්පුගේ වත්තේ පදිංචිව සිටි යුදානි ප්‍රනාන්දු ගේ ජීවිතය ලීසිං සමාගමක් කුඩු කළ ආකාරය අපට කීවේ මෙසේය.

“ මම කළේ එළවළු වගා කර පැක් කරලා සුපර් මාර්කට් එකට දාන ව්‍යාපාරයක්. මගේ ව්‍යාපාරය යටත් නිෂ්පාදන 20ක් විතර තිබුණා. අපි ඉතාම යහපත් ජීවිතයක් ගත කරපු මිනිස්සු. ඔය අතරේ පාස්කු බෝම්බ ප්‍රහාරය ආවා. අපේ ව්‍යාපාරය ඒකෙන් ටිකක් හෙල්ලුනා. ඊට පස්සේ අනපේක්ෂිත විදිහට 2020 දි කොවිඩ්වලට රට වැහුවා. අපේ එළවලු ස්ටොක් දීගන්න බැරිව ලක්ෂ ගණනක් පාඩු වුණා. මේ අතරෙ වාහනය වාරික හිඟ වුණා.

මම 2019 දී ව්‍යාපාරයට අරන් තිබුණේ මහේන්ද්‍රා මැක්සි ට්‍රක් එකක්. කිසිම වාරිකයක් ඇරියස් වෙන්නෙ නැතිව 2020 වෙනකල් ගෙවාගෙන ආවා. 2020 දී ව්‍යාපාරය වැටුණත් සැරින් සැරේ පුළුවන් විදිහට වාරික ගෙව්වා. ණය ලීසීං ගෙවා ගන්න බැරි වෙලා වාරික රී ෂෙඩුල් වුණා. මම ඉල්ලුවේ කොහොම හරි වාරිකය අඩු කරලා දෙන්න කියලා. ඒත් 58000ක වාරියක 68500ක් කළා. 58000ක් ගෙවන්න බැරි මට 68000ක වාරිකයක්. ඒත් මම එක දිගමට නියමිත දිනයට මුළු වාරිකයම බැරි වුණත් රුපියල් 40000ක් වගේ මුදලක් දැම්මා.

මේ අතරෙ මගෙ ව්‍යාපාරය මුළුමණින්ම නැවතුණා. ඊට පස්සේ මහත්තයෙක්ගෙ උදව්වෙන් ණයට පොල් තෙල් අරන් පැකට් කරලා විකුණන්න පටන් ගත්තා. ඒක කරමින් තමයි වාරිකයත් ගෙව්වේ. මට ටිකක් මෙහෙම ගෙවාගෙන යන්න දෙන්න කියලා ලීසිං කොම්පැණියට කිව්වාහම හා කිව්වා. මට ගෙවන්න තිබුණෙ හිඟ මුදලත් එක්ක වාරික තුනකට අඩු ප්‍රමාණයක්.

එහෙම තියෙද්දි පසුගිය ජනවාරි 06 වැනිදා පෝය දවසේ ගෙදර ගේට්ටුව කඩාගෙන ඇතුළු වුණු සීසර්ලා හය දෙනෙක් වාහනේ ඇතුළේ තිබුණු විකුණන්න ණයට ගෙනාපු ලක්ෂ හතක විතර පොල් තෙල් තොගයත් එක්කම වාහනේ අරන් ගියා. පොලිසියට ගියාට ඇන්ට්‍රි එක ලියා ගත්තේ නෑ. පස්සෙ ලීසිං සහ ණය වාරික ගෙවන්නන්ගේ සංගමයට කතා කළා. ඔවුන් මැදිහත් ව නීති ආධාර දුන්නා. මේ වනවිට නඩුවක් යනවා. ඒත් මම ණයට අරන් විකුණමින් හිටිය ලක්ෂ හතක තෙල් ටික දැන් නෑ... ලක්ෂ ගාණක් ගෙවපු වාහනෙත් නෑ...

ඇගේ ශෝකාලාපය හමුවේ මම නිරුත්තරව සිටියෙමි.

මේ සමාජය මේ තරම් අකෘතඥදැයි සිතෙන සිත කඩා වැටෙන කතාව අපට කීවේ කුරුණෑගල ඉබ්බාගමුවේ පදිංචි ජානක සම්පත් ජයවීර ය. ජානක යුද්ධයේ දී ජීවිතය පමණක් ඉතිරි කරගෙන දකුණු අත සහ පාදයක් මව් බිම වෙනුවෙන් පූජා කළ රණවිරුවෙකි. ඔහු සිය මූලික වත්කම් සියල්ල එකතු කර ලක්ෂ 16ක අත්තිකාරම් මුදලක් දී ලක්ෂ 45ක් පමණ වටිනා ගොයම් කපන යන්ත්‍රයක් කල්බදු ක්‍රමයට ගන්නේය. ඒ කන්නයක් එළඹෙන මාසය 6කට වරක් රුපියල් හාරලක්ෂ හැට දහසක වාරිකයක් ගෙවීමේ පදනම මතය.

“මැෂින් එක ගත්තේ 2021. 09.01. 2022 පොහොර නැති වුණා. වගා හානි වුණා. ඉන්ධන නැති වුණා. වැඩක් කරගන්න පුළුවන්කමක් තිබුණේ නෑ. මට හාර ලක්ෂ හැට දාහක් දාන්න බැරිවුණා වාරිකයට. අමාරුවෙන් රුපියල් ලක්ෂයක් දැම්මා. ඊළඟ වාරිකය එක් ලක්ෂ තිස් දාහක් දාලා මේ තත්ත්වය ආයතනයේ මැනේජර්ට කිව්වා. " මහත්තයෝ.... මේ කන්නෙ හොඳට වැඩ තියනවා. ඇරියස් එකත් එක්ක වාරිකේ ගෙවලා දාන්නම් කියලා.” 

කන්නෙට වැඩ කරන්න ගත්තා විතරයි. පහුගිය ජනවාරි 20 සමාගමෙන් කෝල් කරලා කිව්වා වැල්ලව අක්කර තිහක් තියනවා කපන්න පුළුවන් ද කියලා. මම හා කියලා ඩ්‍රයිවර් එක්ක මැෂින් එක අරන් වැල්ලව ගියා. ගොයම් කපන්න තියන කුඹුරු යාය බලන්න මැෂින් එක පාරෙ තියලා ගිහින් ටික වෙලාවකින් ඩ්‍රයිවර් කතා කරලා කිව්වා මැෂින් එක වටකරන් ඉන්නවා කට්ටියක්. ඉක්මනින් එන්න කියලා. මම කෙළින්ම වැල්ලව පොලිසියට ගිහින් කිව්වා ඒ පැහැර ගැනීමට ඉඩ දෙන්න එපා. මාත් එක්ක එන්න කියලා. ඒ අය මගෙ තත්ත්වය බලලාවත් මට ඇහුම්කන් දුන්නෙ නෑ. අංක තහඩු නැති ට්‍රැක්ටරයකට බලහත්කාරයෙන් මැෂින් එක පටවන් ගියා. තුන් පාරක් පොලිසියට ගියත් පැමිණිල්ල ලියා ගත්තෙ නෑ. අන්තිමට ලීසිං හා ණය වාරික ගෙවන්නන්ගේ සංගමයේ අසංග මහත්තයයි සඳරුවන් මහත්තයයි ආවට පස්සෙ තමයි ඇන්ට්‍රිය ලියා ගත්තේ. ඇන්ට්‍රි එකේ කොපියක්වත් මුලින් පොලිසිය දුන්නෙ නෑ.

දවස් 20ක් ඇතුළත ලියුම් තුනක් එනවා. අන්තිමට එන ලියුමෙ කියනවා සතියක් ඇතුළත සියලු මුදල් ගෙවා මැෂින් එක බේරගත්තෙ නැතිනම් විකුණලා පාඩුව අය කරගන්න නඩු දානව කියලා. දැන් නඩුවක් යනවා. ඒත් මම ඉල්ලුවේ මොන තරම් සාධාරණ ඉල්ලීමක් ද. වැඩ කරලා ණය ගෙවන්න දුන්නෙ නෑ.”ඔහු කියනු කම්පනයෙන් යුතුව අසා සිටියෙමි.

ලීසිං හා ණය වාරික ගෙවන්නන්ගේ සංගමය යනු මේ මුදලේ බලය යොදා ගනිමින් නීතියත් අවභාවිත කරමින් සමාජය තුළ මාෆියාවක් සේ හැසිරෙන මූල්‍ය ආයතනවලට පිළිතුරු දීමට සංවිධානය වූ වෘත්තිකයන් ද සහිත සිවිල් සංවිධානයකි. එම සංගමයේ සභාපති අසංක රුවන් පොතුපිටිය ය. ඔහුගේ මූලිකත්වයෙන් මෙම සංගමය පටන් ගන්නේ වර්ෂ 2020 මැයි මාසයේ ය. පාස්කු ප්‍රහාරය හා කොවිඩ් වසංගතයෙන් අනතුරුව සිවිල් ජනතාව ලෙස ඔවුන් සංවිධානය වන්නේ මේ අනපේක්ෂිත විපතේ වින්දිතයන් ලෙසය.

මේ වනවිට ණය වාරික ගෙවා ගත නොහැකිව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයෝ මිලියන 08ක් අසාධු ලේඛනගතව සිටිති. මිලියන 22ක ජනතාවගෙන් මිලියන 08ක් අසාධු ලේඛනගත වීම වැඩිහිටි ජන ගහනයෙන් සියයට 68ක් අසාධු ලේඛනගත වීම රටක බිඳ වැටීමේ තරම පෙන්වයි.

“ මිනිස්සුන්ට ණය වාරික ගෙවා ගන්න බැරි වුණා. මේ තත්ත්වයත් එක්ක කල් බදු වාරික ගෙවීම් මාස 06කට නවත්වා ගන්න යෝජනාවක් අපි සම්මත කරගත්තා. ගැනුම්කරුවන්ට ඉතාම අවාසි ලෙස සැකසුණ කල් බදු මූල්‍ය පනතෙ ගැනුම්කරුවන් ආරක්ෂා කරන වගන්ති 04 ඇතුළෙ ඔවුන්ට ලැබෙන නීතිමය රැකවරණය ගැන මුලින්ම පොලිස්පතිවරයාට පෙන්වා දුන්නේ අපේ සංගමය. අනතුරුව මේ පනත අනුව ලීසිං වාරික හිඟ වාහනයක් පවර ගන්නා ආකාරය සම්බන්ධව මඟපෙන්වීමක් සියලුම පොලිසි වෙත පොලිස් මූලස්ථානයෙන් නිකුත් කළා. ඒ තමයි ආර්ටීඑම් 481 නිකුත් කරන්න මුල් වුණේ. 2022. 12.19 මේක නිකුත් කළත් මාස 04ක් ගිහිල්ලත් තවම සමහර පොලිස් නිලධාරින්ට මේ පනත ගැන අබමල් රේණුවක අවබෝධයක් නෑ.

මේ පනත අනුව වාහන බලහත්කාරයෙන් පැහැර ගන්න බෑ. සීසර්ලා කියන කොටසක් එක්ක වැඩ කරන්න කිසිම ආයතනයකට බෑ. මේ වනවිට කල්බදු සමාගම්වල සීසර්ලා එක්ක ඩීල් දාපු පොලිස් ස්ථානාධිපතිවරු 18 දෙනකුට එරෙහිව අපි මූලික අයිතිවාසිකම් නඩු දාලා තියනවා. සීසර්ලා 66 දෙනකුට නඩු පවරලා බන්ධනාගාරගත කරන්න කටයුතු කර තියනවා.

මේ මූල්‍ය සමාගම් මහ බැංකුවෙන් නිසි නියාමනයක් වෙන්නෙ නෑ. මේ සමස්ත මූල්‍ය ආයතන පද්ධතියෙන් බිලියන 1600ක් අරන් තියනවා. පසුගිය කාලය ඇති වුණු තත්ත්වයත් එක්ක ණය පොලිය මුදල් හිඟ වාරික සඳහා නැවත ගණනයේ දී සහ ණය ගෙවීම් නිදහස් කළ වාර තුනක දී නොගෙවූ මුදලට පොලිය සැකසීමේ දී ලීසිං ක්‍රමයට ගත්තු වාහනවල මුළු වටිනාකමට පොලිය සැකසුණා. ඒ නිසා පොලිය සියයට 11.5ක් වැඩි වුණා. සියයට 15 තිබුණ ණය වාරිකයක පොලිය සියයට 26.5ක් වුණා. මේ නිසා මූල්‍ය සමාගම්වෙත ලැබුණු අයථා ලාභය බිලියන 18කට වැඩියි. හැබැයි මේ මුදල් රජයට ඇවිත් නැහැ. ලීසිං සහ ණය වාරික ගෙවන්නන්ගේ සංගමයේ සභාපතිවරයා කියන්නේය. 

මෙම කල්බදු මූල්‍ය ක්‍රමය ක්‍රියාත්මක කිරීමේ දී රූපිත නීතිමය වලංගු භාවය පිළිබඳ අප විමසා සිටියේ ලීසිං සහ ණය වාරික ගෙවන්නන්ගේ සංගමයේ නීති උපදේශක සඳරුවන් සේනානායකගෙනි.

“වාහන මිල දී ගැනීමේ ක්‍රම කීපය අතර හැමෝම දන්න ක්‍රමය තමයි කල්බදු ක්‍රමය. ඒ සංකල්පය එන්නේ 2000 අංක 56 කියන කල්බදු මූල්‍යකරණ පනතින්. කල්බදු මූල්‍යකරණ පනතේ අඩුපාඩු ගොඩාක් තියනවා.

මේ පනත යටතේ දේපළක් ගන්න කොට එහි අයිතිකරු වෙන්නේ ඒ සමාගම. ඔවුන් ඒ භාණ්ඩය හෝ උපකරණය අපට දෙන්නේ කුලියට. ඒක ගෙයක් බද්දට ගන්නවා වගේ වැඩක්. ගේ අයිති නෑ. පදිංචිකරුවා ඉන්නේ බද්දට. වාහනයක් අරන් අවුරුදු පහක් හෝ හයක් තිස්සෙ ගෙවන්නේ වාහනේ කුලිය. අවුරුදු පහම ගෙව්වත් සමාගමට පුළුවන් වාහනය දෙන්න හෝ කැමති නම් නොදී ඉන්න. කල්බදු ක්‍රමයට වාහනයක් හෝ දේපලක් ගන්නකොට සමාගම වටිනාකමින් සියයට 60යි ගෙවන්නෙ. ඉතිරි සියයට හතළිහ දෙන්නේ ගැනුම්කරුයි. නමුත් ගැනුම්කරු සියයට හතළිහක් යොදවා පොලියක් එක්ක ඉතිරි සියයට හැටක් ගෙවන්න බැඳුනත් දේපල ගත්තට ඔහුට එහි කිසිිම අයිතියක් නෑ. හදිසියේවත් මේ වාහනයේ වාරික ගෙවා ගන්න බැරි වුණොත් ඒ දේපළ අත්පත් කරගන්න කරන් කැමති විදිහට විකුණන බලයක් සමාගමට තියෙනවා.

මේ පනත ප්‍රකාරව ගිවිසුම අවලංගු කරන්න හෝ වෙනස් කරන්න පුළුවන් දීමනාකරුට විතරයි. මේ තත්ත්වය යටතේ තියන ප්‍රධානම ප්‍රශ්නය තමයි ගෙවා ගන්න බැරි වෙන වාහන සීසර් ලා දාල ගන්නවා. පනතෙ කොහෙවත් සීසර්ලා දාලා වාහන බලෙන් ගන්න පුළුවන් කියලා සඳහනක් නැහැ.

සන්තකයක් ආපසු ගන්නවා නම් අනිවාර්යයෙන් ලියුමක් එවිය යුතුයි. "ඔබ චර්යාත්මක කඩ කිරීමක් කරනවා. ඒ නිසා දවස් හතක් ඇතුළත ගෙවීම් කඩිනම් කරන්න" කියලා. දවස් හත ඇතුළත ගෙව්වෙ නැතිනම් ගිවිසුම අවලංගු කරන ලිපියක් එවිය යුතුයි. එයට පස්සේ තමයි සන්තකය ගන්න පුළුවන්. සන්තකය ගන්න අයුරු පනතේ 27 වැනි වගන්තිය පැහැදිලිව තිබෙනවා. ඒ අනුව සන්තකයට ප්‍රතිරෝධයක් මතු වුණේ නැතිනම් පමණයි ආපසු ගන්න පුළුවන් වෙන්නේ.

දේපළ අයකර ගන්න තුන්වන පාර්ශ්වයක් පත් කරනවා නම් දේපළ තිබෙන තැනට ගිහින් උපකරණය තිබෙන ප්‍රදේශයට අයත් පොලිසියෙ පැමිණිල්ලක් දමා පොලිස් නිලධාරින් දෙදෙනෙක් සමඟයි අදාළ ස්ථානයට ගොස් වාහනය ඉල්ලන්න ඕන. ඉල්ලන ඒ වෙලාවෙදී අනෙක් පාර්ශ්වයෙන් ප්‍රතිවිරෝධයක් මතු වුණොත් වාහනය ගන්න බෑ. පොලිසිය යන්නේ සාමය කඩකිරීමක් නවත්වන්න විතරයි. ඊට පස්සේ සමාගම කළ යුත්තේ දිසා අධිකරණයේ නඩුවක් දමා දිවුරුම් ප්‍රකාශයක් මගින් පෙත්සමක් ගොනු කර වාහනය නැවත සමාගමට ගැනීමට අතුරු ආඥාවක් ගැනීමයි.

එය පහසු වැඩක්. අධිකරණයෙන් සතියක් ඇතුළත අතුරු ආඥාවක් දෙනවා අධිකරණයට වාහනය භාර දෙන්න කියලා. එහෙම දෙන්නෙ නැතිනම් අධිකරණයට අපහාස කිරීමක් විදිහට වෙනම නඩුවක් පැවරෙනවා. වාහනයක් අත්පත් කරගැනීමේ දී පිළිපැදිය යුතු පිළිවෙත ගැන ආර්. ටී. එම් 481 යන පැහැදිලි කිරීම පොලිසියට වෙනම චක්‍රලේඛයකින් එවලා තියනවා පොලිසිය ඒ අනුව කටයුතු කළ යුතුයි.”

එහෙත් මේ වනවිටත් සිදු වෙන්නේ මේ පනතේ හරය අවභාවිත කරමින් සිදු කරන මැරකමකි. මෙම පනත තුළ මැරයන් ලවා වාහන කොල්ල කා ගැනීමට කිසිදු අවස්ථාවක් නැත. මෙලෙස බලහත්කාරකම්, පහරදිම් සහ අපරාධ හරහා වාහන අත්පත් කරගත් සීසර්ලා ට එරෙහිව නඩු පවරා ඔවුන් 68 දෙනෙක් මේ වනවිට ඉන්නේ බන්ධනාගාරයේය. මීගමුව උසාවියෙන් මෙවැනි වාහන පැහැර ගැනීමක් පිළිබඳ ඓතිහාසික නඩු තින්දුවක් ලැබුණේය. එහිදී සමාගම් අධ්‍යක්ෂවරයා විත්තිකරුවෙක් කර උසාවියට ගෙන්වනු ලැබුවේය.

මෙවැනි වාණිජ අකටයුතුකම් සම්බන්ධව පැමිණිලි අවසාන වශයෙන් ගොනුවන්නේ ඔම්බුස්ඩ්මන් වෙතය. රජයේ ඔම්බුස්ඩ්මන්වරයා ලෙස කටයුතු කරන්නේ ආනන්ද කුමාරදාසය.

ඔහු පවසන්නේ වාහන ණය වාරික ගෙවීම් පැහැර හරින්නේ නම් දේපළ සන්තක කැරගැනීමේ බලය මූල්‍ය ආයතන වෙත තිබිය යුතු නමුත් මේ දැනට පවතින අශිෂ්ට මැර ක්‍රමවේදයට නොව විධිමත් නියාමනයක් යටතේ පිළිගත හැකි ක්‍රමවේදයකට බවය. මේ අවස්ථාවට සාමය ආරක්ෂා කිරීමේ පදනමින් පොලිස් නිලධාරීන් යෙදවීම අපේක්ෂිත අරමුණු ඉටු කරන්නක් නොව, මූල්‍ය ආයතනවල බලය එක්කිරීමක් බැවින් ඉන් සාධාරණටයක් වින්දිත පාර්ශ්වයට ඉටු නොවන බව නිරීක්ෂණය කර ඇතැයි ද ඔහු පෙන්වා දුන්නේය.

“වාහනයක් සීස් කරන්න අයිතිය තියෙන්න ඕන. පනත යටතේ සීස් කරන්න ඒජන්ට් කෙනෙක් පත් කරන්න පුළුවන්. සීසින් ඕඩර් එකක් දෙන්නෙ පිළිගත් පුද්ගලයකුට. ඒත් ඒ කටයුතුවලට ඔවුන් යොදවන්නේ පාතාලයේ සාමාජිකයන්. වැලියුවර්ස්ලා වගේ සීසර්ලත් වගකීමක් ගන්න පුළුවන් අය විය යුතුයි.”

මේ මුළු ලීසිං මෙහෙයුමම නියාමනය විය යුතුයි. ඒ සම්බන්ධව මාර්ගෝපදේශයක් හදලා තියෙන්නෙ. මා විශ්වාස කළා ජනවාරි 01 ඉඳලාවත් මේ මාර්ගෝපදේශ බලාත්මක වෙයි කියලා. එය ක්‍රියාත්මක වුණා නම් ඇත්තටම මේ කිසිම ප්‍රශ්නයක් නෑ.

ඔම්බුස්ඩ්මන්වරයාට අනුව දෛනිකව එන දළ වශයෙන් මුළු පැමිණි ප්‍රමාණය දෙසීයක් පමණ බවත් ඉන් පැමිණිලි සියයට පනහක්ම ලීසිං සම්බන්ධ සිදුවීම් බවත්ය.

මෙම ආයතනවල අනීතික හැසිරීම නියාමනය කිරීම මෙන්ම ආර්ථික ගොඩනැඟීමට දායක වෙමින් එය බිඳ වැටුණු අවස්ථාවේ මූල්‍ය ආයතනවලින් බැට කන බරපතළ වින්දිතයන් වූ කුඩා හා මධ්‍ය පාරිමාණ කර්මාන්තකරුවන් නියෝජනය කරන බහුතරය සහිත රටේ ශ්‍රම බළකාය රැක ගැනීමේ නිශ්චිත වැඩපිළිවෙළක් රජය දියත් කරනු ඇතැයි සියල්ලන්ගේම අපේක්ෂාවය.

Comments