
මිඛායෙල් බුල්ගකොව් (1841 - 1940) රුසියානු - සෝවියට් ලේඛකයා විසින් රුසියානු බසින් ලියන ලද ‘සොබාචෙ සෙරද්ස්තෙ’ නම් කෙටි නවකතාව 1925 වසරේ මුද්‍රණයෙන් නිකුත් වූ අතර, එම වසරේම තහනමට ලක් විය.
වෘත්තියෙන් ශල්‍ය වෛද්‍යවරයකු වූ බුල්ගකෝව් සාහිත්‍ය නිර්මාණය පිළබඳ ද උපාධියක් ලද්දෙකි. ඔහු නවකතා සහ නාට්‍ය කිහිපයක්ම රචනා කළේය. ඒවා බොහොමයක් සෝවියට් පාලන සමය තුළ ප්‍රකාශයට පත්කැර ගත නොහැකිව අත්පිටපත් ලෙසින්ම පැවැති අතර මුද්‍රණය වූයේ සෝවියට් පාලනය බිඳ වැටීමෙන් පසුවය. ඔහුගේ කෘතිවලට තහංචි පැනවු නමුත් සෝවියට් පාලනය කුමක් හෝ හේතුවක් නිසා ඔහුට ද්වේශයෙන් සලකන්නට යොමු වූයේ නැත. ඔහුගේ ඇතැම් නාට්‍යයක් සෝවියට් පාලනය විසින් තහනම් කරන ලද නමුත් ඇතැම් නාට්‍යයක් සෝවියට් පාලකයන් විසින් මහත් අභිරුචියෙන් නරඹා ඇති බව ද සඳහන් වෙයි.
Heart of a Dog ප්‍රධාන චරිතය වන්නේ පසුව ෂාරිකෝව් යන රුසියානු පෙළපත් නාමයක් දෙනු ලබන ෂාරික් නමැති බල්ලෙකි. මේ බල්ලා සැත්කමකින් අර්ධ මිනිසකු බවට පරිවර්තනය වේ. සැත්කම කරන්නේ ලොව සුප්‍රකට වෛද්‍ය විද්‍යාඥයකු වන පිලිප් පිලිපොවිච් නමැති මිනිස් සිරුර පිළිබඳ විවිධ අත්හදාබැලීම් කරන වෛද්‍ය විද්‍යාඥයකු විසිනි. ඔහුගේ පර්යේෂණ සහායකයා වන්නේ බෙර්මෙන්තාල් නමැති තරුණ වෛද්‍යවරයෙකි.
පිලිප් පිලිපොවිච් බෙර්මෙන්තාල්ගේ ද සහායෙන් මේ බල්ලාට මියගිය තරුණයකුගේ පිටියුටරි ග්‍රන්ථියක් සහ වෘෂණ ග්‍රන්ථි බද්ධ කරයි. මෙයින් පසු බල්ලා අඩක් මිනිස් ද අඩක් බලු ගතිගුණ ද පෙන්වන්නට පටන් ගනී. මිනිස් වෙස් ගන්නා බල්ලාගේ ඇතැම් තිරිසන් වැඩ නිසා එතෙක් සාමකාමීව පැවැති පිලිප් පිලිපොවිච්ගේ ගෘහස්තයේ සාමය බිඳී යයි.
මෙහි යටි පෙළ කියවන්නකුට අවබෝධ වියයුතු වන්නේ බුල්ගකොව් මේ කියන්නේ රුසියානු විප්ලවය ගැන බවයි. ඕනෑම විප්ලවයකදී සිදු වන්නේ එතෙක් පරණ ක්‍රමයට හැඩ ගැසී සිටි අයට එය උහුලා ගත නොහැකි වීමය. මෙහිදී පිලිප් පිලිපොවිච් මුහුණ දෙන්නෙත් ඒ අත්දැකීමටමය. මේ ඔහු හා සහාය වෛද්‍ය බර්මෙන්තාල් අතර වරෙක ඇතිවූ දෙබසකි.
“ඔබ ලෝකේ දිහා බලන්නේ හරිම අසුබවාදී විදියට, පිලිප්පිලිපොවිච්,” තරුණයා කීය.
“ඒ ගොල්ලෝ මෑතකදී හුඟක් දේවල් වෙනස් කරලා තියෙනවා.”
“යාළුවා තමුසේ මාව හොඳට අඳුනනවා. එහෙම නෙවෙයිද? මං විද්‍යාත්මකව දේවල් දිහා බලන මිනිහෙක්. ඒක රුසියාවෙ මිනිස්සු නෙවෙයි යුරෝපෙ මිනිස්සුත් මං ගැන දන්න දෙයක්. මංමොනවහරි කියනවනම් ඒ කියන්නෙ විද්‍යාත්මක දත්ත මත පදනම් වෙච්චි නිගමන උඩ ඉඳලයි. මෙන්න මං සොයා ගත්තු අලුත්ම දත්ත: කබා එල්ලන රාක්කෙ සහ හිම සපත්තු තියෙන රාක්කෙ”
“ඒක නන් හිත් කා වදින නිරීක්ෂණයක්”
“අර බලන්න හිම සපත්තු තියන රාක්කේ. 1903 ඉඳලා මං මේ ගෙදරයි හිටියේ. එදා ඉඳන් 1917 මාර්තු වෙනකල් අපේ ඉස්සරහ ශාලාවෙන් එක හිම සපත්තු කුට්ටමක්වත් කිසිම දවසක - මේ වචන දෙක මං අවධාරණය කරන්න ඕන - කිසිම දවසක නැතිවෙලා නෑ, ගෙවල්දොරවල් ඇරලා තිබිලත්. මේ ගොඩනැඟිල්ලේ තියෙන්නේ අපේ ගේ විතරක් නෙවෙයි. තව ගෙවල් දොළහක්ම තියෙනවා. එතකොට මගෙන් බෙහෙත් ගන්න එන ලෙඩ්ඩු. ඒත් කිසි හොරකමක් කවදාවත් වෙලා නෑ. මෙහෙම තියෙද්දි 1917 මාර්තු මාසේ එක දවසක ඔක්කොම හිම සපත්තු කුට්ටම් අන්තර්ධාන උණා. මගේ ජෝඩු දෙකකුත් එක්ක. ඊටපස්සේ සැරයටි තුනත්, උඩ කබායක් සහ තේපෝච්චියකුත්. එදා ඉඳලා සෙරෙප්පු තියන රාක්කෙන් වැඩක් නැතිව ගියා. මං අහන්නේ මේකයි. මේ නස්පැත්තිය ඇතිවෙච්චි දා ඉඳල කිරිගරුඬ තරප්පිය දිගේ මඩ සෙරෙප්පු පිටින්ම මිනිසුන් ඇවිදින්නේ ඇයි කියන එකයි මං අහන්නේ. හිම සපත්තු කුට්ටම් අගුල් දාලා වහන්න වෙලා තියෙන්නේ ඇයි. ඒවා හොරුන්ගෙන් ආරක්ෂා කර ගන්න මුරකාරයෙක් දාලා තියන්න වෙලා තියෙන්නේ ඇයි? තරප්පු පඩි පේළියේ පාපිසි අයින් කරලා දාලා තියෙන්නේ ඇයි? තරප්පි පේළිවල පාපිසි තියන්න එපා කියලා කාල් මාක්ස් කොහේවත් කියලා තියෙනවද? කුලුබුකෝව් නිවසේ දෙවැනි දොරටුව වහලා දාලා මිනිස්සු ගේ වටේ ගිහින් පිටි පස්සෙන් ගෙට ඇතුළු වෙන්න ඕනයි කියලා කොහේවත් ලියලා තියෙනවද? මේවා කාගේ වුවමනාවල්ද? කිරිගරුඬ පොළොව ජරා කරන්නෙ නැතිව ඇයි නිර්ධන පාන්තිකයාට බැරි තමන්ගේ හිම සපත්තු පහළ තට්ටුවේ ගලවලා දාලා එන්න?”
සෝවියට් දේශය බිහි වීමට පාදක වූ සමාජවාදී විප්ලවයේ මුල්කොටස 1917 පෙබරවාරි මාසයේ සිදු වු බව සඳහන්ය. (එම ඔක්තෝබරයේ සිදු වූයේ එහි දෙවැනි සහ අවසාන කොටසය.) පිලිප් පිලිපොවිච් මේ කියන්නේ විප්ලවයෙන් පසු රුසියානු මිනිසුන් හොඳටම ‘නරක් වූ’ බවයි. ‘නස්පැත්තිය ඇතිවෙච්චි දා’යනු විප්ලවය ඇරැඹි වකවානුවයි.
විප්ලවයෙන් පසු රුසියානු සමාජය මිනිස් අවයව බද්ධ කරනු ලැබූ බල්ලකුගේ තත්ත්වයට පත් වේ. ‘ඔහු’කරන්නේ බලු වැඩය. එහෙත් ඔහු ඒවා සාධාරණීකරණය කරන්නට වාද කරයි.
වරක් පිලිප් පිලිපොවිච් ෂාරිකොව්ට මෙසේ කියයි. “උඹ ඉන්නේ වැඩෙන අවදියේ පහළම මට්ටමේ. එතකොට උඹට තියෙන්නේ දුර්වල බුද්ධි මට්ටමක්. කොටින්ම කියනවා නම් උඹ ඇවිල්ලා වැඩෙමින් ඉන්න සතෙක්. උඹ කරන්නේ සතෙක් කරන වැඩ. එහෙමත් තියෙද්දි තමයි විශ්වවිද්‍යාල අධ්‍යාපනයක් ලබපු මිනිස්සු දෙන්නෙක් ඉදිරිපිට විලිලැජ්ජා නැතිව උඹ මේ විදියට කතා කරන්නේ. උඹ හදන්නේ ඒ මිනිස්සුන්ට ලෝකේ ගැන ලොකු උපදෙස් දෙන්න. රටේ සම්පත් බෙදන්න ඕන විදිහ මෝඩයෙක් වගේ කියලා දෙන්න.... ”
මේ නවකතාව පදනම් කැර ගනිමින් රුසියානු සහ ඉතාලි භාෂාවලින් චිත්‍රපට දෙකක් නිර්මාණය වී ඇති අතර, ඉංග්‍රීසි බසින් නාට්‍ය කිහිපයක් හා ඔපෙරාවක් ද නිර්මාණය කරනු ලැබ තිබේ.
‘බල්ලකුගේ හදවත’ ගාමිණී වියන්ගොඩගේ කෘතියකි.