පීට්සා ඔස්තාර්ලා රජ කරන ඉතාලියේ කරට කර වැඩ පෙන්නා ලෝක ශූරතා දිනූ ශ්‍රී ලාංකික සූපවේදියා අමල් සතරසිංහ | සිළුමිණ

පීට්සා ඔස්තාර්ලා රජ කරන ඉතාලියේ කරට කර වැඩ පෙන්නා ලෝක ශූරතා දිනූ ශ්‍රී ලාංකික සූපවේදියා අමල් සතරසිංහ

පීට්සා උපන්නේ ඉතාලියේය. 18 වැනි සියවසේ ඉතාලියේ නාපෝලි නුවරින් බිහි වූ නූතන පීට්සා ආහාර විශේෂය අද වෙද්දී ලොව අතිශය ජනප්‍රිය ඉස්තරම් ආහාර වර්ගයකි. බේක් කළ පැතලි රොටියක් මත මොසරැල්ලා, චීස්, තාක්කාලි, මස්, මාළු වශයෙන් ඕනෑම ආකාරයකින් හැඩ දැමූ මේ අපූරු හා ප්‍රණිත ආහාරය සැකසීමට ඉතාලි ජාතිකයෝ ඔස්තාර්ලා වෙති. එවැනි රටක පිටස්තරයකු පීට්සා සූපවේදියකු වීමත් ජයග්‍රහණයකි. පීට්සා ඔස්තාර්ලා රජ කරවන ලෝක ශූරතා පීට්සා තරගාවලියක් ජයගැනීම ඊටත් වඩා විස්මයජනකය. ශ්‍රී ලංකාවෙන් ඉතාලියට ගොස් පීට්සා සූපවේදියකු වූ අමල් සතරසිංහ ඊයේ පෙරේදා ලැබුවේ එවැනි විස්මිත ජයග්‍රහණයකි. ඔහු පීට්සා ඔස්තාර්ලා දුසිම් ගණන් පරාජය කරමින් ලෝක ශුරතාවලියේ ප්‍රධානතම තැනක් ගත් නාපෝලිතාන් පීට්සා තරගයෙන් ලොව තුන්වැනි ස්ථානය දිනා ගත්තේය. එය ලොව රසවත්ම හා ජනප්‍රියතම පීට්සා විශේෂයකි. 

පීට්සා වර්ග 16ක් වෙනුවෙන් උතුරු ඉතාලියේ රිමිනි නුවර පැවැති Campionato del Mondo di Pizza - 2023 ලෝක ශුරතාවලියේ ලැබූ ජයග්‍රහණය ගැන ඉතාලියේ සිට ‘සිළුමිණ‘ට අමල් සතරසිංහ කතා කළේය

‘දින තුනක අවසානයේ ජයග්‍රාහකයන් ප්‍රකාශ කරන මොහොත උදා වුණා. අතිවිශාල ජනකායක් ඒ භූමියේ. මම සහභාගි වුණු ඉසව්වේ නම ප්‍රකාශයට පත් වුණා. මට ඉවසිල්ලක් නෑ.

තුන්වැනි ස්ථානය....!

මගේ නමේ කොටසක් නිවේදනය කරනවා මට හීනෙන් වගේ ඇහුණා. මගේ නම තියෙන වෙන කෙනෙක්ද ? මට එහෙමයි හිතුණේ.

"මෙතන වෙන අමල්ලා නෑ බං..ඒ උඹම තමයි" මගේ සිත මට බෙරිහන් දුන්නා. තත්පර දෙක තුනක් ඇතුළත ගොඩාක් දේවල් කියැවුණා. නිවේදකයාගේ මුවින් "ශ්‍රී ලංකා" නාමය පිටවුණු සැණින් මම හීනෙන් ඇවිදිනවා වගේ වේදිකාවට ගියා.‘ ජයග්‍රහණයේ අත්දැකීම ෙකාතරම් මිහිරිදැයි ඔහුට දැනෙන්නට ඇත.

‘තරග අංශ 16ක් තිබුණා. හැම එකකින්ම වගේ හැමදාම දිනන්නේ ඉතාලි ජාතිකයෝ. ඒත් මේ වතාවේ එක තරගයක් අමෙරිකානු ජාතිකයෙක් දිනා ගත්තා. ඊට පස්සේ තරගයකින් මම තුන්වැනි තැනට ආවා. ඒ හැරුණම කිසිම රටකින් කාටවත් ජයග්‍රහණයක් අත්කර ගන්න බැරි වුණා.‘ ලැබූ ජයග්‍රහණය පිළිබඳ ඉතාලියේ සිට අමල් සතරසිංහ ‘සිළුමිණ‘ට කීවේ එලෙසය.

‘නාපෝලි තමයි පීට්සා උපත ලැබු පළාත. නාපෝලිතාන් පීට්සා කිව්වම ලෝකයේම ප්‍රසිද්ධයි. මෙහේ පළාතෙන් පළාතට පීට්සා වර්ග වෙනස්. ඒත් ක්ලැසික් පීට්සා එක තමයි නාපොලිටාන් පීට්සා එක. මුළු තරගාවලියටම ලෝකයේ රටවල් 20කට වැඩි ප්‍රමාණයකින් තරගකරුවන් 600කට වඩා ලියාපදිංචි වෙලා හිටියා. ඉන් තරගකරුවන් 480ක් විතර සහභාගි වුණා. ඒත් තරග කළේ 460ක් වගේ ප්‍රමාණයක්. තරගයට ඉදිරිපත් වීමෙනුත් සහතිකයක් ලැබෙන නිසා ගොඩාක් අය ආවේ සහභාගි වෙන්න විතරයි. මොකද ඒ සහතිකය ඒ තරමටම වටිනවා. හැමෝම දැනගෙන හිටියා පීට්සා තරගයකින් ඉතාලි ජාතිකයන් පරද්දන්න බෑ කියලා. මමත් ගිය අවුරුද්දේ ලෝක ශූරතාවලියට ගිහින් පරාජය වෙලයි හිටියේ. ඒත් උත්සාහය අතහැරියේ නෑ.‘ ඔහු කීවේය. අදාළ තරග අංකය කතා කළාම විනිශ්චය මණ්ඩලය ඉස්සරහට ගිහින් පීට්සා හදන්න ඕනා. විනිසුරුවරුන් දෙන්නෙක් අධීක්ෂණය කරනවා. පිරිසුදුකම, පාවිච්චි කරන ද්‍රව්‍ය. පීට්සා එක ඩෙකරේට් කරන විදිහ, පාවිච්චි කරන උෂ්ණත්වය වගේ හැම දෙයක්ම අකුරට බලනවා. ඊට පස්සේ තමයි හදපු පීට්සා එක විනිශ්ව මණ්ඩලයට ඉදිරිපත් කරන්නේ. එතකොට අර අධීක්ෂණය කළ විනිසුරුවරුන් දෙන්නත් ලකුණු දෙනවා. ඒ අනුව තමයි ජයග්‍රහණය හෝ පරාජය තීන්දු වෙන්නේ.‘ අමල් විස්තර කළේය.

‘මේ තරගයේදී පාවිච්චි කරන තාක්ෂණයත් හරියටම බලනවා. ආවාට ගියාට පීට්සා හදන්න බෑ. උෂ්ණත්වය එහෙම හරියටම තියෙන්න ඕනා. පීට්සා එකේ ඩෝ එක හදන්න මම පාවිච්චි කළේ මටම ආවේණික තාක්ෂණික ක්‍රමවේදයක්. මම හැමදාම හිතුවේ මේ ආහාර වට්ටෝරුවේ මොනවහරි වෙනස් දෙයක් කරන්නයි. ඒක එච්චර ලෙහෙසි වුණේ නෑ.‘ ඔහු කීවේය.

නාපෝලිටාන් පීට්සා තරගයේ ජයග්‍රාහකයා මෙන්ම දෙවැන්නා ද ඉතාලි ජාතිකයෝ වෙති. පළමුවැන්නට ලකුණු 967ක් ලැබී තිබූ අතර, දෙවැන්නා ලකුණු 919ක් ලබාගෙන තිබිණි. තුන්වැනි ස්ථානය දිනූ අමල් සතරසිංහට දෙවැනි තැන ගිලිහී ගියේ ලකුණු 16කිනි.

‘පිට්සා තරග නම් ඉතින් ඉතාලියම තමයි. මෙහේ ඉන්න අය පරද්දන්න ලෙහෙසි නෑ. එදා තරගයට ඇවිත් හිටපු පීට්සා චෙෆ්ලා දැක්කට පස්සේ මම බිරියට කිව්වා මේක නම් ලේසි වෙන්නේ නෑ කියලා. එතකොට බිරිය කිව්වා මේක දිනන්න නම් ඉතින් හොඳම වැඩකාරයෙක් වෙන්න ඕනා කියලා. මම ඒක හිතට ගත්තා. වැඩකාරයෙක් වෙලා පෙන්නනවා කියලා. ඇත්තටම හරිම අමාරු තරගයක්. චෙෆ්ලා සූදානම් වෙලා එන විදිහ දැක්කම පුදුම හිතෙනවා. කිසිම තරගයකට අත්උදවුකාරයෙක්, ගෝලයෙක් නෑ හැමදේම තනියම කරගන්න ඕනා. විනාඩි දහයක් ඇතුළත වැඩේ ඉවර කරන්න ඕනා. අවශ්‍ය දේවල් හැම දෙයක්ම ගෙදරින් අරන් යන්න ඕනා. ලේසි වැඩක් නෙවෙයි. ඩෝ එක හරි උෂ්ණත්වයට තියාගන්න එක හරිම අමාරු වැඩක්. තරගය තිබ්බේ කිලෝමීටර් 250ක් විතර දුර තැනක. ඒ නිසා මම ඒ පළාතට ගිහින් නිවාස සංකීර්ණයක කාමරයක් කුලියට අරගෙන තමයි හිටියේ දවස් තුනක් තිස්සේ.‘ ඔහු කියන්නේ තරගයට කළ කැපකිරීම ගැනය.

ප්‍රධාන තරගයට අමතරව ඔහු වේගවත්ම පීට්සා තරගයටත් ඉදිරිපත් වී තිබිණි. එම තරගයෙන් ඔහු පස්වැනි තැනට පත් විය.

‘මෙහේ ප්‍රාන්ත තරගවලදී නම් අවුරුදු දෙකක් දිනලා තියෙනවා. වේගවත්ම පීට්සා හොඳම පීට්සා සූපවේදියා හැටියට. ගිය අවුරුද්දේ මුළු ඉතාලියේම මාස්ටර් පීට්සා චෙෆ් තරගයේ තුන්වැනියා වුණා. පළවැනියා වුණානම් මාස්ටර් පීට්සා චෙෆ් රියැලිටි ෂෝ එකට යන්න තිබුණා.‘

අමල්ගේ ජයග්‍රහණය එක් රැයකින් උදා වූවාක් නොවීය. ඒ සඳහා ඔහු දශක දෙකකට ආසන්න කාලයක් කැප කර ඇත. වසර 2003දී ඉතාලියට ගිය අමල් සිය සූපවේදි ජීවිතය ආරම්භ කිරීමෙන් පසු මුලින්ම තරගයකින් ජයගත්තේ 2009 වසරේදීය.

‘2014 ඉඳලා දිගටම තරගවලින් දින්නා. අවුරුදු 15ක් තිස්සේ. ඒවා හරි වටිනවා වෘත්තීය ජීවිතයට. මේ වෙද්දි තරග 25කට 30කට විතර සහභාගි වෙලා ජයග්‍රහණ අත්කරගෙන තියෙනවා. තරගාවලි දෙකක විතර අවසන් වටයේ තරගයට පැරීසියට ගියා.‘

අමල් පදිංචිව සිටින මධ්‍යම ඉතාලියේ ටස්කානි පළාතේ ලුක්කා නගරයේ ජනතාව ද ඔහුගේ මේ ජයග්‍රහණයේ කොටස්කරුවෝ වෙති. ඔවුන් සිතන්නේ අමල් ලෝක ශූරතා ජයග්‍රහණයකින් ලුක්කා පළාතට කීර්තියක් අත්කර දුන් බවය. ජනතාව පමණක් නොව ලුක්කා නගරාධිපතිවරයා වන මාරියෝ පර්ඩිනි ද අමල් දැක බලා ගැනීමට ඔහු සේවය කරන අවන්හලට පැමිණ තිබිණි.

‘මගේ මුහුණුපොතේ පිටුවේ පණිවිඩයක් දාලා තිබුණා මාව බලන්න එනවා කියලා. මම විශ්වාස කළේ නෑ. ඒත් අන්තිමේදී නගරාධිපතිවරයා එයාගේ බිරිඳත් එක්කම ඇවිත් මාව මුණ ගැහිලා සුබ පැතුවා. මා එක්ක පින්තූර ගන්න ඕනා කිව්වා. මගෙන් ඇහුවා මේ ජයග්‍රහණය ගැන ප්‍රෙස් එකට දුන්නද කියලා. ඇත්තටම මම එහෙම කරලා තිබුණේ නෑ. නගරාධිපතිවරයා ඇවිත් ගිහින් දවස් දෙකකට පස්සේ මෙහේ හැම පත්තරේකම වගේ මගේ ජයග්‍රහණයේ තොරතුරු පළවුණා. අන්තර්ජාලයේ පිටු ගණන් මගේ ඡායාරූප එක්ක තොරතුරු පළවුණා. ඒ වගේම රූපවාහිනී නාලිකාවලින් ඒවා ප්‍රචාරය වුණා. දැන් මිනිස්සු මාව බලන්න අවන්හලට එනවා. ඉතාලි ජාතිකයන් මම යන යන තැන මාව වටකරගෙන සෙල්ෆි ගහනවා. එගොල්ලෝ කියන්නේ මම ලුක්කාවලට කීර්තියක් ගෙනාවා කියලයි. ඒක ලෝක ශූරතා ජයග්‍රහණයේ මම නොදැකපු පැත්තක්.‘ අමල් සඳහන් කළේය. 

ඔහු මේ ජයග්‍රහණය අත්කර ගැනීමට පෙර ඉතාලියේ වැනීසියේ පිහිටා ඇති ලොව පිළිගත් Accademia Pizzaioli හි පාඨමාලාවක් හැදෑරූ අතර, ඉන් ලද දැනුම හා තාක්ෂණය ලෝක ශූරතාවලියට ඉවහල් වූ බව ඔහු කියා සිටියේය.

සූපවේදියකුට ලබාගත හැකි ඉහළම සුදුසුකම වන මාස්ටර් ඉන්ස්ට්‍රක්ටර් ඔෆ් පීට්සා (Master Instructor of PIZZA) නම්බුනාමය එය වන අතර, ශ්‍රී ලාංකිකයකු එවැනි පීට්සා ජාත්‍යන්තර සහතිකයක් ලැබූ පළමු අවස්ථාව එය විය. ඔහුගේ නමට ඉදිරියෙන් දැන් එම නම්බුනාමය පීට්සා සම්බන්ධ කාරණාවලදී භාවිතයට ගැනෙන්නේ මාස්ටර් ඉන්ස්ට්‍රක්ටර් ඔෆ් පීට්සා අමල් සතරසිංහ යනුවෙනි. ලොව ඕනෑම රටක පීට්සා උපදේශකවරයකු ලෙස සේවය කිරීමට ඉහළම සුදුසුකම එය විය. මාස්ටර් ඔෆ් පීසා ඉන්ස්ට්‍රක්ටර්‘ පාඨමාලාව හැදැරීමට අමල් සමඟ අමෙරිකානු, ඉතාලි, රුසියා සහ චීනයේ පීසා සූපවේදින් රැසක්ම එක්වී සිටි අතර, එකම ශ්‍රී ලාංකේයා වූයේ ද අමල් ය.

‘මේ සහතිකය ලැබීමට පාඨමාලා පහක් සම්පූර්ණ කළ යුතුව තිබුණා. ඒ පාඨමාලා 5ම සමත් වීමෙන් පසුවයි උපදේශකවරයකු ලෙස කටයුතු කිරීමේ සහතිකය ලැබෙන ප්‍රායෝගික හා ලිඛිත විභාගය පැවැත්වෙන්නේ. උනන්දුව, ආශාව, කැපවීම තියෙනවා නම් ලෝකය ජයගන්න එක අපිට එච්චර අමාරු වෙන්නෙ නෑ.‘ ඔහු පැවැසීය.

ලොව පුරා රටවල් 15ක ශාඛා පිහිටා ඇති පීසා ඇකඩමියේ මූලස්ථානයේදී අමල් ලැබූ සහතිකය ඔහුගේ පීසා සූපවේදි වෘත්තියේ අග්‍රඵලයයි. එපමණක් නොව ඔහු දැන් තමා පාඨමාලාව හැදෑරූ එම ඇකඩමියේම බාහිර කථිකාචාර්යවරයකු ලෙස ද කටයුතු කරයි.

‘මම ඒ ඇකඩමියේ ඉතාලි භාෂාවෙන් ප්‍රායෝගික සූපවේදය උගන්වනවා. ඉතාලිය, ඇල්බේනියාව, මොරොක්කෝව, ස්පාඤ්ඤය, ඔස්ට්‍රියාව වගේ රටවල සිසුන් විශාල ප්‍රමාණයක් එහි අධ්‍යාපනය ලබනවා.‘ ඔහු කීවේය.

මේ සියලු ඉලක්ක වෙත යෑමට ඔහු සන්නද්ධ වූයේ කාලයක සිටය. දශකයකට වැඩි කාලයක් ඉතාලියේ ජීවත්වීමෙන් ඉතාලි බස මැනවින් හසුරුවීමට හැකියාව ලැබුණද, අමල් කියන්නේ ඔහුට නිවැරැදි ව්‍යාකරණ සහිතව ව්‍යක්ත ලෙස බස හැසිරවීමේ අවශ්‍යතාව තිබූ බවය.

‘මම ඉතාලියට ඇවිත් මුලින්ම කළේ අවන්හලක පිඟන් හෝදන රස්සාව. මාසයක් විතර ඒක කළා. ඊට පස්සේ තමයි පොඩ්ඩ පොඩ්ඩ ඉස්සරහට ආවේ. හැබැයි මම පීට්සා සූපවේදි රැකියාව තෝරාගත්තා විතරක් නෙවෙයි ඒක වැඩිදුරටත් ඉගෙන ගත්තා. නොයෙකුත් පාඨමාලා කළා. දැනුම එකතු කරගත්තා. 2013 දි වගේ මම හිතුවා ඉස්සරහට යන්න ඕන නිසා භාෂාව අත්‍යවශ්‍යයි කියලා. ඒ නිසා ඉතාලි භාෂාව ගැන වෙනම පාඨමාලාවක් කළා. ඒක රජයේ පාඨමාලාවක්. පාඨමාලාවෙන් පස්සේ මම විශ්වවිද්‍යාලයට තේරුණා. ඒත් යන්න විදිහක් තිබුණේ නෑ. දරු පවුලක් එක්ක මම ඉතාලියේ ගත කරන්නේ කාර්යබහුල ජීවිතයක්. විශ්වවිද්‍යාලයට කාලය වෙන් කරන්න අමාරුයි.‘ ඔහු සඳහන් කළේය.

අමල් ලුක්කා නගරයේ පිහිටි Dante & Gentucca අවන්හලේ ප්‍රධාන සූපවේදියා සහ කළමනාකරු ලෙස සේවය කරන්නේ වසර 5ක පමණ කාලයක සිටය. ‘මේ අවන්හලේ රැකියාව කරන අයත් මම පුහුණු කළ අයම තමයි.‘ ඔහු කීවේය.

පීට්සා සූපවේදියකු ලෙස ජාත්‍යන්තරය ජයගත් අමල් ක්‍රිකට් ක්‍රීඩකයෙකි. ඉතාලි පීට්සා ලෝලීන්ගේ රසනහර පිනා යන ආකාරයේ පීට්සා හදන අමල් එරට ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලියාපදිංචි පළමුපෙළ ක්‍රිකට් විනිසුරුවරයෙකි. මුල්ලේරියාව රාහුල මහා විද්‍යාලයෙන් සහ කොළඹ නාලන්දා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ ක්‍රිකට් ක්‍රීඩකයකු ලෙස ඉතාලියේදී දස්කම් පෑ අතර, මේ වන විට එරට අතිශය ජනප්‍රිය ටී-10 තරග බිමේ නොම්මර එකේ ජ්‍යෙෂ්ඨ විනිසුරුවරයෙකි. ඔහුගේ විනිශ්චය කටයුතු ඉතාලි ක්‍රිකට් පාලක මණ්ඩලයේ ඉහළ අගැයීමට ලක්වූ අවස්ථාවන් ද අපමණය.

‘අපේ ලංකාවේ අයටත් ඕනෑම ක්ෂේත්‍රයට හැකියාව තියෙනවා. අවශ්‍ය වෙන්නේ දිරිගැන්වීම විතරයි. අපි හිතාගෙන ඉන්නවා නම් ජාත්‍යන්තරයට යන්න පුළුවන් වෙන්නේ ක්‍රිකට් ක්‍රීඩාවෙන් විතරයි කියලා මට කියන්න තියෙන්නේ නෑ අපිට සූපවේදයෙනුත් ජාත්‍යන්තරය ජයගන්න පුළුවනි. අපේ ජානවල ඒ හැකියාව අඩු නැතිව පිහිටලා තියෙනවා. මෙහේ ආවොත් පුදුම වෙයි ලංකාවේ ගොඩාක් අය ඉන්නවා මෙහේ අවන්හල්වල ප්‍රධාන සූපවේදියෝ හැටියට රැකියාව කරන.‘ අමල් එසේ කීවේය.

‘මට ඕන කවදාහරි දවසක ඉතාලියේදී ශ්‍රී ලංකාවේ ධජය ඔසවන්නයි. මාස්ටර් චෙෆ් රියැලිටි වැඩසටහනට යන්න අවස්ථාව ලැබුණොත් මම ඒක කරනවා. ඊළඟ ඉලක්කය පීට්සා ඔලිම්පික් වගේ තරගාවලියකට යන්නයි.‘ අමල් සතරසිංහ වැඩිදුරටත් කීවේය.

‘මේක ඇත්තටම කලාවක්. මේ පීට්සා නිර්මාණ කලාව කැපවීම හා උනන්දුව ඇති ඕනෑම කෙනකුට හදාරන්න පුළුවන්. මම පුදුම විදිහට දැනුම හොයාගෙන යන කෙනෙක්. ඕනෑම විෂය ක්ෂේත්‍රයකින් දැනුමක් ලබන්න අවශ්‍ය නම් මම ඕනෑම මුදල් ප්‍රමාණයක් ඒ සඳහා වියදම් කරනවා. මම මේ පීට්සා කලාව ඉගෙන ගත්තෙත් ඒ විදිහටයි‘ ඔහු එසේ කීවේය.

අමල්ගේ පවුලේ සාමාජිකයන් සිවුදෙනෙකි. බිරිය ඉන්දු ජයවික්‍රම ද ක්‍රිකට් ක්‍රීඩාවට හපනියකි. පුතු ඉනෝන් නිම්සඳු සහ දියණිය ඉනොලි විසාක්‍යා මේ අපූරු පීට්සා සූපවේදියාගේ ජීවිතයේ කොටස්කරුවෝ වෙති.

Comments