
අපේ රටේ පාර්ලිමේන්තුවට රැගෙන යන්නේ ලංකාවේ හදන දේශීය බිත්තර පමණකි. මැති ඇමැතිවරුන් ගේ ගෙවල්වලට ද දේශීය බිත්තර හැර, රට බිත්තර මිලට නොගන්නා බවට කතාවක් ඇසේ. කුලියාපිටියෙන් වැඩිමනත් එන දේශීය බිත්තර ඔවුන් කෙසේ හෝ ලබා ගන්නා අතර, සති තුනකට ආසන්න කාලයක් කෙරවළපිටියේ කූල් රූම්වල තැන්පත් කොට ඇති රට බිත්තර ටික දැන් දැන් සාමාන්‍ය පුරවැසියාට විකුණන්නට සූදානම් බව බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය ඇතුළු සිවිල් සංවිධාන රැසක් චෝදනා කරයි.
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ නමක්කාල් ප්‍රදේශයේ ඓශ්වර්යා ෆාම් සමාගමෙන් මිල දී ගත් එම පළමු බිත්තර තොගයෙන් බිත්තර ලක්ෂ පහක් පසුගිය 29 වැනි බ්‍රහස්පතින්දා සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයටත් තවත් ලක්ෂ කිහිපයක් ශ්‍රී ලංකන් කේටරින්, හිල්ටන්, perera and sons වැනි දැවැන්ත ආහාර නිෂ්පාදන ආයතනවලටත් ලබා දුන් බව මාධ්‍ය වාර්තා කර තිබුණේ මෙවැනි පසුබිමක ය.
කෙසේ වෙතත්, සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන් ගේ සංගමයේ සභාපති සරත් රත්නායක උද්ගතව ඇති තත්ත්වය පිළිබඳ අදහස් දැක්වූයේ මෙලෙසිනි.
" ඉන්දියානු බිත්තරේ බර ග්‍රෑම් 35 - 45යි. නමුත් අපේ බිත්තරේ ග්‍රෑම් 55 - 70ක් බරයි. ග්‍රෑම් එකක් 84 - 85 ක් වෙනවා. හැබැයි පාරිභෝගික අධිකාරිය ගැසට් ගහලා තියෙන්නේ සුදු බිත්තරයක් රු. 44ටත්, රතු බිත්තරයක් රු. 46 ටත්. බේකරි හිමියන්ට පුළුවන් නම් ඉන්දියානු බිත්තරය ග්‍රෑම් එකක් සත 85 ගානේ ගන්න, අපි දෙනවා ග්‍රෑම් එකක් සත 80ට.
මේ වෙනකොට ලංකාවේ හැම එළවළුවක්ම පලතුරක්ම දියරයක් ම විකුණන්නේ කිලෝ ගාණට. මේ අවුරුදු සමයේ සංගමයක් විදියට අපිත් තීරණයක් ගත්තා, බිත්තර කිලෝ ගාණට විකුණන්න. නමුත් අපේ මේ යෝජනාවට පාරිභෝගික අධිකාරිය හරහට ඉන්නවා. නෛතික රාමුව තුළ අපට එසේ කළ නොහැකි බවයි, ඔවුන් කියන්නේ. අපි දැන් ඒ පිළිබඳ සොයා ගෙන යනවා. මේක පාරිභෝගිකයාට කරන අසාධාරණයක්. මොකද, බේකරි හිමියන් තමයි හැමදාම 90%ක්ම ලොකු බිත්තර ටික ගන්නේ. ලොකු බිත්තර දුන්නේ නැතිනම් ඒ අය ගන්නෑ. ඉතින් හැමදාම සාමාන්‍ය පාරිභෝගිකයාට එන්නේ, මධ්‍යම සහ කුඩා බිත්තර ටික. කිලෝ ගාණට විකිණුවා ම හැම දෙනාටම සාධාරණයක් වෙනවා.
කිලෝවකට පොඩි බිත්තර 28ක් අල්ලනවා. මධ්‍යම බිත්තර නම්, 23-24ක් සහ ඊළඟ මධ්‍යම බිත්තර 18-20ක් අල්ලනවා. ලොකු ම බිත්තර 16-17යි. මේ ලොකුම බිත්තර ටික තමයි හැමදාම බේකරි හිමියාට ගියේ. අප්‍රේල් 6 බ්‍රහස්පතින්දා වන විටත් ගොවීන්ගෙන් බිත්තරයක් ගත්තේ රුපියල් 46 ට. සමහර වෙළෙඳුන් විකුණන්නේ 57 ට. මේ සියලු ප්‍රශ්න විසඳෙනවා කිලෝ ගාණට බිත්තර දුන්නා ම.
පැටවුන් 15,000-25,000 දාපු කුකුළු ගොවිපළවල දැන් සතුන් ලොකු වෙලා. බිත්තර දාන්න පටන් අරන්. අවුරුදු සමයේවත් මිනිස්සුන්ට රුපියල් 50ට මෙහා බිත්තරයක් විකුණන්න අවස්ථාව දෙන්න කියන එකයි අපි කියන්නේ. රජය අවසර දෙනවා නම් රුපියල් 48- 50ට පාර තියාගෙන හරි මේ උත්සව සමයේ බිත්තර විකුණන්න ගොවීන් ලෑස්තියි. ක්‍රියාත්මක කරන්න පුළුවන් යෝජනා දෙකක් තියාගෙන, ඉන්දියාවෙන් නොදන්නා බිත්තර ගෙනැත් මිනිස්සුන්ට බලෙන් කවන එකෙන් දේශපාලකයා ගේ සාක්කුවට විතරයි හොඳක් වෙන්නේ..."
මේ තත්ත්වය පිළිබඳ සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති, එන්.කේ. ජයවර්ධන මෙසේ පැවසීය.
" අප සංගමයේ ලියාපදිංචි බේකරි 6000ක් තිබෙනවා. නමුත් තවම ඒකෙන් 100කට වත් බිත්තර දීගන්න බැරි වුණා. හේතුව කූල් රූම් පහසුකම් නැති එක. දැනට කෙරවළපිටියේ කර්මාන්ත පුරයේ තිබෙන ශීත ගබඩාවල තමයි මේවා තැන්පත් කර තිබෙන්නේ. අපගේ සංගමය හරහා දැනට ලක්ෂ පහක් බෙදා හැර තිබෙනවා ඊට අමතරව, ලක්ෂ 20 ක් රජය සෘජුවම ප්‍රධාන පෙළේ හෝටල් සහ බේකරිවලට දී තිබෙනවා. ඔවුන් නම් බිත්තර 475,000ක් අල්ලන කන්ටේනර බැගින් රැගෙන යනවා. මොකද ඔවුන්ට ඒ පහසුකම් තිබෙන නිසා. අපිට තවම බෙදාහැරීමේ ජාලයක් නැහැ. අරගෙන තියා ගන්න ක්‍රමයක් නැහැ. දුර පළාත්වලට යවා ගන්න ක්‍රමයක් නැහැ. නමුත් තව සතියක් යනකොට මේ ප්‍රශ්න විසඳෙයි. ඔය බිත්තර නැවේ එන්නෙත් කූල් රූම්වල. අපේ දේශීය බිත්තරත් එහෙම තියෙනවා නම් මාස තුනක් තියාගන්න පුළුවන්. සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව STC එකට සහ අපිට තදින් ම නීතිරීති පනවා තිබෙනවා. ඒවාට අනුගත ව තමයි මේ බෙදාහැරීම කරන්න වෙලා තියෙන්නේ.
රජය මේ පියවර නොගත්තා නම් අද බිත්තරයක් ගන්න වෙන්නේ 70ට 80ට. දැන් දේශීය ගොවීන් ලෑස්තියි 50ට දෙන්න කැමැතියි. බිත්තර කිලෝ ගාණට ගන්න එක අපිට ප්‍රශ්නයක් නෙවෙයි. අපිටත් ඕනේ අපේ රටේම බිත්තර ටික හදාගෙන, මේ මාෆියාව නැති කරන්න..."
සමස්ත ලංකා ආපන ශාලා හිමියන් ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මේ පිළිබඳ අදහස් දැක්වූයේ මෙලෙසිනි.
"ජයවර්ධන මහත්තයා පෙනී ඉන්නේ, රට බිත්තරේ වෙනුවෙන්. අපි සංගමයක් විදියට පෙනී ඉන්නේ මේ රටේ පොදු පාරිභෝගිකයා වෙනුවෙන්. ඒ නිසා අපි මේ රට බිත්තරයට තදින්ම විරුද්ධයි. හේතුව, ජනාධිපතිවරයා නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනඟන්න කතා කරන වෙලාවේ, දේශීය බිත්තර නිෂ්පාදකයන් වළපල්ලට ඇද දමන තීන්දුවක් කෘෂිකර්ම සහ වෙළෙඳ අමාත්‍යවරු ගෙන තිබෙනවා.
අපි කුලියාපිටිය ගොවිපළ ගණනාවකට ගියා. ලබන මාසේ වෙනකොට බිත්තර ලක්ෂ 4-5ක් වෙළෙඳපොළට එන්න ලෑස්තියි. විෂයභාර ඩී. බී. හේරත් ඇමැතිවරයා මේ ගැන හොයා බැලුවා ද? ඒ පළාත්වල ගොවීන් සහ සිවිල් සංවිධාන කොයිතරම් ඇවිටිලි කළත්, මේ එක ඇමැතියෙක් වත් ඒ පළාතට ගිහින් බැලුවේ නැහැ.
ඉන්දියාවෙන් ගෙන් වූ බිත්තරයට දැන් සති තුනක් පැනලා. තවමත් කූල් රූම්වල. මේවා නඩත්තු කරන්න යන මුදල ගණනය කළා ද? ඒ මදිවාට වෙළෙඳ ඇමැති කියනවා, තවත් බිත්තර මිලියන 30ක් ගෙන්වනවා කියලා. එයට යන මුදල ඩොලර් මිලියන 1.8ක්. මේ සල්ලි කන්දරාව දේශීය ගොවියාට දුන්නා නම්, අර ජනාධිපතිවරයා කියන දේශීය නිෂ්පාදන ආර්ථිකය බිත්තරවලිනුත් හදන්න පුළුවන්.
අපි කියන්නේ, මේ බිත්තරේ ම එල්ලිලා නොඉඳ මිනිස්සුන්ට කන්න මාළු, කරවල මිල අඩු කරන්න. හාල් මැස්සට ගහලා තියෙන බදු ඉවත් කරන්න. ඒ වාසිය පාරිභෝගිකයාට දෙන්න. එවිට මේ රටේ දුප්පත් දරුවෝ හාල්මැස්සෙක් එක්ක හරි බත් ටිකක් කයි.
කොමිස් කාක්කන්ට ලේසියෙන්ම කුට්ටිය උපයන්න පුළුවන් නිසයි, නැව් පිටින් රට බිත්තර ගේන්නේ. ඉන්දියානු බිත්තරේ කටු වළලන්න කිව්වා. අල්ලද්දී ග්ලවුස් දාන්න කිව්වා. දැන් මේ කන්ටේනර් ගණන් අරන් ගිය ලොකු ආපණශාලාවල අය ඔය විදියට ම කරනවා ද කියලා හොයලා බලනවා ද ? කරනවා නම් මාධ්‍යයටත් පෙන්වන්න.
අනික, මේ රට බිත්තර හෝදන්නේ තුවාල හෝදන හයිඩ්‍රජන් පෙරොක්සයිඩ්වලින්. ඒවා හොඳද? රතු තීන්තෙන් බිත්තර පුරා අකුරු ඉලක්කම් සීල් ගහලා. මේවා සියුම් බිත්තර කටුවෙන් ඇතුළට උරන්නේ නැතිද? ඒ තීන්ත මිනිස් ශරීරයට හොඳද? කවුද මේවා ගැන හොයලා බැලුවේ? අපේ එකම ආපන ශාලාවකටවත් ඔය නොදන්නා රට බිත්තරේ ගන්නේ නෑ කියලා, අපි තීන්දු කරලා ඉවරයි.
අනික, බිත්තර ප්‍රශ්නයට දැන් මාස අටක්. අපි රජයට කිව්වා, සමෘද්ධිලාභී පවුල්වලට නිකම්ම සල්ලි බෙදන්න එපා, ඒ අයට කිකිළි පැටවු ටිකක් ඇති කරන්න දෙන්න, එවිට ගෘහාශ්‍රිතව මහන්සියෙන් කීයක් හරි උපයා ගන්න ඒ අයත් පෙලඹෙනවා. නමුත් රජය ඒක කළේ නැහැ. තවම නිකම් සල්ලි බෙදනවා. හැබැයි අපේ ගම්වල මිනිස්සු ඒ දේ කළා. දැන් ඒ ගම්වල කිකිළියෝ විසි තිස් දාහක් බිත්තර දාන කාලේ ඇවිත්. ඒ වෙලාවේම බිත්තර නැව් ඉන්දියාවෙන් ගෙනැත්.
කොරෝනා කාලේ බිත්තර මිල අඩුවෙලා ගොවිපළ වැහෙනකොට කිරි බිත්තර ඇමැති මොනවද කළේ? ඇයි රජය සතු ෆාම්වලින් ප්‍රමාණවත් නිෂ්පාදනයක් එළියට නො එන්නේ? දේශීය කර්මාන්තයට මොකද වෙන්නේ? මේ කිසි දෙයකට විසඳුම් නොදෙන කිරි බිත්තර ඇමතියෙක් කෝටි ගණන් ජනතා මුදල් යට කර අපි නඩත්තු කරනවා..."
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සත්ත්ව පාලනය පිළිබඳ ආචාර්යවරයකු ලෙස වසර 40 ක අත්දැකීම් ඇති, ජාතික පශු සම්පත් මණ්ඩලයේ සභාපති එච්. ඩබ්ලිව්. සිරිල් රාජ්‍ය පාර්ශ්වයෙන් ලබා ගත හැකි, එහෙත් ජනතාව වැඩිමනත් නොදන්නා කරුණක් පිළිබඳ පැහැදිලි කළේ මෙලෙසිනි. " පශු සම්පත් මණ්ඩලය යටතේ රජයේ ගොවිපළ 32ක් තිබෙනවා. ඉන් 4ක් ම කුකුළු අභිජනන ගොවිපළවල් . ඉන් තුනක ම අභිජනනය කරන්නේ, දිනක් වයසැති බ්‍රොයිලර් කුකුළු පැටවුන්. මාරවිල ගොවිපළේ බිත්තර දමන කිකිළි පැටවුන් විතරක් ම අභිජනනය කරනවා. ඒ වගේම, කුලියාපිටිය ගල්පොකුණ ගොවිපළේ ගෙවල්වල ඇති කරන ගං කිකිළි පැටවුන් විතරක්ම අභිජනනය කරනවා.
ලංකාවේ ඕනෑම බිත්තර නිෂ්පාදකයකුට පුළුවන් උසස් තත්ත්වයේ බ්‍රොයිලර් කිකිළි පැටවුන් 20,000-30,000ක් වැනි ප්‍රමාණයක් වුවත් කලින් ඇණවුම් කර අපෙන් මිල දී ගන්න. ඒ වගේම ගෘහාශ්‍රිතව ඇති කරන අයට වුණත් පුළුවන්, කිකිළි පැටවුන් 100-200 ක් වැනි පොඩි ප්‍රමාණයක් වුවත් ලබා ගන්න.
පහුගිය කාලේ බිත්තර මිල පහත දැමීමෙන් වුණේ බිත්තර දමමින් සිටි කිකිළියන් දහස් ගණනක්, බිත්තර නිෂ්පාදකයන්ම මසට විකුණපු එක. කුකුළු කෑම, ගෑස් මිල, විදුලිය ඉහළ දැමීමත් සමඟ ඔවුන්ට මේ තත්ත්වය දරා ගත නොහැකි වුණා. ඒකෙන් අපේ පැටවුන්ගේ ඉල්ලුමත් අඩු වුණා. වෙනදාට අපේ ගොවිපළවල පේරන්ට්ස් පරම්පරාවේ සතුන් කාණ්ඩ හතරක් තියාගන්න එක, කාණ්ඩ දෙකයි තියාගන්න වුණේ. බිත්තර මිල පහළ බැසීමත් සමඟ ඇති වූ මේ තත්ත්වය මත ගොවීන් පැටවුන් මිලදී ගැනීම් අඩු කළ නිසා, මාස හතක් විතරම මේ මාරවිල ගොවිපළ දිව්වේ අධික පාඩු පිට.
දැන් තමයි ටිකක් ඔළුව උස්සගෙන එන්නේ. දැන් යළිත් බිත්තර නිෂ්පාදකයන්ගෙන් කිකිළි පැටවුන් සඳහා ඉල්ලුමක් ඇතිව තිබෙනවා. අපෙන් පැටවුන් ලබා ගන්නට නම් කලින් ඇණවුම් කළ යුතුයි.
අපි ජනතාවට දැනුම් දෙනවා, දේශීය බිත්තර හිඟ කාලවලට මුහුණ දෙන්න වෙන්නේ නැහැ, තමන් ම ගෙදර සතුන් ටිකක් හදාගන්න පුළුවන් නම්. රාජ්‍ය ආයතනයක් විදියට අපි සූදානම්, සාධාරණ මිල ගණන් යටතේ ගං කිකිළි හෝ බ්‍රොයිලර් කිකිළි පැටවුන් ලබා දී ඒ සඳහා ජනතාවට උදව් කරන්න..."