
නීතියේ අර්ථ නිරූපණයට අනුව අපරාධයක් යනු මුළු මහත් සමාජයටම එරෙහිව කරන වරදකි. අපරාධයක් නිසා සමස්ත සමාජයටම භීතියක් ඇති වන අතර, අපරාධ වින්දිතයන් පමණක් නොව සාමාන්‍ය ජනතාව ද එම අපරාධයේ බලපෑමට යටත් වේ. අද මෙන් නොව නොව එකල මිනීමැරුම් වැනි භයානක අපරාධ පිළිබඳ ඇසීමට ලැබුණේ ඉතා කලාතුරකිනි. එම නිසා කිසියම් ස්ථානයක මිනීමැරුමක් සිදු වූ විට ජනතාව කම්පාවට සහ භීතියට පත් වූහ. මේ කලකට පෙර මෙරට එවකට ජනප්‍රිය සිනමා ශාලාවක් අසල සිදු වූ ඝාතනයක් සම්බන්ධ කතාවක් වන අතර, එය වසර 1977 දක්වා අතීතයට දිවෙන්නෙකි.
අසූවේ දශකයේ මැද භාගය වන තෙක් මෙරට සිනමා කර්මාන්තය ඉතා ඉහළ තලයක පැවතුණි. එකල මෙරට සිනමාහල් අති විශාල සංඛ්‍යාවක් පැවති අතර, උදෑසන 10.30, 2.30, 6.30 සහ 9.30 ලෙස දිනකට දර්ශන වාර හතරක් විය. තවද එකල සිනමාහල්වල ගැලරිය අනිවාර්ය අතර, නාගරික ප්‍රදේශවල අඩු ආදායම්ලාභී ජනතාව සුළු මුදලක් වැය කර ගැලරියේ චිත්‍රපට නැරඹූහ. සිනමා දර්ශනවලදී විටෙක හූ හඬ ද තවත් විටෙක සිනා හඬ මෙන්ම විසිල් ගැසීම ද ගැලරියෙන් මතුවීම වැළැක්විය නොහැකිය.
කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශය අද තරම් ජනාකීර්ණ නොවුණත් එදා ද එක ළඟ පිහිටි නිවෙස්වලින් සමන්විත ජනයා බහුල ලෙස ගැවසුණු ප්‍රදේශයක් විය. රජයේ ඉඩම්වල අනවසරයෙන් පදිංචි පවුල් රාශියක් ලෑලි ගෙවල්වල ජීවත් වූ අතර, බොහෝ අය කම්කරු රැකියාවල නිරත වූ අය වූහ. මෙසේ දවස තිස්සේ කය වෙහෙසන ඔවුන් සැඳෑ කාලයේ නීති විරෝධී මත්පැන් හලකට ගොස් මධුවිත සප්පායම් වී නුදුරු සිනමා හලක ගැලරියට රිංගා ඉඳහිට චිත්‍රපටයක් නැරඹීමට අමතක කළේ නැත.
ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි දයාරත්න, පාරුක් ,රෝහිත සහ තිලක් යන අය මිතුරන් වූ අතර, නුදුරින් පිහිටි ජෙසිමා සිනමා ශාලාවේ රාත්‍රී නමයයි තිහේ දර්ශනය නැරඹීමට අවම වශයෙන් සතියකට වරක්වත් පුරුදු වී සිටියහ.1977 වසරේ සැප්තැම්බර් 17 වැනිදා සුපුරුදු පරිදි මෙම සිවුදෙනා නමයයි විසිපහට පමණ ජෙසිමා සිනමා ශාලාවට පැමිණියේ රාත්‍රි නමයයි තිහේ දර්ශනය නැරඹීමටය. එදින ප්‍රදර්ශනය කරන ලද්දේ එවකට ජනප්‍රිය ක්‍රියාදාම විත්‍රපටයකි. ඔවුන් සිවුදෙනා නමයයි තිහේ දර්ශනය නරඹමින් සිටි අතරතුර ජෙසිමා ග්‍රේ නැමැති කාන්තාවගේ නිවෙසට ජිනදාස නම් පුද්ගලයකු පැමිණියේය. ජෙසිමා ග්‍රේ, පාරුක්ගේ සහෝදරිය වූ අතර, ජිනදාස ජෙසිමා අමතා ප්‍රකාශ කළේ තමාට දයාරත්න හමුවීමට අවශ්‍ය බවයි.
දයාරත්න තම සහෝදරයා සහ තවත් දෙදෙනකු සමඟ ජෙසිමා සිනමා ශාලාවේ චිත්‍රපටයක් නරඹන බව ඇය ප්‍රකාශ කළ නමුත් ජිනදාස එකහෙළාම කියා සිටියේ තමන් ට ඉක්මනින් දයාරත්න හමුවීමට අවශ්‍ය බවයි. ජිනදාසගේ බලවත් පෙරැත්ත කිරීම නිසා පණිවිඩය රැගෙන ජෙසිමා ග්‍රේ සිනමා ශාලාවට ගියාය.
ජෙසිමා ග්‍රේ ගේ දැනුම් දීම අනුව දයාරත්න සහ පාරුක් සිනමාහලින් එළියට පැමිණ ජෙසිමාගේ නිවෙසට ගියේ ජිනදාස හමුවීමටය. එහෙත් එහි ජිනදාසට අමතරව සුමතිපාල සහ සුමනදාස යන දෙදෙනා ද සිටියහ. දයාරත්න දුටු වහාම ජිනදාස ඔහුට තර්ජනාත්මක ප්‍රකාශයක් කළේය.
"උඹ අපේ මේ යාළුවො දෙන්නට විරුද්ධව පොලිසියේ පැමිණිල්ලක් දාල තියෙනවා. හෙට උදේම ගිහින් ඒක අස්කර ගනින්"
"ඒ මොකටද මම පැමිණිල්ල අස්කර ගන්නේ ? උඹ කවුද මට එහෙම කියන්න "
දෙදෙනා අතර වචන හුවමාරුව තීව්‍ර වන අතරතුර එම ස්ථානයට තවත් පුද්ගලයන් දෙදෙනකු පැමිණි අතර, ඔවුන් ද ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචිකරුවන්ය. ඒ දෙදෙනා රෝහිත සහ තිලක්ය. රෝහිත සහ තිලක් යනු දයාරත්න සහ පාරුක් සමඟ ජෙසිමා සිනමා ශාලාවේ සිටි දෙදෙනාය.
ඔවුන් දෙදෙනාගේ පැමිණීමත් සමඟ ජිනදාසගේ ස්වරය තවදුරටත් උච්ච විය.
"දයාරත්න, මැරුම් නොකා පැමිණිල්ල හෙට උදේ අස්කර ගනින් "
ජිනදාසගේ තර්ජනය හමුවේ නොසැලී සිටි දයාරත්න අවධාරණය කළේ තමන් කිසිසේත්ම පැමිණිල්ල අස්කර නොගන්නා බවයි.
දයාරත්නගේ එම ප්‍රකාශයත් සමඟ කෝපය ඉහවහා ගිය ජිනදාස තම ඉනෙන් පිස්තෝලයක් පිටතට ගත්තේය. ඔහු එය දයාරත්නට එල්ල කරනවාත් සමඟම ජිනදාසගේ මැදට පනිමින් සහ කෑගසමින් ජෙසිමා ග්‍රේ කියා සිටියේ දයාරත්නට වෙඩි නොතබන ලෙසයි. තම ඉලක්කය සපුරා ගැනීමට බාධා කිරීම නිසා ජිනදාස බලවත් ලෙස කෝපයට පත් වූ අතර, ඔහු ජෙසිමා දෙසට පිස්තෝලය හරවා වෙඩි තැබුවේය. තත්පර කීපයක් ඇතුළත වෙඩි පහරින් තුවාල ලබා ජෙසිමා ග්‍රේ ලේ විලක් මැද මැරී වැටුණාය.
ඉන් මොහොතකට පසු මුළු පළාතම හඬ නංවමින් බෝම්බයක පිපිරුම් හඬ ඇසුණු අතර, එය සුමතිපාල විසින් ගැසු බෝම්බයක් බව පසුව අනාවරණය විය. එම බෝම්බය පිපිරීමෙන් දයාරත්නගේ මිතුරකු වන රෝහිත තුවාල ලැබුවේය. වෙඩි ප්‍රහාරය සහ බෝම්බ ප්‍රහාරය අතරතුර දයාරත්න සහ පාරුක් ඉවතට පැන දිව ගිය නමුත් ඒ වන විටත් සුමනදාසගේ කඩු පහරක් නිසා දයාරත්නගේ වම් අතට බරපතළ තුවාල සිදු වී තිබුණි.
සිනමා ශාලාව අසල සිදු වූ බෝම්බ ප්‍රහාරයෙන් පසුව අවට ජනතාව එතැනට රැස් වූ අතර, පොලිසියට දුන් දැනුම් දීම මත ටික වේලාවකට පසු පොලිසිය පැමිණ විමර්ශන කටයුතු ආරම්භ කළේය. ඒ අනුව සිනමා ශාලාව අසල තිබුණු ලේ පැල්ලම් සහ බෝම්බයේ කොටස් පිළිබඳ පොලිසියේ ඇස මුලින්ම යොමු විය.
ඒ අතර ජෙසිමාගේ මළ සිරුර පිළිබඳ පරික්ෂණ කටයුතු සිදු කළ අධිකරණ වෛද්‍ය නිලධාරියාගේ නිගමනය වූයේ ජෙසිමාගේ ශරීරයේ දකුණු ප්‍රදේශයෙන් උණ්ඩය ඇතුළු වී ශරීරය හරහා ගමන් කර අක්මාවට සහ ප්ලීහාවට බරපතළ හානියක් සිදු කර ඇති බවයි. තවද වෙඩි තැබීමෙන් ඇති වූ කම්පනයෙන් සහ රක්තපාතය නිසා ජෙසිමාගේ මරණය සිදු වී තිබෙන බව ඔහුගේ නිගමනය විය.
මෙම අපරාධය සිද්ධිමය වශයෙන් ඉතා සංකිර්ණ එකක් විය. සංකීර්ණ අපරාධයකදී විත්තිකරුවන්ට එරෙහිව චෝදනා ගොනු කිරීම ඉතා පරෙස්සමින් කළ යුතුය. පොලිසිය මේ සිද්ධිය සම්බන්ධව පුද්ගලයන් කිහිප දෙනකු අත්අඩංගුවට ගන්නා ලද නමුත් එම සියලුම දෙනාට එරෙහිව නීතිපතිවරයා අධිචෝදනා ගොනු කළේ නැත. මෙම නඩුවට අදාළ විත්තිකරුවන් තිදෙනකු නිශ්චය කර ගැනීමට නීතිපතිවරයා සමත් විය. නීතිපතිවරයා විසින් පළමු වැනි විත්තිකරු ලෙස නම් කළේ ජිනදාසය. ඔහුට එරෙහිව ගොනු කළ චෝදනාව වූයේ ජෙසිමා ග්‍රේ වෙඩි තබා ඝාතනය කිරීමයි. දෙවැනි විත්තිකරු ලෙස නම් කළේ සුමතිපාලට එරෙහිව බෝම්බ ප්‍රහාරය පිළිබඳ චෝදනාව එල්ල කරන ලදී . තුන්වැනි විත්තිකරු ලෙස නම් කළේ සුමනදාසය. ඔහුට එරෙහිව ඉදිරිපත් කළ චෝදනාව වූයේ දයාරත්න කඩුවෙන් කපා තුවාල කිරීමය.
මහාධිකරණයේදී ජූරි සභාවක් ඉදිරියේ නඩුව විභාග කිරීම සිදු කරන ලදී. මෙම නඩු විභාගය අතරතුර විශේෂ සිදුවීමක් විය. එනම්, නීතිපතිවරයා විසින් දෙවැනි විත්තිකරු වන සුමතිපාලට එරෙහිව ගොනු කළ චෝදනා ඉල්ලා අස්කර ගත්තේය. මෙම නඩු විභාගයේදී තවත් වැදගත් සිදුවීමක් විය. එනම්, දින ගණනාවක් තිස්සේ පැවති නඩු විභාගයෙන් පසුව ජූරි සභාව විසින් තෙවැනි විත්තිකරු වන සුමනදාස සියලුම චෝදනාවලින් නිදහස් කිරීමය. එම තීරණය ජූරියේ ඒකමතික තිරණය විය. තවද ජූරි සභාවේ සියලුම සාමාජිකයන්ගේ තීරණය වූයේ පළමුවැනි විත්තිකරු වන ජිනදාස මිනීමැරුමකට නොව සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයකට වරදකරු බවයි. කෙසේ වෙතත් මහාධිකරණ විනිසුරුතුමාට ඇති බලය අනුව විනිසුරුතුමා ජූරියට දන්වා සිටියේ එම තීරණය නැවත සලකා බලන ලෙසයි. ඒ අනුව නැවත රැස් වූ ජූරිය තීරණය කළේ විත්තිකරු වන ජිනදාස මිනීමැරුම් චෝදනාවට වරදකරු වන බවයි. ඒ අනුව ජිනදාසට මරණීය දණ්ඩනය නියම කළේය.
ශ්‍රී ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහයට අනුව මරණය සිදු කිරීමේ අදහසින් හෝ මරණය සිදු විය හැකි අන්දමේ ශාරීරික පාඩුවක් සිදු කිරීමේ අදහසින් හෝ තමා කරන යම් ක්‍රියාවකින් මරණය වීමට ඉඩ ඇති බව දනිමින්ම යම් ක්‍රියාවක් කිරීමෙන් මරණය සිදු කරන තැනැත්තා සාවද්‍ය මනුෂ්‍ය ඝාතනය නම් වරද සිදු කරයි. තවද දණ්ඩ නීති සංග්‍රහයේ දැක්වෙන්නේ බැහැර කරන ලද අවස්ථාවලදී හැර අන් අවස්ථාවලදී සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයක් මිනීමැරුමක් වන බවයි. ඉන් එක් බැහැර කරන ලබන අවස්ථාවක් වන්නේ ප්‍රකෝප කිරීමකින් කෝපය ඇවිස්සීම නිසා තමා ප්‍රකෝප කළ තැනැත්තා හෝ වැරදීමකින් හෝ අහම්බෙන් වෙනත් අයකු ඝාතනය කිරීමයි.
මහාධිකරණය විසින් ලබා දුන් නඩු තීන්දුවට එරෙහිව අභියාචනාවක් ඉදිරිපත් කිරීමට ජිනදාස තීරණය කළ අතර, එම අභියාචනාව සඳහා අවසරය හිමි විය. අභියාචනාධිකරණය හමුවේ විභාග වන නඩුව සඳහා ජිනදාස එවකට ශ්‍රී ලංකාවේ සිටි අපරාධ නීතිය පිළිබඳ ඉතා විශිෂ්ට පරිචයක් ඇති අධිනීතිඥ කොල්වින් ආර් ද සිල්වා මහතා ගේ සේවය ලබා ගත්තේය. අපරාධමය වරදක් සම්බන්ධ චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වුවහොත් මිස විත්තිකරු හෝ විත්තිකරුවන් වැරදි කරුවන් වන්නේ නැත. ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා මහතා මෙම විත්තිකරු සම්බන්ධව නීරික්ෂණය කරන ලද වැදගත් කරුණක් වූයේ ජිනදාස මෙහිදී මිනීමැරුමක් කර ඇති බවට කිසිදු විද්‍යානුකූල සාක්ෂියක් නොමැති බවයි.විත්තිකරු වන ජිනදාස මෙහිදී සිදු කළ ඝාතනය මිනීමැරුමක් ලෙස සැලකිය නොහැකි බවත් එය හුදු සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයක් පමණක් බවත් කොල්වින් ආර් ද මහතා තර්ක කළේය. තම තර්කය ඔහු වැඩිදුරටත් පැහැදිලි කරමින් ප්‍රකාශ කර සිටියේ දයාරත්න විසින් ජිනදාස ප්‍රකෝප කර ඇති බවත් එම කෝපය මත සිදු කරන මනුෂ්‍ය ඝාතන සාවද්‍ය මනුෂ්‍ය ඝාතන වන බවයි. ඒ අනුව ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ එන ප්‍රතිපාදන යටතේ ප්‍රකෝප වී ඇති අවස්ථාවලදී සිදු කරන ඝාතන සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයක් වන අතර, ජිනදාස මෙහිදී තම ඉලක්කය සපුරා ගැනීමට බාධා කළ ජෙසිමා ග්‍රේ ඝාතන කර ඇත .ඒ අනුව මෙය කිසිසේත්ම මිනීමැරුමක් ලෙස සලකා තීන්දුව ප්‍රකාශ කිරීම නීතියට අනුව විද්‍යානුකූල නොවන බව ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා මහතා ඉදිරිපත් කළ එක් ප්‍රධාන තර්කයක් විය. තවද නඩුවේ සාක්ෂි ලබා දුන් පුද්ගලයාගේ සාක්ෂිවලින් ද මෙම ඝාතනය සාවද්‍ය මනුෂ්‍යය ඝාතනයක් බව මැනවින් ඔප්පු වන බව ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා මහතා ප්‍රකාශ කළේය. කෙසේ වෙතත් මෙහිදී රජයේ නීතිඥයා කියා සිටියේ මෙම ඝාතනය මිනීමැරුමක් බවයි. දෙපාර්ශ්වයේම කරුණු සලකා බැලූ අභියාචනාධිකරණය තීරණය කළේ විත්තිකරු සාවද්‍ය මනුෂ්‍ය ඝාතනය සම්බන්ධව වැරදිකරු වන බවයි. ඒ අනුව අභියාචනාධිකරණය විසින් විත්තිකරුට එරෙහිව බරපතළ වැඩ සහිත වසර හතක සිරදඬුවමක් නියම කළේය. 1977 වසරේ රටේ ඉමහත් ආන්දෝලනයක් ඇති කළ ජෙසිමා ග්‍රේ ඝාතන නඩුව විභාගය ඒ ආකාරයට නිමාවට පත් විය.
කෙසේ වෙතත් මෙම නඩුවේදී ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ ඇතුළත් සාවද්‍ය මනුෂ්‍ය ඝාතනය සහ මිනීමැරුම් යන වරදවල් සම්බන්ධව දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ අතර, එම අපරාධ දෙකේ ඇති වෙනස ද ඉතා හොඳින් විග්‍රහ කරන ලදී. එම නිසා ජෙසිමා ඝාතන නඩුව මේ රටේ නඩු තීන්දු ඉතිහාසයේ වැදගත් තැනක් සනිටුහන් කරයි.
නීතිඥ එස්.එම්. ජයසූරිය