කවි සිළුමිණ | සිළුමිණ

කවි සිළුමිණ

මුළු ගෙද­රම ඩිජි­ටල් අවු­රුද්දේ

පහ­නක් දැල්වෙන මල් පැල­යක් නෑ
නොඉ­ඳුල් අහ­රක් පුදන වගක් නෑ
ඉන්ට­නෙට් එකෙන් නැකැත් බලාලා
අවු­රුදු කුමරා කොළඹ වඩි­නවා

ඔන්චිලි වාරම් ටික් ටොක් රැඟුමේ
රබන් සුරල් පද යූ ටියුබ් එකේ
පවුලෙ ඈයො තැන තැන බිසි වාගේ
මුළු ගෙද­රම ඩිජි­ටල් අවු­රුද්දේ

අම්මා කිරි­බත ටික්ටොක් කර­නවා
තාත්තා ටී වී චැනල් කිර­නවා
ලැප් ටොප් නෙට්ෆ්ලික්ස් පුතා බල­නවා
දෝණි­යැන්දා එෆ් බී සැරි­ස­ර­නවා

හිරු දෙවි­යන් වඩි­නවා කියන්නේ
සතු­ටින් පිරි ගේ දොරට ළමුන්නේ
ටීවී මොබ­යිල් ලැප් සම­ඟින්නේ
කෙලෙ­සද අවු­රුදු සතුට ලබන්නේ

අජන්ත සෙනෙ­වි­රත්න


 කොත­රම් මිහි­රක්ද?

වන­මල් පිපී හැඩවී ගේ අබි­යස ලන්ද
තැන තැන ඇසෙයි ඔන්චිලි වාරම් සද්ද
ගම හැම තැනම පැති­රෙයි අති­රස සුවඳ
කොත­රම් මිහි­රක්ද සිංහල අවු­රුද්ද

කේ.ඒ. රාජ­වංශ


නග­රයේ අවු­රුදු

අයි­සින් අතුරා කැට­යම් කරලා
කේක් හැදෙන හැටි බලන් සුදු
සාප්පු මාර්කට් ඇතුළේ තද බද
නග­රයේ අවු­රුදු බලන් සුදු

ගල් අතුරා ඇති වත්ත පුරා නැත
එර­බදු පිපෙන්න ඉඩක් සුදු
රූප පෙට්ටියේ කොවුල් නාද­යත්
මිහි­රියි අහ­ගෙන ඉඳිමු සුදු

නව සඳ අහ­සට එබි­කම් කරද්දි
වෙන­ස්ක­මක් නොදැ­නේවි සුදු
ගමේදි පෙනෙනා ඒ ලස්සන සඳ
නැක­තට මෙහි සිට බලමු සුදු

මාලතී රූපිකා


අවු­රුදු වෙනස

එර­බදු මල් පෙති වැටිලා
රබන් පද අද නැව­තිලා
ඔන්චිලි වාරම් සැඟ­විලා
කොවුල් හඬ ගොළු වෙලා

චාන්දනී දේවිකා පුංචි­හේවා


ක්ෂණික අවු­රුදු මේසය


හෙළ බොජු සිරි­තට
කැවුම් කොකිස්
ෆුඩ් සිටි සිරි­තට
කේක් බනිස්
ගිල ගිල හනි­කට
අනු­භව නැක­තට
වැඩ නම් හරි­යට
අවු­රුදු දව­සට
දරු­වන් ටියු­ෂන්
ඇද­ගෙන යන විට
නෑ හිත මිතු­රන්
ඈතට වී ඇත

ලය­නල් ගමගේ


අවුරුදු සුබාසිරි

කැවුම් කිරිබත් කොකිස් අළුවා සුවඳ
පැතිරෙන බක්මහේ
නැවුම් මුට්ටියේ ඉදුණු සුවදැල් හාලෙ
රස බත බක් මහේ
වැසුම් හඬ මැද රබන් පද බැඳ නැඟුන
සුරලින් බක් මහේ
පියුම් මල්ගෙන බුදු පුදට යමු
පෙර සිරිතටම අපි බක්මහේ

ආනන්ද අබේවික්‍රම


අවු­රු­ද්දට සැර­සෙමු

එර­බදු මල් පිපෙයි ගම හැඩ කොට යසට
කර­ළින් බරව කෙත්වතු නට­නව හැඩට
ඉඳ­හිට කොවුල් හඬ ඇහෙ­නව අපේ ගමට
සිංහල අවු­රුද්ද එනවා බක් මහට

අති­රස, කැවුම්, කිරි­බ­ත්වල සුවඳ දිගේ
හිත්වල නැවුම් ගති­යක් නළි­ය­නව වගේ
නව දලු දාන ගහ­කොළ දඟ කරන අගේ
හෙළ කුල සිරි­ත්වල සුන්දර ගතිය හැඟේ

එක මව කුස උපන් දරු­වන් ලෙසට සිතා
පසෙ­කට දමා අස­ම­ගි­කම් රුදුරු කතා
හෙළ දූ පුතුන් ලෙස එක ලෙස සතුට පතා
අවු­රු­දු­ව­ලට සැර­සෙමු හෙළ දියුණ පතා

ගාමිණි චන්ද්‍ර­සේන


නව අවු­රුදු සිරි­යා­වයි

වසන්ත කාලෙට අවු­රුදු සිරි­යා­වයි පරි­ස­රයේ
හිරු කුම­රුන් මංග­ල්ලෙට සැර­සෙ­නවා ලහි ලහියේ
සුදුසු වලා මල් යහනේ පහස ලබන දින හෙළි වේ
අවු­රුදු කුම­රිය නැක­තට හිනැ­හෙන වලු කල එළියේ

ගැඹුරු සයුර තර­ණය කර නෑදෑ­යින් එන පියඹා
කුරුලු කැලේ ආසිරි ගී නාද ඇසෙයි සිත කලඹා
අසිරි මවන සුදු දිය ඇලි ගලන මිහිරි සිරි නරඹා
මියුරු සිහින සිතට දැනේ අවු­රුදු කාලය අරඹා

සිරි දන්ත­නා­රා­යන


ආද­ර­බර මුදු සුන්දර කොවු­ලාන

නවම් මහේ මත්
හඬනා කොවු­ලාන
අම­තක ඇයි
බක් මහ රෑ
කිරි­සුදු සඳ­පාන
ඉර­බදු මල්
හිනා­වෙලා පිපු­ණාම
තනි­යක් දැනේදෝ
තව ඉගි­ළෙයි
හිත් ගිර­දුන් රෑන
සුර සැප ලැබෙ­න්නට
හැඬු­වත් කොවු­ලාන
ඉකු­ලුම් පමණි
අව­සානේ දුක ගේන
හනි හනි­කට මවු බිම
වෙත පියඹා යන්න
ආද­ර­බර ප්‍රිය තෙපු­ලන
මුදු සුන්දර කොවු­ලාන

විශ්ව ජය­ම්පති බණ්ඩා


අවු­රුදු කාලේ


කැවු­මක පුසුඹ
මග හැරුණ ද
සුළං පොදට...
එර­බදු පොකුරේ
හැඩ වත
නොදු­ටුව ද නෙත...
පංචා පෙතක
එක­මුතු මුකුළු
සිහි­වෙ­නව ද නිතර
කුලුණු කඳු මැද්ද කුටියේ
නැක­තට කැවිලි
මිල­යට ගෙන ආවා ද...?
නොස්ටැ­ල්ජියා මත­කයේ
කිරි උතු­ර­වමු ද..?

පරා­ක්‍රම ඒක­නා­යක


අවු­රුදු සිරි

උණ වෙඩි රබන් හඬ ගම නිර­තුරු ඇසෙන
වැඩි­හිටි දෙගුරු ළඟ සැම දෙන දණ නැමෙන
අවු­රුදු සිරිත් සුපු­රුදු දන මන රැඳුන
මත­කෙට කරයි කොවු­ලන් ගම කොන සැඟුන

නිම­කර ගෙබිම පිල ඔප­කර ඇමද ගොම
අම­තක කරන් පෙර කල කී වැරදි සැම
සම­ඟිව එක­මු­තුව අවු­රුදු කරන නිම
නිම නැති සතුට ඇත ඉති­රිව සැමගෙ ළැම

ටී.ඇම්. පොඩි­රා­ල­හාමි


ලොව සැන­සේවා

තෙපලා සුමි­යුරු වදන්
සන­සනු සැම­සිත් තුටින්
විස කටු­වැනි රුදු බසින්
පෙළනු එපා සත දුකින්

රුවන් රිදී මුතු මැණික්
නියම කළැකි හොඳ මිලක්
මියුරු රසැති මුදු වදන්
අමි­ලය ලොව නැති නිමක්

අරු­තක් නැති පුහු වදන්
යවු­ලකි පෙළනා සවන්
සත­හට නොමැ­තිය සියුම්
සතු­ටක් කිසි කල එයින්

රත්න­පාල වික්‍ර­ම­සිංහ


අවු­රුදු පැතුම

සම්මා සම්බුදු රැස් දහර ලොව තුළ විහි­දේවා
සතර වරම් දෙවි පිහි­ටෙන් ලෙඩ දුක් දුරු වේවා
සැම මොහො­ත­කම සතු­ටට මුල් තැන හිමි වේවා
උදා­වුණ සිංහල අවු­රුද්ද සැමට සුබ වේවා

ඩබ්.පී. ඉන්ද්‍රානි


අවු­රුදු මංගල්ලේ


කොහෝ හඬින් ලද ඇර­යුම් අර­ගෙන
බක්මා­සය මෙහි පැමි­ණෙන්නේ
එර­බ­දු­මල් මැද ඔංචි­ලි­වා­රම්
ගැයෙන හඬින් සිත් පිබි­දෙන්නේ

අටු­කොටු සාරයි දැයම උදා­රයි
සතුටු සිනා හඬ පැති­රෙන්නේ
ගත වෙහෙසා ලද අස්වනු තර­මට
කැවි­ලි­පෙ­විළි නොවැ සැක­සෙන්නේ

එදි­රි­වා­දු­කම් අම­තක වී ඇත
නෑ සිය මිතු­රන් පැමි­ණෙන්නේ
තෑගි භෝග ලද ළමා ළපටි මැද
වැඩි­හිටි සොම්නස ඉති­රෙන්නේ

කුමාරි කුම­ර­සේ­කර


බක්මහ සිරිය

වැට අද්දර පේළි­යට සිටවා ඇති එර­බඳු ගස් තුරු හිස
රතට රතේ රත් පැහැ­යෙන් පිපි පොකුරු මල් තුරු හිස
ඉද්ද අර­ලිය කොබෝ­ලීල පොකුරු පොකුරු පිරි තුරු හිස
බක් මහ කුම­රිය පරි­ස­රය ලස්ස­නට හැඩ කරන තුරු හිස

දෙරණ සිසාරා කෙත්වතු සරු සාරෙට පැසෙ­න්නයි
අලුත් සහ­ලෙන් අටු කොටු නොඅ­ඩුව පිරෙ­න්නයි
හැම සිත­කට සතුට සාමය සෙනෙ­හස පිරෙ­න්නයි
බක් මහ කුම­රිය දෙර­ණත සිරි අසි­රිය මව­න්නයි

සුනේත්‍රා ප්‍රේම­සු­න්දර


රිවි දෙවි හිනැ­හෙන මංගල අසි­රිය


මල්බ­රව වස­ත්සිරි පරි­ස­රය මඳ­හ­සිනි
අස්වැන්න නෙළාලා කමත් කෙළි මඬුලු විනි
ගඩා­ගෙඩි වලු බරව තුරු­ලතා සහ තුටිනි
කොලු රැලක් එහි සුවඳ විඳ ගන්න ඉවෙන් මෙනි

රස කැවිලි අතර මැද කිරි­බ­තක් පෙනෙන්නා
මේසෙ මැද තෙල් පහන රජ වරම් ලබන්නා
වෙඩි හඬක් ළං ළංව ගිඟුම් දී ඇසෙන්නා
මීන­යෙන් මේෂ­යට රිවි දෙවිඳු වඩින්නා

සරත් කුමාර වික්‍ර­මගේ


අවු­රුදු සිරි­සර


දුප්පත් පොහො­සත් ලොකු පොඩි කවු­රුත්
සොම්නස් ගඟු­ලැ­ල්ලක නාවා
නග­රත් ගම්බද පෙදෙ­සෙත් මිහි­රක් ඇති කර
නව අවු­රුදු ආවා
තුටු­වෙන් ජාතික කෙළි සෙල්ලම් දැක ලංකා­වම
කල එළි වුවා
සැප­වත් දිවිය ද සාමය සතුට ද පිරි­පුන්
නව වස­රක් වේවා

අමු­වල අම­ර­සේන


සූරිය නම­ස්කාර


ඉරා තිර අඳුරු පට
ගලා එයි හිරු එළිය
මෙතෙක් පෑ තරු එළිය
බියව යයි රිවි රැසට
පණ­දෙ­මින් තුරු හිසට
ඇළ­දො­ළට පන් විලට
පුබු­දු­වයි හිස් මනස
අලුත් දව­සක් ලෙසට
දොළොස් පැය­කට පහන
සොඳුරු කර­වන සිහින
ඔබට දින මිණ කියන
නමද කදි­මැයි සුපින
බැද්දෙ මල් පිපී­යන්
බක් මාසෙ බැබ­ළි­යන්
ඉරු දෙවිඳු වැඳ පුදන්
අලුත් අවු­රුදු වරෙන්

රඹු­ක්කන කීර්ති එස්. කුමාර

Comments