
ශ්‍රී ලංකාවේ ජනගහනය පසුගිය 2022 වසර අවසන් වන විට මිලියන 22ක් හෙවත් කෝටි 2.2කට ආසන්න විය. අපේ රටේ ජනගහනය ඉක්මවා ගිය ජංගම දුරකතන පාරිභෝගිකයන් සංඛ්‍යාවක් මෙරට සිටින බව මේ වන විට වාර්තා වී තිබේ. සංඛ්‍යාත්මකව පෙන්වා දෙනවා නම් වසර 2022 වන විට මෙරට ජංගම දුරකතන සිම්පත් මිලියන 32.29ක් නිකුත් කර තිබේ. ඒ අනුව එක් අයකුට එක් ජංගම දුරකතනයක සිම් කාඩ්පත් පත් දෙකක් භාවිත වන තරමට හෝ ජංගම දුරකතන දෙකක් තුනක් භාවිත කරන තරමට එය අතවශ්‍ය භාණ්ඩයක් වී තිබේ.
එවන් අත්‍යවශ්‍ය මෙවලමක් වන ජංගම දුරකතනය හදිසියේම සොරකම් කළහොත්.......?
අපි මේ සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග හා ජංගම දුරකතනය සම්බන්ධ අනෙකුත් තොරතුරු මොනවාදැයි පළමුවෙන්ම විමසා සිටියේ විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා (මහජන දැනුවත් කිරීම්) මේනකා පතිරණගෙනි.
‘අද වෙනකොට ජංගම දුරකතනයෙන් නොගන්න වැඩක් නැති තරම්, එය විටෙක ස්කෑන් යන්ත්‍රයක්, තවත් විටක ආලෝකය ලබා දෙන පන්දමක් (ටෝච් එකක්) වන්නත් පුළුවන්. කැමරා වීඩියෝ වගේම බොහෝ දේ සිදු කරන භාණ්ඩයක් වෙලා අවසන්.
ඒ වගේම නවීන ස්මාට් දුරකතනවලින් ලෝකෙ ඕනෑම තැනක කෙනෙක් සමඟ සමාජ ජාලා ඔස්සේ හිතාගන්නවත් බැරි අඩු මුදලකින් කතා කරන්න අපට පුළුවන්. ඉස්සර වගේ ගමනක් යනකොට නිවැරදි මාර්ගය සොයා ගන්න එක එක පුද්ගලයන්ගෙන් ඇසිය යුතු නැහැ. අපිට ‘ගූගල් මැප්‘ හරහා පාර කියලා දෙන්නේ ජංගම දුරකතනයයි.
තොරතුරු ගබඩා කරන්නට, ලියකියවිලි හුවමාරු කරන්නට ජංගම දුරකතනයකින් සිදු කරන කාර්යයන් කියා නිම කරන්නට බැහැ. කෙසේ නමුත් මේ තරම් ඔබට සමීප ජීවිතයට වැදගත් වූ ජංගම දුරකතනය හදිසියේම නැති වුණොත් මොකද කරන්නේ.
මෙහිදී ඔබ කළ යුතු වැදගත්ම කාර්යය ගැන පළමුව අවධානය යොමු කළ යුතුමයි.
ජංගම දුරකතනයක් නැති වුණොත් පළමුව කළ යුතු දේ ගැන බොහෝ දෙනෙකුට ලොකු අවබෝධයක් නෑ. පළමුව කළ යුත්තේ සිම්පත විසන්ධි කරන එකයි. ඔබ සිම් පත විසන්ධි නොකර හිටියොත් වෙනත් කෙනෙක් භාවිත කර වැරදි කටයුත්තක නිරත වුණොත් එහි වගකීම ඔබට භාර ගන්නට සිද්ධ වෙනවා. ජංගම දුරකතනයේ පැවැති සිම්පත වෙනත් සොරකම් කරපු දුරකතනයකට යොදා භාවිත කළහොත් එහි වගකීම ද ඔබට බාර ගැනීමට සිදු වෙනවා.
විශාල පිරිසකට මේ ආකාරයේ අකරතැබ්බවලට මුහුණ දෙන්නට සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා ජංගම දුරකතනය අස්ථානගත වුණොත් සිම්පත විසන්ධි කිරීම ප්‍රථමයෙන්ම කළ යුතු කටයුත්තක් බව විශේෂයෙන්ම අවධාරණය කර ගන්න. එමෙන්ම දුරකතන සමාගම සම්බන්ධ කරගෙන ඔබට නැවත එම අංකයටම ඒ සිම්පතක් ඒ ආකාරයටම ලබාගන්න පුළුවන්.
දෙවනුව කළ යුත්තේ නැතිවූ ජංගම දුරකතනයේ IMEI අංකයත් සමඟ දුරකතනය අස්ථානගත වූ ප්‍රදේශයට අයත් පොලිසියේ පැමිණිල්ලක් කිරීමයි. IMEI අංකය ඔබ සතුව නැතිනම් අදාළ දුරකතන සමාගම සම්බන්ධ කරගනිමින් IMEI අංකය ලබාගැනීමට ඔබට හැකියාව තියෙනවා. ඔබ සතුව IMEI අංකය නොමැතිව පොලිස් ස්ථානයේ පැමිණිල්ලක් දැමීමට යන්න එපා. එය කාලය දා දැමීමක් පමණයි.
ඒ වගේම විශේෂයෙන්ම දැනුවත් කළ යුතු අනෙක් කරුණ තමයි දැන් පොලිසියට යාම අත්‍යවශ්‍යම නොවන බව. ඒ වෙනුවට ඉතාම සාර්ථක විකල්පයක් මෙන්ම ඉහළම තාක්ෂණික ක්‍රමවේදයක් තියෙනවා.
ඒ අන්තර්ජාලය හරහා වෙබ් අඩවියකින් පැමිණිල්ලක් ගොනු කිරීමයි. ඒ සඳහා විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාවට පැමිණීම අත්‍යවශ්‍ය නැහැ.‘
විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා එසේ පවසද්දී අප අවධානය යොමු කරන්නේ පොලිසියට ගොස් සිදු කරන්නට යන පැමිණිල්ල ගැනය. පොලිසියට යාමට පෙර අනිවාර්යෙන්ම සිම්පත හිමිකරුගේ ජාතික හැඳුනුම්පත, වලංගු රියැදුරු බලපත්‍රය හෝ ගමන් බලපත්‍රයක් හෝ වෙනත් පිළිගත හැකි ලියවිල්ලක් තිබිය යුතු බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව පවසයි. පොලිස් ස්ථානයට ගොස් පැමිණිලි කරන්නේ නම් දුරකතනය සොරකම් කළ බල ප්‍රදේශයේ පොලිස් ස්ථානයට පැමිණිල්ල කළ යුතුය. එහිදී අදාළ ජංගම දුරකතනයේ ඉමි අංකය (IMEI) අනිවාර්යෙන්ම පැමිණිලිකරු විසින් දැනගත යුතුය. පෙර සඳහන් කළාක් මෙන් හිමිකරු ඉමි අංකය නොදන්නේ නම් අදාළ දුරකතන සමාගමෙන් එය ලබාගත හැකිය.
එහෙත් දුර ගමනක් යන්නෙක් නම් හෝ දුරකතනය සොරකම් කර ඇත්තේ තමන් කිසිසේත් දන්නා හඳුනන කිසිවකුත් නැති නොදන්නා පළාතකදී නම් පොලිසිය සොයා ගොස් පැමිණිලි කිරීම ගැටලුවක් වනවාක් මෙන්ම තමන්ට එහිදී නොදන්නා පළාතකදී මුහුණ පාන්නට වන ගැටලුවල පොදු වශයෙන් බලපානු ඇත.
මේ සියලු කරදර වළක්වාගෙන නිවසේ සිටම හෝ යන එන වාහනයක සිට හෝ අදාළ පැමිණිල්ල සිදු කරන්නට මේ වන විට පහසුකම් සලසා ඇත. ඒ ශ්‍රී ලංකා පොලිසිය මඟිනි. ඒ සඳහා 2021 වසරේදී ශ්‍රී ලංකා පොලිසිය මඟින් වෙබ් අඩවියක් හඳුන්වා දෙන ලදී. ඒ www.ineed.police.lk වෙබ් අඩවියයි. ඔබ පොලිස් ස්ථානයට ගොස් පැමිණිලි කළ විටදී ද පොලිසිය සිදු කරන්නේ ඔබගේ දුරකතනයේ විස්තර එයට ඇතුළත් කිරීමයි. එය දුරකතනයේ හිමිකරුට නිවෙසේ සිට හෝ දුම්රියේ හෝ බස් රථයේ හෝ ගමනක් යන විටදී පවා සිදු කළ හැක්කකි.
පොලිසිය සිදු කරන්නේද ineed police වෙබ් පද්ධතියට දුරකතනයේත් හිමිකරුගේත් විස්තර ඇතුළත් කිරීමයි.
එම පද්ධතියට පිවිස දුරකතනය අස්ථාන ගත වූ පුද්ගලයාට ගිණුමක් විවෘත කර තම තොරතුරු එයට ඇතුළත් කිරීමෙන් පසුව එම පැමිණිල්ලට ආදළව සිදු කෙරෙන පරීක්ෂණ හෝ විමර්ශනයන්හි වර්තමාන තත්ත්වය ක්‍රමයෙන් විමසීමට හැකියාව තිබේ.
එහිදී කිසියම් ආයතනයකින් හෝ පුද්ගලයකුගෙන් හෝ ඒ පිළිබඳව විමසීම හෝ දුරකතන ඇමතුමක් ලබා දීමට අවශ්‍ය වන්නේ නැහැ.
ශ්‍රී ලංකා පොලිසියේ පොලිස් තොරතුරු තාක්ෂණ කොට්ඨාසයෙන් නිර්මාණය කරන ලද මේ වෙබ් අඩවිය නඩත්තු කරන්නේ ද ශ්‍රී ලංකා පොලිසිය විසින්මය. පොලිස් ස්ථානවලින් පද්ධතියට යොමු කරන ලද පැමිණිලි දුරකතන සමාගම් වෙත යොමු කරමින් මැදිහත්කරුගේ කාර්යභාරය පමණක් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව මඟින් සිදු කරනු ලැබේ.
ජංගම දුරකතනයක් සොරා ගැනීමට ලක් වන්නේ එය භාවිත කරන්නාගේ නොසැලකිලිමත්කම නිසාය. සාමාන්‍යයෙන් මෙරට තුළ දිනකට දුරකතන 130ක් පමණ සොරා ගන්නා බවට වාර්තා වී ඇත. ඒ බව මැනවින් තහවුරු වන්නේ පසුගිය පළමු මාස 3 තුළදී පමණක් දුරකතන 11,852 ක් සොරකම් කළ බවට ineed police පද්ධතිය හරහා පොලිස් ස්ථානයන් වෙත තොරතුරු ලැබීම තුළයි. එමෙන්ම 2019 වසරේ දුරකතන 40,167ක් හා 2022 වසරේ දුරකතන 45,362ක් සොරකම් කර තිබීමෙන් මේ බව තවත් පැහැදිලිය. කොවිඩ් 19 වසංගත වසරක් වූ නිසා 2012 වසරේ එම පැමිණිලි සංඛ්‍යාව 12,567ක් දක්වා අඩුව තිබූ අතර 2021 වසරේද කොවිඩ් තත්ත්වය තිබූ හෙයින් එම වසරේ ද සොරකම් කර තිබූ දුරකතන සංඛ්‍යාව 27,933කි.
මේ නිසා ජංගම දුරකතනයෙන් කතා කිරීම හෝ එය භාවිත කිරීම පමණක් නොව දුරකතනයේ ආරක්ෂාව සම්බන්ධවත් දුරකතනය අස්ථානගත වූ විට ගත යුතු ක්‍රියාමාර්ග ගැන දැනගෙන සිටීම ද බෙහෙවින්ම වැදගත් බව මෙයින් පැහැදිලිය.
පොලිස් ineed police පද්ධතිය හඳුන්වා දුන් 2021 වසරෙන් පසුව දුරකතන සොරාගත් අය සොයා ගැනීම පහසු වී ඇති අතර මේ දක්වා සොයා ගත් දුරකතන සංඛ්‍යාව දෙස බැලීමේදී එය ඉතා පැහැදිලිය. සොරකම් කළ දුරකතනයක් මිලදී ගත්තද අවසානයේ එය මිලදී ගත් තැනැත්තාට ද පොලිසි ගානේ රස්තියාදු වී අවසානයේ මුදලත් දුරකතනයත් යන දෙකම අහිමි වීම සිදුවන අතර ඇතැම් අවස්ථාවලදී අධිකරණයට ගොස් තම නිවැරැදි භාවය ඔප්පු කිරීමට සිදු වන අවස්ථාද තිබේ.