
අප මුහුණ දෙන ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න නම් අනිවාර්යයෙන්ම අප දේශීය නිපැයුම් වැඩි කළ යුතුය. ආනයන සීමා කළ යුතුය. ඒ වගේම අපට සතු සීමිත සම්පත් අමුද්‍රව්‍ය ලෙස විශාල වශයෙන් අපනයනය නොකර ඒවාට අගයන් එකතු කර අපනයනය කළ යුතුය. එනම් අමුද්‍රව්‍ය ලෙස සම්පත් (පොස්පේට්, රබර්, යපස්, මිනිරන් සහ වෙරළ තීරයේ ඇති ඛනිජ ද්‍රව්‍ය) පිටරට පටවනවා වෙනුවට එමඟින් කිසියම් නිෂ්පාදනයක් සිදු කර පිට රට යැවීමය. ඉතාම මෑතදී බෝගල ග්‍රැෆියිට් සමාගම මෙරට මිනිරන්වලින් ග්‍රැෆින් ඔක්සයිඩ් නිර්මාණය කිරීමට සමත් විය. එය ලොව ග්‍රැෆින් නිපදවීම සඳහා වියදම් කරන මුදලට සාපේක්ෂව ඉතාමත්ම අඩු අගයක් බව කියැවිණි. ඊට හේතුව වන්නේ ලොව හොඳම මිනිරන් වලට අපේ රට උරුමකම් කීමය. සත්‍ය නම් මේ ග්‍රැෆීන්වලින් අපට විශාල වශයෙන් විදේශ විනිමය ඉපයිය හැකිය. ලෝකයේ පවතින තාක්ෂණික මොඩලය මේ වන විට වෙනස් වී හමාරය. ලෝකයේ මීළඟට බිහි වෙන්නේ ග්‍රැෆීන් මත පදනම් වුණු තාක්ෂණික මොඩලයකි. අනෙක් අතින් ග්‍රැෆීන් යනු බලශක්ති ප්‍රභවයකි. අනාගත ලෝකයේ උපාය මාර්ගික සම්පත ග්‍රැෆීන් වීමට ද බැරි නැත. මේ අටුවා ටීකා කිව්වේ ශ්‍රී ලංකාවට ඉන්දියාවෙන් හා චීනයෙන් ආනයනය කරන යන්ත්‍ර සූත්‍රවලට වඩා කාර්යක්ෂම හා දිගුකල් පවතින යන්ත්‍ර සූත්‍ර නිපද වන ලංකාවේ බිහි වූ විශිෂ්ටයකු පිළිබඳ හඳුන්වා දීමටය. හේ නමින් එරන්ද කන්දෙකුඹුරය.
සමීර අමරනායක සහ කමලා නානායක්කාරට දාව 1983 නොවැම්බර් මස 12 වැනිදා ගලගෙදර කන්දේ කුඹුර ග්‍රාමයේදී එරන්ද කන්දේකුඹුර මෙලොව එළිය දුටුවේය. පවුලේ දෙවැනි දරුවා වූ ඔහුට වැඩිමහල් සොහොයුරියක සහ බාල සොහොයුරියක විය. එරන්ද මුලින්ම පාසල් ගියේ ගලගෙදර ප්‍රථමික විද්‍යාලයටය. පහ වසර ශිෂ්‍යත්වය සමත් වී හේ මහනුවර වාරියපොල ශ්‍රී සුමංගල විද්‍යාලයට ඇතුළත් විය. 2002 වසරේ සිට උසස් පෙළ සඳහා ජීව විද්‍යා අංශයෙන් පෙනීසිටි හෙතෙම 2004 වසරේ පැවති විභාගයෙන් සමත්ව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ ආහාර විද්‍යාව සහ තාක්ෂණ පාඨමාලාව සඳහා සුදුසුකම් ලැබීය. ආහාර විද්‍යාව හා තාක්ෂණ උපාධිධාරියකු ලෙස 2010 වසරේ විශ්වවිද්‍යාලයෙන් පිට වූ එරන්ද ආහාර නිෂ්පාදන ක්ෂේත්‍රයේ රැකියාවන්හි නිරත විය.
එරන්ද 2015 දී සිය වෘත්තිමය ජීවතයට ආයුබෝවන් කිව්වේ ඒකාකාරී වෘත්තීය ජීවිතයත් ඉන් ලද ආදායමත් ජීවත්වීමට ප්‍රමාණවත් නොවූ නිසාම පමණක් නොව තමා තුළ සිටින්නේ ආයතන සේවකයකු නොවන ව්‍යවසායකයකු බව ඔහු අවබෝධ කරත් නිසාය. මේ කාලය වන විට එරන්ද විවාහ වී සිටි අතර, ඒ විශ්වවිද්‍යාලයේ පළමු වසරේ සිට පෙමින් බැඳී සිටි අයෝමි දූල්වල සමඟය. විවාහයෙන් මේ දෙපළට දියණියන් දෙදෙනකු ලැබිණි. වැඩිමහල් දියණිය මිහින්දි කන්දේකුඹුර යැයි නම් තැබූ ඔවුන් මිහිසරී කන්දේකුඹුර යැයි බාල දියණියට නම් තැබීය.
රැකියාවෙන් ඉවත් වීමට ගත් තීරණයත් සමඟ ඔහු තමාගේ දෛවය තමන්ට අවශ්‍ය ආකාරයට හසුරුවන්නට පටන් ගත්තේය. ඒ පිළිබඳ එරන්ද සිළුමිණට පැවසුයේ මෙවන් අදහසකි. “ එදා රැකියාවෙන් එළියට ආවේ මම කවද හරි ව්‍යාපාරිකයෙක් වෙනවා කියන ස්ථීර අධිෂ්ඨානයෙන්. මගේ ඔළුවට එක එක අදහස් ආවා. වතුර බෝතල් නිෂ්පාදන ආයතනයක් පටන් ගන්න ඕන කියලා මුලින්ම හිතුණා. ඊට පස්සේ පොලිතින් නිෂ්පාදනායතනයක් කරන්න ඕන කියල හිතුණා. ඒ අදහස්වල ධනාත්මක හා සෘණාත්මක තත්ත්ව පිළිබඳ කල්පනා කරලා බලද්දි ආහාර නිශ්පාදන ක්ෂේත්‍රයට අවශ්‍ය යන්ත්‍ර සඳහා රට තුළ ඉල්ලුමක් පවතින බව සහ ඉල්ලුම සහ සැපයුම අතර යම් පරතරයක් පවතින බව පෙනුණ.
ඒ වෙද්දී ආයතන කිහිපයක් රට තුළ යන්ත්‍ර නිෂ්පාදනය සිදු කළත් මේ ක්ෂේත්‍රය සඳහා අවශ්‍ය යන්ත්‍ර බොහොමයක් ඉන්දියාවෙන් හා චීනයෙන් ලංකාවට ආනයනය කරමින් තිබුණා.
ඒ අනුව 2017 වසරේ මම තවත් යන්ත්‍ර සූත්‍ර චීනයෙන් සහ ඉන්දියාවෙන් ගෙන්වා ඒවා අලෙවි කිරීම හා උපදේශන සේවා සැපයීමේ ව්‍යාපාරයක් ආරම්භ කළා. ව්‍යාපාරය ආරම්භ කරලා වසර එකහමාරක් දෙකක පමණ කාලයක් ඒ ආකාරයෙන් පවත්වා ගෙන ගියා. ඒ විදියට පවත්වා ගෙන යද්දී ඒ යන්ත්‍රවලට හොඳ අලෙවියන් පසු සේවාවක් ලබා දුන්නා. එහෙම පසු සේවා ලබා දෙන්න ගියාම ඒ යන්ත්‍රවල ප්‍රමිතියත් එක්ක පසු සේවාවන් ලබාදීම අමාරු තත්ත්වයට පත් වුණා. මොකද අපේ පසු සේවාව මත ඒ යන්ත්‍ර නඩත්තු වන තත්ත්වයක් තිබුණේ. ඒ නිසා ඒ යන්ත්‍ර වැඩ කරන්නේ නැති හැම වෙලාවකම උදේ දවල් රෑ නැතුව පාරිභෝගිකයන්ගෙන් දුරකතන ඇමතුම් ලැබෙන්න ගත්තා. ඒ කරදරයට මුහුණ දෙන්න ඕන නිසාත් යන්ත්‍ර හදන්න ඕන කියල කාලෙක ඉඳන් තිබුණු උවමනාව නිසාත් යන්ත්‍ර අපිම හදන්න පටන් ගත්තා. ඒ අනුව 2018 අග සිට යන්ත්‍ර සෑදීම ආරම්භ කළා.
යන්ත්‍ර ආනයන ව්‍යාපාරය සිදු කරන කාලයේදී විදේශීය සැපයුම්කරුවන් සමඟ විශේෂයෙන්ම චීන ජාතිකයන් සමඟ ඉතා සමීපව ආශ්‍රය කළා. එතනදී දැක්ක විශේෂම දේ වුණේ තමන්ගේ රට පිළිබඳව ඔවුන්ගේ තිබූ අභිමානය. ඔවුන්ගේ නිෂ්පාදන මත ලංකාව ඇතුළු බොහෝ රටවල් යැපෙන බව ඔවුන් තදින් විශ්වාස කළා සහ නොබියව ඒ බව පැවසුවා. රට තුළ නිෂ්පාදනක් ඇති වී රට ස්වයංපෝෂිත ආර්ථික රටාවක් කරා ගෙන යෑමට අපත් යම් දෙයක් කළ යුතුයි කියන හැඟීම සිතේ මුල්බැස ගත්තේ ඒ අනුවයි.
ඒ විදියට මුලින්ම හදන්න පටන් ගත්තේ මුල් කාලයේ චීනයෙන් ආනයනය කළ බර කිරන මැෂින් එකක්.
අපේ රට කුළු බඩුවලට ප්‍රසිද්ධ නිසා ඒ දේවල්වලට ලොකු ඉල්ලුමක් තියෙනවා. ඒ නිසා ඒ නිෂ්පාදනවලට අවශ්‍ය මැෂින් හදන්න පටන් ගත්තා. කහ, ඉඟුරු පෙති කපන සහ හෝදන මැෂින් හදන්න පටන් ගත්තා. ඒ විදියට විවිධ නිෂ්පාදන සඳහා මැෂින් හදලා මේ වෙද්දී මැෂින් වර්ග 50කට වැඩිය යුනික් බිස්නස් සොලූෂන්ස් (Unique business solutions) පුද්ගලික සමාගම විසින් නිෂ්පාදනය කරනු ලබනවා.
මෙම ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කරන්නේ එරන්ද කන්දේකුඹුරය. ඔවුන් විසින් නිෂ්පාදනය කරන මැෂින් කවර වර්ගීකරණයක් යටතේ නිපදවන්නේ දැයි සිළුමිණ එරන්දගෙන් විමසුවෙමු. “ඇත්තටම අපි දැනට ක්ෂේත්‍ර කිහිපයක් ඉලක්ක කරගෙන යන්ත්‍ර නිෂ්පාදනය කරනවා. ඒ අතර කුළුබඩු ආශ්‍රිත නිෂ්පාදන, ධාන්‍ය වර්ග, අල වර්ග, එළවළු සහ පළතුරු සැකසීම සඳහා අවශ්‍ය යන්ත්‍ර ප්‍රධානයි. යන්ත්‍ර වශයෙන් සඳහන් කරනවානම්, ඉඟුරු, කහ, මඤ්ඤොක්කා වැනි අලවර්ග ඇතුළු බොහෝ දේ සේදීම සඳහා යන්ත්‍ර, පෙති සහ තීරු කැපීමේ යන්ත්‍ර, ගම්මිරිස්, ධාන්‍ය වැනි නිෂ්පාදන පිරිසිදු කිරීමට සහ ශ්‍රේණිගත කිරීමට අවශ්‍ය විනෝවින් යන්ත්‍ර, ගල් වැලි ඉවත් කිරීමේ යන්ත්‍ර, සිෆ්ටර් යන්ත්‍ර (ප්‍රමාණය අනුව වෙන් කිරීම සඳහා), සෝර්ටින් බෙල්ට්, සූදු ගම්මිරිස් සෑදීමේ යන්ත්‍ර, විව්ධ මාදිලියේ ඇඹරුම් යන්ත්‍ර, සාදික්කා මද වෙන් කරන යන්ත්‍ර, කෙස් සහ කෙඳි ඉවත් කිරීමේ යන්ත්‍ර, රෝස්ටින් යන්ත්‍ර, එළවළු පළතුරු කැබලි කිරීමේ යන්ත්‍ර, පල්ප සෑදීමේ යන්ත්‍ර ඇතුළු කර්මාන්ත ස්වයංක්‍රීය කිරීමට අවශ්‍ය යන්ත්‍ර උපාංග බොහෝ ප්‍රමාණයක් අපි මේ වන විට නිෂ්පාදනය කරනවා. ඊට අමතරව පාරිභෝගික අවශ්‍යතා සඳහා ආයතනයේ පහසුකම්වලින් නිෂ්පාදනය කළ හැකි යන්ත්‍ර සැලසුම් කර නිෂ්පාදන කිරීමත් සිදු කරනවා.
අපි බොහෝ දුරට ආහාර නිෂ්පාදන යන්ත්‍ර සූත්‍ර ප්‍රමිතීන්ට අනුකූලව සුදු යකඩවලින් නිෂ්පාදනය කර සැපයීමට කටයුතු කරනවා. ඒ වගේම බිඳ වැටීම් අවම වන පරිදි ශක්තිමත්ව යන්ත්‍ර නිෂ්පාදන කිරීම පිළිබඳව අපගේ අවධානය යොමු කර තිබෙනවා. මූලික පිරිවැය ඉහළ වුවත් එවැනි යන්ත්‍ර කර්මාන්තයක භාවිත කිරීම මඟින් නිෂ්පාදන අඛණ්ඩව ඉහළ ප්‍රමිතියකින් සිදු කළ හැකි බව අප අත්දැකීමෙන් දන්නවා.
මේ නිසා මගේ කර්මාන්තයේ කාර්යක්ෂමභාවය වැඩි කර ගැනීමට, නිෂ්පාදන ධාරිතාවය වැඩි කර ගැනීමට, නිෂ්පාදනයේ ඒකාකාරී බව නිසිපරිදි පවත්වා ගැනීමට, අඛණ්ඩ සැපයුම පවත්වා ගැනීමට සහ ගුණාත්මක බව රැකගැනීමට හැකියාව සැලසෙනවා.
වත්මන් තත්ත්වය තුළ මේ නිෂ්පාදනවල මිල ගණන් කෙසේ ද යන්න සිළුමිණ එරන්දගෙන් විමසා සිටියෙමු.
“මේ වන විට රට තුළ පවතින අර්බුධකාරී තත්වය මත යකඩ ඇතුළු අමුද්‍රව්‍යවල මිල කිහිප ගුණයකින් ඉහළ යෑම සිදු වුණා. එය අපේ නිෂ්පාදන වල මිළ ඉහළ යාමට හේතුවක් වුණා. නමුත් ආනයනික යන්ත්‍රවලට වඩා වැඩි ප්‍රමිතියකින් යුතුව තරඟකාරී මිලකට යන්ත්‍ර සැපයීම අප විසින් සිදු කරනවා. අපට රජය විසින් යම් බදු සහනයක් ලබා දුන්නොත් අපට තවත් අඩුවට මේ යන්ත්‍ර පාරිභෝගිකයන්ට ලබා දෙන්න පුළුවන්. ඒකෙන් රජයට පාඩුවක් වෙන්නේ නැහැ. මොකද මේ කර්මාන්තය දියුණු වෙනවා කියන්නේ යන්ත්‍ර ආනයනය සඳහා යන මුදල රට තුළ ඉතිරි වෙනවා. ඒ වගේම අපේ යන්ත්‍ර සූත්‍රවල පවතින කාර්යක්ෂමතාව හා ගුණාත්මක බව නිසා නිෂ්පාදන ඉහළ යනවා. ඒ විදියට උසස් ප්‍රමිතියෙන් යුතු කුළුබඩු අපනයනය කිරීම මඟින් අපට විදේශ විනිමය උපයා ගන්න පහසු වෙනවා. මොකද ඔවුන්ට අවශ්‍ය උසස් ප්‍රමිතියෙන් යුතු කුළුබඩුයි. අපේ පර්යේෂණ කාර්යය වුණේම ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව මේ නිෂ්පාදන සිදු කිරීමයි. එනිසා අපට ඒ ගැන සහතිකයක් දෙන්න පුළුවන්.
මෙම කාර්ය සාක්ෂාත් කර ගැනීමේදී තම කණ්ඩායම දක්වන දායකත්වය ගැන එරන්ද පවසන්නේ මෙවන් අදහසකි. “මේ නිෂ්පාදන කටයුතු හැකිතරම් උසස් අයුරින් සිදු කරන්න අපේ කණ්ඩායම දක්වන දායකත්වය විශිෂ්ටයි. ඇත්තටම අපිට තියෙන වටිනාම සම්පත තමා අපේ කණ්ඩායම. ඉතා කැපවීමෙන්, වගකීමෙන් සහ බුද්ධිමත්ව කටයුතු කරන කණ්ඩායමක් අපට ඉන්නවා. ආයතනයක් හැටියට සිතේ නිදහසෙන්, බුද්ධිය මෙහෙයවා වැඩ කළ හැකි ආයතන පරිසරයක් අප විසින් නිර්මාණය කර තිබෙනවා. සැමදෙනාගේම අදහස්වලට ඉඩක් ලැබෙන පරිසරයක් තුළ වඩා නිර්මාණශීලී මිනිසුන් බිහි වන බව මා තදින් විශ්වාස කරනවා.
මෙහිදී විදේශවලින් ආනයනය කරන යන්ත්‍ර යම් යම් වෙනස් කම් සිදු කර භාවිතා කරනවා වෙනුවට ඔබගේ ආයතනයට හා නිෂ්පාදනයට ගැළපෙනම පරිදි අදාළ යන්ත්‍ර තෝරා ගැනිමට, නිෂ්පාදනය කර ගැනිමට යුනික් බිස්නස් ෂොලූෂන්ස් ආයතනය මඟින් හැකියාව ලැබේ.
ඒ අනුව කුළුබඩු ඇතුළු දේශිය ආහාර සැකසීමේ ක්ෂේත්‍රයේදී භාවිත කරන යන්ත්‍ර සූත්‍ර නිසි ප්‍රමිතියකින්, තමන්ට අවශ්‍ය ආකාරයෙන් නිමැවුම් කර ඔබට ලබා දෙන්න වගේම ඔබගේ කුළුබඩු ඇතුළු ආහාර සැකසුම් නිෂ්පාදන කටයුතු වඩා පහසුවෙන් ගුණාත්මක ලෙස හා ක්‍රමවත්ව සිදු කර ගැනීමට උචිත යන්ත්‍ර නිසි පරිදි භාවිත කරන ආකාරය පිළිබඳවත් යුනික් බිස්නස් ෂොලූෂන්ස් පුද්ගලික සමාගම ඔබව දැනුම්වත් කරයි. අලෙවියෙන් පසු සේවාව ආහාර නිෂ්පාදනයේ සහ නිසා කුළුබඩු නිෂ්පාදනයේ නියැළී සිටින පාරිභොගිකයන්ට මහත් අස්වැසිල්ලක් ලැබේ.
මෙම අයතනය මේ වනවිට ග්‍රාමීය මට්ටමේ නිෂ්පාදන කර්මාන්තවල සිට අන්තර්ජාතික මට්ටමට භාණ්ඩ සපයන ආයතන දක්වා බොහෝ ආයතනවලට යන්ත්‍ර සූත්‍ර නිෂ්පාදනය කරන මට්ටමට පැමිණ තිබීම විශේෂය.
අලුතින් ව්‍යාපාරයක් ආරම්භ කරන්න ඉන්න කෙනෙකුට මේ නිෂ්පාදන කුමන ආකරයට දායක කරගත හැකිදැයි සිළුමිණ විමසූ විට හෙතෙම පවසා සිටියේ “අපි ගොඩක් හුරු වෙලා ඉන්නේ අලුත් දෙයක් කරනවට වඩා තව කෙනෙක් කරන දේ බලාගෙන ඒකම කරන්න. ඒ වෙනුවට තමන්ගේ බුද්ධිය හැකියාව ඔවුන් යොදා ගන්නේ නැහැ. අපි තවදුරටත් ඒ මතයේ ඉන්නේ නැතුව වෙනත් වෙනත් ව්‍යාපාරවලට යොමුවෙන්න ඕන. උදාහරණයකට අස්වනු නෙළන කාලෙට මඤ්ඤොක්කා ගලවල පාරවල් අයිනේ තියාගෙන විකුණනවා. ඒත් ඔක්කොම විකිණෙන්නේ නැහැ. ඒවා වේලිලා ( හුලං වැදිලා) ඉවත් කරනවා. ඒ විදියට අපතේ නොයවා චිප්ස්, බයිට්ස්, පෙර සැකසූ මඤ්ඤොක්කා සහ පිටි වැනි නිෂ්පාදනවලට ඒවා යොදා ගන්න පුළුවන්. කෝන් ෆලවර් වෙනුවට ආදේශකයක් ලෙස වට්ටක්කා පිටි යොදාගන්න පුළුවන්. ඒ වගේ අපට කරන්න පුළුවන් නිෂ්පාදන තියෙනවා.
මේ සඳහා උපදෙස් ලබා ගැනීමට පසු අස්වනු තාක්ෂණ ආයතන රට පුරා පිහිටුවා තිබෙනවා. මහනුවර ඉන්න කෙනෙකුට නම් ගන්නෝරුවේ පිහිටි ආයතනයට යන්න පුළුවන්. එහිදී ඉතාම සුළු ගෙවීමක් කර එහි තිබෙන තාක්ෂණය අපට ලබාගන්න පුළුවන්. යන්ත්‍ර සූත්‍ර මිලදී නොගෙන ව්‍යාපාරයක් ආරම්භ කරන්න අපට පෙර හුරුවක් විදියට මේ අවස්ථාව යොදාගන්න පුළුවන්. පේරාදෙණිය විශ්වවිද්‍යාලය ඇතුළු විශ්වවිද්‍යාල ගණනාවක ආහාර හා තාක්ෂණ පර්යේෂණාගාර පහසුකම් තිබෙනවා. සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකම ජාතික ව්‍යවසායයකත්ව සංවර්ධන අධිකාරියේ නියෝජිතයකු සිටිනවා. ඒ වගේම කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ නිලධාරියකු සිටිනවා මේ අයගෙන් උපදෙස් ලබාගෙන රටටත් යමක් කරන ගමන් තමන්ටත් ස්වයංව නැඟී සිටින්න පුළුවන්.