අවුරුදු කෑම | සිළුමිණ

අවුරුදු කෑම

හකොළ මලින් සහ පලදාවෙන් සරුව හැඩවෙන සුන්දර බක්මහේ අවුරුදු උදාව සිහි කරමින් වරින් වර ඇසෙන කොහාගේ ගී හඬ රාවය තුරු වදුලු අතරින් නැඟෙයි. දේශප්‍රියගේ සිත ද අවුරුදු මිහිරියාවෙන් පිරෙමින් තිබිණි. ඉසුඹුලත් රජයේ සේවකයකු වන ඔහු දැන් දිවි මගේ අසූ වැනි සැතපුම ද පසුකර ඇත. පාසල් ගණනාවක කාර්යාල කාර්ය සහායකයකු ලෙස වසර තිස්පහක පළපුරුද්දක් ඇති දේශප්‍රියගේ අතීතාවලෝකනයේදී සතුට සහ අසතුට යන දෙකම සම සමව ඇත.

දේශප්‍රියගේ වැඩිමල් දියණිය අනුත්තරාය. දෙවැනි දියණිය වසුන්දරාය. පුතා සුධීරය. හැත්තෑපස් හැවිරිදි බිරිය මුතු මැණිකාය. දරුවන් තිදෙනාම විවාහ සම්ප්‍රාප්ත වී සිටින බැවින් දේශප්‍රියට දැන් දිවි මගේ සැලකිය යුතු බරක් නොදැනේ. මුනුපුරු මුනුබිරියන්ගේ සුරතල් දකින විට, තිබෙන ගැටලු ද ඔහුට අමතක වෙයි. දවස ගෙවී යන්නේ නොදැනුවත්මය. එහෙත් දැනට සති තුන හතරකට පමණ පෙර සිට දේශප්‍රියගේ සිතේ සැහැල්ලු ගතිය බිඳී යෑමට තුඩු දෙන ස්වභාවයක් නිර්මාණය වී ඇත. එයට හේතුව වැඩිමල් දියණිය වන අනුත්තරාගෙන් පැමිණි දුරකතන ඇමතුමකි.

"තාත්තේ ... ඔන්න මේ පාර නම් තාත්ත අපේ ගෙදර එන්නම ඕනෙ, ගිය අවුරුද්දෙත් බැහැයි කිවුව නේ.." 

"දුවේ .. මට දැන් ඉස්සර වගේ නොවෙයි... දුර ගමන් යන එක අපහසුයි.." දේශප්‍රියට තම කටහඬ තව දුරටත් අවදි කරන්නට ලැබුණේ නැත.

"ඔන්න, තාත්ත ගිය අවුරුද්දෙ වගේම මගහරින්න හදනව ... අනේ තාත්තෙ මේ සැරේ නම් තාත්ත අම්මත් එක්ක එන්නම ඕන.. නැත්නම්.."

"හා .. හා.. හොඳයි බලමු"

"බලමු බලමු කියල බැහැ.. මේ අවුරුද්දේ නම් වරද්දන්න බැහැ..." දුරකතන සංවාදය ඒ අයුරෙන් කෙළවර වුවත්, දේශප්‍රිය තවම සිටිනුයේ දෙගිඩියාවකිනි. ඔහුට නාන කාමරවල නෑම හුරු නැත. විදුලි පංකා යට කාලය ගත කිරීම ද නුහුරුය. සුධීර ද මවුපියන් දුර ගමන් යෑම අනුමත නොකරයි.

දේශප්‍රියගේ සිතෙහි කැලඹිලි ස්වභාවය නැවත වරක් වේගවත් වන්නට විය. ආලින්දයේ හාන්සි පුටුවෙහි දිගාවූ ඔහු තමා අබියස දර්ශනය වන සුන්දර පරිසරයට නෙත් පහන් දැල්වුවේය. නිවෙස ඉදිරිපිටින්ම පෙ‍ෙනනුයේ රුක්මල් ඔය හරිතවර්ණ වෙල්යායයි. වරින්වර මඳ පවන් රැල්ලට හසුවන ළා ගොයම් රිද්මයකට අනුව දෙපසට නැළවෙයි. වෙල් යායට ඔබ්බෙන් රුක්මල් කඳු පන්තියත්, කඳු පෙළ මැදින් තුරුහිස් මත අරා දිස්වෙන රුක්මල් කන්ද පුරාණ විහාරයේ චෛත්‍යයත් දිස් වේ.

රුක්මල් ඔය නාන තොටුපළ වෙල් යාය කෙළවරින් දර්ශනය වේ. දවසේ වැඩපල අවසන් කළ පසු, ගම්මානයේ අය වතුර පොදක් නාගන්ට එන්නේ මෙම තොටුපොළටය. මේ පිරිස අතරට එකතු වන, ගම්මානයේ කොල්ලෝ කෙල්ලෝ ගල්තලාව මතට නැඟ ඇළට පනිති. දිය බුං ගසති. දිය යට කිමිද තැන් තැන්වලින් මතුවෙති. හිරු නොපෙනී යෑමට සැරසෙද්දී පෙනෙන මෙම දර්ශනය දේශප්‍රියට ආගන්තුක නොවේ. ඔහු එයින් ආස්වාදයක් ද විඳියි.

අවුරුදු උදාවට පෙර දින අරුණෝදයේම බිරිය මුතුමැණිකේත් සමඟ නි‍ෙවසින් පිටත් වු දේශප්‍රිය බෙලිගම හරහා ගාල්ල බලා යන බසයට ගොඩවී හවස තුනට පමණ අනුත්තරා දුවගේ නිවහනට පැමිණියේය. බස් නැවතුමේ සිට නිවෙසට පැමිණීමට අනුත්තරා විසින් මෝටර් රථය එවා තිබුණි.

නි‍ෙවසේ සියලු දෙනාගේම හිසේ මල් පිපුණ කලක මෙන් දැඩි අමන්දානන්ද බවක් ප්‍රදර්ශනය විය. මුනුපුරු මිනිබිරියෝ සීයා සහ ආත්තම්මාගේ සිරුරේ දැවටෙමින් උතුරා යන සතුට ප්‍රකාශ කළහ.

අනුත්තරාගේ දෙමහල් නිවෙස අතිශය සුඛෝපභෝගී එකකි. කාමර හයකින් සමන්විත නි‍ෙවසේ කාමර දෙකක් වායු සමීකරණය කර ඇත. ආලින්දය ඇතුළු සියලුම ස්ථාන වටිනා ගෘහ භාණ්ඩවලින් සහ විසිතුරු නිර්මාණවලින් ද සමන්විතය. දේශප්‍රිය සහ මුතුමැණිකේ උඩුමහලට පිවිස ඇඟපත දෝවනය කරගෙන සැහැල්ලු ඇඳුමකින් සැරසුණෝය. අනතුරුව උණු තේ කෝප්ප දෙකක් හිස් කිරීමෙන් පසු එතෙක් වූ සරතැස ද පලා ගියේය.

පසු දිනට යෙදී ඇති අවුරුදු උදාව සඳහා නි‍ෙවසේ සියලු දෙනා උතුරා යන ප්‍රීතියෙන් සූදානම් වෙන ආකාරය දේශප්‍රියගේ නෙත ගැටිණ.

"කෝ පුතේ, තාත්තා...?" දේශප්‍රිය තමා අසලින් ගිය මිනිබිරියකගෙන් ඇසුවේය.

"තාත්ත එනකොට රෑ වේවි සීයේ.. ෆුඩ් සිටි දෙකේම හරියට සෙනඟලු.. තාත්තට හුස්ම ගන්නවත් බැහැලු... අද සේවකයන්ට තෑගි බෝග දෙන්නත් තියෙනව කියල තාත්තා කෝල් එකක් දුන්නා.."

ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු බවට පත්ව සිටින තම බෑනනුවන්ගේ දියුණුව පිළිබඳව දේශප්‍රියට ඇත්තේ නිහතමානී ආඩම්බරයකි. ගමන් විඩාව හේතුකරගෙන එදින රාත්‍රිය දේශප්‍රිය යුවළට නින්ද ගියේ ඔවුන් නොදැනුවත්මය. ඇහැ ඇරුණේ පසුදාට, එනම් අවුරුදු දාට පහන් වීමෙනුත් පසුවය.

අවුරුදු සිරියෙන් මුළු රටම පිබිදෙන්නට පටන් ගෙන ඇත. දේශප්‍රිය නිදියහනෙන් නොබැසම උණු තේ කෝප්පයක රස බැලුවේය. මඳ වේලාවක් එකම ඉරියව්වෙන් සිටි හෙතෙම ඊළඟට කළේ තම දියණියගේ නිවෙසේ වැඩ කටයුතු කෙරෙන ආකාරය නිරීක්ෂණය කිරීමයි.

පසුගිය අවුරුද්දේ මෙන් නොව මෙවර අවුරුදු උදාවට වැඩ අල්ලා ගනුදෙනු කිරීමේ නැකත යෙදී තිබුණේ පස්වරු තුනකුත් ගණනටය. දහවල් තුන වන විට අවුරුදු මේසය ජයටම පිළියෙල වී තිබිණ. මංජුලට මෙන්ම නිවසේ අන් අයටද යන එන දුරකතන සංවාද වලට සහභාගීවීමෙන් අඩුවක් නොමැත. අනුත්තරා දියණියත් ඇගේ පුතා සාරංගත් එහාට මෙහාට දුවමින් කුමරා පිළිගැනීමට සැරසෙමින් සිටිති. සතුටු සිනා නි‍ෙවස පුරාවට දුවයි.

කෑම මේසයෙන් හමන නානා ආකාරයේ සුවඳින් නිවෙස ඇතුළත පිරී යයි. දයාවතී නම් වූ මෙහෙකාර කාන්තාවට, අමතරව යාබද නිවෙසකින් පැමිණි කාන්තාවෝ දෙදෙනෙක් ද වැඩපලට උදවු කරමින් සිටිති.

අවුරුදු මේසය පිරෙන්නට නානා ප්‍රකාර බඳුන්ය. කිරිබත් පිඟාන සහ පිත්තල පොල්තෙල් පහන මේසයේ හරි මැද තිබිණ. වටේට කැවිලි බඳුන්ය. පැණි වළලු, පාට පාට කේක්, දොදොල් සහ මස්කට්, අලුවා කැවුම්, කොකිස් සමඟ කෝලිකුට්ටු ඇවරි ආදිය සුන්දර දසුන් මවයි.

"හැමෝම අලුත් ඇඳුම් ඇඳගෙන සූදානම් වන්න.." අනුත්තරාත් මංජුලත් දරුවන්ට අණ දුන්හ. දුව මයුරිගේ ඇඳුම වූයේ ඩෙනිම් කලිසමක් සහ ඊට ගැළපෙන බ්ලවුසයකි. භද්‍ර යෞවනයේ ආකර්ෂණයෙන් උදම්ව සිටින මයුරි දුරකතන ඇමතුමක යෙදෙන විට දිස්වන කටකාරකම දේශප්‍රියගේත් මුතු මැණිකෙගේත් හිත් ගත්තේ නැත.

"තාත්තේ, අම්මත් එක්ක දැන් මේ කිට්ටුවට එන්න". අනුත්තරා එසේ කියමින් කිකිළියක් පැටවුන් සමඟ ඒකරාශි වන්නාක් සේ මේසය අසලට වුවාය.

අවුරුදු උදාව සිහි කරමින් රතිඤ්ඤා පුපුරන හඬින් පළාතම දෙදරුම් කන්නට විය. මංජුල යුවතීහු ද ඉස්තෝප්පුවට වී ගේට්ටුව දිහාවට නෙත් දල්වන්ට පටන් ගත්හ. මංජුල වරින් වර අතේ තිබෙන දුරකතනයට ඇඟිලි ඔබා යමක් අසයි. අනුත්තරා ද විමසිලිමත්ව තම සැමියා දෙස බලා සිටී.

මේ අතර දේශප්‍රියට ද දුරකතනයෙන් අවුරුදු සුබ පැතුම් ගලා එන්ට පටන් ගත්තේය.

"සුබ අලුත් අවුරුද්දක් තාත්තේ.." ඒ වසුන්දරාය.

"සුබ අලුත් අවුරුද්දක් සීයේ..."!

"එසේම වේවා.."!

"සුබ අලුත් අවුරුද්දක් ආච්චියෙ...!"

"පුතාටත් ... එසේම වේවා..!"

දේශප්‍රිය යුවළ සියලු දෙනාටම සුබ පැතූහ. දුරකතන ඇමතුම්වලට සවන් දීමට වඩා දැන් මංජුලගේ සිත වැඩ කරන්නේ, අවුරුදු මේසය විවෘත කිරීම පිළිබඳවයි. ඔහු ජංගම දුරකතනයට පණ පොවයි.

"මන්ත්‍රීතුමාට සුබ අලුත් අවුරුද්දක් ... ඔබතුමා දැන් කොයි හරියෙද?"

ප්‍රති උත්තරය ආවේ මන්ත්‍රීතුමා සමඟ සිටින වෙනත් කෙනකුගෙනි.

"සමාවෙන්න මංජුල මහත්තයො... තව ටිකකින් අපි එනවා... දැන් මේ තුන්වෙනි තැන... ඊළඟට ඔහේ..!"

"ඔන්න මන්ත්‍රීතුමා එනවා." ඈතින් එන රථයක ඡායාව දකිත්ම මංජුල කලබල විය. වේගයෙන් පැමිණි රථය මිදුලෙහි නතර වෙනවාත් සමඟම මන්ත්‍රීතුමා දොර විවර කරගෙන, පෙනී සිටියේ මුහුණ පුරා සටහන් කර ගත් සිනහවකින් ද යුතුවය.

"හැමෝටම සුබ අලුත් අවුරුද්දක්...!" මන්ත්‍රීතුමා කියත්ම අන් සියලු දෙනාත් එයට ප්‍රති ආශීර්වාද කළෝය.

වැඩසටහනේ පළමු අංකය වූයේ මන්ත්‍රීතුමා අතින් පොල්තෙල් පහන දල්වා, අවුරුදු මේසය විවෘත කිරීමය. මන්ත්‍රීතුමා පීරිසියකට කිරිබත් කෑල්ලක් ගෙන එහි රස බලන්නට පටන් ගත් පසු, පැමිණි සිටි සියල්ලෝම රුචි අයුරින් කෑම බෙදා ගත්හ. දේශප්‍රියත් මුතු මැණිකාත් කලබලයකින් තොරව මේසය අසලට පැමිණියෝය. මංජුල කළේ මන්ත්‍රීතුමා කාමරයක් තුළට කැඳවාගෙන යෑමයි. ඒ සමඟම වීදුරු කීපයක් එකිනෙක ගැටෙන හඬක් සමඟ එහාට මෙහාට මාරුවන වචන කීපයක දෝලනයක් ද ඇසෙන්නට විය. විනාඩි දෙක තුනකට වඩා ගත වුයේ නැත. කාමරයෙන් පිට වූයේ මන්ත්‍රීතුමාය.

" එහෙනම් හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා..! අපි ගිහින් එන්නම්" යි පැවසු මන්ත්‍රීතුමා පිටත්ව ගියේය. දවසේ රාත්‍රී භෝජනයෙන් පසු දේශප්‍රියත් මුතු මැණිකාත් කාමරයට ගිය නමුත්, පල්ලෙහායින් ගලා එන හඬවල් සහ ගී රාවය නිසා දෙනෙත් පියා ගැනීම අසීරු විය. මිදුල කෙළවරේ අඹ ගසක් යට පැදුරු සාජ්ජයක් සංවිධානය කර තිබුණේ යහළුවන්ගේ ඉල්ලීම නිසා මිස, මංජුලගේ කැමැත්තට නොවේ. තරුණයෝ මධුවිතෙහි රස බලමින් මේසයට ගසමින් ගී ගයති.

සින්දු රාජ්ජයේ නින්නාදය ඉවසුවත් ඉවසිය නොහැකි කාරණයක් නිසා සිතට වඳ දෙමින් සිටි මුතු මැණිකාට එම සිදුවීම අළු යට ගිනි පුපුරක් මෙන් සිත යටින් මතුවෙනු දැනේ.

මුතු මැණිකේගේ අප්‍රසන්න පෙනුම දේශප්‍රියට ද නොපෙනුණා නොවේ.

"ඒක නොවෙයි අපේ මහත්තයෝ, හැබෑටම කවුද අර දවල් කාමරයට රිංගුව ඉලන්දාරියා?" ඇය දේශප්‍රියට ඇසෙන්නට තම ප්‍රශ්නය සන්නිවේදනය කළාය.

"හාමිනේ, හාමිනේට තේරුනේ නැද්ද... ඒ අර පුංචි දෝණිගේ අනාගත මහත්තයනේ...!"

"පුංචි දෝණිගේ.. ඒ කියන්නේ අපේ මිනිබිරියගේ....?"

"නැතුව"

"අනේ අප්පේ ... අපේ ඇස්වලට පේන සක්කරවට්ටන්.... චිකේයිය...!"

"හාමිනේ, අපේ කාලෙ වගේ නොවෙයි දැන්.... මේ කාලෙ තියෙන්නේ අලුත් සමාජයක්..! ඒ දරුව අවුරුදු කන්න ඇවිත් තියෙන්නෙ අනුත්තරාලගේ අවසරය ඇතුව..." දේශප්‍රිය කරුණුවල යථාර්ථය පැහැදිලි කළේය.

"අනේ කාලේ වනේ වාසේ..." මුතු මැණිකා දකුණු කම්මුලට අත්ල තබාගෙන දිගු සුසුමක් හෙළුවා පමණි.

"අපේ හාමිනේ ඕව ගැන සිතන්නේ නැතුව ඔන්න ඔහේ නිදා ගන්නකෝ" දේශප්‍රිය කීවේය.

මුතු මැණිකේ වකුටු වී දෙනෙත් පියා ගත්තාය. දේශප්‍රියට නම් නින්ද ගව් ගණනක් ඈතය. රාජ්ජයේත්, රතිඤ්ඤා හඬවලත් දෝංකාරය ඔහුගේ නින්ද කඩයි. මුතු මැණිකේ නිදන යහන අසල පොත් මේසයකි. අපිළිවෙළට තබන ලද සඟරා සහ පාසල් පොත් අතර තිබුණු එක්තරා පොතක් කෙරෙහි දේශප්‍රියගේ නෙත් ඇදී ගියේය. ඒ ගම්පෙරළියයි. නින්ද යන තුරු කියවිය යුතු යැයි සිතූ ඔහු ගම් පෙරළිය පොත අතට ගත්තේය. පළමු පරිච්ඡේදයේ සටහන් වනුයේ මහ ගෙදර සහ එහි අවට පරිසරය පිළිබඳයි.

"මහත්තයෝ ... මහත්... තයෝ" කවුදෝ තමාට හදිසියේම ආමන්ත්‍රණය කරන හඬක් දේශප්‍රියගේ සවන්පත් අතරින් රිංගුවේය.

"මේ මහ රෑ කවුද මට ආමන්ත්‍රණය කරන්නේ?"

දේශප්‍රියගේ නෙත ගැටුණේ කලකින් දක්නට නොලැබුණු දර්ශනයකි. ඔහු ඉදිරියේ පෙනී සිටියේ මහ ගෙදර ඇත්තෝය.

"මහත්තය හමුවුණු එක හොඳයි... මම හිටියේ මහත්තය වගේ රටට ආදරය ඇති කෙනෙක් හමුවෙනකන් තමයි... අපි කෙළින්ම කාරණයට බහිමු" තමා අභිමුඛව මේ පෙනී සිටිනුයේ මහා පුරුෂයෙකි. ඔහු මුහන්දිරම් කයිසාරුවත්තේය. මුහන්දිරම් වට කරගෙන මහගෙදර උදවිය ද සිටිති. මුහන්දිරම් කයිසාරුවත්තේ නැවතත් කටහඬ අවදි කළේය.

"බලන්නකො මහත්තය... අපේ මිනිස්සු මේ මොනවද කරන්නේ කියල... සංවර්ධනය කියන එක හරියට තේරුම් කර නොගෙන මේ යන ගමන ගැන හිතනකොටත් බයයි. මේ මහ ගෙදර ඉඩමට අක්කර දෙකක් තියෙනව.... ඒ කාලේ මොනතරම් සුන්දර වටා පිටාවක්ද මගේ මේ ඉඩමට තිබුණෙ ?... " යැයි පැවසු මුහන්දිරම් කයිසාරුවත්තේ හැඟුම්බර මුහුණින් මඳ වෙලාවක් නිහඬව සිටියේය.

මාතර හාමිනේ, නන්දා, අනුලා සහ තිස්සත්, මෙහෙකාර සාදාත් පසෙකට වී බලා සිටිති.

"ඉතින් මහත්තයෝ මේ විදියට ගහ කොළ කපා දැමුවොත්, සතා සිවුපාවො මරා දැමුවොත්, අපේ මේ භූමියට යන කල දසාව කොහොම වේද? වැඩි කල් යන්න මත්තෙන් අපේ මේ පින්බිම කාන්තාරයක් වෙන එක වළක්වන්න බැහැ..."

"මේ වින්නැහිය වහා නවත්වන්න ඕන..මොකද මහත්තය කියන්නේ?"

දේශප්‍රිය මුවින් නොබැණ සිටියේය. මුහන්දිරම් මාතර හාමිනේ දිහාවට හැරුණේය.

"හාමිනේ සදා ඉන්නවද?"

"ඉන්නව"

"මෙහාට එන්න කියන්න"

සාදා මුහුන්දිරම් අසල පෙනී සිටියේය.

"සාදා ... මේ ඉන්නෙ දේශප්‍රිය මහත්තයා... හුඟ කාලෙකට පස්සෙ තමයි මෙහේ ඇවිත් තියෙන්නෙ. මේ මහත්තයව එක්ක ගිහින් අපේ වත්ත පිටිය පෙන්නපන් "

"හොඳමයි." සාදා මුහන්දිරම්ගේ නියෝගය ක්‍රියාවට නැංවූයේය. මහගෙදර ඇත්තෝ නොපෙනී ගියහ. සාදා, දේශප්‍රියට මුලින්ම පෙන්වූයේ එදා ගමේ ඇත්තන් වැඳුම් පිදුම් කළ හිරිගල් විහාරය වෙනුවට අද එතැන ඇති හෝටලයකි. හෝටලයට යාබදව කඩ පෙළකි. කඩ පෙළ අසල ගනුදෙනුකරුවන් තෙරපෙමින් සිටින ආකාරය දිස් වේ.

"මහත්තයො අපි හිවලාවල කැලේ බලන්නත් යමු"

"ඒක හොඳයි"

හිවලාවල තුරු ලතාවන්ගෙන් පිරුණු දැකුම්කලු වන පෙතක්ව තිබුණද එය ද විනාශ වී ඇති ආකාරය දේශප්‍රියට පෙනිණි. වනස් පතීහු ද කඳුළු සලමින් සිටිති. ඒ තම රැහේ දැවැන්තයන් අකාලයේ මරා දැමීමෙන් හටගත් ශෝකය තුනී කර ගැනීමට නොහැකි වූ බැවිනි. හිවලාවල වන පෙත මායිමේ ගලන දිය පාර අපද්‍රව්‍යවලින් පිරී ඇත. සාදා, හිවලාවල වන පෙත තුළටම ඇතුළු වන අදහසින් පියවර මැන්නේය.

"ඒ කාලෙ තිස්ස මහත්තයා එක්ක මම මේ කැලේට එනවා, මාදං, හිඹුටු, කජු, පේර කන්ඩ.."ඊට වඩා කටහඬ අවදි කරන්නට සාදාට ලැබුණේ නැත. විශාල දුම් කඳක් වන පෙත වසාගෙන අහසට නඟින්නට විය. දුම් කඳ යටින් මතු වුණු ගිනි කඳක් තුරු හිස් මතින් ඉහළ නඟින ආකාරය දිස්විණ.

"විනාශයක්.. විනාශයක්..."

මොහොතකින් දැවැන්ත අලියෙක් සහ වල් ඌරන් සමඟ ඉත්තෑවුන් වැනි සත්ව කණ්ඩායමක් දේශප්‍රියලා ඉස්සරහට එන්නට වූහ. "කැලේට ගිනි තියලා.. දුවපල්ලා.. සත්තුත් දුවනවා..."

දේශප්‍රියට කෑ ගැසිණි.

"සාදා ...සාදා... " කෝ සාදා....!

"සාද්......දා ............!"

දේශප්‍රියගේ කටහඬ විලාපයකට පත් විය.

"මහත්තය ....... මහත්තය ....ඇයි මේ කෑ ගහන්නේ ... හීනයක් දැක්කද? "

මුතු මැණිකා ද නින්දෙන් අවදි වුවාය. දේශප්‍රියට ඇහැ ඇරුණි. ඔහු ඇඳ මතම හිඳගෙන වටපිට බැලුවේය. මේසය මත තිබුණු වතුර වීදුරුවෙන් උගුරක් දෙකක් බී නැවතත් දිගා වුණේය.

"මං දැකල තියෙන්නෙ හීනයක්!" දේශප්‍රිය තමාටම කියා ගත්තේය.

කේ. ජී. සංඝදාස

Comments