අලුත් අවුරුද්දට ගෑස් නොපෙන්නූ ගෑස් | සිළුමිණ

අලුත් අවුරුද්දට ගෑස් නොපෙන්නූ ගෑස්

ගෑස් මිල එකවර රුපියල් 1,005ක් වැනි විශාල මුදලකින් අඩු වීම කාගෙත් සිතට මහත් අස්වැසිල්ලකි.රට තුළ ගෘහස්ථ පරිභෝජනය සඳහා මෙන්ම කර්මාන්ත හා ව්‍යාපාර සඳහා අවශ්‍ය ගෑස් අලෙවිය සිදු කරනු ලබන ගෑස් සමාගම් දෙක වන්නේ ලිට්‍රෝ හා ලාෆ් ය. මේ අතරින් ලිට්‍රෝ ගෑස් සමාගම මෙරට ප්‍රධානතම ගෑස් සැපයුම්කරුවා වන අතර, මේ වන විට ගෑස් සැපයුමෙන් සියයට 80ක් පමණ සපයන්නේ ලිට්‍රෝ ගෑස් සමාගම විසිනි. මෙය පූර්ණ වශයෙන් රජය යටතේ පාලනය වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් රක්ෂණ සමාගමට අනුබද්ධ සමාගමකි. වෙළෙඳපොළ තුළ කැපී පෙනෙන වෙළෙඳ මෙහෙයුම් ක්‍රියාන්විතයක් සිදු කරනු ලබන ලිට්‍රෝ ගෑස් සමාගම මෙරට ගෑස් වෙළෙඳාමේ නිරතවී සිටින ප්‍රමුඛතම හා පැරණිතම ආයතනය ලෙස පිළිගැනේ. 

2019 වසර අවසානයත් සමඟ අනපේක්ෂිත ලෙස පැමිණි කොවිඩ් වසංගතය හේතුවෙන් ලෝක මට්ටමින් ආර්ථික අර්බුදයක් නිර්මාණය වූ අතර ශ්‍රී ලංකාව ද එකී ආර්ථික අර්බුදයේ ප්‍රතිවිපාකවලට මුහුණ දෙන්නට විය. මෙනිසා එමෙන්ම එහි මිල ගණන් ද ශීඝ්‍රයෙන් ඉහළ ගියේය. කොවිඩ් වසංගතයේ බලපෑම නිසා ලංකාව ද විශාල මූල්‍ය අර්බුදයකට ගමන් කරමින් තිබුණි. මේ හේතුවෙන් 2022 වසර ආරම්භ වන විට රට තුළ විවිධ අර්බුද නිර්මාණය වූ අතර තෙල් සහ ගෑස් අර්බුදය ඉන් ප්‍රධාන විය.

ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල ශීඝ්‍ර ලෙස ඉහළ යෑම හමුවේ එතෙක් පැවති මිල ගණන් යටතේ එකී සමාගම් දෙකට ගෑස් ගෙන්වීම හා බෙදා හැරීම කිසිසේත් කළ නොහැකි තත්ත්වයක් උදාවී තිබුණි.

එහෙත් ගෑස් ප්‍රති අපනයනය නවතා තිබුණේ නැත. ඉන්දියාව, බංගලාදේශයට, මියෙන්මාරයට ප්‍රති අපනයනය සිදු කරමින් තිබුණි. ගෑස් නතර කර තිබුණේ දේශීය පාරිභෝගිකයන්ට පමණි. ඒ වන විට ගෙවල්වල ගෑස් ලිප් නොදැවී පත්තු කරන්න නම් අවම වශයෙන් ගෑස් මෙ.ටො. 400,000 ක් ගෙන්වී මේ අභියෝගයක් පැවතිණි. එසේම ඒ සඳහා ඩොලර් මිලියන 260ක් අවශ්‍යව තිබුණි. 2022 ජුනි මස 15 වැනිදා ලිට්‍රෝ ගෑස් ආයතනයේ නව සභාපතිවරයා ලෙස මුදිත පීරිස් වැඩ බාරගැනීමත් සමඟ ලෝක බැංකුවෙන් ලබා ගත් ණය ආධාරයක් යටතේ ගෑස් ගෙන්වීම ආරම්භ කළ අතර ක්‍රමයෙන් ගෑස් බෙදාහැරිම සාමාන්‍ය අතට පත්විය. 

ඒ අනුව ලිට්‍රෝ ගෑස් මිල ඉකුත් 4 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට විශාල අගයකින් පහළ ගියේය. ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,005කින් අඩු වූ අතර එහි නව මිල 3,738ක් විය. කිලෝ ග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 402කින් අඩු වූ අතර, එහි නව මිල ලෙස සටහන් වූයේ රුපියල් 1,502කි. කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිල ද රුපියල් 183කින් අඩු වූ අතර, එහි නව මිල ලෙස සටහන් වූයේ රුපියල් 700කි.

මෙලෙස ලිට්‍රෝ සමාගම ගෑස් මිල විශාල ලෙස අඩු කිරීමට පියවර ගැනීමත් සමඟ ලාෆ් ගෑස් සමාගම ද ගෑස් මිල සංශෝධනය කර ඇත.

ඒ අනුව කිලෝග්‍රෑම් රුපියල් 5,280 ව පැවති 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,290න් පහත දමා ඇති අතර, එහි නව මිල ලෙස දැක්වෙන්නේ රුපියල් 3,990කි. මෙතෙක් රුපියල් 2,112 පැවති කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 516කින් අඩු කර ඇති අතර, එහි නව මිල වන්නේ රුපියල් 1596කි. මෙය කොළඹ දිස්ත්‍රික්කය තුළ අලෙවි වන මිල සංශෝධය ලෙස දක්වා තිබේ.

 

Comments