මගේ පෙනුම වෙස්ටන් වුණාට හ‍ෙඬ් ඇතුළාන්තය වෙනස් | සිළුමිණ

මගේ පෙනුම වෙස්ටන් වුණාට හ‍ෙඬ් ඇතුළාන්තය වෙනස්

 

නිලක්ෂි හැලපිටිය, මේ නමට වඩා, රූපයට වඩා ඇගේ කටහඬත් සිංහබාහු සජීවී නාට්‍යකරණයේ සුප්පා දේවිය බොහෝ දෙනෙකුට සමීපයි. 2017 වර්ෂයේ සිට මේ දක්වා ඈ සිංහබාහු නාට්‍යයේ සුප්පා දේවියයි. කාලයක් කලාවට සමු දෙන නිලක්ෂි එංගලන්තයට යන්නේ වැඩිදුර අධ්‍යාපනය සඳහායි. වසර දහතුනකට පසුව නැවත ලංකාවට එන ඈ වේදිකාවත් ගීත ගායනයටත් යළි පිවිසෙනවා. මේ කතාබහ ඇය ගැනයි.

 

කාලයක් විදෙස්ගත වෙලා හිටපු ඔබ ලංකාවට එන්නේ ආයෙමත් කලාවට සම්බන්ධ වෙන්න හිතාගෙනමද..?

එහෙම හිතාගෙනම නෙමෙයි. නමුත් අවුරුදු 13ක් විතර කලාවෙන් ඈත් වෙලා හිටපු නිසා ආයෙමත් ලංකාවට ආවට පස්සේ සිංහබාහු නාට්‍යයට ආරාධනා ලැබුණා. ආසාවෙන් ආයෙමත් සුප්පාදේවි වුණා. ඊට අමතරව ගීත ගැයුවා. ඒවත් අතිශය ජනප්‍රිය වුණා. ටෙලිනාට්‍ය සඳහා තේමා ගී ගයන්නත් අවස්ථාව ලැබුණා. පානමංකඩ නාට්‍යයේ තේමා ගීතය ගයන්නෙත් මම. සතුටින් ඒ දේවල් භාර ගත්තා.

වසර ගණනාවක් තේමා ගීත සඳහා සම්මාන සදහා නිර්දේශ ලැබුවත් සම්මානයක් ලබන්න බැරි වුණා ..?

හතර වතාවක් නිර්දේශ වුණා. නිර්දේශ වීමත් සම්මානයක් ලැබුවා හා සමානයි කියලා මම හිතනවා. හැමදේම සතුටින් භාර ගන්නවා. මෙවර හොඳම ගායනයට පානමංකඩ නාට්‍යයේ තේමා ගීතයටත් මාව නිර්දේශ වුණා.

 

එංගලන්තයට යන්නේ..?

වැඩිදුර අධ්‍යාපනයට. 2004 වර්ෂයේදී තමයි මම එංගලන්තයට යන්නේ. එහේ අවුරුදු දහයක් ඉඳලා අවුරුදු 3ක් ශීෂෙල්වල ජීවත් වෙනවා. ඊට පස්සේ තමයි මම ලංකාවට ආවේ. එංගලන්තයේ දි නීතිය හදාරනවා. ඒ වගේම පශ්චාත් උපාධියත් ලබා ගත්තා.

 

ලංකාවේ තියෙනවා ආර්ථික අරගලය එක්ක ආයෙමත් එංගලන්තයට යන්න හිතිලා ඇති..?

එංගලන්තයට යන්න හිතිලා නැහැ. මොන ප්‍රශ්න තිබ්බත් ලංකාවේ ජීවත් වෙන්න ආසයි. කලාවත් එක්ක ජීවත් වෙලා ඒක අත හැරලා ජීවත් වෙන්න ලෝබයි. ආත්ම තෘප්තිය මුදලට ගන්න බැහැ කියනවා නේ. එනිසා මෙහේ ජීවිතය හොඳයි. පස්සේ බලමු.

 

ඇයි ටෙලිනාට්‍ය රංගනයට, සිනමාවට පිවිසෙන්නෙ නැත්තෙ..?

මොන දේ කළත් වෙනස්ම දෙයක් කරන්න ඕනේ. ආරාධනා නම් ලැබෙනවා. නමුත් සම්බන්ධ වෙන්නේ නැහැ. මගේ හිතට දැනුණ චරිතයක් ලැබුණොත් බර ගන්නවා.

 

සමන් ලෙනින්ගේ කටහඬ ඔබේ කටහඬත් එක්ක හොඳට ගැළපෙනවා කියලා හිතෙන්නේ නැද්ද..?

අපි දෙන්නම ජනකවි සම්බන්ධයෙන් වැඩිපුර හොයන දෙන්නෙක්.. ඒ ගැන හදාරණ දෙන්නෙක්. අපි දෙන්නගේ කටහඬ යුග ගායනයට ගැළපෙනවා කියලා බොහෝ දෙනෙක් කියනවා. ඒ වගේම අපි දෙන්න ගායනා කරන ගීත බොහෝ සෙයින් ජනප්‍රියයි. බොහෝ විදෙස් සංචාර සඳහාත් අපි දෙන්නට ඇරයුම් ලැබෙනවා. නමුත් අපි දෙන්නා ස්වාධීන ගමනක් යන දෙන්නෙක්. වැඩවලදී දෙන්නට දෙන්න උදවු කර ගන්නවා.

 

ඔබේ පෙනුම බටහිර පන්නයට ළැදියි. ඔබ විලාසිතා කරන්නේ බටහිර පෙනුමට..?

ඉස්සර ඉඳලම මං බටහිර විලාසිතාවන් භාවිත කරන කෙනෙක්. ඇතැම් නාට්‍යවලට සරල විදිහට ගැමි විදිහට දකින්න ලැබිලා බටහිර විලාසිතාවකින් කෙනෙක් දැක්කොත් ආ නේ මේ ඔයා ද? කියලා අහන අවස්ථා තියෙනවා. මට ගැළපෙන විලාසිතා කරනවා. මම හරි ආසයි ලස්සනට ඇඳලා ඉන්න. වේදිකා නාට්‍යවල ඉන්නවා කියලා ගැමි පෙනුමෙන්ම ඉන්න ඕනේ කියලා මම හිතන්නේ නැහැ. මගේ පෙනුම වෙස්ටන් වුණාට හඬේ ඇතුළාන්තය වෙනස්. ඒකයි බොහෝ දෙනෙක් පුදුම වෙන්නේ.

 

Comments