දශක 9ක මතක දිගහැරුණු සොඳුරු මොහොත | Page 2 | සිළුමිණ

දශක 9ක මතක දිගහැරුණු සොඳුරු මොහොත

ලේක්හ­වුස් සභා­පති අනූෂ පැල්පිට සිළු­මිණ 93 වැනි සංව­ත්සර ​සැම­රුම සංකේ­ත­වත් කර­මින්. ලේක්හ­වුස් කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ සිසිර පර­ණ­තන්ත්‍රි, සිළු­මිණ කර්තෘ ධර්මන් වික්‍ර­ම­රත්න, කර්තෘ මණ්ඩලයේ තිළිණ පතිරගේ සහ දිනුක්ෂි පෙරේරා ද මෙහි වේ.

ලේක්හවුස් ආයතනයෙන් වසර 1930 මාර්තු 30 වැනිදා බිහිවූ සිළුමිණ පුවත්පතේ 93 වැනි සංවත්සරය යෙදී තිබුණේ ඉකුත් මාර්තු 30 වැනිදාටය. ඒ වෙනුවෙන් ඉකුත් 29 වැනිදා ලේක්හවුස් ආයතන ශ්‍රවණාගාරයේදී චාම් එහෙත් අභිමානවත් උත්සවයක් පැවැත්විණ. උත්සවය ආරම්භ කෙරුණේ සිළුමිණ පුවත්පතේ සේවය කර දිවියෙන් සමුගත් කතුවරුන් හා මාධ්‍යවේදීන් අනුස්මරණය කිරීම සඳහා විනාඩියක නිශ්ශබ්දතාවක් පවත්වමිනි.

ලේක්හවුස් සභාපති අනූෂ පැල්පිට මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මේ උත්සවයේ විශේෂිත ආරාධිත අමුත්තන් වූයේ සිළුමිණ පුවත්පතේ තෙවැනි කර්තෘවරයා වූ ශ්‍රී ලාල් හික්කඩුව ලියනගේ මහතාගේ පුතු වන ජ්‍යෙෂ්ඨ නීතිඥ දීප්ති ලියනගේ සහ ශ්‍රී ලාල් හික්කඩුව ලියනගේ මහතාගේ මී මුනුපුරකු වන දිනුල්ක ද සිල්වා ය. වසර 1944 සිට 1953 දක්වා සිළුමිණ කතුවරයා වූ ශ්‍රී ලාල් හික්කඩුව ලියනගේ 1998 සැප්තැම්බර් 30 වැනිදා දිවියෙන් සමුගත්තේය.

මෙහිදී අදහස් දක්වමින් ජ්‍යෙෂ්ඨ නීතිඥ දීප්ති ලියනගේ පැවසුවේ මීට වසර 70කට පෙර සිළුමිණ කතුවරයාව සිටියදී සිය පියා පුවත්පත වඩාත් ජනතාව අතරට සමීප කරවීමට කළ කැපවීම පිළිබඳවය. එමෙන්ම අතීතයේ රසවත් තොරතුරු ද හෙතෙම ආවර්ජනය කළේය. ලියනගේ මහතාගේ මීමුනුපුරකු වන 12 හැවිරිදි දිනුල්ක පැවසුවේ තමන්ගේ මි මුත්තා තමාට මහත් අභිමානයක් බැවින් ඔහුගේ අපදාන ග්‍රන්ථයක් ද මේ වනවිට තමා විසින් සකස් කරමින් පවතින බවය.

ලේක්හවුස් කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ, ප්‍රවීණ මාධ්‍යවේදී සිසිර පරණතන්ත්‍රි උත්සව සභාව අමතමින් පැවසුවේ නිදහස ලබා ගැනීම සඳහා සිළුමිණ සහ අනෙකුත් ලේක්හවුස් පුවත්පත් ඉටු කළ ඓතිහාසික කාර්යභාරය විශිෂ්ට බවයි. එමෙන්ම රට නිදහස දිනා ගන්නා අවස්ථාව වන විට ජනතා හදවත් දිනා ගැනීම වෙනුවෙන් ගෙනගිය අරගලය සේම වර්තමානයේ මාතෘභූමිය අර්බුදයක පවතින මොහොතක එයින් මුදා ගැනීම සඳහා ජනතාව දැනුම්වත් කිරීම වෙනුවෙන් සිළුමිණ පුවත්පතට ජාතික මෙහෙවරක් ඉටු කළ යුතුව තිබෙන බව ද හෙතෙම සඳහන් කළේය.

“එදා පියසේන නිශ්ශංක පළමු කතුවරයා වශයෙන් සිළුමිණ පටන් ගත්තේ ඉතාම වටිනා දායාද රැසක් මේ රටේ කියවන ජනතාවට උරුම කර දෙමිනුයි. සිළුමිණ ශාස්ත්‍රීය සංග්‍රහය පළමු පුවත්පතේ සිටම මේ රටේ පාඨකයන්ට දායාද කර තිබෙනවා. සිළුමිණේ අනන්‍යතාවත් ශාස්ත්‍රීය අතිරේකයේ අනන්‍යතාවත් දෙකක් නොව එකක් ලෙස සැලකූ යුගයක් සිළුමිණ සමඟ බැඳී තිබෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස තමයි සිළුමිණ 'සත දහයේ විශ්වවිද්‍යාලය' ලෙස හැඳින්වීමට හේතු වී තිබෙන්නේ. මේ පුවත්පත ආරම්භ කර පළමු අවුරුදු හතරේ පියසේන නිශ්ශංක මහතා කර්තෘ ධුරය දරා තිබෙනවා. ඊට පසු මාර්ටින් වික්‍රමසිංහ මහතා කර්තෘවරයා වශයෙන් කටයුතු කර තිබෙනවා. ඊට පසු ශ්‍රීලාල් හික්කඩුව මහතා වසර නවයක් කර්තෘ වශයෙන් කටයුතු කර තිබෙනවා. එතුමාගේ කාලයේ මේ රට නිදහස දිනා ගත්තා. මේ රටේ නිදහස වෙනුවෙන් ජාතික අරගල භූමිකාවේ විශාල මෙහෙවරක් අවුරුදු 4ක කාලයේ ලේක්හවුස් ආයතනයේ සිළුමිණ පුවත්පත ප්‍රමුඛ පුවත්පත් ඉදිරියට ගෙනගොස් ජයග්‍රහණය කරන්න මූල බීජය වපුරපු පදනම නිර්මාණය කළේ ලේක්හවුස් ආයතනයයි. ඒ ජාතික මෙහෙවර අදටත් රටත් ජාතියත් ලේක්හවුස් ආයතනයේ සිළුමිණ පුවත්පතින් බලාපොරොත්තු වෙන මොහොතක් මේ.” යනුවෙන් ද එහිදී ලේක්හවුස් කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂවරයා පැවසීය.

ඉකුත් වසර 93 ඇතුළත කතුවරු 26 දෙනෙක් සිළුමිණ කතෘත්වය දරා ඇති අතර, එයින් 18 දෙනකු දැනට දිවියෙන් සමුගෙන ඇත. සිළුමිණ කර්තෘ, ප්‍රවීණ මාධ්‍ය‍ෙව්දී ධර්මන් වික්‍රමරත්න පැවසුවේ සිළුමිණ පාඨක ජනතාව අතර වඩාත් ජනප්‍රිය කිරීම සඳහා නවාංග රැසක් පුවත්පතට එක් කර ඇති බවයි. කොරෝනා වසංගතය, දේශපාලන සහ ආර්ථික හැලහැප්පීම් හේතු කරගෙන ඉකුත් තෙවසර ඇතුළත දුෂ්කර අභියෝග රැසකට මුහුණ දීමට සිදුව ඇති බවත් හෙතෙම ස්මරණය කළේය.

"නව ලෝකය සමඟ ඉදිරියට යෑමට නම් අපට අලුත් දේවල් අවස්ථානුකූලව කළ යුතු නිසා පුවත්පතේ යම්යම් අත්හදා බැලීම් කරනවා. ඒ අනුව පුවත්පත නැවුම් ආකාරයකින් ගෙනයන්න අප කටයුතු කරනවා. හැම තැනම නව සංකල්ප ඉදිරියට යනවා. ඒ අනුව අපත් ඉදිරියට යෑම අවශ්‍යයි. " යනුවෙන් ද ඔහු සඳහන් කළේය.



ඡායාරූප- නිශ්ශංක විජේරත්න සහ වාසිත පටබැඳිගේ

Comments