අපේ ක්‍රිකට් වනසන බෝන් අගේන් නිකායේ මහ ලොක්කා ලංකාවට ඇවිත් නටපු නැටුම් | Page 2 | සිළුමිණ

අපේ ක්‍රිකට් වනසන බෝන් අගේන් නිකායේ මහ ලොක්කා ලංකාවට ඇවිත් නටපු නැටුම්

ශ්‍රී ලංකාවට පසුගිය වසරේදී ආසියානු කුසලානය දිනා දුන්නේ ක්‍රිකට් ක්‍රීඩකයන් ද? ක්‍රිකට් ආයතනය ද? බෝන් අගේන් නිකායේ නායකයා යැයි කියන පාස්ටර් ජෙරොම් ප්‍රනාන්දු ද? නොඑසේ නම් පාස්ටර් ජෙරොම්ගෙත් නායකයා සහ ගුරුවරයා යැයි කියන සිම්බාබ්වේ ජනාධිපතිවරයාත් අල්ලේ නටවපු උයිබර්ට් ඒන්ජල් ද? දැන් ක්‍රීඩාලෝලීන්ට ඇති ගැටලුව මෙය බවට සහතිකය.

ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ පසුගිය වසරේ විස්සයි20 ලෝක කුසලාන ඔස්ට්‍රේලියානු සංචාරයත් සමඟ බෝන් අගේන් නිකායෙන් ජාතික ක්‍රිකට් කණ්ඩායමට සිදුවන බලපෑම් සම්බන්ධව බොහෝ කරුණු මතු වූ බැවින් ඒ ගැන වැඩිපුර කතා කිරීම පසුවට තබමු. පසුවට තැබුවේ යළි කතාබහට ලක් කිරීමේ අදහසිනි. මන්ද බෝන් අගේන් ආගමික බලපෑම් තවමත් අළුයට ගිනි පුපුරු මෙන් ක්‍රිකට් කණ්ඩායම වටා තවමත් සක්‍රීයව ඇතැයි විවිධ තොරතුරු පළ වන බැවිනි. 

කතා කළ යුත්තේ ආසියානු කුසලානය ශ්‍රී ලංකාවට දිනා දුන්නේ පාස්ටර් ජෙරොම් යැයි ඇතැමුන් මෙතෙක් කාලයක් පවත්වා ගත් විශ්වාසය ඊයේ පෙරේදා එහෙම පිටින්ම බිඳ වැටීම ගැනය. ආසියානු කුසලාන තරගාවලියෙන් පසු ශ්‍රී ලංකා පිලට නැවත ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ හිස එසැවීමට අල්ප මාත්‍රයකවත් අවස්ථාවක් නොලැබීම ගැනය. අලුත්ම වාර්තාවට අනුව නවසීලන්ත සංචාරයේ තුන්වැනි එක්දින තරගයෙනුත් ශ්‍රී ලංකා පිල පරාජයට පත්වීම නිසා ඉතිහාසයේ පළමුවතාවට එක්දින ලෝක කුසලානයට සුදුසුකම් සොයන තරගාවලියකට ක්‍රිඩා කිරීමට සිදු වී තිබේ. ආසියානු කුසලානයෙන් පසු බෝන් අගේන් ක්‍රිකට් කණ්ඩායමට පිටුපෑවේ දැයි ඇසිය යුත්තේ ද පාස්ටර් ජෙරොම් ප්‍රනාන්දුගෙන්මය. නොඑසේ නම් භානුක රාජපක්ෂගෙන් ද ඒ පිළිබඳ විමසීමට ක්‍රීඩාලෝලීන්ට අයිතියක් තිබෙන බව කිව යුතුය.

පාස්ටර් ජෙරොම් ආසියානු කුසලානය ශ්‍රී ලංකාවට දිනා දීමට දෙවියන් වහන්සේගෙන් ඉල්ලා සිටියේ යැයි ද, දෙවියන් වහන්සේ ඒ ඉල්ලීමට සවන් දුන්නේ යැයි ද තරගාවලියෙන් පසු පාස්ටර් ජෙරොම් විසින්ම කියනු ලැබූ කතාව විශ්වාස කළ අයට සිම්බාබවේ ජනාධිපති එමර්සන් මනන්ගග්වාගේ රාජ දූතයා ලෙස කටයුතු කළ පාස්ටර් නොහොත් අනාගත වක්තෘවරයා යැයි කියාගන්නා උයිබර්ට් ඒන්ජල් විසින් බිඳ දමනු ලැබීය.

ඔහු කියන්නේ ශ්‍රී ලංකාවට ආසියානු කුසලානය දිනා දෙන්නැයි දෙවියන් වහන්සේගෙන් ඉල්ලා සිටියේ ඔහු බවය. දෙවියන් වහන්සේගෙන් එසේ ඉල්ලා සිටීමටත්, දෙවියන් වහන්සේ එම ඉල්ලීම ඉටු කිරීමත් නිසා දැන් ක්‍රීඩාලෝලීන්ගේ ප්‍රශ්නය වනු ඇත්තේ එක්දින ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ තරගාවලියකට ක්‍රීඩා කිරීමේ අවමානය ශ්‍රී ලංකා පිල කරපින්නා ගන්නා තුරු පාස්ටර් ජෙරොම්වත්, පාස්ටර් උයිබර්ට්වත් ඒ ගැන කතා නොකළේ මන්දැයි යන්නය. ශ්‍රී ලංකාව එම අපකීර්තියෙන් මුදවා නොගත්තේ මන්දැයි යන්නය. ඒ ප්‍රශ්නයට පිළිතුරු සෙවීමටත් ක්‍රීඩාලෝලීන්ට භානුක රාජපක්ෂ නොහොත් දෙවියන් වහන්සේගේ පුත්‍රයා අමතන මෙන් ඉල්ලා සිටීමේ වරදක් නැත.

බෝන් අගේන් සහ පාස්ටර් ජෙරොම් ගැන නැවතත් කතාබහට ලක්වීමට කාරණාව වන්නේ මේ කියන අනාගත වක්තෘවරයා හෙවත් උයිබර්ට් ඒන්ජල් අමෙරිකානු ඩොලර් බිලියනකට වැඩි මුදලක් සිම්බාබ්වේ රජයට ලබා ගැනීමේ මාර්ගය සලසාලීමට එරට මහ පරිමාණයෙන් රත්රන් ජාවාරමක නිරත වූ බවට අනාවරණය වීමය. එය හෙළි කරනු ලැබුවේ අල් ජසීරා පුවත් සේවයේ ගවේෂණාත්මක කණ්ඩායමක් විසිනි. මේ වාර්තාව සකස් කිරීම සඳහා උපාය දූතයන් යොදවා උයිබර්ට් ඒන්ජල් සම්මුඛ සාකච්ඡාවකට පොලඹවා ගැනීමට සමත් වූ අල් ජසීරා පුවත් සේවය සියල්ල වීඩියෝ ගත කර පසුව අන්තර්ජාලයට මුදා හැරියේ ආගමට දහමට ලැදි ජනතා කොටසක් පමණක් නොව රටක ජනාධිපතිවරයකුවත් එහෙම පිටින්ම ගොනාට අන්දවා සිදු කළ මහ පරිමාණයේ රන් ජාවාරමකි. එය අප්‍රිකානු රටවල පමණක් නොව උයිබර්ට් ඒන්ජල්ට දේවත්වයෙන් සැලකූ ශ්‍රී ලංකාවේ අන්ධ භක්තිකයන්ගේ ද ඇස් විසල් කිරීමක් නොවේද?

උයිබර්ට් ඒන්ජල් එසේ මෙසේ පුද්ගලයකු නොවන බව අමුතුවෙන් කිව යුතු නැත. රටක ජනාධිපතිවරයකු ගොනාට ඇන්දවීමේ සූත්තරය හොඳින්ම ප්‍රගුණ කර තිබු විජ්ජාකරුවෙකි. ඔහුගේ අලංකාර හා සිත් ඇදගන්නා සුලු කතාවට රැවටුණු ජනාධිපතිවරු හා අගමැතිවරු ශ්‍රී ලංකාවේ සිටින්නේදැයි සොයා බැලීමත් වටිනා කරුණකි. එසේ වන්නේ පාස්ටර් ජෙරොම් විසින් අවස්ථා දෙකකදී මේ මහා විජ්ජාකරුවා ශ්‍රී ලංකාවට ද ගෙන්වා ඇති නිසාය. 

ඔහු මුලින්ම ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ 2020දීය. ඔහු 2022දිත් ශ්‍රී ලංකාවේ සංචාරය කළ බවට තොරතුරු වාර්තා විය. මේ අවස්ථා දෙකෙහිදීම උයිබර්ට් ඒන්ජල් විසින් පාස්ටර් ජෙරොම්ට අයිති අධිසුඛෝපභෝගී දේශන මධ්‍යස්ථානය වන කටුනායක නයිකන්ද ප්‍රදේශයේ පිහිටි ‘මිරැකල් ඩෝම්‘ ගොඩනැගිල්ලේද දේශන රැසක් පවත්වා ඇති අතර, ඒ සියලු දේශනවලට අතිවිශාල බෝන් අගේන් බැතිමතුන් පිරිසක් සහභාගි වූ බව ද වාර්තා වේ. ඒ බැතිමතුන් අතර මෙරට නොම්මර එකේ දේශපාලඥයන්, ප්‍රබලතම ව්‍යාපාරිකයන්, ජනප්‍රිය නළු නිළියන් හා ගායක ගායිකාවන් මෙන්ම ක්‍රිකට් ක්‍රීඩකයන් ද සිටි බවට තොරතුරු වාර්තා විය.

ඕනෑම අයකුට ඕනෑම ආගමක් දහමක් ඇදැහීමට ඇති අයිතිය වෙනම කාරණාවක් වූව ද, මෙවැනි සටකපට විජ්ජාකරුවකුට ජනතාව ගොනාට ඇන්දවීමට ඉඩදීම රටක කීර්තිය හෑල්ලුවට පත් කිරීමක් නොවේ ද? තමා කරන්නේ අමූලික බොරුවක් බව දැන දැනම රටක ඉහළ ම මට්ටමේ සමාජ තලයකට අයත් ධනවතුන් පමණක් නොව අන්තිම දුගී දුප්පත් පහළම මට්ටමේ ජනතාවත් ඔහුගේ බොරුවට මායාවට රැවටී කාලය හා මුදල් නිකරුණේ නාස්ති කරගැනීම අතිශය කනගාටුදායක සිදුවීමක් නොවේද ?

ඔහු පාස්ටර් ජෙරොම්ගේ ගුරුවරයා වීම හෝ පාස්ටර් ජෙරොම් ඔහුට ගරුබුහුමන් දැක්වීම ඔහුගේ පෞද්ගලික කතාවකි. නමුත් බරපතළ කාරණාව වන්නේ තම පෞද්ගලික මතය හෝ විශ්වාසය ජනගත කිරීමට උත්සාහ කිරීමය. නොඑසේ නම් එසේ ජනගත කරමින් මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට පමණක් නොව තවත් විවිධ ක්ෂේත්‍රවලට බලපෑම් ඇති කිරීමය. ආසියානු කුසලානය දෙවියන් වහන්සේ විසින් දිනා දුන් බව කියමින් පාස්ටර් ජෙරොම් දැනටමත් එය සිදු කර ඇති අතර, එය දිනා දුන්නේ තමාගේ ඉල්ලීමට දෙවියන් වහන්සේ ඇහුම්කන් දීමෙන් බවට උයිබර්ට් ඒන්ජල් ප්‍රකාශ කිරීමෙන් ආසියානු කුසලානය කෙසේ වෙතත් මේ පට්ටපල් බොරුවෙන් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ලැදි මිලියන 22ක ජනතාව නොමඟ යැවීමට දෙදෙනාම ගෙන ඇති උත්සාහය සිනහවට කරුණක් නොව කනගාටුවට කරුණක් බව ලියුම්කරුගේ අදහසය.

කතාවේ හැටියට උයිබර්ට් ඒන්ජල්ට රටවල් 15ක ශාඛා ජාලයක් ඇත. ශ්‍රී ලංකාවත් ඊට ඇතුළත් බව අමුතුවෙන් කිව යුතු නැත. ඩොලර් බිලියන ගණනාවක රන් ජාවාරමක නිරතවී ඇත්තේ මෙවැනි පුද්ගලයෙකි. ඔහුගේ සුඛෝපභෝගී ජීවිතයත්, බිරිය හා දරුවන්ට රජ සැප ලැබීමත් ඔහු කියන හැටියට දෙවියන් වහන්සේට පින්සිදු වන්නටය. අප දකින විදිහට අහිංසක ජනතාව ගොනාට අන්දවා උපයාගත් ධනස්කන්දයට පින්සිදු වන්නටය. පාස්ටර් ජෙරොම්ගේ කතාව ද ඊට දෙවැනි නොවන බව කෙසේ කියන්නද?

පාස්ටර් උයිබර්ට්ගේ ශ්‍රී ලංකා සංචාරයේදී ඔහු විසින් දේශනා පැවැත්වූ ස්ථානවලට අතිවිශාල ජනතාවක් එක්රොක් වීම හේතුවෙන් දැඩි තදබදයක් හටගත් බවත්, මීට වසර කිහිපයකට පෙර සිදු වූ පාස්කු ප්‍රහාරය හේතුවෙන් උයිබර්ට්ගේ දේශන පැවැති මධ්‍යස්ථානවලට ද ආයුධ සන්නද්ධ යුද හමුදා සහ පොලිසියේ ආරක්ෂාව ලබාදී තිබූ බවත්, පොලිස් සුනඛයන් ද ගෙන්වා තිබූ බවත් සිම්බාබ්වේ පුවත්පත් එවකට වාර්තා කර තිබිණි.

උයිබර්ට් ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ තවත් දූත පිරිසක් සමඟය. ඔහු සමඟ ඔහුගේ බිරිය හා පුත්‍රයා ද පැමිණ ඇත. ගුවන්තොටුපොලේදීම ඔවුන් ඉතා ගරුගාම්භීරව පිළිගැනීමට පාස්ටර් ජෙරොම්, ඔහුගේ බිරිය (ඇය අනාගත වක්තෘවරියක්ලු) දියණියන් දෙදෙනා එහි ගොස් තිබේ. ආරක්ෂා සහිතව උයිබර්ට් කැඳවාගෙන ගොස් ඇති අතර, එය රාජ්‍යතාන්ත්‍රිකයකුට තරම් ඉතා ඉහළ මට්ටමේ පිළිගැනීමක් බවට තොරතුරු වාර්තා විය. 

ශ්‍රී ලංකාවේ ගත කළ කාලය ඇතුළත උයිබර්ට් ඒන්ජල් මෙරට ඉහළ මට්ටමේ දේශපාලඥයන්, ප්‍රභූවරුන් හා ව්‍යාපාරිකයන් සමඟ පෞද්ගලික සාකච්ඡා ගණනාවකට එක්වූ බවත් වාර්තා විය. එම සාකච්ඡා නිල වශයෙන් සහ නිල නොවන ආකාරයෙන් පැවැති ඒවාය. සියලු සාකච්ඡාවලට පාස්ටර් ජෙරොම් ද සහභාගි වූ බවත්, රටේ ඉහළම මට්ටමේ දේශපාලඥයන් සමඟ පැවැති සාකච්ඡා සිම්බාබ්වේ රජයේ නියෝජිතයකු ලෙස පවත්වා ඇති බවටත් කරුණු වාර්තා විය.

පෙනෙන හැටියට උයිබර්ට් සිම්බාබ්වේ ජනාධිපතිවරයා ගොනාට ඇන්දුවා මදිවට මෙරට ඉහළ මට්ටමේ දේශපාලඥයන් ද අන්ධ බැතිමතුන් කිරීමේ අරමුණින් පොලඹවා ගැනීමට උත්සාහ කර තිබේ.

මේ අතරතුරම පාස්ටර්වරුන් දෙදෙනාගේ දරුවන්ගේ ‘ටික්ටොක්‘ ද අන්තර්ජාලයට මුදා හැර තිබිණි. පාස්ටර් උයිබර්ට්ගේ පුත්‍රයා සහ පාස්ටර් ජෙරොම්ගේ වැඩිමල් දියණිය එම ටික්ටොක් වීඩියෝවේ පෙනී සිට ඇති අතර, සිම්බාබ්වේ පුවත්පත් වාර්තා කර තිබුණේ දෙදෙනා පෙම්වතුන් බවය. ඒවා පෞද්ගලික කාරණා වුව ද සිම්බාබ්වේ ජනතාව ද ශ්‍රී ලාංකිකයන් සේම ‘ගොසිප්‘වලට කැමැති බැවින් ඒවා පළ කරන්නට ඇතැයි අනුමාන කළ හැකිය.

උයිබර්ට් ඒන්ජල්ගේ සටකපටකම්වලට හසු වූ යුරෝපයේ ඉහළ මට්ටමෙ ව්‍යාපාරිකයන් සහ ප්‍රභූවරුන් හා දේශපාලඥයන් ද සිටින බව වාර්තා වේ. මේ සියලු සම්බන්ධතා ඔහු ඇතිකරගන්නට ඇත්තේ පසුගිය වසරේදී සිම්බාබ්වේ ජනාධිපතිවරයා සිය විශේෂ රාජ දූතයා ලෙස උයිබර්ට් පත් කරගැනීමෙන් පසුව විය හැකිය. ඔහු එම තනතුර අවභාවිත කරමින් තම අභිමතය පරිදි කටයුතු කරන්නට ඇත. ඔහුගේ ශ්‍රී ලංකා සංචාරවලදී ද ඒවා යහමින් සිදුවන්නට ඇත.

බෝන් අගේන් කල්ලිය හෝ ආගමික නිකාය ගැන ජනතාව අතර වැඩි කතාබහක් ඇතිවූයේ ක්‍රිකට් ක්‍රීඩාව අරභයාය. පාස්ටර් ජෙරොම්ගේ වුවමනාවට ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සියලුම ක්‍රීඩකයන් බෝන් අගේන් ලෙස බවුතිස්ම කිරීමට ඇතැමුන් උත්සාහ කළ බවට ද කතා පැතිර ගියේය. එසේ වූවානම් එක අතකට හොඳ යැයි සිතෙන්නේ එවිට ඔස්ට්‍රේලියාවේ පැවැති විස්සයි20 ලෝක කුසලානය දිනා ගැනීමටත්, ඉදිරියේදී ඉන්දියාවේ පැවැත්වෙන එක්දින ලෝක කුසලානයට සෘජුව සුදුසුකම් ලැබීමටත් අවශ්‍ය වටපිටාව පාස්ටර්වරුන් දෙදෙනාම එක්ව සිදු කර දීමට ඉඩ තිබුණා නොවේදැයි සිතෙන බැවිනි. එපමණක් නොව නවසීලන්තය පරදවා ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකාවට අවස්ථාව තිබුණා නොවේදැයි කියාත් සිතේ.

ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ එකමුතුභාවය අභියෝගයකට ලක් කරමින් ‘බෝන් අගේන්‘ උන්මාදය ව්‍යාප්ත වූයේ මෑත ඉතිහාසයේදී බව කවුරුත් කියති. එවකට ශ්‍රී ලංකා පිලේ හිටපු සුපිරි පිතිකරු යුගලයකගේ කළමනාකරු ලෙස කටයුතු කළ චාලි ඔස්ටින් නමැති බ්‍රිතාන්‍ය ජාතිකයා බෝන් අගේන් ශ්‍රී ලංකාවේ ව්‍යාප්ත කිරීමට එම පිතිකරුවන්ගේ සහාය ලබාගත් බවටත් එවකට තොරතුරු වාර්තා විය. ඒවා හුදෙක් වාර්තා පමණි. පසුකාලීනව චාලි ඔස්ටින්ගේ බෝන් අගේන් ව්‍යාප්තිය යටපත්ව ගොස් කොළඹ සුප්‍රකට කතෝලික පාසලකින් ක්‍රිකට් ක්‍රීඩාවට පිවිසි කඩුලු රකින වමත් පිතිකරු ජෙරොම් ප්‍රනාන්දු මතු වූයේ බෝන් අගේන් ක්‍රිකට් ක්‍රීඩාවේ පිල්ලියක් බවට හිටපු ක්‍රීඩකයන්ගේ සහ පරිපාලකයන්ගේ දහසක් චෝදනා මැදින්ය. පාස්ටර් ජෙරොම්ගේ ආගමික භාවිතය විවේචනය කිරීම සුදුසු නැත. ඒවා ඔහුගේ පෞද්ගලික විශ්වාසයන්ය. ඒවාට ගරු කළ යුතුය.

ඔහුගේ හාස්කම්, ඉන්ද්‍රජාල වැඩකටයුතු, අනාගත පේන කියැවීම් ද මේ ලිපියට අදාළ නැත. එහෙත් ජාතික කණ්ඩායමට එක්වීමට බෝන් අගේන් නිකායට බැඳිය යුතු වීම තරම් මතවාදයක් ගොඩ නැගීමටත්, ඒ හරහා රටක් ලෙස ජාත්‍යන්තරයේ පෙනී සිටිමින් මව්බිමට කීර්තියක් ගෙන දිය හැකි ක්‍රීඩකයන් බිළි බා ගැනීමටත් තරම් ඔහුගේ ආගමික කටයුතු ප්‍රබල නම් එය ක්‍රීඩා අමාත්‍යාංශය පමණක් නොව ජනාධිපතිවරයාගෙත් දැඩි අවධානය යොමු විය යුතු කාරණාවකි. පුන පුනා කිව යුතු වන්නේ එකම දේ එයයි.

දැන් සිම්බාබ්වේ පමණක් නොව මුළු අප්‍රිකාවම නැටවූ පාස්ටර් උයිබර්ට් ඒන්ජල්ගේ නැටුම් හෙළි වී අවසන්ය. ඒවාට උඩගෙඩි දුන් අයගේ නැටුම් කෙළි ද ඉදිරියේදී අල් ජසීරා තවත් විමර්ශනයකින් අනාවරණය වනු ඇත. එවිට පාස්ටර්ස්ලාට මෙන්ම ඔවුන්ගේ දේවපුත්‍රයන් බව කියන අයටත්, අන්ධ විශ්වාසය තමා සන්තකයේ තබා නොගෙන ඒවා ජනගත කිරීමට උත්සාහ කරන අයටත්, අන්ධ විශ්වාසයේ නාමයෙන් ක්‍රිකට් ඇතුළු වෙනත් ක්ෂේත්‍රවලට බලපෑම් කළ අයටත් උත්තර බැඳීමට සිදුවනු ඒකාන්තය. නොකියා කියන්නේ අල් ජසීරා ඉදිරියේ විකාශය කිරීමට නියමිත උයිබර්ට් ඒන්ජල්ගේ තවත් වීඩියෝ පටවලින් ශ්‍රී ලාංකිකයන්ගේ නම් ද හෙළිවීමට බොහෝ දුරට ඉඩ ඇති බවය.

Comments