එයාගෙත් අකමැත්තක් නැහැ කියලා දැනුණ ගමන් හිමීහිට මගේ යෝජනාව කළා | Page 2 | සිළුමිණ

එයාගෙත් අකමැත්තක් නැහැ කියලා දැනුණ ගමන් හිමීහිට මගේ යෝජනාව කළා

- අදටත් මට පවුල තමයි අංක එක 
- වැඩිය කතා නොකර ඉන්නකොට මම දන්නවා එයාට රිදිලා කියලා 
- සෑහෙන වෙලාවක් කට්ටකාපු නිසා එයා මගේ දිහා බලලා ඔරවලා අහක බලා ගත්තා

සබඳ පබිලිස් වගේම නින්ජා වෙළඳ දැන්වීම ඔස්සේ අතිශය ජනප්‍රිය වුණු නිමන්ති පෝරගේ එදා වගේ අදටත් ජනප්‍රිය චරිතයක්. පසුගියදා විකාශය අවසන් වුණු මෙට්‍රෝ හීන ටෙලි නාට්‍යයෙනුත් ඇයව දකින්න ලැබුණා. ආදරණීය දුවෙකුටත් පුතෙකුටත් ආදරණිය අම්මා වුණු නිමන්ති පෝරගේත් ඇයගේ සැමියා වූ ප්‍රභාත් රෝෂන් ගැනත් මේ විදිහට කතා කරන්න හිතුවා. මේ කතාබහ ඒ පුංචි කැදැල්ල ගැනයි. 

නිමන්ති මේ දවස්වල මවගෙ වගකීම අද බහුල වෙලා වගේ..?

මගේ පුතා මෞලි මතීෂ මෙවර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙනවා. හරියට මම සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙනවා වගේ තමයි කාර්යබහුල වෙලා තියෙන්නෙ. සමහර දවස්වලට පුතාගේ ක්ලාස් ඉවර වෙද්දි රෑ එකොළහත් පහුවෙනවා. ඒ නිසා මේ දවස්වල වැඩිපුර කාලයක් එයා වෙනුවෙන් යොදවනවා. දුවත් තවම පොඩියි. එයාගේ නම සංසා. එයා ගැනත් හොයලා බලනවා. සමහර වෙලාවට රූපවාහිනී නාලිකාවකින් වැඩ සටහනකට ආරාධනා කළත් මම හරියට ස්ට්‍රෙස් වෙනවා. ගෙදර වැඩයි දරුවන්ගෙ වැඩයි එක්ක කොහොමද ඒකට සම්බන්ධ වෙන්නේ කියලා. ඔහොම තමයි ඉතිං ජීවිතේ ගෙවෙන්නේ

ඔබේ සැමියා ප්‍රභාත් වාරණයක් දැම්මා නේද ඔහු නිෂ්පාදනයක් කරන ටෙලිනාට්‍යවල විතරයි රඟපාන්න පුළුවන් කියලා..?

අනේ එයා මට එහෙම කියලා නැහැ. නමුත් මට හරි ලේසියි එයා නිෂ්පාදනය කරන නාට්‍යවලට සම්බන්ධ වෙන එක. මගේ වැඩත් එක්ක ගැලපෙන කාලයක් එයාගෙන් ඉල්ල ගන්න පුළුවන්. සමහර වෙලාවට මම රණ්ඩු කරනවා ශූටිං එන්න පුළුවන් වෙලාවක් දෙන්න කියලා. ඒක හරි පහසුයි. වෙන නිෂ්පාදකවරුන්ගේ කෙටි නාට්‍යවලට සම්බන්ධ වෙන අවස්ථා තියෙනවා. දීර්ඝ නාට්‍යවලට නම් සම්බන්ධ වෙන්නේ නැහැ. පවුල් ජීවිතයත් එක්ක රංගන ජීවිතය හරියට ගලපා ගන්න අමාරු නිසා

ඔබේ සැමියා නිෂ්පාදකවරය වුණාට නිර්මාණය අධ්‍යක්ෂණය කරන අධ්‍යක්ෂක කැමති වෙන්න ඕන නේද ඔබට චරිතයක් දෙන්න..? 

ප්‍රභාත් ටෙලි නාට්‍ය විස්සක විතර නිෂ්පාදකවරයා විදියට වැඩ කරලා තියෙනවා. නමුත් මම සම්බන්ධ වුණේ නිර්මාණ දෙක තුනකට විතරයි. ඒ අධ්‍යක්ෂකවරයා මට ආරාධනා කරලා. අපේ නිර්මාණයක් වුණත් මට ලැජ්ජයි චරිතයක් දෙන්න කියලා ඉල්ලන්න. මෙට්‍රෝ හීන කියන ටෙලි නාට්‍යයේ මම රඟපාපු චරිතය පිටපත කියවලා තිබ්බා මට ආරාධනා කරන්න කලින්. ලොකු ආසාවක් ඇති වෙලා තිබ්බා ඒ චරිතය කරන්න. නමුත් මම ඉල්ලුවේ නැහැ. අධ්‍යක්ෂක සුපුන් මට ආරාධනා කළා ඒ චරිතය ගැලපෙන්නේ ඔයාට කියලා. පුදුම කැමැත්තකින් මම එයට සම්බන්ධ වුණේ. මම කවදාවත් ඉල්ලලා චරිත ගන්න කෙනෙක් නෙමෙයි. ප්‍රභාත්ගේ නිර්මාණවලට සම්බන්ධ වෙන්නෙ පහසු නිසා විතරමයි.

ප්‍රභාත් සහ ඔබගේ දෙමාපියන් මුලින්ම සම්බන්ධෙට අකැමැති වුණේ දෙන්නම කලාවට සම්බන්ධ නිසා ද..?

එයාගෙ දෙමාපියන් අකමැති වුණේ මම නිළියක් කියලා. මගේ අම්මයි තාත්තයි අකමැති වුණේ කලාවට සම්බන්ධ කෙනෙක් එක්ක විවාහ වෙලා ටික කාලෙකින් ඩිවොස් වෙයි කියන බයට. මොකද බොහෝ ප්‍රසිද්ධ අයගේ විවාහ ජීවිතේ තියෙන ප්‍රශ්න එයාලට අහන්න දකින්න ලැබුණු නිසා. කොහොම නමුත් අපි දෙන්නා අපි දෙන්නගෙ බැඳීම් අතහැර ගත්තේ නැහැ. ඒ වෙනකොටත් මට ගෙදරින් යෝජනාවක් ගෙනත් තිබ්බේ. ව්‍යාපාරිකයෙක්ව. එතකොට මට ආදර සම්බන්ධතාවයක් තිබුණේ නැති නිසා අම්මා විවාහයට බල කරනකොට එයාලට කැමති දෙයක් කරගන්න කියලා ඉඩ දීලා තිබ්බ කාලයක්. ඒ වෙනකොට මගේ වයස අවුරුදු 26 යි. ඒ වගේම ප්‍රභාත්ටත් ඒ කාලෙම ගෙදරින් යෝජනාවක් ගෙනත් තිබ්බා. කොහොම හරි මගෙත් එයාගෙත් හිත ගියේ දෛවය නිසා වෙන්න ඇති. අන්තිමට “ෆයිට්“ කරලා බොහෝම අමාරුවෙන් කැමැත්ත ගත්තා. මගේ අම්මා කිව්වා දැන් ඉන්න කොල්ලෝ විශ්වාස නැහැ දෙමාපියන් එක්ක ඇවිත් කතා කරන්න කියලා. ඊට පස්සේ දෙමාපිය ආශිර්වාදය ලැබුණා. අපි දෙන්නා විවාහ ගිවිස ගත්තා. එයාට ඉක්මනින් බඳින්න ඕන කිව්වා. මාව නැති වෙයි කියලා. එතකොට එයා නැවකත් වැඩ කරා. රෙජිස්ටර් කරලා එයා ගියා. අවුරුදු තුනකට පස්සේ විවාහ මංගල්‍යය ගත්තා.

නිමන්තිට බයක් හිතුනෙ නැද්ද ප්‍රභාත්ව බැඳලා විවාහ ජීවිතය අසාර්ථක වෙයි කියලා..?

අම්මලා වගේම මටත් ඒක හිතුණා. හදිස්සියේ හරි විවාහ වෙලා ඩිවෝස් වෙන්න වුණොත් ලැඡ්ජාවට පත් වෙනවා නේද කියලා. නමුත් මම හිතාගත්තා මොනම හේතුවක් නිසාවත් විවාහ ජීවිතය අවුල් කරගන්නේ නැහැ කියලා. ඒක තදින්ම ඔළුවේ තිබ්බ නිසා මොන මත ගැටුම් ආවත් පවුල ආරක්ෂා කරන්න මම මුල් තැන ගත්තා. කාලයක් යද්දී අපි අපිව තේරුම් අරන් දැන් සතුටින් ජීවත් වෙනවා. අදටත් මට පවුල තමයි අංක එක.

ආදරේ කරන කාලේ විවාහයෙන් පස්සේ රඟපාන්න අවසර දෙන්නම් කියලා විවාහ වුණා ට පස්සේ තහනම් කරපු අවස්ථා නැද්ද ..?

විවාහ වුණාට පස්සේ රඟපාන්න එපා කියලා කටින් කිව්වේ නැහැ. ඒ වුණාට ප්‍රභාත්ගේ හැසිරීමෙන් තේරුණා අකමැති බව. ඒක තේරුම් අරන් මම ටික කාලයක් වැඩවලට සම්බන්ධ නොවිත් හිටියා.

කැමරාව ඉස්සරහ ප්‍රභාත් ඉන්නකොට කොහොමද ඔබ ප්‍රේමාන්විත චරිත රඟපාන්නේ. අපහසුතාවට පත් වෙලා නැද්ද..? 

හරිම අපහසුවෙන් රඟපාන්නෙ. රඟපානකොට මට අතපය දිග ඇරලා නිදහසේ රඟපාන්න ඕන. නමුත් එයා ඉස්සරහා ඉන්න කොට ටිකක් අපහසුයි. මම රඟපෑමක් කරන්නේ වුණාට එයාටත් දැනෙන අවස්ථා ඇතිනේ. රිදෙනවාත් ඇති හැබැයි කොයිම වෙලාවකවත් ඒක පෙන්නන්නේ නැහැ. එයා හරි ලොකුකමෙන් ඉන්නේ වෙලාවකට හරි පණ්ඩිතයි. මොකුත් දන්නේ නැහැ වගේ ඉන්නවා. වැඩිය කතා නොකර ඉන්නකොට මම දන්නවා එයාට රිදිලා කියලා.

දරුවෝ දෙන්නත් කලාවට සම්බන්ධයි නේද..?

පුතා රඟපෑමෙන් ටිකක් ඈත් වුණේ මාස තුන හතරකට කලින් සාමාන්‍ය පෙළ නිසා. සාමාන්‍ය පෙළ අවසන් වුණාට පස්සේ ආයෙමත් රඟපායි. දුව හිටියේ එකම එක නිර්මාණයකට විතරයි. ඒ මගේ දුවට. ඒ චරිතය හරිම දුෂ්කරයි කියලා එයාට ආයේ රඟපාන්න බැහැ කිව්වා. ඔය විදිහට කටු කන්න බැහැ කියලා. රඟපෑමට එයාගේ කැමත්තක් නැහැ.

සබඳ පබලිස් නිසා විවාහය දක්වා ප්‍රේමය රැගෙන ගිය නිමන්ති ගේ සැමියා තමයි ප්‍රභාත් කියන්නේ නිමන්තිගේ කතාබහෙන් පසුව මේ විදිහට ප්‍රභාත්ව කතාබහ ට එකතු කරගත්තා

ප්‍රභාත්, සබඳ පබලිස් නාට්‍යයේ කැමරාකරණය ඔබගේ, කැමරාව ඉදිරියේ හිටපු නිමන්තිට අවසානයේ ආදරේ කරන්න පටන් ගත්තා..?

ඔව්, මං එයාව මුලින්ම දකින්නේ අකාල සන්ධ්‍යා නිර්මාණයෙන්. එතකොට එයා ඉස්කෝලෙ යනවා. නමුත් ආදර හැඟීමක් දැනිලා තිබුණේ නැහැ. සබඳ පබලිස් නිර්මාණයත් එක්ක තමයි අපි ගොඩක් හිතවත් වෙන්නේ. දෙන්නගේ ෆෝන් මාරු කරගෙන ගේම් ගැහුවා. විවේකයක් තිබ්බ වෙලාවට දෙන්නා පැත්තකට වෙලා කතා කර කර හිටියා, අන්තිමට ඒ කතාබහ දුර දිග ගියා. එයාගෙත් අකමැත්තක් නැහැ කියලා දැනුන ගමන් හිමිහිට මගේ යෝජනාව කළා. එයත් අකමැති වුණේ නැහැ. සබඳ පබලිස් අවසන් වෙද්දී අපි යාළු වෙලා. මම වැඩිපුර එයා දිහා බලනවා. වැඩි සැලකිල්ල. ඒවත් එක්ක එයාට හිතිලා මම එයාට කැමැත්තෙන් ඉන්නේ කියලා

මුල්ම හමුවීමේදී නිමන්ති ප්‍රභාත් එක්ක දැඩි තරහකින් හිටපු කෙනෙක් කියන්නේ ඇත්තද.?

ඔව්නේ, සබඳ පබිලිස් ටෙලිනාට්‍යයේ ශූටිං යන්න අපි හැමෝම ගියේ එක වාහනේ, පළමුවෙනි දවසෙ ෂූටින් යන්න වාහනේ අපේ ගේ ළඟට ඇවිත් පැයක් විතර මම එනකම් බලාගෙන හිටියා. ඒ වෙලාවේ නිමන්ති වාහනේ ඉඳලා තියෙන්නෙ . මම ලෑස්ති වෙලා වාහනේට ඇවිත් නගිද්දිම එයාව දැක්කා. ඒ මොහොත මට තවම මතකයි. එදා එයා මගේ දිහා බලලා ඔරවලා අහක බලා ගත්තා. සෑහෙන වෙලාවක් කට්ට කාපු නිසා. මම ගණන් ගත්තෙත් නැහැ මම ත් පාඩුවේ ගියා. ඒ වෙද්දී එයා ගැන කිසිම අදහසක් තිබ්බේ නැහැ.

නිමන්ති පෝරගේ කියන චරිතය, ඔබ දකින්නේ කොහොමද ..?

නිළියක් හැටියට ඇය දක්ෂ නිළියක්. සාමාන්‍ය කෙනෙක් හැටියට අතිශය සාමාන්‍ය චරිතයක්. පොළොවේ පය ගහලා කොහේ ගියත් සතුටින් කෑගහලා හිනාවෙලා කතා කරලා ඉන්න කෙනෙක්. ඒ සරලකමට මම කැමතියි. මුල් කාලේ අපි බස් එකේ ගියේ. එයා ජනප්‍රියම කාලේ. නමුත් එහෙම හිතුවේ නැහැ. දැන් යාන වාහන තියෙනවා කියලත් වෙනසක් නැහැ .

ඒ කාලේ නිමන්තිටත් කටකතා හැදුණා?

ඒ කාලේ තිබ්බ ජනප්‍රියත්වය එක්ක එයාට කතා හැදිලා තිබ්බා. ළඟින් හිටපු මම දන්නවා ඒවා බොරු කියලා. ඒ නිසා මට ඒවා ප්‍රශ්නයක් වුණේ නැහැ. ඉස්සර හැම චැනල් එකේම දවස් හතේම නාට්‍ය තුන හතරක නිමන්ති ව දකින්න ලැබුණු කාලයක්.

ඇය රඟපෑ නිර්මාණවලින් කැමතිම චරිතය ..?

අපි නිෂ්පාදනය කරපු මිල්ලෑවේ වලව්ව. හරිම ලස්සනට එයාගේ රාජකාරිය කරා. ඊට අමතරව මෙට්‍රෝ හීන හා සුදෝ සුදු කියන නිර්මාණ

රටේ ප්‍රශ්න එක්ක කොහොමද නිර්මාණ නිෂ්පාදනය කරන්නේ. අසීරූ කටයුත්තක් වෙන්න ඇති..?

ඉස්සර අපි අත දිග ඇරලා වියදම් කරලා නිර්මාණ කරා. ඒත් දැන් එහෙම කරන්න බැහැ. නමුත් නිර්මාණ නොකර ඉන්නත් බැහැ . සමහර චැනල්වලට නාට්‍ය නිෂ්පාදනය කරලා දීලා අපිට කෝටි ගණන් මුදල් එන්න තියෙනවා. නමුත් ඒවා ලැබෙන්නේ නැහැ. ප්‍රශ්න මැද්දේ තමයි මේ වැඩේ කරගෙන යන්නේ. මොනවා කරන්නද

ඔබේ අලුත් ම නිර්මාණය ගැනත් කියමු..?

පළමුවෙනි වතාවට කොමඩි ටෙලි නාට්‍යයක් නිෂ්පාදනය කරනවා. ඒක අධ්‍යක්ෂණය කරන්නේ මිහිර සිරිතිලක. ඒක තමයි අලුත්ම බලාපොරොත්තුව. ඒකත් සාර්ථක නිර්මාණයක් වෙයි කියලා බලාපොරොත්තු වෙනවා.

Comments