
ක්‍රීඩා සංගම්වලට පත්වන නිලධාරීන්ගේ ‘පැටිකිරිය‘ අවබෝධ කරගත හැකි හොඳම වාර්තාව විගණන වාර්තාවය. එය ක්‍රිකට් වේවා, පාපන්දු වේවා, රග්බි වේවා, ඕනෑම ක්‍රීඩාවක ප්‍රගතිය වෙනුවෙන් සංගමය විසින් වාර්ෂිකව සිදු කරනු ලබන මූල්‍යමය දායකත්වය විනිවිද දක්වන ලියවිල්ලකි. එහෙත් ක්‍රීඩාවට සම්බන්ධ වැඩිදෙනකු දන්නා පරිදි මෙරට බොහෝ ක්‍රීඩා සංගම්වල විගණන වාර්තා එහෙම පිටින්ම අවුල්ය. විගණන වාර්තාව සකස් කරදීමට විගණන දෙපාර්තමේන්තුව ක්‍රීඩා සංගමයකින් ගෙන්වා ගන්නා වාර්ෂික අයවැය ලිපිලේඛනවල අඩුපාඩු එමටය. ඒවා නැවත නැවත ගෙන්වා ගැනීමට සිදුවීමත්, බොහෝ අවස්ථාවල වැය කිරීම්වලට අදාළ ලියවිලිවල අඩුපාඩුත් නිසා විගණන දෙපාර්තමේන්තුව ද අසීරුතාවට පත්වන අවස්ථා කොතෙකුත් ඇත. මේ සම්බන්ධව ක්‍රීඩා අමාත්‍යාංශයේ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තුමේන්තුවට අත්දැකීම් කොතෙකුත් ඇති බව නිසැකය. මෑත ඉතිහාසයේ හිටපු ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරුන්ට මෙන්ම වත්මන් ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයාට ද දැඩි හිසරදයක් බවට පත්වී ඇත්තේ ද ක්‍රීඩා සංගම් විගණන වාර්තාවල පවතින පරස්පර විරෝධී කරුණු කාරණා විසඳීමේ දුෂ්කරතාවන්ට මුහුණදීමය. මීට අමතරව ඕනෑම ක්‍රීඩා සංගමයක වාර්ෂික මහ සභාව සහ නිලවරණය එළැඹෙද්දී කරළියේ ඉස්මතු වන්නේ ද පසුගිය කාලසීමාවේ අදාළ ක්‍රීඩා සංගමයේ විගණන වාර්තාවේ අඩුපාඩුය.
විගණන දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කරන ලිපි ලේඛනවල අඩුපාඩු හේතුවෙන් වාර්තා කල්ගත වීමත්, අඩුපාඩු සකස් කිරීමට තරම් ප්‍රමාණවත් සහයෝගයක් ක්‍රීඩා සංගම්වල නිලධාරින්ගෙන් නොලැබීමත් පසුගිය කාලය පුරාම විගණකාධිපතිවරයා ඇතුළු නිලධාරී මණ්ඩලය දුෂ්කරතා රැසකට මුහුණදීමට සිදු වූ බව ප්‍රසිද්ධ රහසකි.
සිය කාර්යභාරය අකුරටම ඉටු කරන රාජ්‍ය ආයතනයක් ලෙස විගණන දෙපාර්තමේන්තුව කීර්තියක් දිනා සිටින ආයතනයකි. එබැවින් ආවාට ගියාට විගණන වාර්තා සකස් කිරීමක් එහිදී සිදු වන්නේ නැත. මෙරට බොහෝ ක්‍රීඩා සංගම්වල නිලධාරීන් සිය සංගමයේ අය වැය සම්බන්ධව විගණන වාර්තා ලබා ගැනීමේදී දුෂ්කරතාවට පත්වන්නේ ද වසරක් පුරා සංගමයේ සිදු කළ මූල්‍ය ක්‍රියාකාරකම් පිළිබඳ නිවැරැදි තොරතුරු ලබාදීමට අසමත්වීමෙනි. ක්‍රීඩා සංගම්වල පවතින නඩු හබ, අභියාචනා, ප්‍රතිවිරුද්ධ පාර්ශ්වයේ පැමිණිලි, චෝදනාවලට මෙන්ම ගැරහුම්වලට ද සංගම් නිලධාරීන් ලක්වන්නේ වැඩිපුරම ඉහත කී කාරණාව සම්බන්ධයෙනි.
සාමාන්‍යයෙන් ක්‍රීඩා සංගම්වල මූල්‍ය තොරතුරුවල නිවැරැදිතාව සහතික කෙරෙන එම විගණන වාර්තා සම්බන්ධව ක්‍රීඩාලෝලීන් තුළ එතරම් උනන්දුවක් නැත. එසේ උනන්දුවක් ඇතිවූයේ නම් ඒ මේ වන විටත් සකස් කරමින් පවතින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විගණන වාර්තාව සම්බන්ධයෙනි. අද වන විට මෙරට ක්‍රිකට් ක්ෂේත්‍රයට සම්බන්ධ පාර්ශ්ව මෙන්ම ක්‍රීඩාලෝලීන් ද විශාල උනන්දුවකින් යුතුව බලා සිටින්නේ එම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විගණන වාර්තාව නිකුත් වනතුරු බවට නොරහසකි. එය වඩාත් ඉස්මතු වී ඇත්තේ විගණන දෙපාර්තමේන්තුව පිළිබඳ සියලු පාර්ශ්ව අතර විශාල විශ්වාසයක් ගොඩනැඟී ඇති බැවිනි.
එසේ වූයේ පසුගිය වසරේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ නිලධාරීන් ඔස්ට්‍රේලියාවේ පැවැති විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට සහභාගී වීමේදී සිදු වූ බව කියන විවිධ අක්‍රමිකතා හා මුදල් අවභාවිතය සම්බන්ධව නිකුත් කළ කුසලා සරෝජනී කමිටු වාර්තාවෙන් පසුවය. මේ සම්බන්ධව විමර්ශනය කිරීමට හිටපු මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධනගේ ප්‍රධානත්වයෙන් පත් කළ පංච පුද්ගල කමිටුව විසින් ක්‍රීඩා අමාත්‍යවරයාට භාර දුන් වාර්තාව ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව අරබයා මෙරට ක්‍රීඩාලෝලීන් මෙතෙක් නොදැන සිටි කරුණු කාරණා රැසක් අනාවරණය කළේය.
ඒ අනුව,
1) 2022 අයිසීසී විස්සයි20 ලෝක කුසලාන (පිරිමි) ක්‍රිකට් තරගාවලියට අදාළ සංචාරයේ ආදායම් සහ වියදම් පිළිබඳ වහාම ස්වාධීන විගණනයක් සිදු කිරීමටත්,
2) එසේ විගණනය සිදු කිරීමට පෙර, අදාළ ලේඛන වෙනස් කිරීමට හෝ සැඟවීම වළකාලීමට පියවර ගැනීමටත්,
3) අනතුරුව ඉදිරිපත්වූ කරුණු සලකා බලමින් ආයතනයේ අරමුදල් අවභාවිත කළ සහ ඊට ආධාර උපකාර කළ සියලු දෙනාටම එරෙහිව ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ විධිවිධාන ප්‍රකාරව මුදල් වංචා කිරීම, සාපරාධී විශ්වාසය කඩකිරීම, සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීම, අනර්ථය, යනාදී චෝදනා/ චෝදනාවන් ඉදිරිපත් කරමින් නීති මඟින් කටයුතු කළ යුතු බවටත්,
4) 1973 අංක 25 දරන ක්‍රීඩා පනතේ 32 (අ), (ආ) සහ (ඈ) වන වගන්තීන්වලට අනුව පහත දැක්වෙන අයුරින් ක්‍රියා කළ හැකි බවටත් එම වාර්තාවෙන් නිර්දේශ කර තිබිණි.
එපමණක් නොව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සතු මුදල් ඉදිරියට පරිහරණය කිරීමේදී, විශ්වාසනීයත්ව සහ විනිවිදභාවය තහවුරු කිරීම පිණිසත්, අවභාවිත කිරීම, දූෂණය වළකාලීම පිණිසත්, වෙනත් ආයතන සමඟින් ක්‍රිකට් ආයතනය ගිවිසුම්වලට එළැඹීමේදී විකිණිම් සහ මිලදී ගැනීම්වලදී ද ක්‍රීඩා අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ විධිවිධානවලට අනුකූලව කටයුතු කළ යුතු බවට ද නිර්දේශ කර තිබිණි.
දැන් ක්‍රිකට් ආයතනයේ විගණන වාර්තාව සකස් වන්නේ ඒ අනුවය. එය සිදුවන්නේ කුසලා සරෝජනී කමිටු එම වාර්තාව සම්බන්ධව කටයුතු කිරීමට පෙර ක්‍රීඩා අමාත්‍යවරයා විසින් නීතිපති උපදෙස් ලබා ගැනීමෙන් පසුවය. ක්‍රීඩා අමාත්‍යාංශයට නීතිපති උපදෙස් ලැබී ඇත්තේ ක්‍රිකට් ආයතනයේ වෝහාරික විගණනයක් සිදු කළ යුතු බවටය.
මෙරට විගණන වාර්තා සම්බන්ධව ඇත්තේ දීර්ඝ ඉතිහාසයකි. ක්‍රීඩා සංගම්වල මූල්‍ය කටයුතු විගණනය එම දෙපාර්තමේන්තුවේ එක් රාජකාරියක් පමණි. ඒ හැර මෙරට රජයේ සියලු විගණන වාර්තා සකස් කිරීමේ විශාල කාර්යභාරයක් ඉටු කිරීම විගණන දෙපාර්තමේන්තුව සතු අතිවිශාල කාර්යභාරයක් වේ. වසර 1984දී විගණන පනතක යෝජනාව එවකට රාජ්‍ය ගිණුම් කාරක සභාවේ සභාපතිවරයාව සිටි දිසානායකගේය. පසුව එය නීතියක් ලෙස ස්ථාපිත කිරීම ආරම්භ වූයේ මෙරට හිටපු කීර්තිමත් හා නීතිගරුක විගණකාධිපතිවරයකු ලෙස කාගෙත් ගෞරවය ලැබූ ඩී.එස්.මායාදුන්නෙ මහතාගේ කාලසීමාවේදීය. විගණකාධිපතිවරයාගේ ස්වාධීනත්වය ජාත්‍යන්තර වශයෙන් පිළිගෙන ඇති කරුණක් බවත්, එක්සත් ජාතීන්ගේ ප්‍රඥාප්තියේ ද එය පැහැදිලිවම අන්තර්ගත කර ඇති බවත් පසු කාලීනව ඒ මහතා විසින් පුවත්පතකට සපයනු ලැබූ ලිපියකින් කියැවිණි.
ඩී. එස්. මායාදුන්නෙ මෙන්ම තවත් හිටපු විගණකාධිපතිවරයකු වන ගාමිණී විජේසිංහ මහතා ද මෙරට බිහිවූ නීතිගරුක හා කීර්තිමත් විගණකාධිපතිවරයකු ලෙස ප්‍රකටය. හෙතෙම ක්‍රීඩාව සම්බන්ධව විගණන වාර්තා රැසක අත්දැකීම් ඇති පුද්ගලයෙකි. වසර 2019 මුල් භාගයේදී එවකට සිටි ක්‍රීඩා අමාත්‍යවරයාගේ ඉල්ලීම මත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වෝහාරික විගණනයක් සිදු කිරීමේදී විගණකාධිපතිවරයා ලෙස කටයුතු කරමින් සිටියේ ගාමිණී විජේසිංහය.
එම වෝහාරික විගණනය සිදු කිරීමට කටයුතු කර ඇත්තේ වසර 2016 ජනවාරි 31 වැනිදා සිට 2018 වසරේ දෙසැම්බර් මස 31 දක්වා කාලය ඇතුළත සිදු වූ ගනුදෙනුවලට අදාළවය. එවකට සිටි ක්‍රීඩා ඇමැතිවරයාගේ ඉල්ලීම වූයේ සති දෙකක කාලයක් ඇතුළත එම විගණනය සිදු කරන ලෙසටය. එබැවින් එවකට සිටි විගණකාධිපති ගාමිණී විජේසිංහ මේ සම්බන්ධව විශාල කැපවීමකින් කටයුතු කර තිබිණි. ඔහු පෞද්ගලිකවම ඉදිරි කටයුතු සොයා බැලීමට ක්‍රිකට් ආයතනයට ද ගියේය.
ක්‍රිකට් පමණක් නොව එවකට මෙරට බොහෝ ක්‍රීඩා සංගම්වල විගණනය සම්බන්ධව හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහට අත්දැකීම් රැසක් තිබූ බව එවකට ඒ මහතා විසින්ම සිදු කරනු ලැබූ ප්‍රකාශවලින් මනාව පැහැදිලි විය.
ක්‍රීඩා සංගම්වල ගිණුම් සකස් කිරීමේදී ඇති දුර්වලතා සඳහන් කරමින් වරක් ඒ මහතා ජාතික ක්‍රීඩා සංගම්වල නිලධාරින්ගේ ක්‍රියා කලාපය තදින්ම විවේචනයට ලක් කර තිබිණි. එපමණක් නොව ශ්‍රී ලංකා ක්‍රීඩා ක්ෂේත්‍රයේ පරිහානියට සෘජුවම වගකිව යුත්තේ ද එම නිලධාරීන් බවට ප්‍රකාශ කර තිබිණි.
එවකට ක්‍රීඩා සංගම්වල නියෝජිතයන්ට කරුණු පැහැදිලි කරදීමේ රැස්වීමකට සහභාගි වෙමින් ගාමිණී විජේසිංහ මහතා දැක්වූ අදහස් ඒ අයුරින්ම සටහන් කිරීම වටී.
‘බලාපොරොත්තු වෙන දේ කිසිම ආකාරයකින් සිදු වන්නේ නෑ. හොරකම, වංචාව, දූෂණය කියන එක ඇත්තටම තිබෙනවා. ඔබතුමාලත්, අපිත් ඔක්කොම එකතු වෙලා කතා කරනවා රාජ්‍ය සේවය ඉතාමත් දූෂණයට ලක් වෙලා කියලා. දූෂණයෙන් පිරිලා කියලා. මම සම්පූර්ණයෙන්ම පිළිගන්නවා. හැබැයි ඒකට වඩා වෙනස් තත්ත්වයක් ක්‍රීඩා සංගම්වල නැහැ. ක්‍රීඩා සංගම් තියෙන්නෙත් එතැනම තමා.‘
‘විගණකාධිපතිවරයා විදිහට මේ වාර්තා හදන හින්දා මට කියන්න තියෙන්නේ ක්‍රීඩා සංගම්වලටත් ඒ කතාවම තමයි.‘
‘ක්‍රීඩා සංගම් සම්බන්ධ පොදු කාරණේදි හෘද සාක්ෂිය ප්‍රමාණවත් නැහැ. විගණනයේදි අපි දකින ප්‍රධාන කාරණාවක් තමයි නිලධාරීන් කියනවා ඇයි ඔහොම කියන්නේ අපි ඒවා හරියට වියදම් කරලා තියෙනවා කියලා. ඒක හොඳයි තමන්ගේ ගෙදර වැඩවලට. ගෙදර වැඩවලදී අවශ්‍ය හෘදය සාක්ෂිය විතරයිනේ. ඒ වුණත් ප්‍රසිද්ධ මුදල් ගනුදෙනුවලට එද්දී එහෙම බෑ. හෘදය සාක්ෂිය අනෙක් මිනිස්සුන්ට පිළිගත හැකි මට්ටමේ තිබෙන්න ඕනේ. ඒ නිසා කරන්න තියෙන වැදගත්ම දේ තමයි ලියකියවිලි ඉදිරිපත් කරන එක. තමන් වියදම් කරපු ප්‍රමාණය හරි ආකාරයට ලේඛනගත කරලා තියෙන්න ඕනේ. ඒ මොනවත් නොකර පොදු මුදල් වියදම් කිරීමේදී හෘද සාක්ෂිය 500%ක් තිබුණත් ගැලවීමක් ලැබෙන්නේ නෑ.‘
‘රටේ විගණකාධිපතිවරයා විදිහට ක්‍රීඩා සංගම් සම්බන්ධයෙන් මගේ තියෙන්නේ ඉතාමත්ම අප්‍රසන්න හැඟීමක්. ක්‍රීඩා සංගම් අභ්‍යන්තර ක්‍රමවේදයක් හරහා නිවැරැදි තොරතුරු සකසා ගෙන මේ තත්ත්වය ඉතාම ඉක්මනින් නිවැරැදි කරගත යුතුයි.‘
‘ක්‍රීඩා සංගම්වලට තනතුරු අරන් එන වැඩි දෙනෙක් හොයන්නේ මොකක්ද මේ ක්‍රීඩාව, මේ ක්‍රීඩාව මට පුළුවන්ද කියන එක නෙවෙයි. මේ ක්‍රීඩාව ඇතුළේ කොපමණ සල්ලි තියෙනවාද කියලා බලලා තමයි ගොඩාක් දෙනෙක් එන්නේ.‘
‘ඇත්තටම මමත් ක්‍රීඩාවට ආදරෙයි. ක්‍රීඩාව මේ රටින් ගිලිහිලා යන විදිහ දැක්කම, ක්‍රීඩාවට වෙන දේ දැක්කාම මටත් දුකයි. වගකීම ගත යුතු පුද්ගලයන් තමයි මෙතන ඉන්නේ. රටේ ක්‍රීඩාව කඩා වැටීමට, විනාශ වීමට බලපාන, ක්‍රීඩාව විනාශ කිරීමට ප්‍රධානත්වය දෙන නිලධාරීන් ටික තමයි මෙතැන ඉන්නේ කියන එකයි මගේ හැඟීම.‘
‘මේ මුදල් යා යුතු තැනට ගමන් කරන්නේ නැති නිසා නියම ක්‍රීඩකයන්, දක්ෂයන් උඩට ගෙන ඒමෙ හැකියාව නැතිවෙලා තියෙනවා. ක්‍රීඩා සංගම් ඔහේ යන්නන් වාලේ ගමන් කරනවා. රජය සල්ලි වියදම් කරනවා. ඒවා අරගෙන බෙදාගෙන මොනවහරි කරන්න පුළුවන් දෙයක් කරනවා. එහෙම නැතිනම් රට සවාරියක් යනවා. ප්‍රධානම ප්‍රශ්නය තමයි සමහර ක්‍රීඩා සංගම් විගණකාධිපතිවරයාට විරුද්ධවත් නඩු පැවරීම. විගණන වාර්තාව දුන්නම වාර්තාව ඉදිරිපත් කරපු මිනිහා වැරදිකාරයා කරලා. මේ සංගම්වල නිලතල සඳහා විශාල පොරයක් තිබෙනවා. මටනම් පේන්නේ මේ පොරය ඇති වෙලා තියෙන්නේ මුදල් සම්බන්ධ ප්‍රශ්නයයි. මුදල් නැති සංගම්වල එච්චර පොරයක් නෑ.‘
‘ප්‍රශ්නය ඇතිවෙන අවස්ථාවේදීම පරීක්ෂා කරලා වැඩ කරන්න පුළුවන්. අවුරුදු ගාණක් ගියාට පස්සේ පරීක්ෂා කරලා වැඩක් නෑ. එතකොට වෙන්න ඕන දේවල් වෙලා ඉවරයි.‘
මේ නීතිගරුක හා කීර්තිමත් හිටපු විගණකාධිපතිවරයා එදා කළ ප්‍රකාශ අදටත් එලෙසින්ම වලංගු නොවේද? වර්තමානයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වෝහාරික විගණනයක් සිදු කිරීමට ලද නීතිපති උපදෙස් මත ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ පියවර ගෙන ඇත්තේ එදා හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතා විසින් ‘ප්‍රශ්නය ඇතිවෙන අවස්ථාවේදීම පරීක්ෂා කරලා වැඩ කරන්න පුළුවන්. අවුරුදු ගාණක් ගියාට පස්සේ පරීක්ෂා කරලා වැඩක් නෑ. එතකොට වෙන්න ඕන දේවල් වෙලා ඉවරයි.‘ යනුවෙන් කළ ප්‍රකාශය යථාර්ථයක් වීමට පෙර සිදු කළ යුතු ජාතික කර්ත්‍යවයක් ඉටු කිරීමට නොවේද ?
සැබැවින්ම අද වන විට මෙරට බොහෝ ක්‍රීඩා සංගම්වල විගණන වාර්තා මඟින් පෙන්වා දී ඇත්තේ එම ක්‍රීඩා සංගම් විශාල ප්‍රමාණයක මූල්‍ය වංචා හා අවභාවිතය සිදු වන බවකි. පසුගියදා ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් කේ. මහේසන් ලියුම්කරු සමඟ කියා සිටියේ ක්‍රීඩා සංගම්වල විගණන වාර්තාවල බොහෝ ගැටලු පවතින බව විගණකාධිපතිවරයාගේ වාර්තා මඟින් අනාවරණය වී ඇති බවය. මේ සම්බන්ධව පියවර ගැනීමට ක්‍රීඩා අමාත්‍යවරයා කටයුතු කිරීමේදී එය දේශපාලන මැදිහත්වීමක් බවට හුවා දක්වමින් තම වැරදි සඟවා ගැනීමට බොහෝ ක්‍රීඩා සංගම්වල නිලධාරීන් කටයුතු කරන බවය.
‘එගොල්ලෝ එහෙම කරන්නේ ඇත්ත දැන දැනමයි. පැහැදිලිවම ඇමැතිතුමා හරි දේ කරන්නයි පියවර ගන්නේ.‘ ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් මහේසන් එසේ ප්‍රකාශ කළේය.
ඩී.එස්. මායාදුන්නෙ හා ගාමිණී විජේසිංහ වැනි හිටපු කීර්තිමත් විගණකාධිපතිවරු මෙන්ම වත්මන් විගණකාධිපතිවරයාට මේ වන විට මෙරට ක්‍රීඩා සංගම්වල සිදුවන මූල්‍ය අක්‍රමිකතා පිළිබඳ නිසැකවම ඇත්තේ අප්‍රසන්න අත්දැකීම් සම්භාරයක් විය යුතුය. මන්ද මෑත කාලයේ මෙරට බොහෝ ක්‍රීඩා සංගම්වල මූල්‍ය ගැටලු සම්බන්ධව තොරතුරු එමට වාර්තා වූ බැවිනි.
ක්‍රිකට් ආයතනයේ නිලධාරින්ගේ සැබෑ මුහුණුවර පිළිබඳ ක්‍රීඩාලෝලීන්ට කරුණු අනාවරණය කර ගැනීමට නම් වෝහාරික විගණන වාර්තාව නිකුත් වනතුරු කල් මැරිය යුතුය. හෘදය සාක්ෂියට එකඟව කටයුතු කරන නිලධාරීන් කවුරුන් දැයි හඳුනා ගැනීමට තවමත් වේලාසන වැඩිය. වෝහාරික විගණන වාර්තාව අද හෙටම නිකුත් වූවාට පසු ඒ පිළිබඳ කතා කළ හැකිවනු ඇත.
මේ ලිපියේ මුලින් සඳහන් කළ හිටපු විගණකාධිපති ඩී.එස්. මායාදුන්නෙ එවකට එක්තරා පුවත්පතකට සැපයූ ලිපියෙහි ශීර්ෂ පාඨය සටහන් කිරීම වටී.
‘විගණන පනතට බියවන්නේ හොරුන් පමණකි‘