පාඩු ලබන ආයතන 133ක් ප්‍රතිව්‍යුහගත කිරීමට සැලසුම් | සිළුමිණ

පාඩු ලබන ආයතන 133ක් ප්‍රතිව්‍යුහගත කිරීමට සැලසුම්

ටේ ආර්ථිකයට දැඩි බරක් බවට පත්ව ඇති රාජ්‍ය හා ව්‍යවස්ථාපිත ආයතන 133ක් ඉදිරියේදී ලාභ ලබන ලෙස ප්‍රතිව්‍යූහගතකරණයට ලක් කිරීමට රජයේ අවධානය යොමුව තිබේ. මේ අනුව ලංකාව තුළ දැනට පැන නැඟී ඇති ආර්ථික අර්බුදය මැඬ පවත්වා, ආර්ථිකය නඟා සිටුවීම මෙන්ම වේගවත් සංවර්ධනයක් ඇති කිරීමේ එක් පියවරක් වශයෙන් වසර ගණනක් ආර්ථිකයට විශෘල බරක් වූ මේ ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමට සැලසුම් ළඟදීම ආරම්භ වනු ඇතැයි කියති.

එහි ප්‍රථම පියවර වශයෙන් ශ්‍රීලංකන් ගුවන් සමාගම ඇතුළු ශ්‍රී ලංකා කේටරින් සමාගම, ශ්‍රි ලංකා ටෙලිකොම්, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, කැන්විල් හෝල්ඩින්ග්ස් (පුද්ගලික) සමාගම, කොළඹ හිල්ටන් හෝටලය, ලිට්රෝ ගෑස් පර්යන්ත (පුද්) සමාගම ඇතුළු ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම, ලංකා හොස්පිටල් සංස්ථාව යන රාජ්‍ය ව්‍යවසායන්හි රජය සතු කොටස්වල අයිතිය පෞද්ගලික පැවැරීමට ඉකුත්දා පැවැති ඇමැති මණ්ඩල රැස්වීමේදී තීරණය විය.

රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහකරණ ඒකකය විසින් මේ ගනුදෙනු විනිවිදභාවයකින් යුක්තව සුදුසු ආයෝජකයන් තෝරා ගැනීම සඳහා කැමැත්ත පළ කිරීමේ නිවේදනය හා යෝජනා කැඳවීමේ නිවේදන ක්‍රියාවලිය ඉදිරියේදී දේශීය හා ජාත්‍යන්තර මාධ්‍ය දැන්වීම් හරහා පළ කිරීමට කටයුතු යොදා ඇත.

Comments