
එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානයේ (FAO) ශ්‍රී ලංකාව හා මාලදිවයින සඳහා නියෝජිත විම්ලේන්ද්‍ර ශරන්, දශක 3කට ආසන්න කාලයක් ග්‍රාමීය සංවර්ධනය, කෘෂි කර්මාන්තය හා ආහාර සුරක්ෂිතතා ගැටලු ඉලක්ක කර ගත් ජාතික හා ජාත්‍යන්තර නායකත්ව අත්දැකීම් සහිත අයෙකි. ඉන්දීය පරිපාලන සේවයේ හිටපු සාමාජිකයකු ලෙස ඔහු මහාරාෂ්ට්‍රයේ ග්‍රාමීය හා ගෝත්‍රික ප්‍රදේශවල ඉන්දීය රජය සමඟ ක්‍රියා කර ඇති අතර, නව දිල්ලියේ කෘෂිකර්මාන්ත හා ගොවි සුභසාධන අමාත්‍යාංශය සමඟ එක්ව කෘෂිකර්මාන්තය හා ආහාර ප්‍රතිපත්ති සැකසීමේ ක්‍රියාවලියෙහි ක්‍රියාශීලී ලෙස ක්‍රියා කර ඇත. විම්ලේන්ද්‍ර ශරන් දිල්ලියේ ශාන්ත ස්ටෙෆන් විද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ උපාධිධාරියෙකි.
ශ්‍රී ලංකාවේ ආහාර හා භෝගවල සුරක්ෂිතතා තත්ත්වය සහ 2022 වසර සාපේක්ෂව ශ්‍රී ලංකාව මේ වන විට සිටින තත්ත්වය පිළිබඳ ඔහුගේ අදහස මෙවැන්නකි.
"ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්‍රය 2022දී අභියෝග රැසකට මුහුණදුන් අතර, එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානය හා ලෝක ආහාර වැඩසටහන මඟින් 2022 මාර්තු මස ඒකාබද්ධ භෝග හා ආහාර සුරක්ෂිතතා ඇගයීමේ මෙහෙයුම් (CFSAM) සිදු කළ අතර, එමඟින් ශ්‍රී ලාංකිකයන් මිලියන 6.3ක් පමණ ආහාර අනාරක්ෂිතභාවයෙන් පසුවන බව සොයාගෙන තිබෙනවා. ලංකා රජය විසින් එහි ද්විපාර්ශ්වික හා බහුපාර්ශ්වික සබඳතා ඇති රටවල් සමඟ මෙන්ම එක්සත් ජාතීන්ගේ නියෝජිතායතන සමඟ සහයෝගීත්වයෙන් මෙම තත්ත්වය අඩු කිරීමට වී ගොවීන්ට අත්‍යවශ්‍ය පොහොර වන යූරියා, MOP සහ TSP බෙදා දීම සිදු කිරීමට කටයුතු කළා. රජය විසින් තත්ත්වය ඉතා ඉක්මනින් යහපත් අතට පත් කර ගැනීමට කටයුතු කරනු ඇති බව මගේ විශ්වාසයයි. 2023 යල කන්නය යථා තත්ත්වයට පත්වීමෙන් කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයේ නැඟී ඒමක් සිදු වේ යැයි මම බලාපොරොත්තු වෙනවා. කෙසේ වෙතත් අවම වශයෙන් කන්න 2ක් හෝ 3ක් සඳහා අදාළ සහාය දීමේ කටයතු සිදු කිරීමට අප විසින් අවධානය යොමු කළ යුතුයි.
ඔහු වැඩිදුරටත් පවසන්නේ ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයේ පුනර්ජීවනය සඳහා සහනදායී මිල ගණන් යටතේ කෘෂිකර්මාන්ත යෙදවුම් ලබා ගත හැකි ලෙස පහසුකම් සැකසීම මූලික කරුණක් බවයි. ගොවිතැන වැනි දේශීය කෘෂිකාර්මික ක්ෂේත්‍ර සඳහා නව මුහුණුවරකින් නව නිපැයුම් හා නවීන තාක්ෂණය හඳුන්වා දෙමින් ඔවුන්ගේ වගාවන්හි ඵලදායීතාව වැඩි කර ගැනීමටත්, දේශගුණික විපර්යාසවලට අනුවර්තනය වීමටත් හැකියාව ලබා දීම වැදගත් වන බවත් පසුගිය වර්ෂ සමඟ සැසඳීමේදී මෙම වසරේ අස්වනු අතර පරතරය ආසන්න වශයෙන් 40%ක් වන අතර, අස්වනු ඉහළ නැංවීමෙන් ශ්‍රී ලංකාවේ පවතින අඩු ඵලදායී ඉඩම් අක්කර දහස් ගණනක් වෙනත් වගා සඳහා යොදා ගත හැකි බවයි.
මෙරට කෘෂිකාර්මික ක්ෂේත්‍රය ප්‍රතිසාධනය කිරීමේදී FAO විසින් මෙරට අවදානමට ලක්ව ඇති කුඩා පරිමාණයේ ගොවීන් සඳහා සහාය හා දායකත්වය ලබා දීමට බහු-ක්‍රියාකාරී ප්‍රවේශයක් දියත් කර ඇත. ඒ අනුව UNCERF, USAID හා EU ලබා දෙන ආධාර මඟින් යූරියා ටොන් 12,000ක් පමණ කුඩා පරිමාණයේ ගොවීන් 250,000 කට පමණ බෙදා දී ඇති අතර, USAID සහාය යටතේ තවත් ටොන් 36,000ක් පමණ ආනයනය කර මිලියන 1 කටත් වඩා වී ගොවීන් අතර බෙදා දීමට කටයුතු කර ඇත. පවුල් 2,250ක් පමණ ආවරණය කරමින් මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් සඳහා අතිරේක ආහාර ලබා දීම, වගා උපදෙස් සැපයීම වැනි වැඩසටහන් රාශියක් ද ඔවුන් විසින් සිදු කර ඇත.
FAO විසින් ලබා දෙන සහාය සඳහා සුදුසුකම් ලබා ගැනීම සඳහා ඔවුන් ඉලක්ක කරන අවදානමට ලක්ව සිටින කුඩා පරිමාණයේ ගොවීන් වෙනත් ඉපයීම් මූලාශ්‍ර සම්බන්ධව ද සොයා බැලෙන අතර, ගොවි කාන්තාවන් හා කාන්තාවන් මූලික ගෘහයන් සම්බන්ධව වැඩි වශයෙන් සලකා බැලේ.