
සුරංග සුසුමක් හෙළුවේය. සිදුව ඇති සොරකමෙහි නිල තක්සේරුවට අනුව කාන්තා රන් මාලය පවුමකට ආසන්නය. පිරිමියා පැලඳ සිට ඇති අත් පලඳනාව රන් පවුමකටත් වඩා බරය.
එම රන් අබරණවලට අමතරව එම ඩ්‍රෙසින් ටේබල් එක මතම තබා තිබූ පිරිමියාගේ මුදල් පසුම්බියෙන් අතුරුදහන්ව ඇති මුදල රුපියල් පනස් හත් දහසකි.
තානායම් කාමරයකට බැල්කනියේ ජනේලයකින් ඇතුළු වූ සොරකු විසින් සිදු කළ එම සොරකමට සැකපිට වේටර් සුරංග වැඩ තහනමට ලක් වන්නේ එම ජනෙල් පියනෙහි වූ ඇඟිලි සලකුණු සුරංගගේ ඇඟිලි සලකුණු හා පැහැදිලිවම සැසඳෙන බවට වාර්තාවේ සඳහන් නිසාය.
විවාහක එක් දරු වේටර් සුරංග නමැති තරුණ තාත්තා විරැකියාවෙන් මහ පාරට වැටුණේ ඒ අනුවය.
බස් රියෙන් බැසගත් සුරංග රැකියා ඇබෑර්තුවට අනුව අන්තර්ජාලයේ සඳහන් ලිපිනය සහිත ගොඩනැඟිල්ල ඉදිරියේ සිට ගත්තේය. එහෙත් මෙය තට්ටු නිවාස ගොඩනැඟිල්ලක් මිස දැන්වීමෙහි සඳහන් භෝජනාගාරයක සලකුණක්වත් මෙහි නැත.
“ඇඩ් එකට නේද?” සිකුරිටි වරයා විමසුවේය.
තට්ටු නිවාස බිම් මහලෙහි වූ නිවෙස තුළට සුරංග චකිතය මුසු හදින් ඇතුළු විය.
“කෝ ඔය ආපු කෙනා”
ඉදිරි කාමරයෙන් ඇසුණේ ගොරෝසු හඩකි.
එහි වූ සුවපහසු සෝෆා අසුනක බාගෙට දිග ඇදී සිටියේ තට්ට හිසක් සහිත පිම්බුණු අත්බාහු මස්පිඬුවල පච්චා කෙටූ හැඩි දැඩි හාම්පුතකි.
“බයික් පදින්න දන්නවද?... මොකද්ද තියෙන බයික් එක.. කොළඹ පාරවල් දන්නවද?”
ඉඳ ගැනීමට අසුන් පැනවීමක් නැති, ගුඩ් මෝනින් ආශිංසනයක් තබා මුහුණේ හිනාවක්වත් නැති අරුම පුදුම සම්මුඛ පරීක්ෂක හාම්පුතා හිටගෙන සිටිනා සුරංගට දමා ගැසූ ප්‍රශ්නාවලියෙන් සුරංග කරකවා අතහැරියා සේ විය.
“බ... බයික් නම් පැදලා තියෙනවා... හැබැයි සයිකලයක් නෑ... ලයිසනුත් තාම දාන්න බැරි වුණා...”
“බම්බුවටද ඕයි එහෙනම් ඇප්ලයි කළේ”.
හාම්පුතා කෝපයෙන් ගිගිරුවේය.
“සර්... ඩිලිවරි ආයතනයක වේටර් තනතුරක් කියලා තිබුණු නිසා” අන්දමන්ද වූ සුරංග ගොත ගැසුවේය.
“හරි ඕයි.. අපිට චේටර්ලා ඕනෑ බයික් එකෙන් කෑම ඩිලිවරි කරන්න. තමුසෙ ආවේ පයින් ගිහින් කෑම ඩිලිවරි කරන්නද?... යනවා ඕයි යන්න පවු නොදී.. උදේ පාන්දර මස්ත බාල්දු කරන් නැතුව..”
අරුම පුදුම සම්මුඛ පරීක්ෂකයා පච්ච රූ රටා ඇදි හැඩි දැඩි මස්ගොබ සහිත අතක් උස්සා පිටවීමේ දොරටුව ඇති දිසාව සුරංගට පෙන්වා දුන්නේ කෝපයෙන් ගැහෙමිනි.
සුරංග වහා උළුවස්සෙන් මෑත් වූයේ එම අත් බාහුවෙන් පහරක් කෑමට තරම් තමා ශක්කිමත් නැතැයි බය හිතුණු නිසාය.
නැවත මහපාරට පිවිසි සුරංග වේදනාවෙන් වටපිට බැලුවේය.
එහෙත් උත්සාහය අතහැරියේ නැත.
පුත්තලම් දිස්ත්‍රික්කයේ මුහුදු වෙරළ අවන්හලක වේටර් පදවියට නවකයකු ලෙස සුරංග එකතු වූයේ අන්තර්ජාලයේ තිබූ තවත් දැන්වීමකට අනුව පසුගිය සතියේය.
කරන්නට දෙයක් නැත. නව සේවා ස්ථානය තානායමේ රාජකාරි වටපිටාවට වඩා හාත්පසින්ම රළු පරළුය;දුර්දාන්තය. තෙතමනයෙන් තොරය.
එම අවන්හලට වැඩිපුරම පැමිණෙන්නේ සුරා පානය සොයා එන අඩු ආදායම්ලාභී දෛනික පාරිභෝගිකයන්ය.
“අය්යෝ මල්ලී.. පොඩ්ඩක් පය ඉක්මන් කරමුද...? බැරිනම් අපිට ෆෝන් නොම්බරේ දෙන්න... අපි කෝල් එකෙන් ඔයාට ඕඩරේ මතක් කරන්නම්.” බැදපු මාළු කූරි දීසියත් සෝඩා බෝතලයත් ඇණවුම් කළ පිරිස වෙත පිළිගන්වද්දී අඩ බමන මතින් සිටිනා වෙනත් අමුත්තකු සුරංග ඇමතුවේය.
“වේටර් මල්ලී.. අපේ තාත්තට දැන් අසූ හතක්... කටේ තියෙන්නෙත් දත් තුනයි.. ඒත් ඉල්ලන්නෙම හපන දේවල්... ඒ නිසා බැරිද මල්ලී මෙයින් බයිට් මාළු කූරි හතර පස් දෙනෙක් කඩදාසියක ඔතලා පාර්සල් කරලා දෙන්න..? මම ගෙවන්නම් මල්ලී.. අවුලක් නෑ..”
“චෑ.. චෑ... චෑ... මොනවටද බං මේ හාදයින්ගෙන් තාත්තට මාළු කූරි ඉල්ලලා කිච වෙන්නේ.. මෙහෙන් ඒ වැඩේ ලොවෙත් කෙරෙන් නෑ... මෙතන බයිට්, මාළු කූරි පාර්සල් එළියට දීම සපුරා තහනම්... මං හොඳට දන්න නිසයි කියන්නේ.”ඉල්ලුම්කරුට එරෙහිව කෝපයෙන් විරෝධය පාන්නේ එකම මේසයේ බීමත් සගයෙකි.
මෙහි එබදු වාරණ නියෝගයක් ඇති වග සුරංග දැනගත්තේත් දැන්ය.
“අපේ වයිෆ්ට දරුවා ලැබෙන දොළ දුකට බැදපු මාළු කන්න හිතිලා ආසාවට ගෑනිට දෙන්න මාළු කූරි දෙන්නෙක් ගෙනියන්න අහලා මමත් දවසක්දා හොඳ පදවලින් බැණුම් ඇහුවා...”
බීමත් අමුත්තා පවසන්නේ වේදනාවෙනි.
සුරංගට තානායම සිහිවිය.
“කෝ.. ඔය අලුත් හාදයා.... මොකද්ද ඔතන කයිය... එමුද මෙහාට”
උස් හඬ කවුන්ටරය දෙසිනි.
“තමුසෙ සුපිරි වැඩ්ඩෙක් නේද?.. කලින් වැඩ කරපු තානායමේ කාමරයකට බැහැලා සුපිරි ගේමක් දීලා මෙහාට පාත් වුණේ... නේද?”
රෙස්ටුරන්ට් එකේ ලියන මහත්තයා සුරංග දෙස බලා සිටින්නේ විමතිය රැඳි දෑසිනි.
“විහිළුවක් කළේ අයිසේ.. කෝ තමුසෙගෙ තඩි ෆෝන් ඒක”
“ඊයෙ උදේ ෆෝන් එක බිම වැටිලා වැඩ කරන්නෙ නැතිව ගියා”. “ඒක තමයි.. තමුසෙ හොඳ වෙලාවට අපේ නම්බර් එකත් රෙස්ට් හවුස් එකට දීලා තිබුණේ”.
“ඇයි මහත්තයා.. තානායමෙන් මොකද කීවේ..?”
“නෑ අයිසේ... පොලිසියෙන් කෝල් එක ආවේ.. ඒ නිසයි තමුසෙට මැසේජ් එක දෙන්නේ.. නැත්නම් මරණෙකට හැර මෙහෙන් මැසේජ් දෙන්නෑ...”
“මට..? පොලිසියෙන්..?”
“ඔව්.. තමුසෙගෙ ෆෝන් එක වැඩ නැති නිසා තානායමට තමුසෙ දීපු අපේ නම්බර් එක එහෙන් ඉල්ලගෙන පොලිස් මැසේජ් එකක් ආවා, හෙට උදේ දහයට අනිවාර්යයෙන් තානායමේ පෙනී සිටින්න කියලා”.
බසයෙන් බැසගත් සුරංග තානායම් ගේට්ටුවෙන් ඇතුළු වුණේය.
තමා නොමැති තානායම් වටපිටාවේ කිසිදු වෙනසක් සිදුව නැත.
මිදුලේ නවතා ඇති පොලිස් ජීප් රිය දුටු සුරංගගේ හද ගැස්ම වැඩි විය.
පොලිස් නිලධාරීන් දෙදෙනාත් තානායම් ප්‍රධානියාත් අතරට මැදිව සිටින්නේ සිවිල් ඇඳුමෙන් සැරසුණු තානායම් සිකුරිටි වරයාය.
සිකුරිටිගේ එක් අතක් ඔහු අසලම අසුන් ගෙන සිටිනා නාඳුනන කෙසඟ තරුණයාගේ අතක් සමඟ එකට අල්ලා මාංචු දමා තිබේ.
“මෙන්න සුරංග මෑන්...” තානායම් ප්‍රධානියා හඬ අවදි කළේය.
“අලුත් සිකුරිටි කොම්පැනියෙන් තානායමට ආව සිකුරිටිගෙ සපෝට් එක ඇතිව මේ එයා එක්ක මාංචු දාගෙන ඉන්න කෙනා තමයි සුද්දෙ දීලා තියෙන්නේ, රබර් ග්ලවුස් දාගෙනලු හිටියේ... ඒ නිසයි මෙයාගෙ ඇඟිලි සලකුණු අහුවෙලා නැත්තේ. සුරංගගේ ඇඟිලි සලකුණු මේ තානායමේ හැම ජනේලෙකම වගේ තියෙනවා කියලා පසුවයි විමර්ශන නිලධාරීන් සොයාගෙන තියෙන්නේ...”
සුරංගගේ මුවින් සැනසුම් සුසුමක් පිට විය. එසැණින් ඔහුගේ දෑස කදුළු පටලයකින් වැසුණේය.
රන්ජන් ගාමිණී ජයවර්ධන