
* A 9 සාමාර්ථ්‍ය 134ක්, A 8 සාමාර්ථ්‍ය 56ක්, A 7 සාමාර්ථ්‍ය 39ක්
* අඩු ලකුණු ගත් සිසුන්ගේ ප්‍රතිඵල නැංවීමට කැපකරු ගුරු ක්‍රමයක්
හැත්තෑහය වසරකට අධික අඛණ්ඩ සාඩම්බර අතීතයකට උරුමකම් කියමින් පැමිණි ගමනේදී, නොනවත්වාම වසර 17ක් පුරාවට සාමාන්‍ය පෙළ විභාගයෙන් කිසිදු දරුවකු අසමත් නොකරන්නට ඔවුහු සමත් වූහ. සාමාන්‍ය පෙළට ඉදිරිපත් වූ සියලු සිසුන්ට යහපත් අනාගතයකට උරුමකම් කියන්නට මඟ පාදමින් වසර 17ක් පුරාවට එකදු සිසුවකු අත් නොහැර සියලු සිසුන්ට උසස් පෙළ අධ්‍යාපන ඉලක්ක මුඳුන් පමුණුවා ගන්නට අත්වැලක් සැපයූහ. ඒ සාර්ථකත්වය ලැබුවේ හොරණ තක්ෂිලා විදුහලයි.
1946 මැයි 6 වැනි දින බිහිවූ හොරණ තක්ෂිලාව මේ වන විට සිය ගමන් මඟේ 76 වැනි වියට පා තබන්නේ රටට වැඩදායි දරු පිරිසක් තිළිණ කිරීමේ යුග මෙහෙවරක පියවරක් ලෙසිනි. එස්. විමලසේකර දානපතියාට අයත්ව තිබූ මුල් බිම් කැබැල්ලක ආරම්භ වූ මේ පාසල අද 3,598ක් වූ දරු පිරිසකට නිදහස් අධ්‍යාපනය ලබා දෙන තෝතැන්නක් වී හමාරය. 1968 වසරේ සිට 8 ශ්‍රේණියෙන් ඉහළ පාසලක් බවට පරිවර්තනය වීමත් සමඟම ඉදිරි වසරවල විද්‍යා, වාණිජ පංතින්ට ආරම්භයක් ලබා දෙමින් හොරණ තක්ෂිලාව තවත් සාඩම්බර ගමනක් ඇරඹූයේ සාමාන්‍ය පෙළ පමණක් නොව උසස් පෙළ විභාගයෙන් ද ඉහළ සාධන ජයග්‍රහණ වාර්තා කරමිනි. අධ්‍යාපන ප්‍රගතිය පමණක් නොව විෂය පරිබාහිර හා ක්‍රීඩා කටයුතුවලින් ද ජය පිට ජය වාර්තා කළ හොරණ තක්ෂිලාව 1993 වසරේදී ජාතික පාසලක් බවට පත්වන්නේය. 1997 දිස්ත්‍රීක්කයේ ක්‍රීඩා පාසල බවට පත් වීමෙන් අනතුරුව ක්‍රීඩා අංශයෙන්ද කැපී පෙනෙන දක්ෂතා වාර්තා කිරීමට ඔවුන්ට හැකි විය. විශාල භූමි වපසරියක විහිදී පවතින පාසල තුළ සිසුන් 3,598ක් අධ්‍යාපනය ලබන්නේ ගුරුවරු 154කගේ මඟ පෙන්වීමෙනි. හොරණ තක්ෂිලාවේ 20 වැනි විදුහලප්පති වූ වත්මන් විදුහල්පති ඩබ්ලිව්. පී.එන්.ඩී. වීරසිංහගේ නිසි කළමනාකාරිත්වය හා කළමනාකරණ මණ්ඩලයේ කැපවීම මේ සාර්ථකත්වයේ පදනම විය. වසර 17ක් පුරාවට හොරණ තක්ෂිලා විදුහල සාමාන්‍ය පෙළ ඉහළම ජයග්‍රහණ වාර්තා කළ පාසලක් විය. හොරණ තක්ෂිලාව 2004 සිට 2021 වසර දක්වාම සාමාන්‍ය පෙළ ඉහළම සාධනීයත්වයක් වාර්තා කරමින් සාමාන්‍ය ප්‍රතිඵල 100%ක්ම පෙන්වූ පාසලකි. පසුගිය කාලයේ පැවැති අඩුපාඩු බොහෝමයක් මැද වුවද, විශේෂයෙන්ම කොවිඩ් වසංගතය නිසා ඇතිවූ අභියෝග මැද වුවද ඒ වාර්තාව ඒ ආකාරයෙන්ම ආරක්ෂා කරන්නට ඔවුන්ට හැකි වීම අගනා ජයග්‍රහණයකි.
අන් වසරවලට වඩා 2022 වසරේ සාමාන්‍ය පෙළ ලියූ දරුවන්ට පාසල් ගමන බොහෝ සෙයින් අඩපණ විය. මාර්ගගත ක්‍රමවේදය හරහා අධ්‍යාපනය ලැබුවද ඉන් විශාල ප්‍රගතියක් අත් නොවුණි. නමුත් මේ ගමනේදී තක්ෂිලාවේ ගුරු සිසුන්ගේ කැපවීම මෙන්ම මවුපියන්ගේ කැපවීම ජයග්‍රහණයට මාවත තැනූ අතර, හොරණ තක්ෂිලාව ගෙවුණු වසරවලට නොදෙවැනිව මේ වසරේදීත් සියලුම සිසුන්ව උසස් පෙළට සමත් කරවන්නට ගත් වෙහෙස තරමක් දුෂ්කර විය. 2022 (2021) සාමාන්‍ය පෙළ විභාගයට මෙවර හොරණ තක්ෂිලාවෙන් සිසුහු 321ක් ඉදිරිපත් වූ අතර 321 දෙනාම උසස් පෙළ හැදෑරීමට සුදුසුකම් ලැබුවෝය. ඒ අනුව මෙවර ඉහළම සාධනීයත්වයක් වාර්තා කරමින් A 9 සාමාර්ථ 42%ක් එනම් 134ක් ද, A 8 සාමාර්ථ 56ක් ද, A 7 සාමාර්ථ 39ක් ද වාර්තා කරන්නට හැකි විය. සාමාන්‍ය පෙළ ඒ ඒ විෂයන් සඳහාද හොරණ තක්ෂිලා සිසුහු ඉහළම A සාමාර්ථ ප්‍රමාණයක් වාර්තා කරන්නට හැකි වූයේ මේ ආකාරයෙනි. ඔවුහු ඒ ඒ විෂයන්ට ලබා ගත් A සාමාර්ථ අතර, සිංහලට 256ක්, ගණිතයට 258ක් ඉංග්‍රීසි 260ක්, ඉතිහාසය 255ක්, බුද්ධාගම 279ක්, විද්‍යාව 241ක් ද ලබා ගත්තේ පොදුවේ පාසල් සිසුන්ටම මුහුණ දෙන්නට සිදූ වූ දරුණුතම අභියෝග රැසක් මධ්‍යයේය. මීට අමතරව සංගීතය විෂයට සිසුන් 70න් 60කටම A සමාර්ථ හිමි වීම, චිත්‍ර සඳහා සිසුන් 51න් 39කට A සාමාර්ථ, දෙමළ සඳහා සිසුන් 50කට, නර්තනය සඳහා සිසුන් 34කට, සිංහල සාහිත්‍ය සඳහා සිසුන් 39කට A සාමාර්ථ හිමි වීම මේ ජයග්‍රහණ අතර කැපී පෙනෙන්නකි. ජර්මන් භාෂාවේ සමත් වීම 100% ක් විය. මේ අපූරු ජයග්‍රහණ පිටුපස වූයේ ගුරුවරුන්ගේ අසීමිත කැප කිරීම හා සිසුන්ගේ නොපසුබස්නා වීර්යයයි.
කොවිඩ් අභියෝග පැවැති කාලයේ අන් පාසල් මෙන් හොරණ තක්ෂිලා සිසුන්ට ද අධ්‍යාපනය ලබා දෙන්නට සිදු වූයේ මාර්ගගත අධ්‍යාපනික ක්‍රමවේදයටය. මයික්‍රොසොෆ්ට් ටීම් භාවිත කරමින් පාසලේ 6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වාම විධිමත් කාල සටහනක් සකස් වූයේ පාසල් අධ්‍යාපනයේ සාර්ථකත්වය කිසිදු අඩුවකින් තොරව ලබා දෙන්නටය. මුලින්ම වට්ස් ඇප් හරහා කාල සටහන් සකස් වූ අතර, නිරන්තරයෙන් සිසුන්ගේ සහභාගීත්වය අධීක්ෂණය වන්නට විය. මාර්ගගත ක්‍රමවේදයෙන් අධ්‍යාපන කටයුතු පවත්වා ගෙන යෑමට ප්‍රථමයෙන් මූලික දැනුම්වත් වීම් ගුරු සිසුන් දෙපාර්ශ්වයටම ලබා දුන් අතර පෙර සිට අධ්‍යාපන ප්‍රගතිය ඉහළ නැංවීමට පාසල ආරම්භ කළ ඉගැන්වීම් ක්‍රමවේදය ඒ ආකාරයෙන්ම මාර්ගගත ක්‍රමවේදයේදී ද භාවිත කරන්නට ඔවුන්ට හැකි විය. කොවිඩ් පැවැති වකවානුවේ සියලු විභාග මාර්ගගත ක්‍රමවේදය හරහා පැවැත්වූවා පමණක් නොව අතරින්පතර ලිඛිතව සිසුන් ලවා ලියවාගත් ප්‍රශ්න පත්‍ර කොවිඩ් අභියෝග නොතකා ගුරුවරුන් විසින් පාසලට පැමිණ අධීක්ෂණය කිරීම ද විශේෂත්වයක් විය. මාර්ගගත ක්‍රමවේදය හරහා පැවැත්වූ මෙම වාර විභාග මෙන්ම අනාවරණ පරීක්ෂණවලදී මවුපියන්ට නිසි ආකාරයෙන් මැදිහත් වීමක් ලබා දෙන්නට අවශ්‍ය දැනුම ද මේ සමඟම ලබා දුන්හ. මේ කටයුත්තතේදී හිටපු විදුහල්පතිවරුන් වූ එච්.කේ අබේපාල, කේ. කේ.පී.එම් ජයතිලක මෙන්ම වත්මන් විදුහල්පති ඩබ්ලිව්. පී.එන්.ඩී. වීරසිංහගේ නිවැරැදි මඟ පෙන්වීම ලැබුණි.
රට විවෘත වීමෙන් අනතුරුව සිසුන් කොටස් වශයෙන් පාසලට පැමිණීම් කළද ඒ සිසුන්ට නිවැරැදි මඟ පෙන්වීම් ලබා දෙමින් සුපුරුදු වාර විභාග පවත්වා අඩු ලකුණු ගත් සිසුන් හඳුනා ගෙන ඔවුන් සඳහා වෙනමම ඇගැයිම් කාල පරිච්ඡේද වෙන් කරන්නට හැකි විය. දුර්වල සිසුන් හඳුනා ගනිමින් කැපකරු ගුරු ක්‍රමය හඳුන්වා දීම හොරණ තක්ෂිලාවන්ට අනන්‍ය වූ වැඩ සටහනක් විය. මේ හරහා එක් එක් සිසුවකුට එක් ගුරුවරයකු වෙන් වූයේ අඩුපාඩු හඳුනා ගනිමින් ඔවුන් ඉදිරියට පෙළ ගැස්වීම සඳහාය.
මේ සිසුන් සඳහා විශේෂ වැඩසටහනක් ගුරුවරුන් විසින්ම ක්‍රියාවට නැංවූ අතර සවස 4 දක්වා ඔවුන් සඳහාම වෙන් වූ පාඩම් හා ඇගැයීම් ආරම්භ වන්නට විය. ඒ අනුව ප්‍රධාන විෂයන් 5 සතියේ දින 5ට වෙන්වූ අතර වගකීම ප්‍රධාන විෂය භාර ගුරුවරුන් සතුවිය.
පාසල් විවෘත වූ පසු සියලු සිසුන්ට දින දෙකක කාලයක් අතපසු වූ විද්‍යාව, ගණිත ක්‍රියාකාරකම් සඳහා අවස්ථාව ලබා දීම සඳහා ගණිත හා විද්‍යා කඳවුරු ක්‍රියාත්මක වූ අතර එමඟින් සිසුන් අතින් ගිලිහෙන විෂය අඩුපාඩු හඳුනා ගැනීමට නිසි මඟ පෙන්වීම ලැබිණ. මීට අමතරව සාමාන්‍ය පෙළ සඳහා පෙනී සිටින සියලු 11 වසර සිසුන් වෙනුවෙන් අමතර පැය 2ක කාලයක් වෙන් වූයේ විභාගයට ආසන්න මොහොත දක්වාම ඔවුන් ඊට සූදානම් කරන්නටය. මේ අතර ප්‍රධාන විෂයන් මුල් කරගනිමින් විෂය ප්‍රවීණයන් හා විශ්වවිද්‍යාල සිසුන් විසින් දේශන හා වැඩමුළු සංවිධානය වූයේ ආදි ශිෂ්‍ය, සංවර්ධන සමිති දායකත්වයෙනි.
හොරණ තක්ෂිලාවේ දිගු ගමනේදී ආදි සිසුන් විසින් දක්වන සහාය සුළුපටු නොවේ. ආර්ථික අපහසුතාවලින් පෙළෙන දරුවන් සඳහා මුදල් හා ද්‍රව්‍යමය ආධාර ලබා දීම මෙන්ම සාමාන්‍ය පෙළ ඇතුළු ජාතික විභාගයන්වලින් ඉහළින්ම සමාර්ථයන් දක්වන අයට ත්‍යාග සහතිකපත් ලබා දීම් ඔවුහු සිදු කළ මහඟු දිරිගැන්වීම්ය. මාර්ගගත අධ්‍යාපන කටයුතු සිදු වන කාලයේ ජංගම දුරතකතන නොමැති දරුවන් තෝරා ගෙන ඔවුන්ට ජංගම දුරකතන 13ක් ලබා දෙන්නට මුල් වූයේ ආදි තක්ෂිලා 2000 කණ්ඩායමයි. ‘ 'අකුරට ආලෝකයක් 'යන වැඩසටහන හරහා සමස්තයක් ලෙස පාසලේ ආර්ථික පීඩාවන්ගෙන් පිරි සිසුන්ට ආදි සිසුහු පිහිටක් වූයේ ඒ සිසුන්ට මාස්පතා රුපියල් 2,500ක මූල්‍යාධාරයක් ලබා දීමෙනි.
කොවිඩ් හේතුවෙන් මාස ගණනාවක් පුරාවටම නිවෙස් තුළට කොටු වී සිටි සිසුන් තරගකාරී විභාගයකට සූදානම් කිරීමේදී අවශ්‍ය මානසික සමබරතාව ඇති කරන්නට කායික මානසික වැඩසටහන් පමණක් නොව පුද්ගල උපදේශන කටයුතු ද පවත්වන්නට කාලය වෙන්කර ගැනීමට පාසල් බලධාරීහු සමත් වූහ. 'ක්ලීන් තක්ෂිලා' වැඩසටහන් පැවැත් වූයේ කොවිඩ්වලින් අනතුරුව යහපත් පාසල් පරිසරයක් සිසුන් අතට පත් කිරීම වෙනුවෙනි. සෞඛ්‍ය සම්පන්න හා හරිත පරිසරයන් ඇති කිරීම සඳහා මේ වැඩසටහන හේතු වූයේ විභාගයට සුදුසු සෞඛ්‍ය සම්පන්න පාසල් පරිසරයක් සිසු අතට පත් කිරීමටය.
මේ සියලු කටයුතුවලදි විදුහල්පති ඩබ්ලිව්. පී.එන්.ඩී. වීරසිංහ, නියෝජ්‍ය විදුහල්පතිනි ඉසංකා සමරසිංහ, 9-10-11 සහකාර විදුහල්පති ප්‍රේමසිරි එදිරිසිංහ, සහකාර විදුහල්පතිවරුන් වන පී.එම්. සමන්ත කුමාර, ජයන්ත ප්‍රේමරත්න, චන්ද්‍රිකා විජයගුණවර්ධන මෙන්ම 10/11 අංශ ප්‍රධානි අනුරුද්ධ ආරියරත්න, 11 ශ්‍රේණි ප්‍රධානි චම්පිකා සමරසිංහ, 10 ශ්‍රේණි අංශ ප්‍රධාන නයනා ගුණවර්ධන ඇතුළු ගුරු කාර්ය මණ්ඩලය මේ ගමන් මඟේ පුරෝගාමීහුය.
හොරණ තක්ෂිලාවේ මේ සියලු කටයුතු සිදු වූයේ පාසලේ ක්‍රීඩා මෙන්ම අමතර ජයග්‍රහණ ද ලබමිනි. විභාගයට මුහුණ දුන්නද සමබර පෞරුෂයකට උරුමකම් කියන්නට මඟ පාදා ලැබූ ජයග්‍රහණ බොහෝය. 2022 ලෝක ළමා දිනයට සමගාමීව නව නිර්මාණ, කොලාජ්, අත්වැඩ හා චිත්‍ර පළමු, දෙවැනි හා තුන් වැනි ස්ථාන දිනා ගත්තේ මේ දරුවන්ය. කොවිඩ් හේතුවෙන් නිවෙසට කොටුවී සිටි දරුවන්ට පොත් ලිවීම හුරු කරවමින් රටක් වටිනා පොතක් ලියා සම්මාන ලැබුවෝ ද බොහෝමය. සිංහල භාෂා සාහිත්‍ය තරගාවලිවලට ඉදිරිපත් වීමෙන් විවිධ අංශයෙන් මේ දරුවෝ සම්මාන හිමිකර ගත්හ.
පාසල් අතර පැවැති තාරකා විද්‍යා තරගාවලියේ ජයග්‍රහණ මෙන්ම පර්යේෂණ හා ක්‍රීඩා අංශයෙන් ද ඉහළ ජයග්‍රහණ ලබා ගත් සිසුන් අතර, මෙවර සාමාන්‍ය පෙළට ඉදිරිපත් වූවෝ වෙති.
මේ සියලු දේ සිදු වූයේ හොරණ තක්ෂිලාවේ ආදර්ශ පාඨය වූ "අප්පමත්තා නමියන්ති" නව අරුතක් එක් කරමිනි. එදා කරුණාසේන ජයලත් 'ගොළු හදවත'ලේඛන විප්ලවයට පසුබිම් වූ හොරණ තක්ෂිලාව අඩ සියවසකට අධික කාලයක් ගෙවුණ ද අදටත් නොවෙනස්ය. මේ සුන්දර තක්ෂිලාව අදටත් සිය සේවය නිහඬවම ඉටු කරමින් උගතුන්, වියතුන් රැසක් රටට දායාද කරමින් සිටින්නේය.
සේයාරූ - නිශ්ශංක විජේරත්න