බ්ලයින්ඩ් ඔඩිෂන් වටය නම් මට කවදාවත් අමතක වෙන්නෙ නෑ | සිළුමිණ

බ්ලයින්ඩ් ඔඩිෂන් වටය නම් මට කවදාවත් අමතක වෙන්නෙ නෑ

 

රියැලිටි කලාව කියන්නෙත් අමුතුම කලාවකි. රියැලිටි තරුවක් වීමට දක්ෂතාව පමණක්ම ප්‍රමාණවත් නොවන අතර වාසනාවත් හරි හරියට එයට මුසුවිය යුතුය. සංඛජා දිසානායක එවන් වාසනාවකට හිමිකම් කී සිරස වොයිස් වැඩසටහන ඔස්සේ කලා අඹරට පෑයූ තරුවකි. තවමත් පාසල් වියේ පසුවන ඇය තම දක්ෂතා උරගා බලමින් මෙතෙක් ආ ගමන ගැන අප හා පැවසුවේ මෙවන් කතාවකි.

සංඛජා ජනප්‍රිය වුණේ සිරස වොයිස් වැඩසටහන නිසා. කොහොමද ඒ සඳහා අවස්ථාව ලැබුණේ?

පුංචි කාලෙ සිටම මම සංගීතයට ගොඩක් ආසයි. ඒ කාලෙ ඉඳන්ම මගේ ඇඟේ සංගීතය තිබුණා කියලා මට හිතෙනවා. දිගටම සංගීතය ඉගෙන ගත්තා. මම තාමත් කෑගල්ල ශාන්ත තෝමස් විද්‍යාලයේ අධ්‍යාපනය හදාරනවා. ටීවී එකේ වොයිස් වැඩසටහනේ ඇඩ් එක දැකලා අයදුම් කළා. බ්ලයින්ඩ් ඔඩිෂන් වටයට අයදුම්කරුවන් 128ක් තේරිලා හිටියා. කෝච්ලා හතර දෙනෙක් යටතේ ටීම් 4ක් විදිහට තමයි ඊට පස්සේ තරග වදින්නේ. අවසන් වටයට තේරෙන්නේ ටීම් හතරෙන් හතර දෙනෙක්. මං අවසන් 12 දෙනා වෙනකල් ආවා. ඒ ක්වෝටර් ෆයිනල් වටය. අවසන් 12 දෙනා හැදෙන්නේ එක ටීම් එකකින් තුන්දෙනා බැගින්. මගේ ටීම් එකේ අවසන් තුන්දෙනා අතරේ මං හිටියා.

 

ඔබට කෝච්ලා හතර දෙනාගෙම කැමැත්ත ලැබුණා. එතැනදි ඔබ තෝරා ගන්නේ කෝච් සංඛ දිනෙත්ව. ඒකට විශේෂ හේතුවක් තිබුණ ද?

බ්ලයින්ඩ් ඔඩිෂන් වටයෙදි කෝච්ලා ඉන්නේ අපිට පිටුපාලා. අපේ හඬ විතරයි එයාලට ඇහෙන්නේ. අපේ සින්දුවට කැමති අය බසර් එක ඔබලා අපේ පැත්තට හැරෙනවා. එක කෝච් කෙනෙක් විතරක් හැරුණොත් එයාගෙ ටීම් එකට තමයි යන්න වෙන්නේ. කිහිප දෙනෙක් හැරුණොත් තමයි අපිට තෝරගැනීමක් කරන්න වෙන්නේ.

ඇත්තටම මගේ බ්ලයින්ඩ් ඔඩිෂන් වටය නම් මට කවදාවත් අමතක වෙන්නෙ නෑ. මං ගායනා කළේ ‘පුන්සඳ රෑට’ කියන ගීතය. ඒකෙ එක වේරියේෂන් එකක් ගන්න තැනදි කෝච්ලා 4 දෙනාම එකම විට බසර් එක ඔබලා මගේ පැත්තට හැරෙනවා. ඒ මොහොත මට කවදාවත් අමතක වෙන්නෑ. මං දන්න තරමින් එහෙම දෙයක් වුණු මුල්ම වතාව ඒක. සාමාන්‍යයෙන් කෝච්ලා කතා කරගෙන හැරෙන අවස්ථා තියෙනවා. ඒත් එකිනෙකා අතර කිසිම සන්නිවේදනයක් නැතුව නිරුත්සාහයෙන්ම වුණු පළමු අවස්ථාව වෙන්න ඕන. ඒ මොහොත මට හීනයක් වගේ. හැමෝගෙන්ම හොඳ ප්‍රතිචාර ලැබුණා. හැමෝම කැමති වුණා මාව එයාලගේ ටීම් එකට ගන්න. ඉස්සර ඉඳන්ම කෝච් සංඛට මං කැමතියි. කෝච් සංඛ දීපු කමෙන්ට් එක වගේම ඔහුත් අපි වගේම රියැලිටි කලාවෙන් ආපු කෙනෙක් නිසාත් මට හිතුණා ඔහුව තෝර ගන්න. මගේ නමත් සංඛජා නිසා ඒකත් හේතුවක් වුණා කිව්වත් හරි.

 

කෝච් සංඛ කියන්නෙත් රියැලිටි කලාවේ අත්දැකීම් තියෙන කෙනෙක්. කොහොමද ඔහුගෙන් ලැබුණු සහයෝගය?

ගොඩක් ලොකු සහායක් ලැබුණා. වෝකල් එක්සසයිස් පැත්තෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ඒ වගේම ස්ටේජ් එකකට නැඟලා ඕඩියන්ස් එකට දැනෙන්න සින්දු කියන්නෙ කොහොමද? තරගය ඇතුළෙ විතරක් නොවෙයි ක්ෂේත්‍රය තුළ ඉදිරියට යන්නෙ කොහොමද කියන එකත් කියලා දුන්නා. තාමත් උදවු කරනවා. කෝච් සංඛ එක්ක මට සින්දුවක් කරන්නත් අවස්ථාව ලැබුණා. ඒක මට ලොකු සතුටක්. මේ දවස්වල ඒකට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. යූටියුබ් එකේ ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් මේ වෙද්දි නරඹලා තියෙනවා. සති දෙකක් විතර ට්‍රෙන්ඩිං වෙලත් තිබුණා. මගේ කෝච් තමයි දැන් මගේ හොඳම යාළුවා. මං වොයිස් එන්න කලින් ඔරිජිනල් එකක් කළා. ධම්මික බණ්ඩාරයන්ගේ ගී පදවැලට නවරත්න ගමගේ මහතාගේ සංගීතය මුසුවුණු තාක්ෂණයට ඇබ්බැහි වුණු ළමයෙක් ගැන කියවෙන තාරුණ්‍යයට ඔබින ගීතයක්. වොයිස් ආවට පස්සෙත් තව එකක් කළා. කැලුම් ශ්‍රීමාල්ගේ පද රචනයට සංගීත් වික්‍රමසිංහයන් සංගීතවත් කළ එකක්. ඒක ඉදිරියේදී අහන්න ලැබේවි. ඒ වගේම චන්දන ලියනාරච්චි මහත්මයගෙනුත් යුග ගීතයකට ආරාධනාවක් ලැබුණා. කෝච් සංඛගෙ කොන්සට් එකේ වගේම කෝච් අභිෂේඛාගෙ කොන්සට් එකෙත් ගීත ගායනා කරන්න අවස්ථාව ලැබුණා. රත්න ශ්‍රී විජේසිංහයන්ගේ රසවින්දන වැඩසටහනකටත් සහභාගී වුණා. ගෘහස්ථ වගේම එළිමහන් සංගීත වැඩසටහන්වලටත් සහභාගි වෙනවා. කෝච් සංඛ වගේම සුසිල් ජයරත්න සර්ත් මේ ගමනට ගොඩක් උදවු කළා. ඒ වගේම මේ වෙද්දි මං සංගීත විශාරද 2 කොටස අවසන් කරලා තුන්වැනි කොටසට සූදානම් වෙනවා.

 

කාලයක් සංඛජා විදෙස්ගත වෙලා හිටියා කියලත් ආරංචියි. කොහොමද ඒ අත්දැකීම?

මගේ අම්ම අලව්ව ප්‍රාදේශීය ලේකම් ලෙස කටයුතු කරනවා.. අප්පච්චි පොල්ගහවෙල ඒ. ජී ඔෆිස් එකේ සහකාර අධ්‍යක්ෂ. අම්මට ශිෂ්‍යත්වයක් ලැබිලා 2018 වසරේ ඔස්ට්‍රේලියා ගියා. අවුරුදු 2ක් ඉඳලා ඇවිත් තමයි මං සා/පෙළට මුහුණ දුන්නේ. මම එහෙදි තෝමස්ටම් සෙකන්ඩරි කොලේජ් එකට ගියේ. එහේදිත් පාසල් සංගීත කණ්ඩායමේ හිටියා. ඒකත් මට අමතක නොවන අත්දැකීමක්. එහේ තිබුණ එක කොන්සට් එකකදී මං ගායනා කළ ‘හෙමින් සැරේ පියාවිදා’ සින්දුවේ කොටසක් ඒකේ ට්‍රේලර් එකට එකතු කළා. විශේෂත්වය වුණේ වෙනත් භාෂාවකින් තිබුණ එකම ගී කොටස ඒක. කවදාවත් මට අමතක වෙන්නෑ ඒක. ලංකාවෙ වගේම ලෝකයත් හඳුනන නම ගිය ගායිකාවක් වෙන්න තමයි බලාපොරොත්තුව.

Comments