අපි මිනිස්සුන්ට හිනාව ගේන කට්ටියනේ | Page 3 | සිළුමිණ

අපි මිනිස්සුන්ට හිනාව ගේන කට්ටියනේ

ප්‍රහසනය උත්පාදනය කියන්නෙත් රංගනයේ එක් පැතිකඩක්. ඒක හැමෝටම කරන්න පුළුවන් දේකුත් නොවෙයි. දවස පුරාම පීඩාවට පත්වෙලා ඉන්න මිනිසුන් රාත්‍රියට රූපවාහිනි තිරය ඉදිරියේ වාඩිවෙන්නේ පුංචිම හරි සහනයක් බලාපොරොත්තුවෙන්. එවන් මිනිසුන්ගේ පීඩාව මොහොතකට හෝ ලිහිල්කර මුවට හිනහවක් ගෙන එන්නට හැකි නම් එයත් සුවිශේෂී දක්ෂතාවකි. අද අපේ කතාබහට එක්කර ගත්තේ එවන් චරිතයක්. ඔහු සමීර ඊරියගම. ඊටත් වඩා ඔබ ඔහුව හඳුනන්නේ දෙවෙනි ඉනිමේ මිලාන්ගේ චරිතයෙන්.

මිලාන් කියන්නේ ප්‍රහසනය උත්පාදනය කරන චරිතයක්. මිලාන්ට ලැබෙන්නේ මොන වගේ ප්‍රතිචාරයක් ද ?

2009 ඉඳන් මං මේ ෆීල්ඩ් එකේ හිටියත් බොහෝ දෙනෙක් මාව හඳුනගන්නේ දෙවෙනි ඉනිමේ මිලාන් හරහා. ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. අපි ඉතිං මිනිස්සුන්ට හිනාව ගේන කට්ටියනෙ. ඒ නිසා බණිනව නම් ගොඩක් අඩුයි. ඉඳල හිටලා නැත්තෙමත් නෑ. අටලෝදහම අනුවනෙ හැම දේම සිද්ධ වෙන්නේ. මිනිස්සු හමුවුණාම හරිම ආදරෙන් කතා කරනවා. දෙවෙනි ඉනිමට මිනිස්සු තාමත් ආදරෙයි. මේකෙ ජනප්‍රිය චරිත ගොඩක් ඉන්නවා. ඒ වගේම මේක නිසා ගොඩක් අයගේ ජීවිත වෙනස් වුණා කිව්වත් හරි. මේ දවස්වල දෙවෙනි ඉනිම අවසාන භාගයේ වැඩ කෙරෙමින් යන්නේ.

 

මිලාන්ගේ චරිතයට ආරාධනා ලැබෙන්නේ කොහොමද?

සාරංග මෙන්ඩිස් එක්ක මං ගොඩක් කල් ඉඳන් වැඩ කරලා තියෙනවා. අන්තිමටම සම්බන්ධ වුණේ ගිනි අවි ටෙලි නාට්‍යයට. ඊට පස්සේ රැකියාවේ කාර්යබහුලත්වය නිසා රංගනයෙන් ටිකක් ඈත්වෙලා හිටියා. දවසක් සාරංග අයියා කතා කරලා කිව්වා මල්ලි මෙහෙම වැඩක් තියෙනවා. අපේ ඒඩී කතා කරයි. ඔයා එන්න කියලා. එනවද කියලා ඇහුවෙත් නෑ කෙළින්ම එන්න කිව්වා. ඒ දවස්වල දෙවෙනි ඉනිම අංක එකේ නාට්‍යය. මාත් ඉතින් පැනලා කැමති වුණා.

 

සමීර කලා ක්ෂේත්‍රයට පිවිසුණ හැටි මතක් කළොත්?

මගේ තාත්තා හේමන්ත ඊරියගම. එයා මාව ඩ්‍රාමා පන්තියකට දාලා කිව්වේ මගේ නම කන්නෙ නැතුව මේක ඉගෙන ගෙන යන්න කියලා. මුලින්ම චන්දන හේවාපතිරණ සහ ධර්මප්‍රිය ඩයස් යන සර්ලගෙන් ඉගෙන ගත්තා. අපේ ක්ලාස් එක ඉවර වුණත් මං තව ක්ලාස් 9ක් යනකලුත් දිගටම සහභාගි වුණා. මට හිතුණා තව ටිකක් ඉගෙන ගෙනම එනවා කියලා. ඒකෙන් තමයි මාව පබළු නාට්‍යයට සම්බන්ධ කළේ. චන්දන සර්ගේ සහාය අධ්‍යක්ෂවරයා චමින්ද හේවාවසම් තමයි පබළු නාට්‍යයේත් සහාය අධ්‍යක්ෂවරයා. ඔහු මට පබළු නාට්‍යයේ පොඩි චරිතයක් දුන්නා. ඒක මගේ පළමු රංගන අත්දැකීම. එය ශාන්ත සොයිසා මහතාගේ අධ්‍යක්ෂණයක්. ඒ දවස්වල අංක එකේ නාට්‍යයක් ඒක.

ඊට පස්සේ චන්දන සර්ගෙම “කුණු දැමීම තහනම්“ කියන නාට්‍යයේ තුන්වැනි සහාය අධ්‍යක්ෂවරයා විදියට මාව සම්බන්ධ කළේ රංගනය ගැන ඉගෙන ගන්නත් එක්ක. ඒකේ සරත් කොතලාවල, ජයනි සේනානායක, කුමාර තිරිමාදුර, හේමන්ත ඊරියගම, මාදනී මල්වත්ත වගේ දැවැන්ත චරිත ගොඩක් එක්කයි වැඩ කරන්න ලැබුණේ. මට ගොඩක් දේවල් ඉගෙන ගන්න ලැබුණා. ඔහොම තමයි ක්ෂේත්‍රයට ආවේ.

 

ඔබේ පියා ක්ෂේත්‍රයේ අත්දැකීම් බහුල ප්‍රවීණ රංගන ශිල්පියෙක්. තාත්තගෙ නම පාවිච්චි කරලා නේද ආවෙ කියලා කවුරුත් අහලා නැද්ද?

තාත්තා කොහොමත් එහෙම කියන්න ඉඩක් තිබ්බෙ නැහැ. එයා නිතරම කියන්නේ මගේ නම කැත කරන්නේ නැතුව වැඩේ ඉගෙනගෙන හරියට කරන්න කියලා. ෆීල්ඩ් එකේ අයට වුණත් මෙයාව ස්ක්‍රීන් ටෙස්ට් එකක් තියලා බලලා ගන්න කියලා තමයි එයා කියන්නේ. ඒක හොඳයි කියලා මටත් හිතුණා. මං ආවේ පොඩි තැන ඉඳන්. මං සුළු චරිත වගේම ප්‍රධාන, උපප්‍රධාන චරිතත් කරලා තියෙනවා. චන්දන හේවාපතිරණ සර්ගේ තීර්ථ තරණය, ළෙන්ගතු අසපුව කියන නාට්‍යවල ප්‍රධාන චරිත කළා.

 

ඔබ තාත්තගේ අභාසය, උදවුව තිබිලත් රංගනය ගැන හදාරලා පොඩි තැන ඉඳන් ආපු කෙනෙක් විදිහට අලුතින් ක්ෂේත්‍රයට එන අයට කියන්න යමක් ඇති?

මං කියන්නේ අනිවාර්යයෙන්ම හැදෑරීමක් කරලා එන්න. එතකොට කිසි බයක් නැහැ. කාගෙවත් පස්සේ යන්න ඕනත් නැහැ. පොඩි තැන ඉඳන් ඇවිත් අත්දැකීම් ගන්න. හොඳම උදාහරණය තමයි පබළු නාට්‍යයේ මට තිබුණේ ප්‍රියන්ත සෙනවිරත්න මහත්මයා එක්ක රඟපාන්න. මං එයාගේ කතා බලලා තිබුණා. එයා එක්ක රඟපාද්දි හිනා යනවා. මට ඇත්තටම බයක් හිතුණා. මොකද මේක මගේ පළමු අත්දැකීම. එහෙම බය වුණාම කැරැක්ටර් එක මඟහැරෙන්න පුළුවන්. පොඩි චරිතයක් වැරදුණා කියලා ප්‍රේක්ෂකයාට වැඩිය දැනෙන්නෙ නැහැ. ඒත් ප්‍රධාන චරිතයක් වුණාම කෙළින්ම එයාලා කියනවා ඔයා මෙහෙම කළා නේද කියලා. හරි දේ ඉගෙනගෙන එන්න. ප්‍රවීණයන්ට ගරු කරන්න. හොඳ දේවල් අරගෙන, නරක දේවල් අයින් කරලා ඉදිරියට යන ගමන් අප්ඩේට් වෙන්න.

 

මේ ක්ෂේත්‍රය තුළ ඔබ ආදර්ශයට ගත්තේ මොනවගේ චරිත ද ?

සරත් කොතලාවල, කුමාර තිරිමාදුර, ධර්මප්‍රිය ඩයස්, මහේන්ද්‍ර පෙරේරා වගේ අය පොඩි තැනින් පටන්ගෙන ඒ අත්දැකීම් ඔස්සේ ගිහින් තමයි මේ තරම් සාර්ථක වෙලා තියෙන්නේ. එහෙම පටන් ගත්තම වරදින තැන් අඩුයි. මාත් පටන් ගත්තෙ පොඩි තැනින්. කරපු සීන් එකක් දැකලා තෘප්තිමත් බවක් දැනුණෙ නැත්නම් හරියට දුක්වෙන කෙනෙක් මං.

 

ඔබේ බිරියගෙන් ලැබෙන සහයෝගය ගැනත් මතක් කරමු?

එයාගෙන් ලැබෙන සහයෝගය ගැන කියන්න මට වචන නෑ. විවාහ වෙන්න කලින් ඉඳන්ම එහෙමයි. ලබන මාසෙට අපේ බබාට අවුරුද්දක් වෙනවා. මේ ෆීල්ඩ් එකට ආවම සැකය කියන එක තමයි නැති වෙන්න ඕන. මං අද වෙනකන් එයාට අවිශ්වාස හිතෙන විදියේ කිසිම දෙයක් කරලා නැහැ. මං කියලා තියෙන්නේ ෂූටිං ගියහම මට මානසික නිදහස තියෙන්න ඕන. හදිසියක් වුණොත් විතරක් කෝල් ගන්න. නැත්නම් ගෙදර ප්‍රශ්න ගෙදර ආවම කතා කරන්න කියලා. එයා තමයි මගේ හෙවණැල්ල වගේ ළඟින්ම ඉන්නේ.

Comments