
යුදබිමේ මතක නිරායුධ
කෘතිය- නිරායුධ
කර්තෘ- කර්නල් එම්.පී.පෙරේරා
ප්‍රකාශක- සරසවි ප්‍රකාශකයෝ
මිල- 650 /= පිටු ගණන-214
විමසීම්- 071 1029640
වසර 34ක කාලයක් ශ්‍රී ලංකා යුද හමුදාවේ සේවය කළ කර්නල් එම්.පී.පෙරේරා තම වෘත්තීය අත්දැකීම් ඇසුරෙන් මෙම කෘතිය රචනා කර ඇත. යුද්ධය නිසා අවතැන් වූවන් සම්බන්ධයෙන්, යුධ හමුදාවේ මානුෂීය දැක්ම මෙන්ම ජාතීන් අතර සමානාත්මතාව සහ සහජීවනය ආදී කරුණු සම්බන්ධයෙන් මෙහිදී කතුවරයාගේ විශේෂ අවධානය යොමුකර ඇත.
මේ කෘතිය ලිවීමට පාදක වූ සිදුවීමක් පිළිබඳ කතුවරයාගේ අත්දැකීම ද අපූරුය.
"දෙවැනි ලෝක යුධ සමයේ කැලණි ගඟ මිටියාවතේ සුන්දර ගම්මානයක ජීවත් වූ තරුණයකු අලුයම් කාලයේ සිය මිතුරාගේ බක්කි කරත්තයේ නැඟී, හමුදා පුහුණුවට අවැසි බඩුබාහිරාදිය ද පටවාගෙන අඹතලේ පසුකර පෑලියගොඩ දෙසට ගමන් ගන්නා අවස්ථාවක පැන නඟින සිතුවම් පෙළක් සිතෙහි කොනක සටහන් වී තිබිණි. කලකින් ලියන්නට ගිය කතාවේ ආරම්භය එය වූ බැවින් එකලට ආවේණික පැරණි තොරතුරු ගොනු කිරීමට පරිකල්පනය මෙහෙය වූයෙමි. සිතට නැඟෙන විවිධාකාර සිහින රූප පෙළ ගස්වමින් සිටියෙමි. අදාළ පොතපත කියවූයෙමි. 'නිරායුධ' ඔබ අතට පත්වන්නේ එලෙසිනි. ගතානුගතිකව කියැවීමට හුරු පුරුදු වූ පාඨකයකු මෙම කතාවේ යම් වෙනසක් දකිනු ඇත. "
'නිරායුධ' කෘතිය කියවාගෙන යෑමේදී කතුවරයා පවසන ඒ වෙනස දැකගත හැකිය. සරල බස් වහරකින් ලියා ඇති කෘතිය පාඨකයා තුළ රසයක් මෙන්ම ජීවිතය පිළිබඳ අවබෝධයක් ද ඇති කිරීමට සමත්ය. යුද්ධය නිසා විවිධාකාර කායික, මානසික පීඩාවන්ට ලක්වූවන්ගේ සිතිවිලි මේ කෘතිය තුළින් මනාව පිළිඹිඹු වේ. ඒ චරිතවලට සාධාරණය ඉටු කරන්නට කතුවරයා දරා ඇති උත්සාහය සාර්ථක වී ඇති බව කිව යුතුය. එය වඩාත් පහසු වී ඇත්තේ කතුවරයා යුධ බිමේදී ලද අත්දැකීම් නිසාය.
අසූව දශකයේ අග භාගයේ දෙවැනි ලුතිනන් වරයකු ලෙස ශ්‍රී ලංකා යුධ හමුදාවට බැඳෙන මෙහි කතුවර කර්නල් එම්.පී.පෙරේරා කඩුවෙල කොරතොට ශ්‍රී සෝමානන්ද මහා විද්‍යාලයේ සහ කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ ආදි සිසුවෙකි. යුද්ධය බිහිසුණුව පැවැති අවදියේ ක්‍රියාන්විත ප්‍රදේශවලත් සෙසු ප්‍රදේශවලත් දිගු කාලයක් සේවය කර ඇති ඔහු, යුධ හමුදාවේ ඒකක අණ දෙන නිලධාරී, මාණ්ඩලික නිලධාරී, මධ්‍යස්ථාන සේනාවිධායක ආදී ජ්‍යෙෂ්ඨ තනතුරු රැසක් දරා ඇත. යුධ හමුදා පාඨමාලා රාශියක් මෙන්ම මානව හිමිකම් හා මනුෂ්‍යවාදී නීතිය පිළිබඳවත් හදාරා ඇති කර්නල් එම්. පී. පෙරේරා, මනෝ විද්‍යා උපදේශනය පිළිබඳවත් පුහුණුව ලැබූ උපදේශකවරයෙකි.
යුධ හමුදා නිලධාරියකු සතු දැනුම, බුද්ධිය මෙන්ම මනෝ විද්‍යාව ප්‍රගුණ කළ මනෝ උපදේශයකු වන කතුවරයාගේ හෘද සංවේදී භාවය ද මේ කෘතිය තුළින් නිරූපණය වේ.
"මොකක්ද වෙලා තියෙන්නෙ?"
"මේ අම්මා එයාගේ පුතාව අරගෙන ඇවිත් වව්නියාව රෝහලට. පුතා ඊයේ මැරිලා නිව්මෝනියාව හැදිලා.
මේ අම්මට ඉස්පිරිතාලේ කවුරුත් කියලා නෑ මොකද කරන්නෙ කියලා. මෙයා ඉස්පිරිතාලේ ඉස්සරහ අඬ අඬා ඉන්නකොට එතන කරත්ත කඩේ ඉන්න තරුපන් කියන මනුස්සයා උදව්වට ඇවිත්.. මිනිය ආපහු අරන් යන්න රතු කුරුසෙටයි, රම්‍ය හවුස් එකේ අයට සල්ලි දෙන්න ඕනෙ කිව්වලු. මේ අම්මගේ කරේ තිබුණු තැල්ල අරගෙන උකස් කරන තැනට අරන් ගිහින් සල්ලි අරන්... කොටසක් ඒ මිනිහා අරගෙන, කිව්වලු රම්‍ය හවුස් එකේ අයට සල්ලි දෙන්න ඕනේ කියලා...ඉතුරු ගාන මේ අම්මට දීලා මේ ළඟට වෙනකම්ම එක්කන් ඇවිත්, අපේ ඔෆිස් එක පෙන්නලා මග හැරලා ගිහිල්ලා..."
එවැනි සංවේදී සිදුවීම් රැසක් මේ කෘතිය තුළින් හමුවේ.
තිලක් වීරසිංහ ගේ මං පුංචි සන්දියෙ
කෘතිය- මං පුංචි සන්දියෙ
කර්තෘ- තිලක් වීරසිංහ
ප්‍රකාශක- සරසවි ප්‍රකාශන
විමසීම්- 076 6794701
මිල- 950 / පිටු ගණන- 188
අප අවට පරිසරය විද්‍යාත්මක ඇසින් විපරම් කරන විද්‍යා ප්‍රබන්ධයක් හැටියටත් යටත් විජිත අග භාගයේ සමාජ තත්ත්වය, උඩරට හා පහතරට තිබූ සංස්කෘතික පරිසරය එළිදරව් කරන ගවේෂණ රාශියක් හැටියටත්, අභ්‍යාවකාශයට එබී බලන අභ්‍යාවකාශ චාරිකා ලෙසත් තිලක් වීරසිංහගේ මේ යොවුන් නව කතාව හැඳින්විය හැකිය. වැඩිහිටියන් සමඟත්, සිය සගයන් සමගත් මේ තරුණ කතා නායකයා යන වීර චාරිකා රාශියක් අතර, රුසියාව පළමු වරට අභ්‍යවකාශගත කළ ස්පුටිනික් චන්ද්‍රිකාව සැබෑ ලෙස සියැසින් දැක ගැනීමට ලඳු කැලෑවක් මැද උඩු බැලියෙන් දිගා වී මහ රෑ පැය කීපයක් ගත කළ අත්දැකීම කවරකුගේ හෝ සිත් ගන්නා සුලුය. මේ සක්වල අපට වඩා දියුණු ලෝකයක සිට පැමිණි අජටාකාශගාමීන් තිදෙනකුගේ සිත් දිනාගෙන අසාමාන්‍ය මායිචින්තාව (Fantasy) අතිශය සිත් ගන්නා සුළුය.
රටේ සුභ සිද්ධිය වෙනුවෙන් කැප වුණ සැබෑ මිනිසුන් සහ සැබෑ ලස්සන ලෝකය හඳුනා ගන්නට පුළුවන් පිනුම් ලෑල්ලක් හැටියට මේ පොත පාවිච්චි කරන්නට පුළුවන් බව මෙහි කර්තෘ තිලක් වීරසිංහ පවසයි.
එපමණක් නොව රටට ආදරය කරන්නට, මවු භාෂාව ප්‍රාණවත්ව අභිමානයෙන් කතා කරන්නට, පණ කඳ ඇතිව ඇඟපත හසුරුවන්නට, කඳු වැටි, ගංගා, දිය ඇළිවල චමත්කාරය නරඹන්නට, භූමිය සතු පස තේරුම් ගන්නට මේ පොත උදවු කර ගැනීමට පුළුවන.
කෘතිය පිළිබඳ සටහනක් තබමින් මහාචාර්ය ප්‍රණීත් අබේසුන්දරයන් පවසන්නේ විද්වතකු ලෙස තිලක් වීරසිංහයන් විද්‍යාව ඉගෙන ගැනීමට පහසුකම් නොමැති යුගයක තිබුණු ඉඩහසර ඇසුරේ ඔහු සාධනය කළ දැනුම, අවබෝධය වටිනා අනුභූතීන් මේ පොතින් විද්‍යාමාන වන බවයි.
කතා රසය උපදන මනහර අවස්ථා සිද්ධි පහන් වැටක් මෙන් පාඨකයාට මඟ එළි දල්වන බවත් මහාචාර්ය ප්‍රණීත්ගේ අදහසයි.
නයනා වන්නිආරච්චිගෙන් අලුත් වැස්සක්
කෘතිය- අලුත් වැස්සක්
කර්තෘ- නයනා වන්නිආරච්චි
කර්තෘ ප්‍රකාශනයකි
විමසීම්- 0776 617 730
මිල- 480 / පිටු ගණන-99
නාවල ජනාධිපති බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය ලෙස කටයුතු කරන නයනා වන්නිආරච්චි විසින් රචිත මෙය කවි ගී සංකල්පනා කෘතියකි. මීට පෙර ළමා සහ යොවුන් කතා කෘති කිහිපයක් සහ පර්යේෂණ කෘතියක් ලියා ප්‍රකාශයට පත්කර ඇති කතුවරිය විසින් රචිත කුලුඳුල් කාව්‍ය සංග්‍රහය මෙයයි. කෘතිය ගැන හැඳින්වීමක් කරමින් කතුවරිය පවසන්නේ මේ ගී සහ කවි ජීවිතයේ ලැබූ විවිධ අත්දැකීම් ඔස්සේ පරිකල්පනය මෙහෙයවා නිර්මාණය කරන ලද ඒවා බවය.
මගහැරුණු හාදුවක් ගැන කියන නාවලගේ බැනට්
කෘතිය- උදෑසන මගහැරුණු හාදුවක්
කර්තෘ- නාවලගේ බැනට් කුරේ
ප්‍රකාශක- සන්ථව ප්‍රකාශකයෝ
විමසීම්- 0773 086 000
මිල- 400 / පිටු ගණන- 79
මහජන නියෝජිතයකු ලෙස දේශපාලනයේ නිරත වෙමින් පළාත් සභාව, පාර්ලිමේන්තුව ඔස්සේ ඇමැති මණ්ඩලය දක්වා ගිය, රාජ්‍යතාන්ත්‍රික කටයුතුවලට ද සක්‍රිය දායකත්වය ලබා දුන්, නාවලගේ බැනට් කුරේ විසින් රචිත මේ පද්‍ය සංග්‍රහය තුළින් ප්‍රකට වන්නේ ඒ සියල්ල තුළින් ඔහු ලත් ජීවිත පන්නරයයි. අත්දැකීම් සම්භාරයේ අරුමයයි.
මේ වන විට නවකතා කෘති දෙකක්, කෙටිකතා සංග්‍රහයක් සහ චරිත කතා කෘති දෙකක් ලියා ප්‍රකාශයට පත්කර ඇති ඔහුගේ පළමු කාව්‍ය සංග්‍රහය 'ස්වර්ණමාලියේ' එළි දකින්නේ 2020 වසරේදීය. මේ කාව්‍ය සංග්‍රහය, ඒ කාව්‍ය සංග්‍රහය අබිබවා ගිය එකක් බව කෘතිය පිළිබඳ හැඳින්වීමක් කරමින් ප්‍රවීණ ගේය පද රචක බණ්ඩාර ඇහැළියගොඩ පවසයි.
නාවලගේ බැනට් කුරේ නම් දේශපාලඥයා, රාජ්‍ය තාන්ත්‍රිකයා තුළ ජීවත් වන මානව හිතවාදී කලාකාමියා සිය ජීවිත කාලය පුරා උපයා ගත් අප්‍රමාණ අත්දැකීම් සේම දුගී දුප්පත්කමෙන් පීඩිත ජනතාව සමඟ උරෙන් උර ගැටී පිරිපහදු කරගත් ජීවිතාවබෝධය මේ කාව්‍ය සංග්‍රහය පුරාම දැකිය හැකිය. රිද්මය සහිත, රිද්මය රහිත, නිසඳැස්, සඳැස් යන ඕනෑම ආකාරයකින් නිර්මාණ කිරීමේ හැකියාවෙන් යුතු නාවලගේ බැනට් කුරේ නම් කවියා සතු ප්‍රතිභාව මේ කාව්‍ය සංග්‍රහයෙන් මනාව නිරූපණය වේ. සරල බසින් සරල ආකෘති ඔස්සේ රචනා කළද කාව්‍ය අලංකරණවලින් පොහොසත් මේ කවි පාඨකයාට සමාජ යථාර්ථය දැකීමට ද මඟ පෙන්වයි.
පන්හිඳට පෙම් බැඳි කවි ගැන කියන ශානිකා
කෘතිය- පන්හිඳට පෙම් බැඳි නුඹට ලියූ කවි
කර්තෘ- කේ. ශානිකා දුලංජලී
ප්‍රකාශක- සදීපා ප්‍රකාශකයෝ
විමසීම්- 0112 686 11
මිල- 950 / පිටු ගණන-96
කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ ප්‍රසංග කලා පීඨයේ ගෞරව උපාධිධාරිනියක වන, මේ වන විට නර්තනාචාර්යවරියක ලෙස කටයුතු කරන කතුවරිය විසින් රචිත මේ කාව්‍ය සංග්‍රහයට පාදක වී ඇත්තේ ඇය ලද විවිධාකාර අත්දැකීම් සහ සමාජය තුළින් හඳුනා ගන්නා ලද වස්තු බීජයන්ය. සඳැස් ආකෘතියට මුල් තැන දෙමින් රචනා ලද මේ කවි නිර්මාණ තුළින් මිනිස් ජීවිතයේ විවිධ පැතිකඩවල් මෙන්ම සොබාදහමේ අසිරිය, ආදරය, විරහව, බලාපොරොත්තුව වැනි පුද්ගල මනෝ භාවයන් ද ඉතා සියුම් ලෙස ස්පර්ශ කිරීමට කිවිඳිය සමත්ව ඇත.
නිදහස් කාව්‍ය ආකෘති මෙන්ම විවිධ කවි රීතීන්ගෙන් නිර්මාණය කර ඇති මේ කාව්‍ය සංග්‍රහය තුළ කවි නිර්මාණ 87ක් ඇතුළත්ය.
සමනල කවුළු තටු නිකුත් වෙයි
කෘතිය- සමනල කවුළු තටු
කර්තෘ- චලක ප්‍රමුදිත ලුණුවිලගේ
ප්‍රකාශක- Dream Pencil
විමසීම්- 0372 242 312
මිල- 450 / පිටු ගණන-59
මෙය කතුවරයා විසින් රචිත ඔහුගේ දෙවැනි කාව්‍ය සංග්‍රහයයි. විවිධාකාර තේමාවන්ගෙන් විවිධ ආකෘතින්ගෙන් රචිත මේ කාව්‍ය සංග්‍රහයට කාව්‍ය නිර්මාණ 37ක් ඇතුළත්ය. ජීවිතය, ප්‍රේමය, විරහව, සමාජ අසාධාරණකම්, මානව සබඳතා ආදී අප බොහෝ දෙනකු නිතර අත්විඳින සිදුවීම් සහ අත්දැකීම් නවමු අයුරකින් ඉදිරිපත් කරන්නට කවියා සමත්ව ඇත. ධ්වනිතාර්ථවලින් පොහොසත් මේ කාව්‍ය සංග්‍රහය සරල සහ ළගන්නා බස් වහරකින් සහ කාව්‍යමය ලාලිත්‍යයෙන් ද අනූනය.