මනසට පොහොර යොදා අස්වනු නෙළා ගැනීම | සිළුමිණ

මනසට පොහොර යොදා අස්වනු නෙළා ගැනීම

‘කාර්ය බහුල ලෝකයක දිවි ගෙවන මනස නිරතුරුවම ව්‍යාකූලය. එම ව්‍යාකූල බවින් මිදී සිත පහසුවෙන් දියුණු කර ගැනීමට භාවනාව උපකාරී වුව ද ආචාර්ය ඇසුරකින් තොරව භාවනාව නිසි ලෙසින් වැඩිය නොහැකිය. ලෝකයේ භාවනාවට අවධානය යොමු කරන බොහෝදෙනා ථෙරවාදී නිකායන්ගේ භාවනානුයෝගීත්වය මහත් සේ අගය කරති. ඒ අතුරෙන් ගුරුවරයකු සේ භාවනාව පහසුවෙන් වැඩීමට උපයෝගී කරගත හැකි කෘතියක් ලෙස ලොව පිළි ගැනෙන්නේ ආචාර්ය හේනේපොල ගුණරතන මහ නා හිමි විසින් රචිත රචිත Mindfulness In plain English (සතිමත් බව වැඩීම) කෘතියයි. එම කෘතිය භාෂා 32කට පරිවර්තනය වී ඇති අතර අ‍ෙමරිකාව තුළ පමණක් මුද්‍රිත පිටපත් ලක්ෂ 100ක් ඉක්මවා අලෙවි වී ඇත. උන් වහන්සේගේ සතිමත් බව වැඩීමේ ලිපි පෙළ සතිපතා කොටස් වශයෙන් සිළුමිණෙහි පළ වන අතර, මේ එහි තුන්වැනි කොටසයි. 

පි අධ්‍යාපනය කෙරෙහි මහත් විශ්වාසයක් තබන්නෝ වෙමු. දැනුම මිනිසකු ශිෂ්ට සම්පන්න කරන බව අපි විශ්වාස කරමු. එසේ වුවත්, ශිෂ්ටාචාරය මිනිසා මතුපිටින් පමණක් ඔප දමයි. මේ ශිෂ්ට සම්පන්න අති උගත් මහත්මා යුද්ධයේ හෝ ආර්ථික බිඳ වැටීමේ පීඩනයට හසු කර සිදුවන්නේ කුමක්දැයි බලන්න. නීතියට අවනත නොවීමෙන් ලැබිය හැකි දඬුවම් හා ඵලවිපාක දන්නා බැවින් නීතියට අවනත වීම එක් කරුණකි. සොරකමට තුඩු දෙන ලෝභය මෙන්ම ප්‍රාණ ඝාතයට හේතුවන වෛරය සිතින් පහ කිරීම නිසා නීතියට අවනත වීම හාත්පසින්ම වෙනස් කාරණයකි. ගලා බසින දිය පාරකට ගල් කැටයක් විසි කරන්න. දිය පාර ගල්කැටයේ මතුපිට සුමට කළ ද, එහි ඇතුළාන්තය නොවෙනස්ව පවතියි. එම ගල්කැටය ගිනියම් වූ උදුනකට දැමූ විට, එය මුළුමනින් ම උණු වෙයි. පිටතින් මෙන් ම අභ්‍යන්තරයෙන් ද වෙනස් වෙයි. ශිෂ්ටාචාරය මිනිසා බාහිරින් ඔපවත් කරන නමුදු ඔහුව මුදු මොළොක් කර මුළුමනින්ම පරිවර්තනය කරන්නේ භාවනාවයි.

භාවනාව ශ්‍රේෂ්ඨ ගුරුවරයකු බව කියැවේ. එය අවබෝධය හරහා සෙමෙන් නමුත් නිසැකවම ක්‍රියාකරන සියුම් පවිත්‍රකාරක ගින්දරයි. අවබෝධය වැඩි වන තරමට ඔබ වඩාත් නම්‍යශීලී හා ඉවසන සුලු වෙයි. වඩාත් කාරුණික වෙයි. ඔබ පරිපූර්ණ දෙමාපියකු හෝ පරමාදර්ශී ගුරුවරයකු මෙන් වෙයි. වැරදි අමතක කර, සමාව දීමට ඔබ සූදානම්ය. ඔබ අනුන් කෙරෙහි දයාව දක්වන්නේ ඔබට ඔවුන් වඩා හොඳින් තේරුම් ගත හැකි නිසාය. ඔවුන්ව වඩා හොඳින් තේරුම් ගන්නේ ඔබ ඔබවම තේරුම් ගෙන ඇති නිසාය. ඔබගේ ඇතුළාන්තය දැක එහි ඇති ආත්ම මුළාව හා මානුෂික අඩුපාඩු ද, ඔබගේම මිනිස්කම ද තේරුම් ගෙන අත්වැරදි අමතක කර දයාව දැක්වීමට ඔබ ඉගෙන ගෙන ඇත. තමා කෙරෙහි කරුණාව දැක්විය හැකිවන විට එය අනුන් වෙත නිරායාසයෙන් පැතිරවිය හැකිය. මනා නිපුණතාවයකින් යුත් භාවනානුයෝගියා ජීවිතය පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබා ඇත. එබැවින් ඔහු හෝ ඇය නියත ලෙසම ලෝකය දෙස බලන්නේ ගැඹුරුවූත්, අවිවේචනාත්මක වූත් කරුණා දයාවකිනි.

භාවනාවේ යෙදීම, බොහෝවිට අලුත් භූමියක වගා කිරීම හා සමානයි. වනාන්තරය වගා කළ හැකි භූමියක් බවට පත් කිරීමට නම් පළමුව ගස් කපා, එළි පෙහෙළි කර, මුල් උදුරා දැමිය යුතුය. දෙවනුව බිම බුරුල් කර පොහොර යෙදිය යුතුය. අවසානයේ බීජ වපුරා අස්වැන්න නෙළා ගැනේ. එලෙසම, මනස වගා කිරීමේදී පළමුව මඟ අහුරන පීඩාකාරක, නැවත නොවැඩෙන ලෙස මුලින් උපුටා දැමිය යුතුයි. ඉන්පසු පොහොර යෙදිය යුතුය. මෙම මනස නමැති බිම, වීර්යය හා හික්මීම නමැති දියෙන් තෙත් කර, පසුව බීජ වපුරා ශ්‍රද්ධාව, සීලය, සිහි නුවණ හා ප්‍රඥාව නමැති අස්වනු නෙළාගන්න.

බුදුදහමේදී සැදැහැය නොහොත් ශ්‍රද්ධාව හා සීලය නොහොත් සදාචාර සම්පන්න බව යෙදෙන්නේ විශේෂ අර්ථයකිනි. පොතපතක ලියා තිබූ පමණින් හෝ ශාස්තෘවරයකු හෝ බලධාරි අයකු ඉගැන්වූ නිසා හෝ විශ්වාස කිරීමක් මෙහි දී කොහෙත්ම අදහස් නොකෙරෙයි. එය යමක් පිළිබඳ ඇතිවන විශ්වාසයට වඩාත් සමාන වෙයි. ප්‍රායෝගිකව ක්‍රියාත්මක වනු දැකීම නිසා යමක් සත්‍ය බව දැන ගැනීමත්, එය ඔබ තුළම ක්‍රියා කළ ආකාරය දැකීමත් තුළින් ඇති කරගත් විශ්වාසයකි. මෙලෙසම, සදාචාරය යනු බාහිරින් පැනවූ හැසිරීම් රටා පද්ධතියකට චාරිත්‍රානුකූලව හිස නැමීමක් නොවෙයි. ඔබ විසින්ම වුවමනාවෙන් හා කැමැත්තෙන් ම තෝරාගත් සුබදායක චර්යා රටාවකි. ඔබ එසේ තෝරා ගත්තේ එය ඔබගේ වර්තමාන හැසිරීම් රටාවට වඩා උසස් යයි ඔබ පිළිගත් නිසාය.

භාවනාවේ පරමාර්ථය පෞද්ගලික වෙනස්වීමයි. භාවනා කාලයක් අවසානයේදී නැගිට යන ඔබ භාවනාව සඳහා වාඩි වූ ඔබම නොවෙයි. ඉතා සියුම් සංවේදන ක්‍රියාවලියක් තුළින් ඔබගේම සිතිවිලි, වචන හා ක්‍රියා පිළිබඳව ඔබ තුළම ගැඹුරු දැනීමක් ඇති කර, භාවනාව ඔබ වෙනස්වීමකට ලක් කර ඇත. උඩඟුකම වාෂ්ප වී යන අතර ඔබගේ වෛරය සිඳී යයි. සිත සන්සුන් වී තැන්පත් වේ. ඔබගේ ජීවිතය සුමට වෙයි. නියම ආකාරයෙන් යෙදෙන භාවනාව ජීවිත ගමනේදී මුණ ගැසෙන නිවැරදි භාවනා පුහුණුව, ජීවන ගමනේ දී මුණ ගැසෙන කඳු පල්ලම් පසු කිරීම සඳහා ඔබව සූදානම් කරනු ලැබේ. එය ඔබගේ බිය, ආතතිය හා දෝමනස්සය අවම කරයි. අසහනකාරි බව පසුබසියි. දැඩි ආවේගය මධ්‍යස්ථ වෙයි. කරුණු සිදුවන සැටි පැහැදිලි වෙයි. ජීවිතය ගැටුමකින් තොරව පහසුවෙන් ගලා යයි. මේ සියල්ල සිදුවන්නේ අවබෝධය තුළිනි.

භාවනාව, ඔබගේ සිත එක අරමුණක රඳවා ගැනීමේ ශක්තිය හා කල්පනා ශක්තිය මුවහත් කරයි. එවිට ඔබගේ යටිසිතේ අරමුණු හා උපායන් එකින් එක පැහැදිලි වෙයි. ඔබගේ සහජ නුවණ තියුණු වෙයි. සිතිවිලිවල නියත බව වැඩෙයි. මුළාවෙන් හා පූර්ව නිගමනයෙන් තොරව, සියල්ල ඇති සැටියෙන් දැකීම තෙක් ඔබ ක්‍රමයෙන් ගමන් කරයි.

මේ ප්‍රතිඵල ලබා ගැනීම සඳහා ම පමණක් භාවනා කිරීමට කරදර විය යුතු ද? නැත. මේ හුදෙක්ම කඩදාසියක ලියවී ඇති පොරොන්දු රැසකි. භාවනාව, වෑයමේ තරමට ප්‍රතිඵලදායක ද යන්න දැන ගැනීමට ඇත්තේ එකම ක්‍රමයකි. එය නිවැරදිව ඉගෙන ගෙන, නිවැරදිව පුහුණු වන්න. ප්‍රතිඵල ඔබටම දැකිය හැකි වේවි.

භාවනාව යනු වචනයකි. අපගේ සිතීමේ ක්‍රියාවලිය, සම්බන්ධ කිරීම් මගින් ක්‍රියාත්මක වන අතර "භාවනාව" යන වචනය හා බැඳුණු විවිධ අදහස් හා මත ගොන්නක් ඇත. ඒවා අතුරෙන් සමහරක් නිවැරදි වන අතර, අනෙක්වා හුදෙක් බොරු ප්‍රලාප පමණක් ම වෙයි. බොහොමයක් අදහස් අනෙක් භාවනා ක්‍රම පිළිබඳ සත්‍ය වන නමුත් විපස්සනා භාවනා ක්‍රමයට කිසිසේත් අදාළ නැත. අලුත් දැනුම ග්‍රහණය කිරීමට උපකාරී වනු පිණිස පැලපදියම් වී ඇති වැරදි අදහස් බිඳ දැමීම මෙහිදී අත්‍යවශ්‍ය වන කරුණකි. දැන්ම අපි එය සිදු කරමු. වඩාත් ප්‍රකට අදහස්වලින් පටන් ගනිමු.

නාභිය වෙත සිත යොමු කිරීමට හෝ ගුප්ත වදන් මැතිරීමට අප උගන්වන්නේ නැත. ඔබව නොපෙනෙන ශක්තීන්ගෙන් සන්නද්ධ කිරීම හෝ යක්ෂයන් ජය ගැනීම අපගේ ක්‍රමය නොවෙයි. කුසලතා මට්ටම අනුව අප ඔබට වර්ණ පටි නොපළඳවමු. හිස මුඩු කිරීමට හෝ හිසේ ජටාවක් බඳින්නට යැයි අපි ඔබට නොකියමු. ඔබ සතු සියල්ල අත්හැර දමා අරණ්‍යගත වීමට ද අවශ්‍ය නැත. ඔබගේ ජීවිතය අයහපත් හා අවුල් සහගත නොවේ නම් මේ දැන්ම ආරම්භ කර කිසියම් දියුණුවක් අත්කර ගත හැකිය. එය ඔබ තුළ උනන්දුවක් ඇති නොකරන්නේ ද?

භාවනාව යන විෂය අළලා ලියැවුණු පොත් පත් මහත් රාශියක් ඇත. ඒවායෙන් බොහොමයක් ලියවී ඇත්තේ යම්කිසි ආගමික හෝ දාර්ශනික සම්ප්‍රදායක් පසුබිම් කොටගෙනය. බොහෝ ලේඛකයන් මෙය පෙන්වා දීමට වෙහෙසක් දරා නොමැති බව පෙනෙයි. ඔවුන් පොදු නීති ලෙස හැඟෙන පරිදි භාවනාව සම්බන්ධ කරන ප්‍රකාශයන් බොහෝ විට එක සම්ප්‍රදායකට සුවිශේෂී වෙයි. ප්‍රතිඵලය මහත් පටලැවිල්ලකි. එකිනෙකට පටහැණි වූ සංකීර්ණ න්‍යායයන් හා අර්ථ දැක්වීම්, තත්ත්වය වඩාත් නරක අතට හරවයි. විසංවාදී මත සංකලනයක් හා අදාළ නොවූ තොරතුරු සමූහයක් මෙහි ප්‍රතිඵලය වෙයි.

ඔබගේ හැසිරීම් රටාව විනිවිද දැකීමට හැකිවන පරිදි සන්සුන්ව හා බැඳීම්වලින් තොරව ඔබගේ මනසේ ක්‍රියාකාරීත්වය දෙස බලා සිටීමට අපි ඔබට උගන්වමු. මෙහිදී හඳුන්වා දෙන්නේ විපස්සනා භාවනා ප්‍රවේශය සමඟ පමණි.

අපගේ අරමුණ වන්නේ එළැඹි සිහියෙන් සිටීමයි. එනම් යථාර්ථයේ ඇතුළාන්ත ක්‍රියාකාරී මට්ටම දැක ගත හැකි වන අන්දමේ තියුණු එළැඹි සිහියක් හා මානසික ඒකාග්‍රතාවක් ලබා ගැනීමයි.

භාවනාව පිළිබඳව ප්‍රකට පොදු වැරදි හැඳීම් රාශියක් තිබේ. එම ප්‍රශ්න නවක සිසුන් විසින් නැවත නැවතත් මතු කරනු අපි දැක ඇත්තෙමු. භාවනානුයෝගියාගේ දියුණුවට බාධා පමුණු වන මෙම කරුණු සමඟ ආරම්භයේදී ම ගනුදෙනු කිරීම යෝග්‍ය වෙයි. වරකට එක බැගින් ගෙන භාවනාව ආශ්‍රයෙන් තිබෙන මෙම වැරදි හැඟීම් දුරු කරගමු.

භාවනාව සම්බන්ධ 1 වන වැරදි හැඟීම:

‘භාවනාව යනු හුදෙක්ම මානසික විවේකයක් අත්කර ගැනීමේ ක්‍රම ශිල්පයකි. ‘ යන්නයි.

මෙහි හුඹස් බිය ඇති කරන්නේ "හුදෙක්ම" යන්නයි. මානසික විවේකය භාවනාවෙහි ප්‍රධාන අංගය වුව ද විපස්සනා භාවනා ප්‍රවේශයට ඊට වඩා උදාර අරමුණක් තිබේ. කෙසේ වෙතත් අනෙකුත් භාවනා ක්‍රම සම්බන්ධයෙන් මෙම කියමන ඉතාමත් නිවැරදිය. සමස්තයක් ලෙස ගත් කල, සියලුම භාවනා ක්‍රම මානසික ඒකාග්‍රතාව ඇතිකර, මනස එක සිතිවිල්ලක විවේකීව තබයි. ඉතාමත් හොඳින් සිත එක අරමුණක පිහිටු වන ඔබ ගැඹුරු ප්‍රීති ප්‍රමෝදාත්මක මානසික විවේකයක් අත්විඳිනු ඇත. මෙය ධ්‍යානය නමින් හඳුන්වනු ලබයි. මහත් ප්‍රමෝදයකට හේතුවන මෙම සුවය ප්‍රබල ශාන්ත භාවයකි. එය සාමාන්‍ය මානසික තලයකදී අත්විඳිය හැකි උපරිම වින්දනය ද ඉක්මවා යන හැඟීමක් වෙයි. බොහෝ භාවනා ක්‍රමයන්හි අවසානය මෙයයි. ඉතිරි ප්‍රීති කාලයේදී සිදුවන්නේ මෙම අත්දැකීම නැවත නැවතත් ලබා ගැනීමයි. නමුත් විපස්සනා ක්‍රමයේදී එය වෙනස්ය. විපස්සනා භාවනාවට වෙනත් පරමාර්ථයක් තිබේ. එළැඹි සිහියෙන් සිටීම, මානසික ඒකාග්‍රතාව (ධ්‍යානය) හා මානසික විවේකය විපස්සනා භාවනාවේ අත්‍යවශ්‍ය අංග ලෙස සැලකෙයි. ඒවා අත්‍යවශ්‍ය ආරම්භකයන්, ප්‍රයෝජනවත් උපකරණ මෙන්ම අතුරුඵලයන් ද වෙයි. ඉලක්කය වන්නේ විනිවිද දකිනා ප්‍රඥාවයි. විපස්සනා භාවනාව ඔබගේ එදිනෙදා ජීවිතය ශුද්ධ පවිත්‍ර කර, වෙනසකට ලක් කරන ප්‍රබල ධාර්මික අභ්‍යාසයකි. චිත්ත ඒකාග්‍රතාවේ හා විනිවිද දකින ප්‍රඥාවේ වෙනස ඉදිරියේදී විස්තරාත්මකව සාකච්ඡා කරනු ඇත.

2 වන වැරදි හැඟීම:

භාවනාව යනු නිද්‍රාවකට පත්වීම යන්නයි.

නැවතත් මෙම කියමන අනෙකුත් භාවනා ක්‍රම සම්බන්ධයෙන් සත්‍ය වුවද, විපස්සනාවට අනුව අසත්‍යයකි. විපස්සනා භාවනාව මෝහනය කිරීමක් නොවෙයි. මනස නිද්‍රාවකට පත්කර සිහිසුන් තත්ත්වයට පැමිණීම අවශ්‍ය නැත. ඔබව හැඟීම්, දැනීම් නැති තත්ත්වයට පත් නොකරයි. ඇත්තෙන් ම සිද්ධවන්නේ ඊට හාත්පසින්ම විරුද්ධ දෙයයි. ඔබගේ වෙනස් වන හැඟීම් සහ ආවේග කෙරෙහි ඔබ වඩාත් සංවේදී බවක් දක්වයි. ඔබට, ඔබ පිළිබඳව වඩාත් පැහැදිලි වත්, නිරවද්‍ය වූත් අවබෝධයක් ලබා ගත හැකි වෙයි. මෙම ක්‍රියාවලියේදී, පිටතින් එදෙස බලන්නකුට නිද්‍රාවක් ලෙස පෙනෙන මානසික ස්වභාවයන් ඇතිවීමට පුළුවන. නමුත් සිදුවන්නේ ඊට ඉඳුරාම වෙනස් දෙයකි. මෝහන නිද්‍රාවේදී වෙනත් පුද්ගලයෙකු විසින් මෝහනයට පත්වන්නා හසුරුවනු ලබයි. නමුත් ගැඹුරු මානසික ඒකාග්‍රතාවක සිටින භාවනානුයෝගියා තමාගේ පාලනය යටතේ පසු වෙයි. සමානකම් ඇතොත් ඒ මතුපිටින් පෙනෙන සමානකම් පමණි. කෙසේ වෙතත් එවැනි දේ ලබා ගැනීම විපස්සනා භාවනාවේ අරමුණ නොවෙයි. කලින් කී පරිදි ගැඹුරු මානසික ඒකාග්‍රතාව නොහොත් ධ්‍යාන ගතවීම, එළැඹි සිහිය තියුණු කර ගැනීමේ මාර්ගයෙහි පියවරක් වෙයි. විපස්සනා යන්නෙහි අර්ථය වන්නේ ද දැන සිටීම නොහොත් එළැඹි සිහිය වගා කර ගැනීමයි. භාවනා පුහුණුවේදී ඔබ සිහි මුර්ජාවන බව දැනෙනවා නම්, ඉතාමත් සරලව කිව හැක්කේ ඔබ විපස්සනා ප්‍රවේශයට අදාළව භාවනා නොකරන බවයි.

3 වන වැරදි හැඟීම

භාවනාව යනු තේරුම් ගැනීමට අපහසු ගුප්ත අභ්‍යාසයක් බවයි.

සත්‍යය නොවන නමුත් මෙය සත්‍යයට ඉතා සමීප වෙයි. භාවනාවේදී ගනුදෙනු කරන්නේ සංකල්පමය සිතිවිලි මට්ටමට වඩා ගැඹුරු මානසික තලයක් සමඟිනි. භාවනාවට අදාළ සමහර කරුණු වචනවලට ගොනු කිරීම අසීරු කාර්යයකි. වටහා ගැනීමට නොහැකි බව මින් අදහස් නොකරමු. වචනවලට වඩා ගැඹුරු තේරුම් ගැනීමේ ක්‍රම ඇත. ඇවිදින්නේ කෙසේද යන්න ඔබ පහසුවෙන් තේරුම් ගනියි. සමහරවිට මෙහිදී නියුරෝන හා මස්පිඬුවල හැකිළීම සිදුවන්නේ කුමන අන්දමට ද යන්න ඔබට නොවැටහීමට පුළුවන. නමුත් ඔබට ඇවිදීමට හැකිය. භාවනාව ද මෙලෙස අභ්‍යාසය තුළින් තේරුම් ගත යුතු ක්‍රියාවකි. සාමාන්‍ය වචන මඟින් එය ඉගෙන ගත නොහැකිය. එය කතා කිරීමට මාතෘකාවක් ද නොවෙයි. එය පුහුණුව තුළින් ම අත්දැකිය යුතු දෙයකි. භාවනාව, ප්‍රතිඵල පිළිබඳ අනාවැකි පළ කළ හැකි හෝ ස්වයංක්‍රීය ප්‍රතිඵල ලබා දෙන සූත්‍රයක් නොවෙයි. භාවනා කාලයක් තුළදී නිශ්චිතව මේ දේ සිදු වෙතැයි කිසි දිනෙක අනාවැකි පළ කළ නොහැකිය. එය විමර්ශනයක් හා අත්හදා බැලීමකි. සැමවිටම කුතුහලයෙන් පිරි ගවේෂණයකි. ඉදිරියට සිදුවන්නේ කුමක්දැයි සිතා ගත හැකි එකම තත්ත්වයක රැඳී සිටින සැටියක් ඔබගේ පුහුණුවේදී ඔබට දැනේ නම් එය ඔබ මාර්ගයෙන් පිට පැන ඇති බවට සංඥාවකි. එක තැනම පල්වෙන බවට ලකුණකි. විපස්සනාවේදී, හැම තත්පරයක්ම විශ්වයේ පළමු මෙන්ම එකම තත්පරය ලෙස සැලකීම අත්‍යවශ්‍ය කරුණකි.

(ලබන සතියේ, භාවනාව පුහුණුව අනතුරුදායකද? විමසා බලමු)

Comments